අලි මදිවට කොටි

  👤  4599 readers have read this article !
2017-06-01

ක්‍රි.පූ. 64 ජූලි 18 වැනිදා රාත්‍රියේදී රෝම නගරයේ කඩ සාප්පු සමූහයකින් ගින්නක් හටගත්තේය. ඒ ගින්න නගරය අළු කරන්නට තරම් වේගයෙන් පැතිරෙන්නට වුණේය. ඒ වෙනකොට රෝම පාලකයා වුණේ "නීරෝය". ගින්න සතියක් පුරාම පැතිර යන්නට වුණේය. නීරෝ කළේ ගින්න දිහා බලාගෙන වීණා වයන එකය.
සතියකට පස්සේ ඉතිරි වුණේ රෝම නගරයේ අළු ගොඩක් විතරය. සතියකට පස්සේ නීරෝ රෝම නගරය අලුතින් හැදුවේ මාලිගාවත් එක්කය. බොහෝදෙනා කීවේ නීරෝ මාලිගාව හදන්න හිතාගෙන නගරය ගිනි තිබ්බා කියාය.

මහ විපතක් ඇස් පනාපිට පේනකොටත් නොපෙනෙන ගානට ඉන්න අයට මිනිස්සු කියන්නේ "රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වයනවා" වගේ කියලාය.
රටේ සිද්ධවෙන සමහර දේවල් බැලුවම ඒ කතාවත් එක්ක මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා වගේ දැනෙන්නේය.

මේ වෙනකොට රටෙන් භාගෙකට වඩා තියෙන්නේ දැඩි ව්‍යසනයකය. පිට පිටම අවුරුදු දෙකක් තුළ ඔළුව උස්සන්න බැරි තරම් ලොකු ව්‍යසන දෙකක් ආවේය. ගිය අවුරුද්දේ මේ දවස්වල රටෙන් අඩක්ම වගේ ගංවතුරට යට වුණේය. මේ අවුරුද්දේ ගංවතුර එන්න මාසෙකට විතර කලින් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිලා රටම කම්පා කළේය. එහෙම වෙලා සති කිහිපයක් යනකොට කොළඹ, රත්නපුර, ගම්පහ, ගාල්ල ඇතුළු රටෙන් අඩක් ගංවතුරෙන් යට වුණේය. ආපදා තත්ත්වය නිසා මිය ගිය ගණන 200 දක්වා ඉහළ ගොස් ඇතැයිද 95ට වඩා අතුරුදන්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුරෙන් සහ නායයෑම්වලින් 6,30,000 අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයිද කියැවේ. රට තියෙන්නේ එතරම්ම ව්‍යසනයකය.

1950දී ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 15%ක් වැසී තිබුණේ වැසි වනාන්තරවලින් වුවත් දැන් ඉතිරිව ඇත්තේ 6%ක් පමණය. හැම තත්ත්පරයකටම ඉතිරිව ඇති වැසි වනාන්තරවලින් අක්කර එකහමාරක් විනාශ කරන්නේය. එහෙම බැලුවම විනාඩියකට අක්කර 150ක් වසරකට අක්කර මිලියන 78ක් මිනිසා වෙනත් වගාවන් සහ දැව වෙනුවෙන් වැසි වනාන්තර විනාශ කරන්නේ ඉවක් බවක් නැතිවය. වන විනාශය නිසා මීළඟ වසර 25 ඇතුළත ලෝකයේ පැළෑටි වර්ග, සත්ත්ව වර්ග සහ ක්ෂුද්‍ර ජීවීන් වර්ගවලින් අඩක්ම සදහටම වඳවී යෑමට නියමිතය.

මේ ලෝකයේ හැටිය. ලංකාවේ තත්ත්වය ඊට වඩා දරුණුය. ලෝකයේ සංවර්ධනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනු ලබන අතර ඉන් එකක් පාරිසරික මිතුරු සංවර්ධනය. දෙවැන්න පාරිසරික සතුරු සංවර්ධනය. අවාසනාවට ලංකාවේ එදා සිට අද දක්වා දිගින් දිගටම අනුගමනය කරමින් සිටින්නේ පාරිසරික සතුරු සංකල්පයකි. මේ ලැබෙන්නේ ඒවායේ ප්‍රතිඵලය. "අපි මෙතෙක් කල් පරිසරයෙන් ප්‍රශ්න කළා. දැන් පරිසරය උත්තර දෙන්න පටන් ගෙන"

ඉතිං කටඋත්තර නැත. පරිසරය උත්තර දීලා ඉවර කරන්නේ කොහොමද කියා දන්නේ පරිසරයම විතරය. මීට පෙර කලාතුරකින්වත් නාව තරම් ව්‍යසන දැන් එන්නේ උදේ හවාය. මේ දවස්වල තියෙන්නේ එහෙම ව්‍යසනයක්ය.

මේ ව්‍යසනය වෙලාවෙත් රටේ ආණ්ඩුව තාමත් හරියට ඇහැරිලා නැත. වර්ෂාව ආරම්භ වී දිනක් ගතවෙනකොට ව්‍යසනයේ බරපතළකම පාර්ලිමේන්තුවේදී කතාබහ කළේය.

දිනේෂ් ගුණවර්ධන ඒ ගැන ආණ්ඩුවෙන් අහනකොට ඇමැති කිරිඇල්ල ඇහුවේ "මේක අපි කරපු දෙයක්ද..?" කියාය.
"ඇමැතිතුමා කිරිඇල්ල, මේ වෙනකොට කිරිඇල්ලත් යටවෙලා" කියා දිනේෂ් කියකොට උත්තරය ලැබුණේ
"එහෙමනම් මෙහෙට වෙලා ඉන්නේ නැතිව බෝට්ටු අරන් එහේ යන්න" කියාය.

විපක්ෂයට එහෙම කියපු ආණ්ඩුවේ ලොක්කෝ මේ ආපදාව අතරේ හොයා ගන්න හිටියේ නැත. වැඩට බැහැලා මිනිස්සු එක්කම හිටියේ පාලිත තෙවරප්පෙරුම වගේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. සමාජ ජාල අතර සක්‍රිය ප්‍රජාව එක්කවත් ආණ්ඩුවට හැරෙන්නවත් බැරි විය. ආපදාව ආව වෙලාවේ ඉඳලාම වැඩට බැස්සේ ඒ සමාජ ජාලවල කොල්ලෝ කෙල්ලෝය.

"කාරුණික අවධානයයි..
ඉක්මණට ඉඩඥචප කරන්න ර්ථීතලල
මාතර තිහගොඩ අරලිය මාවතේ ගංවතුරට කොටුවී සිටින පවුලක ආබාධිත රෝගී දරුවකුගේ බෙහෙත් අවසන් වී ඇති බැවින් එම බෙහෙත් ගෙන්වා ගැනීමට පිහිට වන ලෙස දරුවාගේ මව ඉල්ලා සිටිනවා. එම මවද හෘද රෝගියෙක් බවත් පවසනවා. මෙම දරුවාගේ පියා දුර ප්‍රදේශයක රාජකාරියෙහි නිරතව සිටින විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක්. මාතර ප්‍රදේශයේ සහන සේවා කටයුතුවල නිරතව සිටින අයගේ කාරුණික අවධානය මෙම ඉල්ලීම කෙරෙහි යොමුවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

මූණු පොතේ මෙහෙම දාපු සටහන් දහස් ගණන් විය. ඒවාට ක්ෂණික මැදිහත්වීම්ද සිදුවිය.
"අපි බෙදාගෙන කාපු ජාතියක්. හෙට උදේ වැඩට යද්දී ගේන බත් එක මරදාන ස්ටේෂමේදී අපිට දෙන්න. අපි අපි, වගේම අසරණ වෙච්ච ඔවුන්ට ඒ බත් එක ගිහින් දෙන්නම්"

සමාජ ජාල වැඩ කළේ එහෙමය.
බන්ධනාගාර සිරකරුවන් තමන්ගේ දිනක ආහාර වේල අවතැන්වූවන්ට වෙන් කළේ "මනුස්සකම" උපරිමව පෙන්නාය. එහෙම වෙද්දී ආණ්ඩුව කළේ මැති ඇමැතිලාට වාහන ගෙන්වීමට මුදල් වෙන් කරන එකය. සමාජයෙන් එල්ල වූ බලවත් පිළිකුල නොවන්නට ආණ්ඩුව ඒ යෝජනාව අකුළා ගන්නේ නැත.

"රත්නපුරේ වැස්සට සමනල වැව පිරිලා නෑ. කොටසකට යන්නේ. ඕනම තැනකට වතුර ඇවිල්ලා නෑ. නුවුමනා තැනට ඇවිල්ලා තියෙන්නෙ. විශේෂයෙන්ම ජලාශවල වතුර මට්ටම වෙනකොට මට එව්ව ඉස්සර දවස් කිහිපයෙ ලැබෙන වැස්ස ප්‍රමාණය. කුකුළෙ මිලිමීටර් පන්සිය ගාණක්. දැන් ඕක අපට මිලි මීටර් 150 වෙනකොට කිවුව නම් අඩු කරගෙන සමහර ඒවා නවත්ගන්න තිබුණා." අගමැති රනිල් ගංවතුර විශ්ලේෂණය කළේ එහෙමය. "කලින් කීව නම් මේ විපත වළක්වා ගන්න තිබුණා." කියා කීව අගමැති "ආපදා වූවන්ට සහන සඳහා කියා බිලියන දෙකක් වෙන්කොට ඇමෙරිකා ගියේය.

ඔහු ගියේ "දවස් දෙක තුනක් වැඩ කරලා සති එකහමාරක් නිදා ගන්නවා" කියලාය. කොහොම වෙතත් අගමැති රනිල් ඇමෙරිකාවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඇත්ත කීවේ කවුද කියා දන්නේ නැත.

රට වැටිලා තියෙන තැන හැටියට නිදහසේ නිදාගන්න පුළුවන් නම් ඒකම පුදුමයක්ය.
මේ රටේ ආපදා කළමනාකරණ ඇමැති අනුර යාපා ය. තීරණාත්මක මොහොතේ ඔහු අතුරුදන්ය. සමහරු කීවේ කුරුණෑගලට ආපදාවක් නැති එකේ ඔහු කොහේ අතුරුදන්ද කියාය.

කොහොම වෙතත් ඔහු ගිහින් තිබ්බේ මෙක්සිකෝවේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ "ආපදා කළමනාකරණ සමුළුව"ටය. ඒ සමුළුව ඉවර වුණේ ගිය 29 දාය. ඔහු තවම ආවේ නැති එක ගැන ප්‍රශ්න කරන්නේ මිනිස්සුය. ආරංචි හැටියට ඔහුට එන්න "ගුවන් වාර" තිබිලා නැත. මෙක්සිකෝවෙන් මෙහේ එන්නට පැය 30ක් යන බව කියන්නේ නියෝජ්‍ය ඇමැති දුනේෂ්ය. සමහරු "උපහාසයට වගේ" කියන්නේ එක්සත් ජාතීන්ගේ "ආපදා කළමනාකරණ සමුළුව"ට ඔහු ගිහින් හිටියා දැක්කා නම් එහේ මිනිස්සු ඒ මොහොතේම ඇමැතිව ආපසු එවන එක ෂුවර් කියලාය. ඒ තරමටම මෙහේ විපත ලෝකයට දැනුණේය. හැබැයි ආරංචි හැටියට මෙම සම්මන්ත්‍රණය අමතමින් ඇමැතිවරයා හදිසි ආපදාවකදී ජීවිත, දේපළ, යටිතල පහසුකම් හා ආර්ථිකයට වන හානිය අවම කිරීම ගැන විශේෂ දේශනයක්ද පවත්වා ඇත්තේය.
මේ අතර ආපදා තත්ත්වය නිසා මරණයට පත්වූ එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදීමට රජය තීරණය කර ඇති බවත් සම්පූර්ණ නිවාස හානියක් සඳහා ලබාදෙන වන්දිය උපරිමය රුපියල් ලක්ෂ 25ක් බවත් පැවැසේ.

කෙසේ වෙතත් ඇමැති මහින්ද අමරවීර පසුගියදා කියා සිටියේ රුපියල් මිලියනයක වන්දියක් ආපදාවෙදි වූ ජීවිත හානියක් සඳහා ලබාදෙන බවක්ය. එහෙත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත කියන්කේ එය මෙතෙක් ක්‍රියාත්මක නොවන බවය. එහෙම බැලුවම ආපදාවෙන් මියගිය 194ක් වූ පුද්ගලයන් වෙනුවෙන් රජය විසින් ලබාදෙන මුදල ලක්ෂ 194ක්ය. මේ ව්‍යසනයෙන් විපතට පත්වූ අයට ලක්ෂ 194ක් වැය කරද්දී එක් ඇමැතිවරයෙක් වෙනුවෙන් ආනයනය කරනු ලබන එක් වාහනයකට පමණක් ලක්ෂ 400ක් වැය කිරීම ගැන මිනිස්සු ඉන්නේ අප්පිරියාවෙන්ය.

ගිය ආණ්ඩුවේ හිටිය පරිසර ඇමැතිවරු දෙන්නෙක්ම මේ ආණ්ඩුවේද සිටී. පරිසර විෂය කෙළින්ම භාර ජනාධිපතිටය. ගිය ආණ්ඩුවේ පරිසරය භාරව හිටිය චම්පික මේ ආණ්ඩුවේ මහනගර සංවර්ධන ඇමැතිය. එහෙත් තවමත් කුණු ටික එහෙමමය. පරිසර ඇමැති "අසමත්" බව පෙන්වන්නටත්, මහ නගර ඇමැතිට "පුළුවන් දෙයක් නෑ" කියා පෙන්නන්නටත් ආණ්ඩුවේ යටින් "ගේම්" එකක් තියෙනවාද කියා දන්නේ නැත.
මේ ආණ්ඩුව දැන් හිත හදා ගන්නේ මියගිය ගාණ අඩුයි කියා කියමින්ය.

රට පුරා ඇතිවූ ආපදා තත්ත්වය නිසා අවම වශයෙන් පුද්ගලයන් දහසක් මිය යන්නට නියමිතව තිබුණද ආණ්ඩුව විසින් පැහැදිලි වැඩපිළිවෙළක් අනුව කටයුතු කළ නිසා එය දෙසියයක් දක්වා අඩුකර ගැනීමට හැකිවූ බව කියන්නේ මහින්ද අමරවීරය. මිනිස්සු තාමත් හූල්ලමින්ය. ඇඳිවත පවා අහිමිව හිස අත් බැඳගෙන සුසුම් හෙළමින්ය. සන්තකය අහිමිවීමේ අසීමිත වේදනාව දරාගෙන මිනිස්සු තාමත් අහස දෙස බලාගෙන භීතියෙන් සිටිති.

මේ අලකලංචි අතරේ තවත් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු හතක් දිවුරුම් දී ඇත. මිනිස්සුන්ට "අලි මදිවට කොටිත්" ලැබී තිබේ..

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon