කැබිනට් සංශෝධනයේ ගුණාගුණ

  👤  5133 readers have read this article !
2017-05-28

කැබිනට් සංශෝධනයක් පිළිබඳ අදහස් ඉදිරිපත් වී තිබුණේ වත්මන් ආණ්ඩුව පිහිටුවා මාස කිහිපයක් ඇවෑමෙන්ය. එහෙත් සුළු වෙනසක් හෝ සිදු වූයේ සඳුදා ඇමැතිවරුන් 9 දෙනකුගේ
විෂය පථ රැසක් මාරු කරමින් සහ එකතු කරමින්ය. මේ අතර කැබිනට් සංශෝධනයක් යළි සිදු විය හැකි බව කබීර් හෂීම්ද දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේය.

කැබිනට් සංශෝධනය සඳුදා සිදුවන නිසා ඒ සම්බන්ධයෙන් තමන්ට සාකච්ඡා කිරිමට අවශ්‍ය බව එජාප මැති ඇමැතිවරුපිරිසක් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව ඉරිදා රාත්‍රි 9ට පසු අගමැති ප්‍රමුඛ එජාප මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී වැඩි අවධානයක් යොමු වූයේ රවි දරමින් සිටි මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙනි. "එතකොට මම මාරු කිරීමද ඔය සංශෝධනයේ අරමුණ?" රවි එහිදී විමසීමක් කළේය. මුදල් අමාත්‍යාංශයට අයත්ව තිබූ ආයතන රැසක් එහිදී රවි ඉල්ලා සිටියේය. එහෙත් ඒ පිළිබඳ ජනාධිපති සමඟ සාකච්ඡාවට නොගැනුණු බව එහිදී අගමැතිවරයා සඳහන් කළේ රවිගේ අපේක්ෂා භංග වෙද්දීය.

මේ සාකච්ඡාව ගැන ඉඟි වැටුණු ශ්‍රී ලනිප මැති ඇමැතිවරු පිරිසක් රවිට වෙනත් ආයතන ලබාදීමට විරෝධතාව පළ කර සිටියහ. කැබිනට් සංශෝධනය කළේ තිබෙන චෝදනා නිසයි. ඔවුන්ට යළි තිබුණු ආයතන පැවරීමෙන් එහි අරමුණට හානි සිදුවන බව ෆයිසර් මුස්තාපා ඇතුළු ඇමැතිවරු රැසක්ම එහිදී පෙන්වා දුන්හ.
සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව ආණ්ඩුවද එතරම් සෑහීමකට පත් වී සිටින බවක් පෙනෙන්නට නැත. තනතුරක් බලාපොරොත්තුවෙන් පැමිණ සිටි බොහෝ දෙනකු ගියේ මූණ කළු කරගනිමින්ය. අනුර කුමාර මේ කැබිනට් සංශෝධනය හැඳින්වූයේ "කරවල කෑල්ලක් ගෙන යන බළලාට උම්බලකඩයකින් දමා ගැසීමක්" ලෙසින්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පැමිණි පසු රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුර රැසක වෙනසක් සිදුවීමටද නියමිතය. ඒ අතර නියෝජ්‍ය මුදල් අමාත්‍යධුරය ආචාර්ය හර්ෂ ද සිල්වාට හිමි වන බව එජාප ආරංචි මාර්ග සඳහන් කළේය.

අමාත්‍යාංශවලට අයත් විෂයපථ ගැසට් කිරීම බ්‍රහස්පතින්දා වන විට සිදුවීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේය. ඒවා වෙන් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති සහ අගමැති එක්ව ගැනීමට නියමිතය. මේ අතර ඇමැතිවරුන් සහ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරුන් රැසක් අගමැති මුණගැසී දුක්ගැනවිලි ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සති අන්තයේ සති දෙකක පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට යෑමට ලක ලැහැස්ති වූයේ කැබිනට් සංශෝධනයේ උණුසුම ගංවතුරින් තාවකාලිකව පහව යද්දීය. ඒ අතර බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයට රාජකාරි කටයුතු කිහිපයකට පැමිණි අගමැතිවරයාට එජාප මැති ඇමැතිවරුන් රැසක් සමඟ සුහද සාකච්ඡාවකට අවස්ථාව උදාවූයේය. "ඇමැති මාරුව ලොකු වැස්සක් වැහැලා පෑව්වා වගෙයි. රවි ගිහින් පසු පෙළ වාඩිවෙයි කියලා විපක්ෂය බලාගෙන හිටියා" කිරිඇල්ල කීවේය. "අපට තිබුණු වරාය ශ්‍රී ලනිපයට යෑමයි ඒ පැත්තෙන් කිහිප දෙනකුට අලුත් වගකීම් ලැබීමයි එජාප පසු පෙළට මොකුත් නොලැබීමයි එක්ක රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සාධාරණ කනපින්දම් ගැනයි දැන් පොඩි කතා යනවා. ඒ සුළු ගැටලුවත් විසඳන්න පුළුවන්නම් වටිනවා" විජයදාස පෙන්වා දුන් කාරණය සෙසු අයද අනුමත කළහ. "හැම දේම විසඳන්න ඕනෑ. මේ කැබිනට් සංශෝධනය යුද්ධයක් වේවි කියලා හිතුවත් දැන් ඒ ලොකු ප්‍රශ්නය ඉවරයි. අපට දැන් ලොකු ගමනක් යන්න පුළුවන්" අගමැතිවරයා පෙන්වා දුන්නේය.

"මංගල දාලා ජනමාධ්‍ය මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා කියලත් සමහරු වැරැදි පණිවුඩ පතුරනවා" දයා ගමගේ තවත් කාරණාවක් මතු කළ අතර "ජනමාධ්‍යවලට දැන් තියෙන නිදහස වැරැදි විදියට භාවිත කරන කෙනෙක් ඉන්නවා නම් රට ඇතුළෙ ආගම්වාදය, ජාතිවාදය පතුරුවන්න හදනවා නම් ඒවා නිවැරැදි කිරීම රජයේ වගකීමක්". ඊට අගමැතිවරයා දුන්නේ එවැනි පිළිතුරුකි. "පළාත් පාලන ආයතන විසුරුවලා මැයි 31ට අවුරුදු 2ක් වෙනවා. මේ ඡන්ද සීමාව ඉක්මවා කල් දැමීම ගැන ජනතාව වගේම අපිත් එකඟ නැහැ." රන්ජන් අගමැති දෙස බලා කීවේය. ඊට පිළිතුරු නොදුන් අගමැතිවරයා "සති දෙකකට ඇමෙරිකා ගියත් දවස් දෙක තුනක් වැඩ කරලා ඉතුරු ටික නිදා ගන්නවා. දැන් මට බෑග් ටික සූදානම් කර ගන්නත් ඕන" යයි එම සාකච්ඡාවට සමු දෙමින් කීවේය.

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් අඟහරුවාදා පෙරවරුවේ විජේරාම මාවතේ නිල නිවෙසට ගොස් හිටපු ජනපති මහින්ද හමුවී ඒ ගැන කතා කරන්නට වූහ. "ආණ්ඩුව ගෙදර යන හැරවුම් ලක්ෂ්‍යය තමයි ඔය සංශෝධනයෙන් පේන්න තියෙන්නෙ. ඕකෙන් සතුටු වෙන්නෙ කීයෙන් කී දෙනාද? හරියට 'අතීසාරයට අමුඩය ගැසීමක් වගෙයි' මහින්ද එහිදී කීවේය.

"මේ ආණ්ඩුවේ අය ගංජා ගහල වගෙයි. මෝඩ චූන් තමයි ගන්නෙ. වැරැදි කරන අය ඉවත් කරනව කිව්වට ඒ අයට තනතුරු දීලා රාජපක්ෂ මඩ මෝල පටන් ගන්න හදනවා" කුමාරසිරි හෙට්ටිගේ තවත් කරුණක් මතු කළේය. ඊට එක්වූ නාමල් "මඩ ගහලා දැන් අපට රිදවන්න අමාරුයි. පසුගිය අවුරුදු දෙකහමාරටත් කළේ මඩ ගැහිල්ල තමයි. ආණ්ඩුව ගෙදර යවන්න දැන් මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නෙ" කීවේය.

"මට මඩ ගහන අය ගැන මගේ කිසි තරහක් නැහැ" මහින්ද කීවේය.
පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමේ අරමුණින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බදාදා පාර්ලිමේන්තුවට ගියේය. එහිදී ඔහු වටකරගත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න, සිසිර, පියල්, පද්ම, ලොහාන්, චානක ආදී මන්ත්‍රිවරු පිරිසක් කතාබහක නියැළෙන්නට වූහ. ඔවුන්ගේ මාතෘකාව වූයේ ඊට දින දෙකකට පෙර සිදු වූ කැබිනට් සංශෝධනයයි. 'අන්න මහින්ද අමරවීර කියල තියෙනවා කැබිනට් සංශෝධනයෙන් පස්සේ ඔබතුමාට අලුත් මාතෘකා සොයා ගන්න වෙයි කියලා. පියල් කීවේ ප්‍රසන්න රණතුංග දෙසට හැරෙමින්ය.' ඔව්, මමත් දැක්කා. හැබැයි අපට නම් ඕන තරම් මාතෘකා තියෙනවා. ඒත් ඒ අයට නම් වෙන්නෙ ඉස්සරහට හැංගෙන්න තැන් හොයාගන්න තමයි' ප්‍රසන්න ඊට උත්තර දුන්නේය' කැබිනට් සංශෝධනය හින්දා ආණ්ඩුව ආයෙත් අනා ගත්තා' යැයි කීවේ සිසිර ජයකොඩි විසින්ය. 'ඒක ඇත්ත, අන්තිමේදී නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. අමරවීරල, දයාසිරිල මහ ලොකු වෙනසක් වෙනව කිව්වත්, අන්තිමට සිදුවුණේ ඇස්බැන්දුමක් විතරයි' ප්‍රසන්න යළි කියා සිටියේය. 'මුදල් අමාත්‍යාංශය යටතේ තිබුණු ආයතන ගණනාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයට පවරගෙනලු. 'පද්ම උදයශාන්ත තවත් කතාවක් ඉස්මතු කළ අතර ඊට පිළිතුරු දෙමින් සිසිර ජයකොඩි' විදේශ කටයුතු අමාත්‍යාංශයට ලොතරැයි මණ්ඩල දෙකයි, ශ්‍රී ලන්කන් එකයි. වැවිලි සමාගමකුයි පවරන්න කියල රවි ජනාධිපතිතුමාට කියල එකඟතාවක් ඇති වෙලා' යැයි කීවේය. 'මේ කැබිනට් මණ්ඩල සංශෝධනය ජනතාව නොමඟ යැවීමට සිදු කළ එකක් විතරයි. හිසරදයට කොට්ටය මාරු කරලා හරියන්නේ නැහැ' හිටපු ජනපති මහින්ද කීවේය.

මේ අතර පද්ම උදයශාන්ත මන්ත්‍රිවරයා තවත් කරුණක් මතු කෙළේය. ඒ උෟව වෙල්ලස්සෙන් ඇමෙරිකාවට ඉඩම් විකිණීමට ඇති සූදානමක් සම්බන්ධයෙන්ය. 'අපේ කාලයෙත් ඔය යෝජනාව ආවා. හැබැයි අපි ඒකට කැමැති වුණේ නැහැ.' යූඇන්පී ආණ්ඩුවක් බලයට පත් වුණාම හැමදාමත් සිදු වුණේ අපේ රටේ සම්පත් විකුණන එක විතරයි. බණ්ඩාරනායක මහත්තය එළියට බැස්සෙත් ඒවට විරුද්ධවයි' හිටපු ජනපති මහින්ද උත්තර දුන්නේය. 'ඒ වුණාට සර් බණ්ඩාරනායක ප්‍රතිපත්ති රකිනවා කියල දහ අතේ දිවුරපු අපේ අයත් මේවට උල්පන්දම් දෙන එකනෙ පුදුමෙ' යැයි කීවේ ප්‍රසන්නයි.

ශ්‍රී ලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අඟහරුවාදා රාත්‍රියේ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල නිවෙසේදී පැවැත්විණි. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය.

සකස් කෙරෙමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ අවධානයක් යොමු වී තිබිණි. බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි තැන නොවෙනස් කිරීමටත් ඒකීයභාවය නොවෙනස්ව පවත්වා ගැනීමටත් අවශ්‍ය බව ඔවුන්ගේ තීරණය විය. විධායක ජනාධිපති බලතල ඉවත් කළොත් එය රටේ ස්වෛරීත්වයට තර්ජනයක් විය හැකි බවද ඔවුන්ගේ අදහස් වූයේය. ඒත් ඒ පිළිබඳ මැති ඇමැතිවරුන්ගෙන් විවිධ අදහස් ඉදිරිපත් විය. ඒ අතර කුමාර වෙල්ගමගේ යෝජනාව ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. 'අපි විධායකය අහෝසි කරන්න පොරොන්දු දී තිබෙනවා. ඉතා ඉක්මනින් කළ යුතුයි' ඔහු කීවේය.

එහෙත් වෙල්ගම එසේ ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂව
විධායක අගමැති ධුරයට පත් කිරීමට බව සෙසු අයගේ අදහස් විය. 'පුහුල් හෝරා කරෙන් දැනෙනවා' කියමින් ඇතැමෙක් උස් හ¾ඩින් ඔහුට චෝදනා කළේය. එහෙත් එහිදී 'පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් විධායකය අහෝසි කරන්න. මට ප්‍රශ්නයක් නැහැ' ජනාධිපතිවරයා කීවේය. 'නෑ... නෑ... ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕන නැහැ. එහෙම තියෙද්දෙන්' එස්.බී. කීවේ එවැනි කතාවකි.

මේ අතර බේරුවල ශ්‍රී ලනිප සංවිධායක අම්ජාඩ් අදහස් දක්වමින් මුස්ලිම් ජනතාවට පීඩා සිදුවන බව කියා සිටියේය. උතුරුමැද පේෂල ජයරත්නද එය අනුමත කරමින් අදහස් දැක්වීය. "සුද්දන්ගේ කාලෙත් මේ රට බෙදලා පාලනය කළා වගේ දැනුත් කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්න අඩු වෙනවා." ඕලිත ප්‍රේමතිරත්න පැවසීය. මේ කතාබහ මඟින් ආණ්ඩුවට එල්ල කරන චෝදනාවලට ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගියේය. 'ඕවා මට කියන්න ඉස්සෙල්ලා පොලිස්පතිට කියන්න, පොලිස්පති කළේ නැති නම් ඇමැතිට කියන්න' ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි අසත්‍ය පුවත් පළ කරන බවටද මෙහිදී අවධානය යොමු විය. 'මේවා කිසිදු විභාගයක් නැතිවයි වැඩ කරන්නේ. ඉන්දියාව, තායිලන්තය වැනි රටවලත් චීනෙත් මේවා දැඩි ලෙස පාලනය වෙනවා. අපිත් ඒවගේ තීරණයක් මඩගහන වෙබ් අඩවිවලට විරුද්ධව ගත යුතුයි' එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

කාන්තා කටයුතු පිළිබඳ ආංශික කාරක සභාවේ විශේෂ වැඩමුළුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ එම ආංශික කාරක සභාවේ සභාපතිනි වෛද්‍ය තුසිතා විජේමාන්න මන්ත්‍රිවරියගේ මූලිකත්වයෙන්ය. චන්ද්‍රානි බණ්ඩාර, සුමේධා ජී. ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඇතුළු පිරිසක්ද ඊට එක් වී සිටියහ. පාසල් සිසුන්ට ප්‍රජනන අධ්‍යාපනය ලබාදීමේ ප්‍රතිපත්ති සම්පාදනය ගැන එහිදී පුළුල් ලෙස සාකච්ඡා සිදු වූහ. එම වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ කතානායක කරු ජයසූරියයි. ආංශික කාරක සභා ක්‍රියාවලිය මඟින් කවර අමාත්‍යාංශයකට අයත් විෂය පරාසයක් කෙරෙහි වුවද පුළුල් අවබෝධයකින් යුතුව තීන්දු ගැනීමට හැකියාව ඇති බවත් විවිධ පාර්ශ්වයන්ගේ අදහස් පිළිබඳ සැලකිල්ලට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවත් එහිදී කතානායකවරයා සඳහන් කෙළේය.

ජාතික රණවිරු සැමරුමට සමගාමීව මොරටුව ලුනාව ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන පරම වීර විභූෂණ රණවිරු ප්‍රතිමාවේ වැඩ කටයුතු පසු ගිය සතියේ ආරම්භ කෙරුණේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්ය. යුද්ධයේදී වීර සොල්දාදුවන් ලෙස සටන් කළ හමුදා නිලධාරීන් එක්ව තම මියගිය සගයන් වෙනුවෙන් මෙවන් කර්තව්‍යයක් ඉටු කිරීම යම් කාලයක හමුදා නිල ඇඳුම දරා සිටි සොල්දාදුවකු ලෙස තමන්ට අභිමානය දනවන්නක් බව එහිදී කරු ජයසූරිය සිහිපත් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කෙරුණු ව්‍යවස්ථාදායක මණ්ඩලය බදාදා සිට දින තුනක් රැස් විය. ඒ මෙහෙයුම් කමිටු 7න් ලද යෝජනා සාකච්ඡා කිරීම සඳහාය. එහිදී රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් යෝජනා 12ක්ද, බුදු දහමට ප්‍රමුඛතාව දීම සම්බන්ධයෙන් යෝජනා 9ක්ද ඉදිරිපත් වී තිබිණි. එහෙත් ශ්‍රී ලනිප, ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජාතික හෙළ උරුමයද දැඩිව අවධාරණය කළේ ඒවා වෙනස් නොකරන ලෙසයි. 'ඒකීය භාවය ඉවත් කරනවා නම් ෆෙඩරල් කියල ඇතුළු කරන්න' ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ්

හා ප්‍රසන්න කීවේ එතකොට ඊට පක්ෂ හා විපක්ෂ අයගේ නියම ස්වරූපය පාර්ලිමේන්තුවේදී දැක ගත හැකි වන බවයි. නමුත් එවැනි කිසිවක් ඇතුළු නොකොට ඒ ගැන අවසන් තීරණය ගැනීම පාර්ලිමේන්තුවට යොමු කිරීමට එහිදී යෝජනා විය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ සම්පන්දන්් හා සුමන්දිරන් දැඩි ලෙස ඒකීයභාවය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවට තර්ක කළහ.

මේ අතර ව්‍යවස්ථාව පාර්ලිමේන්තු බලයකින් පමණක් වෙනස් කිරීමට ආණ්ඩුවට බලයක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කළේය. ඒත් එජාප හා ජවිපෙ නියෝජිතයන්ගේ අදහස වූයේ ජනවාරි 8 වැනිදා එවැනි බලයක් ජනතාව ලබාදී ඇති බවයි.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පසුවට තබා මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කිරීමට අවශ්‍ය බව ශ්‍රී ලනිපයෙ අදහස විය. එම පක්ෂය නව ව්‍යවස්ථාව ගැන යෝජනා ඉදිරිපත් කිරීම පසුව සිදු කරන බවද දැනුම් දුන්නේය. සාකච්ඡා තෙදිනක් පැවැත් වුණද එය අසාර්ථක බව ඊට එක්වී සිටි නියෝජිතයන් කිහිප දෙනකුගේ අදහස විය. කල් වැරීමක් මිස නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු ඉක්මනින් සිදු නොවන බවද එම තොරතුරු අනාවරණය කෙළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු යොවුන් ගම්මානයට තිස්සමහාරාම, වීරවිලවත්තේදී සජිත් අතින් මුල්ගල් තැබුණේ ඉකුත් ඉරිදාය. 'සියවිරුගම' යනුවෙන් නම් කර ඇති එය වත්මන් රජය යටතේ ඉදිවන තුන්වැනි යොවුන් ගම්මානය මෙන්ම උදා ගම්මාන වැඩපිළිවෙළේ 418 වැනි උදා ගම්මානයද වෙයි. වයස අවුරුදු 18-35 අතර විවාහක අනු පවුල් 27කට එහි නිවාස තනා ගැනීමට හැකි වේ. සුබ මොහොතින් ගම්මානයේ වැඩ අරඹා අනතුරුව එහි සිටි යෞවන යෞවනියන් සමඟ පිළිසඳරේ යෙදුණු සජිත්ට එම පිරිස කීවේ හැඟුම්බර කතාවකි. 'සර් මැදිහත් වෙලා මේ වැඩේ පටන් ගත්තා මිසක් කවුරුවත් අපි දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ. අපි හැමදාම දේශපාලන ෆුට් බෝලයක් වුණා විතරයි. එක එක්කෙනාට පාප්ප බාල්දි අරන් අපි කොච්චරක් කියල ඇවිදල තියෙනවාද? නැති බැරි දුප්පත් පන්තියේ අපිට ඉඩම් කෑල්ලක්, ගෙයක් කියන්නෙ අති වැදගත් දෙයක්. අපිට ගෙවල් හදන්න තිබුණු අක්කර 7,000ක් පසුගිය කාලෙ අමු අමුවේ කොල්ල කෑවා. පෝසත් උදවියට කාර් රේස් පදින්ඩ තැනක් හදන්න කියලා. දැන් නම් අපිට ජීවිතේ ගැන පුංචි පහේ බලාපොරෙ

ත්තුවක් තියෙනවා සර්' කියා කියද්දී සජිත් කීවේ, ' අපි පක්ෂ පාට බලන්නේ නැතිව සුදුස්සන් තේරුවා. 'යහපාලනය' කියන්නෙ මේක තමයි' කියායි.

ජවිපෙ දේශපාලන මණ්ඩලය සඳුදා පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී රැස් විය. එහිදී ඔවුන්ගේ දැඩි අවධානයක් යොමු වූයේ උත්සන්න වෙමින් ඇති ජාතිවාදී ප්‍රවණතා සම්බන්ධයෙන්ය. 'පසුගිය ආණ්ඩුව කාලෙ වගේම ආයෙත් ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්න පටන් අරගෙන. විවිධ සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. මේවට හරි විදියට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැති නිසා නැවත ජාතිවාදී ප්‍රවණතා උඩට මතු වෙනවා' ටිල්වින් සඳහන් කර සිටියේය.

මේ අතර පසුගියදා කටාර් රාජ්‍යයේ නිල චාරිකාවක යෙදී සිටියදී තමන් මුහුණ දුන් අත්දැකීමක් විජිත හේරත් විස්තර කෙළේය. 'මම කටාර්වලදී ලාංකිකයන් පවත්වාගෙන යන මිශ්‍ර පාසලකට ගියා. ඒකෙ ළමයි දෙදහසකට ආසන්න පිරිසක් ඉන්නවා. වෙසක් උත්සව ක්‍රියාකාරකම්වලට සහභාගි වුණු
ළමයින්ට මම තෑගිත් දුන්නා. විශේෂම කාරණය වුණේ බෞද්ධ නාට්‍ය රඟපෑවෙ මුස්ලිම් ළමයි. බෞද්ධ ගීත ගායනා කළේ දෙමළ ළමයි. එහේ මිනිස්සු සමඟියෙන් ජීවත් වෙනවා. මෙහේ මිනිස්සු ජාතිවාදය වපුුරනවා' ඔහු කීවේය. 'ඔව් සමහර සිදුවීම්වලට ආණ්ඩුව නිශ්චිත මැදිහත්වීමක් කරනව නම් ජාතිවාදී ගැටුම්වලට නොගිහින් ඒවා වළක්වන්න පුළුවන්. නමුත් ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නැති නිසා ජාතිවාදී පැත්තට තල්ලු වෙනවා' 'අනුර කුමාර පෙන්වා දුන්නේය.

කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා පෙරවරුවේ පැවැත්වුණේ කැබිනට් සංශෝධනයේ උණුසුමත් සමඟින්ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට අගමැති ඇතුළු ඇමැතිවරු බොහෝ දෙනෙක් එක්ව සිටියහ. එහෙත් එහිදී අනුමත කෙරුණේ කැබිනට් පත්‍රිකා 9ක් පමණි. කැබිනට් මණ්ඩල රැස්වීම පැයකටත් අඩු වේලාවකට සීමා වීම ඊට හේතුවයි. ජනාධිපති සිරිසේන තෙදින ඕස්ට්‍රේලියා නිල චාරිකාවකට එදින පිටත්ව යෑමට නියමිතව සිටීම ඊට හේතුවයි. "ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවී තිබෙනවා. මේවා පාලනය කරන්න පොලිසිය ඇතුළු රජය අපොහොසත් වෙලා. මේවට තවත් උත්සන්න වීමට ඉඩ නොදීම රජයේ වගකීමක්" එහිදී මනෝ ගනේෂන් ආවේගාත්මකව කතාවක් කළේය. "මේ වගේ දේවල් කිසිසේත්ම සිදුවිය යුතු නැහැ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ ගැටලු ඇති වන්නේ නැහැ. පොලිසියේ දුර්වලතාව තමයි මේකෙන් පේන්නේ" ජනාධිපතිවරයා චෝදනා කළේ පොලිසිය භාර ඇමැති සාගල ඉලක්ක කර ගනිමින්ය. එය පිළිගත් සාගල "මේ තත්ත්වය දින දෙකක් තුළ මැඬපවත්වන්න ක්‍රියා කරනවා" එහිදී ප්‍රකාශ කළේය. මේ අනුව ජාතිවාදී ගැටුම් ඇතිවූ අවස්ථාවල එය මැඬපැවැත්වීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයාට බලය පැවැරීමටද කැබිනට් මණ්ඩලය එකඟ වූයේය.

හාල් මිල පාලනයකින් තොරව වෙළෙඳ පොළේ පැවැතීම ගැන මෙහිදී ජනාධිපතිවරයා රිෂාඩ් ඇමැතිවරයාට චෝදනා කළේය. ඒ සාකච්ඡාවෙන් පසුව සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීමටද එහිදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. එම අවසරය පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබාදීමටද නියමිතය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක එම තනතුරින් ඉවත් කිරීමටද මෙහිදී යෝජනාවක් ඉදිරිපත් විය. එහෙත් ශ්‍රී ලනිප ඇමැතිවරුන් ප්‍රකාශ කළේ සීගිරිය පරිශ්‍රයේ හෝටලයක් ඉදිකිරීමට ඔහු අනුමැතිය ලබා නොදුන් නිසා ඔහු ඉවත් කිරීමට එම යෝජනාව ඉදිරිපත් වී ඇති බවකි.
"නෑ, ඔහුගේ අඩුපාඩු තියෙනවා" එහිදී කබීර් පෙන්වා දුන්නේය. ඒත් තවදුරටත් ඔහු පිළිබඳ විමර්ශනය කොට ඒ සම්බන්ධ තීරණයක් ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රට තුළ ජාතිවාදී ප්‍රවණතා ගැන යළිත් බොහෝ දෙනකු උනන්දු වී ඇත. මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන් ඒ පිළිබඳ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් දන්වා ඇත්තේ සංවිධානාත්මක ලෙස තම ජනතාවට හිරිහැර වන බවයි. පසුගිය සිකුරාදා (19දා) මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට රැස්වී එම මුස්ලිම් ඇමැතිවරු ඉදිරියේදී දැඩි තීරණ ගත යුතු බවට කතිකාවක් කළහ.

ජාතිවාදී ක්‍රියා ඇතිවීම් සම්බන්ධයෙන් රජයේ ඇතැම් පාර්ශ්ව චෝදනා කරන්නේ බොදු බල සේවාවටත් එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටත්ය. ගැටුම් ඇතිවීමට පෙරාතුව පෙන්වා දෙන කරුණු ගැන රජය අවධානය යොමු නොකරන බව බොදු බල සේනාවේ ප්‍රබලතම චෝදනාවයි. මේ අතර පොලිසිය ගැටුම් ඇතිවීම් පාලනය කිරීමට අසමත්වී ඇති බවට පොලිසියට විෂය භාර ඇමැති සාගල ද ‍ෙදාස් පවරා දී තිබේ.

මේ අතර උසාවි නියෝගයක් බ්‍රහස්පතින්දා ලබා ගත් පොලිසිය ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 4ක් යොදවා තිබිණි. බොදු බල සේනාව වෙනුවෙන් කොටුව මූලස්ථානයට ගිය භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් ජාතිවාදය ඇති කරන ශිවාජිලිංගම් වැනි අය ගැනත් සංවිධානාත්මක ලෙස ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කරන මුස්ලිම් මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස ගැනත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටත් චෝදනා කොට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. මේ අතර ජාතිවාදී ක්‍රියා මැඬලීමට රජය පොලිස් ස්ථානාධිපතිවරුන්ට බලය පවරා තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා එහි නායක, විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිට ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී කැබිනට් අනුමැතිය ද ලබාගෙන ඇති යෝජිත දේශීය ආදායම් පනත මුලින්ම සාකච්ඡා කෙරිණි.
2017 මැයි 2දා සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය නව දේශීය ආදායම් පනතක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. මෙමඟින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුළුමනින්ම අකර්මණ්‍ය කර එම කාර්යය මුළුමනින්ම පෞද්ගලික අංශයට පැවැරීමත් මේ රටේ සෑම පුරවැසියකු මතම අධික බදු බරක් පැටවීම සඳහා නව බදු ක්‍රමවේද හඳුන්වා දීමටත් නියමිතයි." ජයන්ත සමරවීර කීවේය.

"මේ යෝජිත දේශීය ආදායම් පනත කොතරම් විසකුරු වුවත් ඒ ගැන රටේ ජනතාව දන්නේ නැහැ. ඒත් ඒකට දැන් කැබිනට් අනුමැතිය ලැබිලත් ඉවරයි. නිල විපක්ෂයත් මේ පිළිබඳව කටක් අරින්නේ නැහැ. අපි මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වහාම පටන් ගන්න ඕනේ." නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක පෙන්වා දුන්නේය.

ඊළඟ දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වා ඒ පිළිබඳව රට හමුවේ තැබීමටත් ඉදිරියේදී පක්ෂය විසින් "සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසනා ලක් මව" යන තේමාව යටතේ පවත්වන ජනතා සම්මන්ත්‍රණවලදී මෙම කරුණු තවදුරටත් ජනතාව වෙත රැගෙන යෑමටත් ජානිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කළේය.

පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව බදාදා රැස්විය. ඒ එහි සභාපති ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන්ය. එදින විමර්ශන සඳහා කැඳවා තිබුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි. සිසුන් මුහුණ දී සිටින දැඩි නේවාසිකාගාර ප්‍රශ්නයට විසඳුමක් ලෙස පසුගිය ආණ්ඩුව නව නේවාසිකාගාර 60ක් ඉදි කිරීමේ කටයුත්තක් ගැන එහි දී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ අනුව රුපියල් මිලියන 221ක් වැය කොට හම්බන්තොට වැලිගත් ප්‍රදේශයේ කාමර 100කින් යුතු නේවාසිකාගාරයක් ඉදි කොට ඇති බව අනාවරණය කෙරිණි. එහෙත් එය මේ වන තුරුත් සිසුන්ගේ ප්‍රයෝජනයට ලබා දී නොමැතිවීම පිළිබඳ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අවධානය යොමු විය. ඊට හේතුව කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව එහි ඉදිකිරීමට නියමිතව තිබූ පටක රෝපණ පීඨය ඉදි නොකිරීමයි. 'පීඨයක් ඉදි කරන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් හරි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හරි අනුමැතියක් ලබාගෙන තිබෙනවාද? ගිණුම් කාරක සභාවේ සාමාජික බිමල් රත්නායක නිලධාරීන්ගෙන් විමසීය. නමුත් එවැනි අනුමැතියක් නොමැති බව එම නිලධාරීහු කියා සිටියහ. 'මේක පුදුම කතාවක්. පීඨයක් නැතිව හොස්ටල් හදලා. දැන් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙත් නැහැ' බිමල් රත්නායක කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග පසුගිය සෙනසුරාදා (20දා) දෙවැනි වරටත් ජනාධිපති මෛත්‍රිට ලිපියක් යොමු කෙළේය. 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ මුහුණ දී තිබෙන අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගැනීම' ලෙස එය නම් කොට තිබිණි. ශ්‍රී ලනිප සභාපති ධුරයෙන් ඉවත් වන ලෙස ඉන් යෝජනා කොට තිබුණේ මෛත්‍රිට චෝදනා රැසක් නඟමින්ය.

ප්‍රසන්න බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණෙද්දී පාර්ලිමේන්තු සංකීර්ණයේ දී බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රිවරුන් පිරිසක් මුණ ගැසුණේය. ඔවුන් සමඟ සුහද කතා බහක නියැළුණද ප්‍රසන්න ඇසුවේ 'කොහොමද යහපාලනය' යනුවෙන්ය. එහෙත් ආණ්ඩුව ගැන කලකිරීමක් ඇති බව ඔවුහු ප්‍රසන්නට කියා සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon