සොබාදහම සමඟ කරන සෙල්ලම නතර කළ යුතුයි

  👤  3293 readers have read this article !
2017-05-29

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් රටම අවදානම් කලාපයක් බවට පත්වී තිබේ. සිදු වූ මරණ සංඛ්‍යාව 146කි. අතුරුදන් වුවන් 121කි. අවතැන් වූ ජනතාව ලක්ෂ 4 ඉක්මවා තිබේ. නාය යෑමෙන් වැළලුණු ඇතැම් සිරුර තවමත් පස් කඳු යටය. කළු, කැලණි, නිල්වලා ගිං ගංගාවෝ පිටාර ගැලූහ. මාස කිහිපයක් නියඟයට දෙස් දෙමින් සිටි මිනිසුන්ට එක් දිනක් තුළ ගංවතුර ගැන කතා කරන්නට සිදුවිය. එහෙත් සිදුවූ විපත අනපේක්ෂිත හදිසි ආපදාවකැයි තර්ක කරන්නට කිසිවකුට නොහැකිය. එයට හේතුව මේ වැසි ජල කඳ මේ අයුරින්ම මාස කිහිපයකට පෙර අප සොයා පැමිණ අපට පාඩම් උගන්වා තිබූ හෙයිනි.

ගංවතුර සමඟ ඇති වූ අනතුරුවලින් වැඩදායී අහිංසක මිනිසුන් රැසක් රටට අහිමි විය. විශේෂයෙන් දිවයිනේ නිරිත දිග භාගයේ ජන ජීවිතය බිඳ වැටී ඇත. සහනාධාර බෙදීම, රජයේ පාසල් ආදී තාවකාලික ස්ථානවල අවතැන් ජනයා රැඳවීම, සුබසාධන කටයුතු, ගංවතුර පාලනය සම්බන්ධයෙන් පැවැත්වෙන රජයේ ඉහළ පෙළේ සාකච්ඡා සහ මාධ්‍ය සන්දර්ශන පෙර පරිදිම අනුපිළිවෙළට සිදුවෙමින් තිබේ. අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන් තවමත් කූඩාරම්වලය. ආපදා කළමනාකරණ ඇමැති රටෙත් නැත. අවදානම් ස්ථානවලින් ඉවත්වීමට උපදෙස් දුන්නත් ඔවුන් කොහේ යන්නද?

'වැසි සමය එළැඹුණු විට වඳුරන් කූඩු තනන්නට කතා බහ කරනවා' යැයි අපේ රටේ ප්‍රකට කියමනක් තිබේ. දැන් එළැඹ තිබෙන්නේ කූඩු තනනන්නට කතා කරන කාලයයි. වැස්ස පෑයූ විට වඳුරන්ට කූඩු හදන කතා අමතක වේ. නිදහසින් පසු ගතවූ වසර 60 ම ගතවී ගියේ එපරිද්දෙනි.

පරිසරය මිනිසාට බැට දෙන්නේ මිනිසා පරිසරයට සිදුකරන අප්‍රමාණ හානි නිසාය. මෙවර මෝසම් වැස්ස සාමාන්‍ය තත්ත්වයට වඩා බරපතළ විය. කළුතර දිස්ත්‍රික්කයේ බස්නාහිර බෑවුමේ සමහර ප්‍රදේශවලට වැටුණු වැස්ස මිලිමීටර් 600 ඉක්ම වීය. අවිධිමත් සංවර්ධනය නිසාත් මිනිසාගේ අධි පරිභෝජනය නිසාත් එවැනි දැඩි වර්ෂාපතනයක් රඳවා ගන්නට සමත් වනාන්තර අද දකින්නට නැත.

වර්ෂාව ඇදහැලුණු සැණින් පහත් බිම් කරා ජල කඳ ගලා පැමිණ ගංවතුරෙන් ගම්බිම් යටවේ.
පෙර රජ දවස ජල රඳනයන් සේ ක්‍රියාකළ වැව් අමුණු, ඇළ ‍ෙදාළ ගොඩකර නිවාස ඉදිකර ඇති බැවින් ජීවිත වනසමින් පිටාර ගලනවා හැරෙන්නට ගංගාවන්ට වෙනත් විකල්පයක් ඇත්තේ නැත. ප්‍රදේශයේ භූරූපණ වෙනස් කොට, ඇළ මාර්ග හරහා ඉඩම් ගොඩකර බැමි බැඳ ඇති බැවින් එක්රැස් වන ජලය දින ගණනාවක්ම ගම්බිම් යටකොට රැඳී පවතී. ජල මාර්ග හරස් කර සිදුකර තිබෙන අනවසර ඉඩම් ගොඩකිරීම් ඉවත් කරන බවට ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වුවද බලධාරීන් වැස්ස පෑයුවාට පසු ක්‍රියා කරන්නේ ඒවා අමතක කර දමමිණි.

නියඟය, සෝදාපාළුව මෙන්ම නායයෑමද පාලන ක්‍රමයේම අනිටු විපාකයකි. මෙවර වැඩි ජීවිත හානි සිදුවූයේ නායයෑමෙනි. කඳු මුදුන් හෙළි පෙහෙළි කිරීමත් වනාන්තර විනාශයත් නායයෑම්වලට ප්‍රධාන හේතුවක් විය. මේ ඛේදවාචකයන්ට පාලකපාලිත දෙපක්ෂයම වගකිව යුතුය. බි්‍රතාන්‍ය පාලන සමයේ වැවිලි ආර්ථිකය සඳහා ස්වාභාවික වනාන්තර විනාශ කළා සේම ඉකුත් වසර කිහිපය තුළ අපි කඳු මුදුන්වල, සුද්දා ඉතිරි කරගිය වනාන්තරද විනාශ කොට අද එහි ප්‍රතිඵල මෙසේ භුක්ති විඳිමින් සිටිමු.

රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ තැන්හි සිදුව තිබුණේ නායයෑම් නොව මහාමාර්ගවලට පස් කඳු කඩා වැටීම්ය. නවීන යන්ත්‍ර මඟින් සෘජු බෑවුම් සහිතව කඳු කපා තිබූ බොහෝ මාර්ගවල කඳු කඩා වැටීම නිසා මාර්ග අවහිර වීම කැපී පෙනුණි. ගංවතුරට යටවන ප්‍රදේශ දෙකක වැලිපැන්න සහ කොක්මාදුව අධිවේගී මාර්ග පිවිසුම් තනා වැසි දිනවලට වසා දැමීම තවත් විහිළුවකි.

ශ්‍රී ලංකාව සොබා දහමත් සමඟ කරන ක්‍රීඩාව දැන්වත් නතර කළ යුතුය. තවත් එකදු වනාන්තරයක් එළි නොකරන්නට, ගසක් නොකපන්නට පාලකයන් වග බලා ගත යුතුය. කෙත්වතු සරු කරමින් ඇළ ‍ෙදාළ ගංගාවලට නිදහසේ ගලන්නට ඉඩදිය යුතුය. අවිධිමත් සංවර්ධනය තුළින් මහ පොළවට කරන රිදවීම් නතර කළ යුතුය. එසේ නොවනතාක් කල් දඬුවම් ලැබෙන්නේ පොදුවේ රටේ මහ ජනතාවටය. රටක ආණ්ඩුවක් තිබෙන්නේ ගහකොළ, ඇළ, ‍ෙදාළ, ගංගා, සතා සිවුපාවා මෙන්ම මහජනතාවද රැකගන්නටය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon