රටේ විපත සහ රථ ගාය

  👤  3741 readers have read this article !
2017-06-01

නියෝජ්‍ය ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරු කිහිපදෙනෙක් ඊයේ අලුතින් දිවුරුම් දුන්නෝය. ඉකුත් සතියේ සිදුවූ ඇමැති මාරුවට සමගාමීව මේ වෙනස සිදු කෙරුණු බව පැහැදිලිය. තවත් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුගේ ධුර මාරු වීමටද ඉදිරියේ ඉඩ තිබේ.

කාරණය අනෙකකි. කාලයක සිට කැබිනට් ඇමැතිවරුන් ඇතුළු මෙරට ඇමැති මණ්ඩලය තර වන්නට විය. මේ වන විට ලෝකයේ ලොකුම ඇමැති මණ්ඩල අතරින් ලංකාව ඉන්නේ මුල් තැනය. මැති ඇමැතිවරුන්ට දෙන වරප්‍රසාද වරදානවලින්ද ලංකාව කවදත් පෙරමුණේ සිටී. අලුත් ආණ්ඩුවක් පත්වූ විට මැති ඇමැතිවරුන් සඳහා අලුත්ම වාහන ආනයනය කරයි. අපේ රටේ වාහන හදනවා නම් කමක් නැත. සියල්ල ගේන්නේ පිටරටින්ය. විදේශ මුදල් සංචිතය අර්බුදයකට ලක්වී ඇති රටකට මෙලෙස අධික මිලක් ගෙවා වාහන රැගෙන ඒම ජාතික අපරාධයකි.

රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ වාහන අධික ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල විය. සීමාවකින් තොරව සුපිරි වාහන ආනයනය කරමින් 'මුදල්' නාස්ති කළ බව කියැවිණි. එහෙත් බලයට පැමිණි මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටද මහින්ද ආණ්ඩුවේ 'රථ ගාය' වැලඳුණේය. වෙනත් ඇමැතිවරයකු පස්ස පැත්ත තැබූ වාහනයක යෑම ඇතැම් ඇමැතිවරුන්ට අප්‍රසන්න විය. සමහර ඇමැතිවරුන් පැවැසුවේ අඩු මිල වාහනවල ඇමැතිවරුන් යෑම රටට අපකීර්තියක් බවය. අඩුම ගාණේ ණය උගුලෙන් ගැලවී ආර්ථික අර්බුදයෙන් යම් තරමකට හෝ මිදෙන තුරු අපිට අලුත් වාහන ගේන්න එපා කියූ එකදු ඇමැතිවරයකු, මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තුවේ සිටියේ නැත. ඔවුන්ට ලබාදෙන වාහන බලපත්‍රය අන්සතු කිරීම තහනම් වුවද එයද හොරාට විකිණීමට තරම් ඔවුහු 'සදාචාර සම්පන්න' වෙති.

දිගින් දිගටම රට ස්වාභාවික හා ස්වාභාවික නොවන විපත්වලට මුහුණ දුන්නද අලුත් 'වාහන' ‍ෙදාළදුක නම් මැති ඇමැතිවරුන්ගේ සංසිඳුණේ නැත. තිත්ත කසාය බොන්න ලෑස්ති වෙන්නැයි පොදු ජනතාවට ආණ්ඩුවේ නායකයන් කියද්දී ඒ නායකයන්ගේ බොහෝ ගෝලයෝ මඩිය තර කර ගැනීමේ දේශපාලනයේ නිරතව සිටියහ. හදිසියේ 'මෝරා' රටට කඩාවැදී මැති ඇමැතිවරුන්ගේ අලුත් වාහන සිහිනය බොඳ කර දැමුවේය. රටේ පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මේ වසරේදී මැති ඇමැතිවරුන් සඳහා අලුත් වාහන මිලදී ගැනීම හෝ ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කිරීම ඊට හේතුවය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ තමා පාවිච්චි කරන මෝටර් රථ දෙකෙන් එකක් පාවිච්චියෙන් ඉවත් කරන බවය. ඉහළින්ම ආදර්ශය දීම අතිශය වැදගත් වේ. එහෙත් හොඳ දේවල් ආදර්ශයට ගැනීමට දේශපාලකයන් පමණක් නොව පොදු ජනතාව අතරද ඇති උනන්දුව අඩුය.

මැති ඇමැතිවරුන් සඳහා වාහන මිලදී ගැනීමට ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණු අතර මීට මාස කිහිපයකට පෙරද ඒ සඳහා තවත් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ලැබිණි. 'වාහන' ප්‍රශ්නය 2017 අවසන් වනතුරු මතු වන්නේ නැත. යළි 2018 සිට මැති ඇමැතිවරුන්ගේ 'රථ ගාය' මතුවනු ඇත. පක්‍ෂ භේදයකින් තොරව මැති-ඇමැතිවරුන් අලුත් වාහන ඉල්ලා සිටින්නේ වාහන නොමැතිව ජනතා සේවය ඉටුකළ නොහැකි නිසා විය යුතුය. ජවිපෙ මන්ත්‍රිවරුන් අඩු මිල වාහන ලබාගෙන මන්ත්‍රිවරුන්ගේ පොදු පරිහරණයට ඒ වාහන යොදා ගන්නවා මිස විකුණන්නේ නැත. එය සඳහන් කළ යුත්තේ ඒ පිළිවෙත අගය කළ යුතු නිසාය. ගස් නැති රටේ එඬරුද ගසක් යැයි කියමනක් ඇත.

ලෝකයේ දියුණු රටවල මැති ඇමැතිවරු ද නවීන වාහන පාවිච්චි කරති. එහෙත් ලෝකෙට ණය වී ණය උගුලක සිරවී සිටින රටක මැති-ඇමැතිවරුන් දියුණු රටවල මෙන් සුපිරි වාහන පාවිච්චියට ඉල්ලීම කිසිසේත් සාධාරණ නැත. 1994 බලයට පැමිණීමට පෙර චÂද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියේ සියලුම මන්ත්‍රිවරුන්ට අඩු මිල සැහැල්ලු වාහනයක් ලබාදෙන බවය. එහෙත් බලයට පැමිණි පසු ඇයද කටයුතු කළේ ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරුන් ලෙසය. එදා මෙදා තුර 'රථ ගාය' වර්ධනය වූවා මිස අඩු වූයේ නැත. 'මෝරා' නිසා යට ගියද මේ රථ ගාය ඉදිරියටද අඩු වේ යැයි සිතිය නොහැකිය. ඒ පිළිබඳව සිතිය යුත්තේ සබුද්ධික ජනතාවය. ඔවුන් මෙවැනි දේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon