ත්‍රීවීල් රථ සඳහා නියාමනයක් අවශ්‍යයි

  👤  3910 readers have read this article !
2017-05-26

ත්‍රිරෝද රථ පැදවීමේ රියැදුරු බලපත්‍ර ලබාදීමේ වයස අවුරුදු 35 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව ඊයේ අප පත්‍රය වාර්තා කර තිබිණි. ඇතැම් නගරවලට හිසරදයක් වී ඇති ත්‍රීවීල් සම්බන්ධවත්, වයස 35 රියැදුරු බලපත් සීමාව සම්බන්ධවත් මේ වන විට ජනතාව අතර සංවාදයක් පැනනැඟී ඇත.

ත්‍රීවීල් මෙරටට පැමිණියේ 1978දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟය. ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ඉන්දියාවෙන් ලංකාවට ත්‍රීවීල් ආනයනය කළේය. එම ත්‍රීවීල් යොදා ටැක්සි සේවාවක් ප්‍රථමයෙන් පටන් ගන්නා ලද්දේ හෙප්තුල්ලා බෝයි සමාගම විසිනි. ඒ අවස්ථාවේ ත්‍රීවීල් රථ ධාවනය සඳහා අවසර ලබා දුන්නේ බර වාහන පැදවීමේ බලපත්‍ර හිමි රියැදුරන්ට පමණි. හෙප්තුල්ලා බෝයි සමාගම රියැදුරන් පුහුණු කිරීමද සිදු කළේය.
ත්‍රීවීල් රථ කුලී ගමන් සේවාව සඳහා ලබා දීමේදී සමාගම රියැදුරකුගෙන් රුපියල් 30ක දෛනික ගාස්තුවක් අය කළේය. එක සැතපුමක් සඳහා අය කළ ගාස්තුව රුපියලකට වඩා අඩු වූ අතර එයද අය කරන ලද්දේ මීටරයක් මඟිනි.

හෙප්තුල්ලා සමාගම කෙටි කලකට පසු දෛනික ගාස්තුව රුපියල් 50ක් කළ අතර ඊට විරුද්ධව රියැදුරන් එක්සත් ජාතික පක්ෂය හා එක්ව ව්‍යාපාරයක් ගෙන ගියේය. එය අවසන් වූයේ ත්‍රීවීල් රථ සේවාව ලංකා දුම්කොළ සමාගම අතට පත් කිරීමෙනි. 1980 දී ත්‍රීවීල්, පෞද්ගලික අංශයට මිලදී ගත හැකිවන පරිදි බැංකු මඟින් ණය මුදල් ලබාදීම ආරම්භ වීමත් සමඟ ත්‍රීවීල් රථ සංඛ්‍යාව ලක්ෂ ගණනින් ඉහළ ගියේය. ත්‍රීවීල් රියැදුරන් එවකට පැවැති මිකැනිකල් මීටරයෙන්ද සොරකම් කරන්නට පටන්ගත් අතර මේ නිසාම මගී ජනයා මීටර් ප්‍රතික්ෂේප කර ගණන් කතා කරගෙන ගමන යෑමට පුරුදු විය. මෙරට ත්‍රීවීල් රථ සේවාවේ ඉතිහාසය එසේය.
අද වන විට කොළඹ නගරය ගත හොත් නගරයට ඔරොත්තු නොදෙන තරම් ත්‍රීවීල් රථ සංඛ්‍යාවක් මාර්ගයට පිවිස තිබේ. රථ වාහන තදබදයට මෙන්ම මාර්ග අනතුරුවලටද ප්‍රබල හේතුවක් ලෙස ත්‍රීවීලරයට ඇඟිල්ල දිගුවේ. වසරකට ත්‍රීවීල් හා සම්බන්ධ අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සුළුපටු නොවේ. ඇතැම් හදිසි ත්‍රීවීල් අනතුරුවලදී පවුල් පිටින්ම මියගිය අවස්ථාද වාර්තා විය. අනෙකුත් වාහන සමඟ සසඳන කල ත්‍රීවීලරයේ මගියාගේ ආරක්ෂාවට ඇති පහසුකම් අවම බව පැහැදිලිය.

වර්තමානයේ දකින එක් ලක්ෂණයක් නම් ත්‍රීවීල් රියැදුරු වෘත්තියට පිවිසෙන පිරිස වයස 20-25 අතර තරුණයන් වීමය. පාසල් අධ්‍යාපනය නිමා වන විට තරුණයන්ට ඉදිරියට යා හැකි වෘත්තීය මාර්ග සම්බන්ධව උපදේශනයක් ලබාදෙන වැඩපිළිවෙළක් මෙරට නැත. උසස් අධ්‍යාපනයට යා නොහැකි වූ තරුණයා දකින්නේ පහසු හා සුදුසුම වෘත්තීය වන්නේ මූල්‍ය සමාගමක උදව්වෙන් ත්‍රීවීලරයක් ගෙන නගරයට පැමිණීම බවය. මේ තුළ රටේ ජවසම්පන්න තරුණ ශ්‍රමය, මංසන්ධියක නිකරුණේ ගතවන තත්ත්වයකට පත්වේ. එය අපරාධයකි. එය තරුණයන් අපරාධවලට යොමු වීමටද මෙය හේතුවේ.

දැන් ප්‍රශ්නය, බලපත් ලබාදීමේ වයස 35 කිරීම මතුවී තිබෙන ගැටලුවට සාධාරණ විසඳුමක්වේද යන්නය. පළමු කොටම සිදු කළ යුත්තේ දැනට පවතින ත්‍රීවීල් රථ නියාමනය සඳහා කඩිනම් වැඩසටහනක් සම්පාදනය කිරීමය. පළාත් පාලන බල ප්‍රදේශයකට අවශ්‍ය ත්‍රීවීල් රථ ප්‍රමාණය එම පළාත් ආයතනය විසින් තීරණය කොට එකී ප්‍රදේශයේ දුවන කුලී රථ සඳහා බලපත්‍ර ලබා දිය යුතුය. එවිට යමකු කුලී ප්‍රවාහන සේවාව සඳහා ත්‍රීවීලරයක් මිලදී ගන්නේ එය දුවන්නට පළාත් පාලන ආයතනයේ බලපත්‍රයක් තිබේ නම් පමණි.

කුලී සේවාවේ නොයෙදෙන, පවුලේ වාහනය වශයෙන් පාවිච්චි වන ත්‍රීවීල් සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බැවින් අනෙකුත් පාර්ශ්වයන්ට එය ගැටලුවක් නොවනු ඇත. බලපත්‍ර ලබාදීමේ වයස් සීමාව අවුරුදු 35 කිරීම සමස්ත ප්‍රශ්නයට විසඳුමක් නොවේ. සියලු ත්‍රිරෝද රථ නියාමනය කෙරෙන වැඩපිළිවෙළක් ආණ්ඩුව කඩිනමින් ආරම්භ කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon