ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම්

  👤  3229 readers have read this article !
2017-05-25

ගොඩනැඟිලි ඉදිකිරීම් වූ කලී රටක සංස්කෘතික වටිනාකම් මෙන්ම සමාජයක හැඩගැස්ම, විනය, යහපැවැත්ම ආදී බොහෝ දේ ලොවට පෙන්වන කැඩපතකි. රෝමය, ග්‍රීසිය, ඉතාලිය වැනි රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ නම් අනුරාධපුරයේ, පොළොන්නරුවේ හා සීගිරියේ ඉදිකිරීම් තුළ අප දකින්නේ එම අතීත සංස්කෘතීයේ සහ ශිෂ්ටාචාරයේ ප්‍රතිරූපය හා ශ්‍රී විභූතිය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

අතීත සමාජය සතුව තිබූ විනය, හික්මීම, පමණක් නොව පරිපූර්ණත්වයද, සෞභාග්‍යයද, ප්‍රෞඪත්වයද අපට පෙන්වන්නේ එදා පැවැති, අදටත් ආරක්‍ෂිතව පවත්නා මෙකී ගොඩනැඟිලි මගිනි. එබැවින් ගොඩනැඟිලි හා ඉදිකිරීම් සමාජයේ ප්‍රතිරූපය මැනැවින් පෙන්වන ප්‍රමුඛ සාධක බව අප වටහාගත යුතුය.
අප මෙම මාතෘකාවට පිවිසියේ වැල්ලවත්තේ සත්මහල් අනවසර ගොඩනැඟිල්ලක් කඩාවැටී ජීවිත කිහිපයක් බිලිගත් අවාසනාවන්ත සිදුවීමත් සමඟ අවධානය යොමුවිය යුතු පැති කිහිපයක් පිළිබ¼ද අදහස් ඉදිරිපත් කරනු පිණිසය. වැල්ලවත්තේ ඛේදවාචකයෙන් පසු කොළඹ නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ දැනට කොළඹ නගර සීමාවේ පමණක් අනවසර ඉදිකිරීම් 10,000ක් පමණ පවතින බවය. එම ප්‍රකාශයෙන් ඉඳුරාම පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම්, අද වන විට කිසිදු පාලනයකින් තොරව ඉබාගාතේ අපේ අග නගරය ගොඩනැඟෙමින් තිබෙන බවය.

අනවසර ඉදිකිරීම් පාලනය කරන්නට නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව හා පොලිසිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන තිබුණත්, ඒ ආයතන තමන්ට පැවරී ඇති විෂය සම්බන්ධයෙන් දක්වන අසමත්කම ඉන් පැහැදිලි වේ. අනවසර ඉදිකිරීම් 10,000ක් යන්න සුළුපටු කරුණක් නොවේ. මෙහිදී නාගරික කොමසාරිස් ඇතුළුව මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන් රැසක් ස්වකීය රාජකාරි පැහැර හැර තිබෙන බව ඉතාමත් පැහැදිලිය. හිතුමතේ අවධිමත්ව ගොඩනැඟිලි ඉදිකිරීම තමන්ට පාලනය කරගත නොහැකි නම් ඔවුන් ඒ ගැන රජයේ වගකිව යුතු අංශ දැනුවත් කර, පවතින නීති යල්පැන ගොස් තිබේ නම් නව නීති සම්පාදනය කරගත යුතුය.

වැල්ලවත්තේ බිඳ වැටුණු සත්මහල් ගොඩනැඟිල්ලේ උත්සව ශාලාවක් ඇති බව වාර්තා විය. එහි යම් උත්සවයක් පැවැත්වෙද්දී මේ විපත සිදුවූවා නම් විනාශ වන ජීවිතවලට වගකියනුයේ කවරකුද? නීතිගරුකම ක්‍රියා නොකරන වගකීම් විරහිත මිනිසුන්ගේ ක්‍රියාවන්ට අහිංසක පුරවැසියන් ජීවිතවලින් වන්දි ගෙවිය යුතුද.
මෙහි පිළිබිඹු වන්නේ අන්කිසිවක් නොව විනයක් නැති අවිචාරවත් සමාජයේ භෞතික ස්වරූපයයි. සමස්ත වටපිටාව පරිහානියට පත්වන විට එය ඉදිකිරීම් ක්‍ෂේත්‍රය තුළ නිරූපණය වන්නේ ප්‍රමිතියෙන් තොර අනවසර ඉදිකිරීම් අහස උසට නැඟෙමින් ජන ජීවිතය අනතුරේ හෙළමිණි. "සිකුරාදා රෑ වැඩේ පටන් ගන්න. සඳුදා උදේ වෙද්දී ඉවර කරන්න. ඉතිරි හරිය මම බලාගන්නම්" වගකිවයුතු නිලධාරීන්ට අල්ලස් දුන් විට මෙසේ පිළිතුරු දෙන බව මුළු රටම දනී. නොදන්නේ අදාළ ආයතනවල බලධාරීන් පමණකි. ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් වසංගතයක් මෙන් පැතිරෙමින් ජන ජීවිතය අනතුරේ හෙළා ඇත. විපතක් සිදුවූ විට විවිධ පාර්ශ්වයන්ට ඇඟිල්ල දිගුකර ඇඟ බේරා ගන්නට වගකිව යුත්තෝ පුරුදුව සිටිති. ප්‍රශ්නය ඊට උචිත අයුරින් පිළියම් එය ආණ්ඩුවේ වගකීමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon