ආණ්ඩුවෙන් පිළිතුරු ඉල්ලන විට සමාගමක් මඟින් පිළිතුරු දෙන තත්ත්වයක්

  👤  4929 readers have read this article !
2017-05-26

අපි ආණ්ඩුවෙන් පිළිතුරක් ඉල්ලා අසන ලද ප්‍රශ්නයකට, සමාගමක් මඟින් පිළිතුරු සැපයීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.

හැමතැනම සමාගම්, තමන්ගේ සල්ලි මාධ්‍යට විසිකරමින් ආණ්ඩුව පැත්තට විසි කරමින් කටයුතු කරනවා. පරිසරය විනාශ කරමින් මේ සමාගම් කටයුතු කරනවා.
ආණ්ඩුව පැත්තෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු දේවි, අපි රටේ සංවර්ධනයට විරුද්ධව මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා කියා. මේ ව්‍යාපෘතිය පරිසර මිතුරු ව්‍යාපෘතියක් නෙවි. මෙය අපේ රටට හිතකර නොවෙන ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකියි. මඩුල්ල, මැදගම ප්‍රදේශවල උක් වගා කිරීමට ඉඩම් ලබාදීම නවත්වා එම ඉඩම් ජනතාවගේ සුබසිද්ධියට ලබාදිය යුතු බව යෝජනා කරනවා.

මද්‍යසාර ලීටර් ලක්ෂයක් නිෂ්පාදනය කිරීමේ අරමුණෙන් තමයි මෙම ව්‍යාපෘතිය 2006 මිල්රෝයි ප්‍රනාන්දු ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් දමා තිබෙන්නේ, ධර්මදාස බණ්ඩා ඇමැතිතුමා ඉඩම් අක්කර 65,000ක් අත්පත් කර ගැනීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. එදා සීනි මෙට්රික් ටොන් 80,000ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අක්කර 65,000ක් ලබා ගැනීමට යෝජිත මේ ව්‍යාපෘතියම තමයි, අදත් මේ ක්‍රියාත්මක වෙන්නේ.

මෙම මුළු ව්‍යාපෘතිය සඳහාම පරිසර ඇගයීමේ වාර්තාවක් ලබාගෙන නැහැ. හැබැයි කර්මාන්තශාලාව ඉදිකිරීමේදී පරිසර ඇගයීම් වාර්තාවක් ඉල්ලා තිබෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට තර්ජනය කරල මෙම කර්මාන්ත ශාලාවට ඇකිරියන්කුඹුර ඉඩම් ලබාගැනීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. නිලධාරීන්ට තර්ජනය කරල ලබාගත් ඉඩමද තමුන්නාන්සේලා මේ කර්මාන්තශාලාව සඳහා ලබාගන්න යන්නේ?

අක්කර දහස් ගණනක
උක් වගාවට අපි විරුද්ධයි

"මොනරාගල කියන්නේ වැඩිම ජෛව විවිධත්වයක් ඇති දිස්ත්‍රික්කයක් නිසා අක්කර දහස් ගණනක ඒක බීජ වගාවක් ලෙස උක්වගා කරනවාට විරුද්ධ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
"අපි 2015 දී ජනතාවට පොරොන්දු වුණේ තිරසාර සංවර්ධනය සඳහා අපේ දේශය යොදාගන්නවා කියලයි. ඒ කියන්නේ ඒක බීජ වගාව වෙනුවට බහු බීජ වගාව සිදුකරනවා කියලයි අපි කියා සිටියේ. ඒ නිසා මේ ව්‍යාපෘතියට මම විරුද්ධ වෙනවා."

ඉඩම් අත්කර ගැනීමට
ආණ්ඩුවට කිසිම උවමනාවක් නෑ

"ගමේ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න කරගැනීම සුදුසු නැහැ"යි, විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී පැවැසීය. මිනිසුන්ගේ ඉඩම් අත්පත්කර ගැනීමට මේ ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. ලංකාවේ තිබෙන
දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනම තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ. රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ රටේ දෙවැනි දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බව කියන්න ඕන. තේනුක විදානගමගේ - රීමාලියද්ද දියුණු වනවාට අපි හදවතින්ම කැමැතියි. ඒ ප්‍රදේශයේ මිනිසුන්ට අවශ්‍ය වී ඇත්තේ බඩඉරිඟු වගා කරන්නයි. ඒ පළාතට බඩඉරිඟු කර්මාන්ත ශාලාවක් දෙන්න.

හරීන් ප්‍රනාන්දු - බඩඉරිඟු කර්මාන්ත ශාලාවක් අවශ්‍ය තමා. ඒකත් ලබාදෙන්නම්.

ආයතන තුනක් ඉල්ලූ බව පුවත්පත් වාර්තාව පට්ටපල් බොරු

ඉඩම් ඇමැති ගයන්ත ආයතන තුනක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ බවට "ලංකාදීප" පුවත්පතේ පළමුවැනි පිටුවේ පොල්ගෙඩි අකුරෙන් ඊයේ (25දා) පළවූ පුවත අමූලික පට්ටපල් බොරුවක්. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී ඊයේ අවධාරණය කෙළේය. ඊයේ පාර්ලිමේන්තුවේ දිනට නියමිත කටයුතු ආරම්භ කිරීමට පෙර අමාත්‍යාංශ නිවේදන යටතේ පැහැදිලි කිරීමක් කරමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළ්ය. "මේවා පත්තරවල පළවෙලා, ඊට පස්සේ උදේට රූපවාහිනිවල කියවනකොට ඒකට තව අතිනුත් දාලා රස කරලා තමයි කියන්නේ. එතකොට ජනතාව අතරට යන්නේ වැරැදි චිත්‍රයක්" බවද ඇමැතිවරයා කීය.

"මගේ ජීවිතේට මම තනතුරක් ඉල්ලා නැහැ. මම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වුණේ ඉල්ලලා නොවේ. ඒ වාගේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වුණේ ඉල්ලලා නොවේ. ජනමාධ්‍ය ඇමැති වුණෙත් ඉල්ලලා නොවේ. ඒ වාගේම ඉඩම් ඇමැති ධුරෙත් ඉල්ලලා නොවේ.

ව්‍යවස්ථාදායක මෙහෙයුම් කමිටුවේ අයට වාහන ගේන්න මිලියන ගණන් යොදවනවා

"නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කර ඇති ව්‍යවස්ථාදායක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන්ට සහ නිලධාරීන්ට වාහන මිලදී ගැනීම සඳහා විශාල මුදලක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා" යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (25 දා) පැවැසීය. ඇමැතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම මුදල් කොමිටිය අත්හිටුවල තියෙනවා. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ප්‍රධානීන්ට වාහන මිලදී ගැනීමට මිලියන ගණන් මුදල් යොදවන බව, අර ඉන්න ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජික ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමා, කියන්නකෝ කාටද මේව ගේන්නෙ කියලා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා මේ ප්‍රශ්නය ඇහුවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ප්‍රධානීන්ට වාහන ගේන්න විශාල මුදලක් වෙන්කිරීම ගැනයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අනුර කුමාර දිසානායක - ඇමැතිවරුන්ට වාහන ගේන එක ගැන රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ජනතාව ඒක වෙනම බේරගනීවි. නමුත්, ව්‍යවස්ථාව සකස් කරන්න පත්කරල තියෙන කමිටුවේ අයට වාහන ගේන්නෙ කොහොමද? ආයතන හදනවා... තනතුරු හදනවා... හදල වාහන දෙනවා. මොකද්ද මේකෙ තේරුම? ජනතාවගේ මුදල් මෙහෙම මේ විදියට වියදම් කරන්න පුළුවන්ද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon