ජේ.ආර්.ගේ ගේම් සහ රවිගේ ගේම්

  👤  4616 readers have read this article !
2017-05-25

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී බලයට පත් ඩී. ඇස්. සේනානායක රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස පත් වූයේ ජේ. ආර්.ය. හදිසියේම
ඩී. එස්. මියගියාට පස්සේ ඩඩ්ලි අගමැති වෙලා තමන්ගේ මුදල් ඇමැති ලෙස පත් කරගත්තේ ජේ. ආර්.ය. 52 මැතිවරණයෙන් නැවත දිනන ඩඩ්ලි, ජේ. ආර්. ගැන විශ්වාසය තියලා ආයෙමත් මුදල් ඇමැතිකම දුන්නේය. හැබැයි ඒ වෙනකොටත් ඩඩ්ලිත් ජේ. ආර්.රුත් අතර තරගයක් තිබුණේ පෙනෙන නොපෙනෙන ගානටය. ඒ තරගය පුපුරලා ගියේ 53 ජූලි අය වැය ඉදිරිපත් කරනකොටය. ඒ වෙද්දිත් රටේ ආර්ථිකය තිබුණේ නාය යමින්ය. 1951 වෙනකොට ලංකාවේ වෙළෙඳ අතිරික්තය රුපියල් මිලියන 345ක් වෙලා තිබුණත් 1953 වනවිට රුපියල් මිලියන 200ක හිඟයක් ඇතිවෙලා තිබුණේය.

ජේ. ආර්.ට හතර අතින් බැනුම් අහන්නට විය.

ජේ. ආර්. 53 අය වැය කියවන්නේ අපකීර්තියට පත්වෙමින් සිටි 'මුදල් ඇමැතිවරයෙක්' විදියටය. අයවැය ඉදිරිපත් කරමින් ජේ. ආර්. කීවේ මෙහෙමය.
"ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් ලෝක යුද්ධ සමයේ ඉහළ ගියත් කොරියානු යුද සමයේ ඇති වූ වෙළෙඳ වාසි නිසා ක්ෂය වීමට ඉඩ නොදී රැකගත හැකි වුණා. 1952 ජනවාරි වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1209ක් දක්වා ඉහළ ගියා. කොරියානු යුද සමයේ සෞභාග්‍යය කෙළෙවර වීමත් සමඟ රුපියල් මිලියන 30 බැගින් එම ශේෂයද සිඳී ගියා. 1953 ජූලි අය වැය ඉදිරිපත් කරන විට එය රුපියල් මිලියන 676 දක්වා පහත වැටී තිබුණා"

ජේ. ආර්. නොකියා කීවේ රට වැටිලා කියලාය. 'දණ ගැස්සූ ආර්ථිකය හරි ගැස්සුවා' කියන්න ජේ. ආර්. ඉක්මන් නොවුණේ එහෙම දණ ගැස්සුවේ වෙන කවුරුවත් නොවන බව ජේ. ආර්.ම දන්න නිසාය. ඒ වෙනකොටත් රට කරවූයේ ජේ. ආර්. ලාමය. සමාජවාදී රටවල් ඒ වෙනකොට ඩඩ්ලිගේ ආණ්ඩුවෙන් අෑත් වෙලාය. ජේ. ආර්. ලා බර තිබ්බෙ බටහිරටය. බටහිර අය උදවු කරයි කියා හිතුව ජේ. ආර්. ලා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 50ක ආධාර ලබාගැනීමට උත්සාහ කළේය. තේ හා රබර්වලට වැඩි මිලක් ලබාගැනීමටත් උත්සාහ කළේය. අන්තිමට ඒ දෙකම කරගන්න බැරිවිය.

ජේ. ආර්. අය වැය ගෙනාවේ මේ අතරේය. ඒ වෙනකොට ජේ. ආර්. හිටියේ ලෝක බැංකුවේ උපදෙස්වලට හිරවෙලාය. එහෙම හිරවෙච්ච ජේ. ආර්. ගෙනාව අය වැය නතර වුණ් ඩඩ්ලිගේ ආණ්ඩුව ගෙදර යවලාය. ඒ අය වැය මහජන සුබසාධන කටයුතු කපාහැර, සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම නතර කර දැමූ එකක් විය. පාසල් දිවා ආහාර වේල කපා හැරිය අතර අනාථ ආධාර දීමනා පවා අඩු කරනු ලැබීය. දුම්රිය ගාස්තු වැඩි කර තැපැල් ගාස්තුද වැඩි කරනු ලැබීය. ආහාර සහනාධාර රුපියල් මිලියන 300 සිට 160 දක්වා 50%කින් පමණ අඩු කරනු ලැබීය. මේ ආණ්ඩුව පවතිනතාක් කල් හාල් සේරුව ශත 25ක් බව කියා බලයට ආව ජේ. ආර්.ලා සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩි කළේය. හාල් ඊටත් වඩා වැඩි කරන්න ඕන කියා ජේ. ආර්. කීවේය. දවසින් දවස ආණ්ඩුව මිනිස්සුන්ට එපා විය. ඒ එපා වීමේ මූලිකයා මුදල් ඇමැති ජේ. ආර්.ය. 53 අගෝස්තු 12 මහා හර්තාලයකින් ආණ්ඩුවට එරෙහි කැරැල්ල පටන් ගත්තේය. අන්තිමට හර්තාලයේ දෝංකාරයෙන් ඩඩ්ලි ඉල්ලා අස්වුණේය. සමහරු කීවේ 'ජේ. ආර්. ප්‍රොජෙක්ට් එකක් කළා' කියලාය. කොතලාවල අගමැති වෙලා මුලින්ම කළේ මුදල් ඇමැතිකම ජේ. ආර්. ගෙන් ගලවලා ජේ. ආර්.ට කෘෂිකර්ම ඇමැතිකම දීමය. ඒත් ඒ වෙනකොට අශ්වයා ගිහින් ඉවරය. 56 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ගෙදර ගියේය. ඒ විතරක් නොවේ. ජේ. ආර්. රුත් ගෙදර ගියේය.

පස්සේ කාලෙක ජේ. ආර්. රටේ ජනාධිපති වුණත් 56 ඩඩ්ලිගේ ආණ්ඩුව ගෙදර යවන්න විපක්ෂයට වඩා කැපවුණේ ජේ. ආර්. කියලා සමහරු කීවේ ඔය කාරණා හිතා බලලාය.

56 බණ්ඩාරනායක ආණ්ඩුව වැඩ පටන් ගත්තේ කැලණි විහාරයට ගිහින් වන්දනාමාන කරලා එහෙමය. ඊට කලින් කවුරුවත් එහෙම කරලා තිබුණේ නැත. කැවුම් කිරිබත් එහෙමත් කාලා අලුත් කැබිනට්ටුව වැඩට බැස්සේ 'පංච මහා බලවේගයෙන්' හැදුව ආණ්ඩුවය. ඒ ආණ්ඩුවේ මුදල් ඇමැතිකම ලැබුනේ ස්ටැන්ලිද සොයිසාටය. බණ්ඩාරනායක ඝාතනය වෙද්දී ඊට කුමන්ත්‍රණය කළා කීව නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා ස්ටැන්ලි ද සොයිසාගේ සොහොයුරාය. විරෝධතා නිසා 1959 නොවැම්බර් 23 වැනිදා ස්ටැන්ලි ද සොයිසා ඉල්ලා අස්වුණේය. පස්සේ ආණ්ඩුවත් පෙරළුණේය.

60 මාර්තු ඩඩ්ලි සේනානායක රජයේ, රජයේ මුදල් ඇමැති වුණේ ජේ. ආර්. මය. හැබැයි ආණ්ඩුව දවස් 30න් ගෙදර ගියේ රාජාසන කතාව පැරැදිලාය. 60 ජූලි 20 සිරිමාවෝගේ ආණ්ඩුවේ මුදල් ඇමැති වෙච්ච ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක 62 ඉල්ලා අස්වුණේ ආණ්ඩුවේම අයගේ විරෝධය නිසාය. 60 ජූලි සිට 1964 වෙනකම් මුදල් ඇමැතිවරු 5ක් පත්විය.

මෙහෙම බැලුවම 'මුදල් ඇමැතිකම' බොහෝවිට හේතුවෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළෙන්නටය. ජනාධිපති, අගමැති හැරුණුවිට ආණ්ඩුවක ප්‍රබලම පුටුව මුදල් ඇමැතිකම නිසා 'හොඳට නරකට දෙකටම, හේතු වෙන්නේ මුදල් ඇමැතිකමය. ඉතිහාසය ඒක ඔප්පුකරලා තියෙන්නේ හරි අපූරුවටය. ගිය කැබිනට් සංශෝධනය ගැන කතාකරන බොහෝ දෙනා කියන්නේ 'ආණ්ඩුවේ නාය යෑම' පටන් ගත්තා කියලාය.

යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැති වෙච්ච රවි නිතරම කීවේ තම තනතුර වෙනස් නොවන බවය. 'දණ ගැස්සූ ආර්ථිකය හරි ගැස්සුවේ' තමන් බවත් ලෝකයේ හොඳම මුදල් ඇමැති ලෙස ලොව පිළිගන්නේ තමන් බවත් රවි නිතරම කීවේය. හැබැයි යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරු කීවේ 'රවි' වැඩේට නොගැළපෙන බවය. කැබිනට් සංශෝධනය වෙන්නේ 'දූෂිතයන් ඉවත් කිරීමටයි' කියා කීවේත් ඒ අයමය. ඒ අතරේ සමාජ ජාලවල ගියේ රවිට කෝචොක් කරන තාලයේ ප්‍රතිචාරය.

රවි හෙමින් සීරුවේ ආණ්ඩුවේ ජනප්‍රිය වෙන ඇමැතිවරුන්ට විමධ්‍යගත අරමුදල් වෙන් කිරීමේදී 'කැපිලි දාන' බව සමහරු කීවේය. සජිත්ලා, රවි එක්ක හැප්පුණේ 'වැඩ කරන්න මුදල් නොදෙන' බව කියලාය. නවීන් හැප්පුණේ අමාත්‍යාංශයේ ආයතනයකට අයිති මුදල්වලට රවි බලපෑම් කරනවා කියලාය. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට එන නායකයෝ දෙන්නෙක්ය. සජිත් නියෝජ්‍ය නායක වෙද්දී උප නායකකම ඉල්ලා ගේමට බැස්සේ 'රවිය' ඉතින් රවිට සජිත් එක්ක කොහොමත් තරගයක් තිබ්බේය.
ඔය අතරේ ආණ්ඩුව පෙරළන්න ලොකුම උදව්ව කරන්නේ 'රවි' කියා විපක්ෂයේම සමහරු කීවේ 'රවිගේ' වැඩ ගැන කියලාය. රවිගෙන් ගැලවුණු මුදල් ඇමැතිකම හිමිවුණේ මංගලටය. චන්ද්‍රිකා රජයේද නියෝජ්‍ය මුදල් ඇමැතිකම ටික දවසක් දැරූ මංගල දැන් මුදල් ඇමැතිය. සමහරු කියන්නේ විදෙස් ඇමැති විදියට 'වැඩ පෙන්නූ' මංගලට ආණ්ඩුවම 'බැරියර්' එකක් දැම්ම කියලාය. විදෙස් සේවය ශක්තිමත් කරන්නට 'සැලකිය යුතු' වැඩකොටසක් කළ මංගලගෙන් එය ගලවා රවිට දීම විහිළුවක් බව කියන්නේ දැනුවත් බවක් තියෙන මිනිස්සුය.

2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළන්න හේතු කිහිපයක් තිබුණේය. රට පාවා දෙන බවත්, තරුණයන්ට රැකියා නොදෙන බවත් ඒ චෝදනා අතර තිබුණද 'දූෂණ වංචා' ගැන කියැවුණේ 'සතොස' හරහාය. ඒ වෙද්දී සතොස භාරව තිබුණේ රවිගේ අමාත්‍යාංශයටය.

මුදල් ඇමැතිකමේ සැර එක්ක රවි නායකයාව පවා ඉක්මවා යන 'ස්වරූපයක්' පෙනෙන්නට තිබුණේය. මේ සංශෝධනයෙන් වුණේ ඒක තවදුරටත් වැඩිවීමද අඩුවීමද කියන්න දන්නේ නැත. හැබැයි 'සංශෝධනයෙන් පස්සේ ආණ්ඩුවේ' ඇතුළේ ගිනි එළියට පෙනෙන්නට පටන් ගෙන තියෙන එකනම් ඇත්තය.
සංශෝධනයට පෙර ඇමැතිවරු හිටියේ බලාපොරොත්තු තියාගෙනය. ආණ්ඩුව ගේන්න සෑහෙන්න වෙහෙසුණු 'හරීන්' නිතර කීවේ කැබිනට් සංශෝධනයෙන් තමන්ට 'වැඩක් කරන්න පුළුවන් තනතුරක් ලැබෙයි' කියාය. 'වැඩක් කරන්න ඉඩක් නැති නිසා ගමට යන්න බැරි බවත්, කඳුලු සලමින් ඉන්න බවත්' හරීන් කීවේය.
සුජීව සේනසිංහ කීවේ 'නායකයෝ තමන්ගේ හිතවතුන්ට පමණක් සලකන බවත්, ටික දවසක් බලලා දේශපාලනයෙන් ඉවත් වෙන බවත්ය. සුජීව කියන්නේ මේ ආණ්ඩුව හදන්න වේදිකා දෙදරන්න කෑ ගැසූ තරුණ නායකයෙක්ය.

මෙම සංශෝධය එජාපයටත් යහපාලන රජය බලයට පත් කිරීමට වෙහෙස වූ එජාප බිම් මට්ටමේ නායකයන්ටත් සිදු කරන ලද බලවත් අසාධාරණයක් කියා කියන්නේ රංගෙ බණ්ඩාරය. එහෙම බැලුවම බොහෝ දෙනා ඉන්නේ කලකිරීම ඔඩු දුවලාය.
"මම මුදල් අමාත්‍යාංශය භාර ගත්තේ මුළු රටම ආර්ථික අගාධයකට පත්ව තිබූ අවස්ථාවක. ඇද වැටී තිබූ ආර්ථිකය තරමක් දුරට හරි ගොඩගන්න විශාල වෙහෙසක් ගත්තා. සමහර ජනප්‍රිය නොවන තීන්දු ගත්තෙත් රටේ ගමන ගැන හිතලයි. හොඳට කරගෙන යන දෙයක් මාරු කරපු එකම රට ලංකාව වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ඒ පාපකර්මය තමයි මට බලපාන්න ඇත්තෙ. අමාරුවෙන් රට හරිමඟට ගන්න හදනකොට මෙහෙම වුණේ".

මුදල් ගැලවී විදෙස් ඇමැතිකම ලැබූ රවි කීවේ එහෙමය. එහෙම බැලුවම කැබිනට් සංශෝධනයට පස්සේ ආණ්ඩුව රත් වෙලාය. කැබිනට් සංශෝධන ගැන අපූරුම කතාව කීවේ අනුර කුමාර දිසානායකය. ඔහු කියන්නේ 'සිදු කර ඇත්තේ කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලකින් ගැසීමක්' වගේ කියාය.
56 බණ්ඩාරනායක ආණ්ඩුව දෙදරන්න කැබිනට් මණ්ඩලයේදී අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාට අමාත්‍ය පදවියක් නොදීමත් හේතු විය. 1959 කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පස්සේ බණ්ඩාරනායක මහතා ඝාතනය විය. ඩබ්ලිව්. දහනායක මහතාගේ ආණ්ඩුව පෙරළුණේත් කැබිනට් සංශෝධනයත් එක්කය. සමහර ඇමැතිවරුන්ගේ තනතුරු නිදි පැදුර උඩදීම මාරුවී තිබුණේය. ටික දිනකින් ආණ්ඩුව පෙරළුණේය.

77න් පසු විධායක ජනාධිපති තනතුර යටතේත් ආණ්ඩු හෙල්ලෙන්න කැබිනට් සංශෝධන හේතු විය. ප්‍රේමදාස රජයේ ලලිත්ලාගේ, ගාමිණීලාගේ ඇමැති තනතුරු සංශෝධනවලදී වෙනස් කළේය. අන්තිමට ඔවුන් කැරලි ගැසීමට පටන් ගත්තේය. චන්ද්‍රිකා ආණ්ඩුවටද ගෙදර යන්න පාර හැදුණේ ඇමැති සංශෝධනයෙන් පස්සේය.
මේ වෙන්න යන්නේ මොකක්ද කියා බලා ගන්න වෙන්නේ ඉස්සරහටය. සමහරවිට සමහරුන්ගේ කලකිරීම් පක්ෂ මාරු කිරීම් සහ ආණ්ඩු වෙනස් කිරීම් දක්වා හේතු වනු ඇති බවට ලකුණු දැන් මතුවෙලාය.

ගිය ආණ්ඩුව ගෙදර යවන්නත් මේ ආණ්ඩුව ගේන්නත් ලොකුම වෙහෙසක් ගත්ත 'චරිත' මේ ආණ්ඩුව පෙරළන්නත් කටයුතු නොකරයි කියා කියන්න බැරිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon