තුන්කල් දුටු පැනවතකුගේ නික්ම යෑම

  👤  3168 readers have read this article !
2017-05-28

නූතන ලාංකේය බුද්ධි පරම්පරාවේ දැල්වෙමින් තිබූ තවත් එක් දීප්තිමත්ම මිණි පහනක් නිවී ගියේය.
බුද්ධි ප්‍රභාවෙන් අගතැන්පත් ජීවමාන ලාංකේය ප්‍රාඥයන් අතළොස්ස අතර සුවිශේෂී අනන්‍යතාවකට හිමිකම් කී මහාචාර්ය සිරි ගුනසිංහයන් සත් සමුදුරින් අෑතක සිටියත් ඔහු වෙන්ව යන්නේ ලාංකේය සමාජය තුළ අති දැවැන්ත හිඩැසක් නිර්මාණය කරමිනි.
ඒ මහාචාර්ය ගුනසිංහයන් යනු තවත් හුදු ප්‍රාඥයකු පමණක්ම නොවන බැවිනි.

ලෝකය ඉදිරියට යන්නේ සම්ප්‍රදාය රකින මිනිසුන් අතින් නොවේ. තර්කානුකූල පදනමක් මත පිහිටා සම්ප්‍රදාය බිඳ හෙළන්නන් අතිනි. මහාචාර්ය ගුණසිංහයන් යනු මහා සම්ප්‍රදාය රකිමින් ඒ සම්ප්‍රදාය සිය කර මත ඔසවා ගෙන සිටි තවත් එක්තරා උගතෙක් නොවූයේය. ඔහු සම්ප්‍රදායට අනුගත නොවන අතරේම ගතානුගතිකත්වය හා සටන් වදිමින් නව අරුතකින් යුත් ශාස්ත්‍රීය කතිකාවක්, නව මානයකින් යුත් සම්භාව්‍ය කලාවක් හා නව තලයකින් යුත් ප්‍රගතිශීලී මතවාදයක් ගොඩනඟන්නට වෙර දැරූ මිනිසෙකි. මේ වෑයමේදී ඔහු කෙතරම් එඩිතර වූයේද යන්න වැටහෙන්නේ ඔහු ඒ සඳහා මුහුණ දුන් පරිසරය විමසන විටය. ස්වකීය අභියෝගාත්මක අරගලය ඔහු විසින් දියත් කරනු ලැබුවේ හුදෙකලාවය.

ඔහු විශාරදයකු වූයේ සිංහල සාහිත්‍යය සහ සංස්කෘතිය යන විෂය ක්‍ෂේත්‍රය කෙරෙහි පමණක්ම නොවේ. විචාර කලාව, චිත්‍ර කලාව, ඉතිහාසය, සංස්කෘතිය, සිනමාව පමණක් නොව සමාන්තර භාෂා ඇතුළු බොහෝ විෂය ක්‍ෂේත්‍රයන් ගැඹුරින්ම හැදෑරූ ඔහු ඒ සෑම ක්‍ෂේත්‍රයකම විනිවිද ගිය දැනුම් ප්‍රභාවක් සහිත විශිෂ්ට ගණයේ බුද්ධිමතෙක් වූයේය. මස් ලේ නැති ඇට කෘතිය පළ කරමින් එතෙක් අඳුරේ අතපත ගාමින් තිබූ නූතන සිංහල සාහිත්‍ය යථාර්ථවාදී රීතියකට ගෙන එන්නේ ගුනසිංහයන්ය. සිංහල කවියට නිස¼දැස් ආර හඳුන්වා දුන්නේ ඔහුය. නිස¼දැස් ආර මඟින් ඔහු බිඳ දැමුවේ සම්මත එළිසමය හෝ ඡන්දස පමණක්ම නොවේ.

වැඩවසම් සමාජ චින්තනයද හේ එයින් ප්‍රශ්න කළේය. ඔහු විසින් හඳුන්වා දෙන ලද නූතන විචාර කලාව විචාරය නමින් සිදුවූ බහු රූ කෝලම බිඳ දමන්නට සමත් වූයේය. ඔහු විසින් ලියා පළ කරන ලද පොත්පත් අතළොස්ස පවා දැවැන්ත සමාජ කතිකාවතකට මඟ හසර විවර කළේය. භාෂාව උත්තම පූජාවක් ලෙසින් තබා වැඳුම් පිඳුම් කළ හණ මිටි සම්ප්‍රදායට නොබියව පහර එල්ල කළ ගුනසිංහයන් භාෂාවේ නූතනත්වය පිළිබඳව කතා කළේ බොහෝ උගතුන් එවැන්නක් ගැන සිතන්නට පවා බියපත් වූ යුගයකය. ගරා වැටුණු අතාර්තික සම්ප්‍රදායන් රකිනු වෙනුවට නූතනත්වයේ චමත්කාරය විඳීම සඳහා ඔහු කළ ආරාධනය පිළිගන්නට තරම් අපේ සමාජය තවමත් මුහුකුරා ගොස් නැත.

ලංකාවේ ජීවත් වූ කෙටි කාලය තුළ මෙවන් සම්භාව්‍ය සමාජ පරිවර්තනයකට දායක වූ මේ වියතා අපේ සමාජයෙන් පිටමං කර දමන්නට බලපෑ හේතු කාරණා සොයා බැලීමට දැන් ප්‍රමාද වැඩිය. ඔහු මෙරට සිටියේ නම් දේශපාලන මඩ ගොහොරුවක එරුණු මේ රටේ සම්මත සමාජ යාන්ත්‍රණයද, ගෝත්‍රික ජාතිවාදය සහ ආගම්වාදය ද නිර්දය හා සාධනීය ප්‍රශ්න කිරීමකට ලක් කිරීමට හොඳටම ඉඩකඩ තිබිණි. රටට අහිමි වූ බුද්ධිමය සමාජ සංවාදය ඉපද විය හැකිව තිබිණි.

ලාංකේය සමාජය කෙරෙහි මහාචාර්ය ගුනසිංහයන්ගේ දැක්ම තුන් කල් විනිවිදින තරම් ගැඹුරු වූයේය. අදින් අවුරුදු හැටකට පෙර 1958 තරම් වූ අෑතක දී ඔහු විසින් පළ කරන ලද අබිනික්මන නම් වූ කාව්‍ය සංග්‍රහයේ එන මේ කවිය පමණක්ම ඊට ප්‍රමාණවත් නොවන්නේද?

'කාලයේ ඇස් දෙක ඇරී තිබෙන තුරු
එකම දෙයක් ගැන මට විස්වාසයි
ජරාවාස අම්බලම තිබෙන තුරු
එන්නෙ හිඟන්නෝමයි
රජෙකු එතැයි කොපමන පැතුවත් - එන්නෙ හිඟන්නෝමයි'
මහ ඇඳුරුතුමනි, අවසරයි ඔබෙන් සමුගන්න,
ඔබට නිවන් සුව!

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon