සොබාදහම, ආපදා සහ අපි

  👤  3077 readers have read this article !
2017-05-30

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ ඉකුත් 24 වැනිදා සිට ධාරානිපාත වැසි ඇදහැලෙන්නට විය. ප්‍රතිඵලය වූයේ දිස්ත්‍රික්ක 12ක්ම ගංවතුර තර්ජනයට මුහුණ දීමය. දිස්ත්‍රික්ක 6ක් නායයෑමේ අවදානමකට මුහුණ දී සිටී. දැනටමත් මරණ 177ක් සිදුවී ඇත. අතුරුදන් සංඛ්‍යාව 109කි. ගංවතුර හා නායයෑම් හේතුවෙන් පවුල් 1,12,565කට අයත් 5,57,505ක් පමණ පිරිසක් පීඩාවට පත්ව සිටිති.

මෑත කාලයේ ඇති වූ දරුණුම ගංවතුර තත්ත්වය මෙය ලෙස සැලකිය හැකිය. පසුගිය සතිය වන තුරු රටේ බොහෝ ප්‍රදේශ නියඟයෙන් පීඩාවට පත්විය. අද හෝ හෙට වැසි වැටේවායි බොහෝ දෙනාගේ ප්‍රාර්ථනය විය. දැන් වැසි නවතීවායි දහසක් දෙනාගේ ප්‍රාර්ථනය වනවා නිසැකය. සොබාදහමේ රීතිය කිසිවකුට වෙනස් කළ නොහැකිය. එහෙත් සොබාදහම සමඟ සහජීවනයෙන් සිටිනවා නම් විපත් අවම කර ගත හැකි වනවා නොඅනුමානය.

මීට අවුරුදු දෙක තුනකට පෙර හපුතලේ කන්ද නාය ගියේය. අනතුරුව අරණායක සාමසර කන්ද නාය ගියේය. කොළඹට දරුණු ගංවතුරක් ගැලුවේය. සාලාව ආයුධ ගබඩාව පුපුරා ගියේය. මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේය. මේ සියලු විපත්වලට මිනිසුන්ගේ වැරැදි ක්‍රියාකාරකම් බලපා තිබුණේය. විපත් අවම කර ගැනීමට නොහැකි වූයේ බලධාරීන්ගේ වරද නිසාය. ඇතැම් විපත්වල වගකීම සියයට සියයක්ම මිනිසුන්ගේය. සිදුවීමක් වූ විට එය බලධාරීන්ගේ පිට එනම්: ආණ්ඩුව පිටට පැටවීමට බොහෝ දෙනා කැමැතිය. එහෙත් අදාළ විපතට තම තමන්ද අඩු වැඩි වශයෙන් දායක වී ඇතැයි ඔවුහු නොසිතති.

අතීතයේ මෙවැනි ගංවතුර තර්ජන ඇතිවූයේ කලින් කලටය. නාය යෑම් වාර්තා නොවූ තරම්ය. එහෙත් වර්තමානයේදී වසරින් වසර ගංවතුර තර්ජන මතුවේ. නායයෑම් ද එයාකාරය. එනිසා ආපදා තත්ත්වයන්ට මුහුණදීමට අත්දැකීම් නැතැයි කිසිවකුට කිව නොහැකිය. සිදුවූ විපතකින් පාඩම් ඉගෙනගෙන ඉදිරියේ සිදුවන විපත් සඳහා කාට කාටත් ලක ලෑස්ති විය හැකිය. එහෙත් නොවන්නේද එයමය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් පිහිටුවා ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තිබේ. කුමන ආයතනයක් පිහිටුවූවද ආපදාවලට මුහුණදීමේ 'ජාතික' සැලැස්මක් රටට නැත. වැස්සට ගෙවල් හඳන වැද්දන් මෙන් විපතක් වූ විට සැලැසුම් ගැන කතා කරන බලධාරීහු විපත් අවදානම පහව ගිය පසු අලස සුව විඳිති. යළි සැලැසුම මතක් වන්නේ විපතක් වී ජීවිත හා දේපොළ විශාල ලෙස විනාශ වීමෙන් පසුවය.

මෙවැනි විපතක් වූ විට අද ද පළමුවෙන්ම සක්‍රිය වන්නේ සාමාන්‍ය ජනතාවය. ආරක්ෂක හමුදාවෝ ද විපතට පත්වූවන් වෙනුවෙන් කැපවී කටයුතු කරති. බොහෝ රජයේ නිලධාරීන් විපත්වලදී කැපවීමෙන් කටයුතු කරද්දී සුළු පිරිසක් චක්‍රලේඛවලට මුවා වී රාජකාරියෙන් කර අරිති. චක්‍රලේඛවලට කොටු නොවී වැඩ කරන්නැයි ජනාධිපතිවරයාට කීමට සිදුවී ඇත්තේ ඒ නිසාය. අනෙක් කාරණය වන්නේ, මෙවැනි විපත් ඇති වූ සැම අවස්ථාවකම 'චක්‍රලේඛ' හරස් වීමයි. කළ යුත්තේ මේ 'චක්‍රලේඛ' යාවත්කාලීන කිරීමය. ඒ පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අවධානය යොමු කිරීම වැදගත් වේ.

රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, සාමාන්‍ය ජනතාව සමඟ එක්ව ඒ ඒ ප්‍රදේශවල මහජන නියෝජිතයන් හෙවත් මන්ත්‍රිවරුන් වැඩ කරන්නේ නම් වඩා කාර්යක්ෂම ලෙස සහන කටයුතු සිදු කළ හැකිය. කනගාටුවට කරුණ වන්නේ 'මනාප' සොයා ගම්බිම් පීරන මේ ඊනියා මහජන නියෝජිතයන් නියඟය හෝ ගංවතුර විපත් පැමිණි විට ගම්බිම් පීරාගෙන නොපැමිණීමය. අපේ දේශපාලනඥයන්ට වඩා ලෝකයේ රටවල් ගුණවන්තය. ඉන්දියාව මේ වනවිට ආධාර නෞකා තුනක් එවන බව ප්‍රකාශ කර තිබේ. අනෙක් රටවලින්ද ආධාර ලැබෙනු ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සක්‍රියව සිය රාජකාරිය සිදු කරයි. ගොඩනැඟිලි හා ඉදිකිරීම් පරික්ෂණායතනය රාජකාරිය අකුරට ඉටුකරයි. එහෙත් ඉන් එහාට කටයුතු සිදුවන්නේ අක්‍රමවත්වය. අපිළිවෙළටය. ජාතික සැලසුමක් අවශ්‍ය වන්නේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon