ජාතිවාදය ආගම්වාදය අවුස්සන අයට නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ

  👤  3450 readers have read this article !
2017-05-25

"ජාතිවාදය, ආගම්වාදය අවුස්සන අයට එරෙහිව රට තුළ නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ"යි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.
තමන්ගේ ආගම ඇදහීමට ජනතාවට ඉඩක් නැතිනම් එය ඉතාමත් බරපතළ තත්ත්වයක්. නැඟෙමින් පවතින ජාතිවාදී රැල්ලත් සමඟ රට තුළ නීතිය විධිමත්ව ක්‍රියාත්මක නොවන බවක් පෙනෙන්නට තිබෙනවා. එය බරපතළ තත්ත්වයක්. රට තුළ ආගමික නිදහස ස්ථාපිත කළ යුතුයි.

නඩු විභාග ප්‍රමාදය අද පවතින විශාල ගැටලුවක්. මේ තත්ත්වය මඟහැරවීම සඳහා කඩිනමින් පියවර ගැනීම වැදගත්. දැනට පවතින මැතිවරණ පනත සංශෝධනය කර වයස අවුරුදු 18 ඉක්මවා ඇති සියලු දෙනාටම ඡන්දය ලබාදීමේ අවස්ථාව සැලැස්විය යුතුයි.

කැබිනට් සංශෝධනය හරහාද නීතිමය වරදක් සිදුවී තිබෙනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නියම කර ඇති ඇමැතිවරු සංඛ්‍යාව පත්කර ඇති බව කීවත් එක් ඇමැතිවරයකුට අමාත්‍යාංශ කිහිපයක් ලබාදීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙනවා. ඇමැතිවරු එක්කෙනයි. නමුත් අමාත්‍යාංශ දෙකක් එතුමා යටතේ පවත්වාගෙන යනවා. එවිට පෞද්ගලික කාර්ය මණ්ඩල දෙකක් ලැබෙනවා. ඒ කාර්ය මණ්ඩලවලට තමන්ගේ බිරිය, සහෝදරිය තවත් ඥාතීන් පත්කර ගන්නවා. 19 ව්‍යවස්ථාවෙන් තමුන්නාන්සේලා රිංගා ගිහිල්ලා.

හිරගෙදර
වැඩිය ඉන්නේ
තරුණ පිරිස වීම
කනගාටුවට කරුණක්

'බන්ධනාගාර තුළ වැඩිපුර සිටින්නේ තරුණ ප්‍රජාව වීම කනගාටුවට කරුණක්' යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
රටේ සිවිල් නඩු ක්‍රියාවලිය වේගවත් කරලීම සඳහා මෙම පනත ඉදිරිපත් කර තිබෙනවා. යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීම බරපතළ ගැටලුවක් ලෙස අපි හඳුනාගෙන තිබෙනවා.

අපේ රටේ වැඩි හරියක් නඩු තිබෙන්නේ මහෙස්ත්‍රාත් අධිකරණවලයි. අධිකරණවල කාලය කළමනාකරණය කිරීමට කටයුතු යෙදීම වැදගත් වෙනවා.
පූර්ව නඩු විභාග ක්‍රමය තුළ පාර්ශ්වකරුවන් අතර සුහද කතාබහක් ඇති කර නඩුව මුලින් සමථයකට පත් කිරීමට උත්සාහයක් දරනවා. අපේ රටේ විධිමත් පරිදි සමථකරණය සිදුවන්නේ නැහැ. රට තුළ තවදුරටත් සමථකරණය ශක්තිමත්ව ගොඩනැඟීම ඉතාමත් වැදගත්.
අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැලැසීම සඳහා පනතක් අපි සම්මත කර තිබෙනවා. එය වැදගත් ක්‍රියාවලියක්. ඒ වගේම යුද සමයේ ඉඩම් අහිමි වූ ජනතාවගේ ඉඩම්වල නියම අයිතිකරුවන්ට ඉඩම් ලබාගැනීම සඳහා කාලාවරෝධී පනත සම්මත කර තිබෙනවා. නීතිය තව තවත් ශක්තිමත් කිරීමට අපගේ රජය දිගින් දිගටම ක්‍රියා කරනවා.

රට තුළ සිදුවන අපරාධ අවම කිරීම සඳහා නව නීති ගෙන ඒමට අදහස් කරනවා. බන්ධනාගාරවල පවතින තදබදය මඟහැරවීමට අවශ්‍ය විසඳුම් ලබාදීමටත් අපි ඉදිරියේදී කටයුතු කරනවා.

වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිසිය වෙත චෝදනා එල්ල වෙනවා. එය පාලනය කිරීම සඳහා කටයුතු කළ යුතුයි.

කොයි මොහොතේ අන්තවාදී ක්‍රියාවක්
ඇතිවේ යැයි මුස්ලිම් ජනයා බයෙන් ඉන්නවා

රට පුරා හිස ඔසවමින් පවතින අන්තවාදී හා ජාතිවාදී ප්‍රශ්නය පිළිබඳව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස, නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක සිදුවූ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකිවී ඇති බවත්, මෙම තත්ත්වය තවත් වර්ධනය වීමට ඉඩ ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කොයි මොහොතේ අන්තවාදී ක්‍රියාවන් ඇතිවේද යන බියෙන් මුස්ලිම් ජනතාව පසුවන බවත්, පසුගියදා සිදුවූ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පැමිණවිය යුතු බවත් සඳහන් කළ ඇමැති රවුෆ් හකීම්, මේ තත්ත්වය පාලනය කිරීම රජයේ වගකීමක් බැවින්, එවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇතිවීමට ඉඩ නොතබන බවට රජය සහතික විය යුතු යැයිද සඳහන් කළේය.

කතානායක - රජය මේ
බරපතළකම ගැන තේරුම් ගැනීම ගැන ස්තුති කරනවා. පක්‍ෂ නායක රැස්වීමේදී තේරීම් කාරක සභාවක් පත්කිරීම ගැන සාකච්ඡා කරනවා.

අලි ඇතුන් ඉල්ලන අය
ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුයි

අලියකු ඇති කිරීමේදී දිනකට ලක්‍ෂ පහක මුදලක් වැය කිරීමට සිදුවන බැවින් අලි ඇතුන් ලබාදීමේදී, ලබාගන්නා පුද්ගලයා නඩත්තුව සඳහා ප්‍රමාණවත් වත්කමක් තිබෙන බවට සනාථ කළ යුතු යැයි තිරසර සංවර්ධන හා වනජීවි ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
විහාරස්ථානවලට අලි ඇතුන් ලබාදීමේදීත් අලින් නඩත්තු කිරීම සඳහා එම විහාරස්ථානය සතුව ප්‍රමාණවත් වත්කම් තිබෙන බව තහවුරු කිරීමට සිදුවන බව ඇමැතිවරයා සඳහන් කළේය.

අලි ඇතුන් ලබා ගැනීමට අයැදුම් කරන අය ඔවුන්ගේ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමද අනිවාර්ය කෙරෙන බවද ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළේය.
එසේ අලි ඇතුන් ලබාදීමේදී ඒ බව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරෙන බවද ඇමැතිවරයා පැවැසීය.
ඇමැතිවරයා එසේ සඳහන් කළේ ජනතා විමුක්ති පෙමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon