එකමුතුකම විතරක් තිබුනට මදි...

  👤  3433 readers have read this article !
2017-05-31

"මෝරා" සුළි කුණාටුව බංග්ලාදේශය බලා යමින් තිබුණද තවමත් දිවයිනට වැටෙන වැසිවල අඩුවක් නැත. දිස්ත්‍රික්ක විසිපහෙන් ‍ෙදාළහක් ජල ගැලීම්වලට ගොදුරු වී තිබේ. ජීවිත හානි සිය ගණනකි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව සිටිති. අතුරු මාර්ග පමණක් නොව ප්‍රධාන මාර්ග රැසක්ද ජලයෙන් යටවී විදුලිය සම්බන්ධතා හා දුරකතන සේවා බිඳවැටී ඇත.

මෙවැනි ව්‍යසනයකදී මෙරට රාජ්‍ය තන්ත්‍රයට එකවර ක්‍රියාත්මක වීමට ශක්තියක් නැත. ඒ අන් කිසිවක් නිසා නොව ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපට නැති නිසාය. මෙවැනි ව්‍යසනයකදී රාජ්‍ය තන්ත්‍රයේ දුර්වලතා ඉස්මතු වුවද කැපී පෙනෙන්නේ පොදු ජනතාවගේ මැදිහත් වීමයි. විශේෂයෙන් ආරක්ෂක හමුදාව විපතට පත්වූවන් වෙනුවෙන් ලබාදෙන සේවය ප්‍රශංසනීයය.

විපතට පත් වූවන් ගලවා ගැනීමට ගොස් ගුවන් හමුදා නිලධාරියකු වන වයි. එම්. එස්. යාපාරත්න මිය ගියේය.

බද්දේගම ප්‍රදේශයේ ජනතාවට ආධාර රැගෙන යමින් සිටි හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක් වුවද හමුදා සාමාජිකයන්ට කිසිදු අනතුරක් සිදු නොවීමට වාසනාවන්ත විය. ආරක්ෂක හමුදා එලෙස කැපවීමෙන් වැඩ කරද්දී පොදු ජනතාවද විපතට පත් සහෝදර පිරිස් වෙනුවෙන් හැකි උපරිමයෙන් උදවු උපකාර කිරීමට ඉදිරිපත්ව සිටිති. මේ සහෝදරත්වය සුනාමි ව්‍යසනයේදී මෙන්ම දිගින් දිගටම සිදුවූ එවැනි ව්‍යසනවලදී කැපී පෙනිණි.

සුනාමි ව්‍යසනයෙන් පසු එවැනි ව්‍යසනයකට රට ගොදුරු වූවේ මෙවරය. සුනාමි තරම් බරපතළ නැතත් මේ ගංවතුර හා නාය යෑම් තර්ජනය සුළු කොට තැකිය නොහැකිය. එවැනි පසුබිමක අවතැන් වූ ජනතාව ආරක්ෂා කර ගැනීම උදෙසා ජන කොටස් ස්වේච්ඡාවෙන්ම පෙරට ඒම නිසා රාජ්‍ය යාන්තණ්‍රය ක්‍රියාත්මක වනතුරු බරපතළ තත්ත්වයක් ඇතිවීම වැළකී ගියේය. ඇත්ත වශයෙන්ම රජය මැදිහත් වන තුරු විපතට පත්වූවන් රැක බලා ගනු ලැබේ සෙසු ජනතාව විසිනි.

දිවයිනේ පොදු ජනතාව විපතට පත්වූවන් වෙනුවෙන් ආධාර එකතු කිරීමට මැදිහත් වූහ. රාජ්‍ය නොවන සංවිධාන, ග්‍රාමීය සමිති, සංවිධාන මාධ්‍ය ආයතනවල මෙහෙයවීමෙන් හා අනුග්‍රහයෙන් මේ කාර්යය සිදුවූ අතර ජනතාව නොපමාව ආධාර ලබාදීමට ඉදිරිපත් වූහ. ආණ්ඩුවට බැන බැන සිටින්නන්ට වඩා එලෙස ආධාර දීමට ඉදිරිපත් වූවන් රටක් වටින්නේය. අපේ රටේ තරම් සහෝදරත්වයක් ලෝකයේ සෙසු රටවල දක්නට නැතැයි ඇතැමුන් උදම් ඇනුවද අපට එකවරම එලෙස කිව නොහැකිය. එහෙත් මෙවැනි ව්‍යසනයකදී මෙරට පොදු ජනතාවගේ එකමුතුව විශිෂ්ටය. එය ලෝකයේ සෙසු රටවලටද ආදර්ශවත්ය. ප්‍රශ්නය වන්නේ එකමුතුකමින් මනුසත්කමින් අප ලෝකයට ආදර්ශයක් ලබා දුන්නද පිටරටවල, විශේෂයෙන් දියුණු රටවල ආපදා කළමනාකරණයේ අත්දැකීම් ලබා ගැනීමට කල්පනා කිරීම බුද්ධි ගෝචර බව නොකිවමනාය.

විපතකදී එකමුතු වනවා මෙන්ම විපත් අවම කර ගැනීමට සිතා බලා කටයුතු කිරීම අගනේය. එකමුතුකම හා සැලසුම එකට එකතු වුණොත් ආපදා පමණක් නොව සියල්ල කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇත. 'සැලසුම්' ගැන නම් අපට ඉගෙන ගැනීමට සිදුව ඇත්තේ පිටරටිනි. ඊට පමාවීම නම් නුවණට හුරු නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon