සොබාදහමේ නීතියට පිටුපා වැනසෙමුද?

  👤  4772 readers have read this article !
2017-06-04

2016 මැයි මාසයේදී මෙන්ම ඉකුත් මැයි මාසයේදීද මෝසම් වර්ෂාව හේතුවෙන් ආසියානු කලාපයේ රටවලට විපත්වලට මුහුණදීමට සිදුවේ යැයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබුණේ මේ වසරේ මුල් කාර්තුවේදීය. මෝසම් වැසි රටාවේ ඇති වන විපර්යාසයන් නිසා
ශ්‍රී ලංකාවට දිගු නියඟයකටත්, අනතුරුව මහ වැසිවලටත් බඳුන් වීමට සිදුවේ යැයි අනාවැකියක්ද ඒ අතර විය.

මේ වසර ආරම්භ වන විටත් නියං තත්ත්වයක් රට තුළ ඇතිව තිබූ අතර මැයි මාසයේ තුන්වැනි සතියේ අධික වර්ෂාවක් ඇදහැලීම ඇරැඹුණේ නියඟය නිමා කරමිනි. දිස්ත්‍රික් 15ක ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ගංවතුරෙන් හා නායයෑම්වලට ගොදුරුව විපතට පත් වෙද්දී ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සිටියේ දුරු රටකය. ඒ මැක්සිකෝවේ පැවැති ආපදා කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුවකට සහභාගි වීමට ගොස්ය. ස්වාභාවික ආපදාවකට රට මුහුණදී සිටියදී ආපදා ඇමැතිවරයා රටින් බැහැරව සිටීමේ වරදක් නැත. වරද ඇත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ආපදා කළමනාකරණයට සූදානම්ව නොසිටීමය. ආපදා කළමනාකරණයේදී පමණක් නොව අන් සියලු දේවලදී බොහෝ ඇමැතිවරුන් කරන්නේ කටින් බතල සිටුවීමය. කතාව දෝලාවෙනි. එහෙත් ගමන පයිනි.

සොබාදහමට පක්‍ෂ, පාට, ජාති, ආගම්, පන්ති භේද නැත. ගලායන වතුර තාප්ප, කම්බි වැටවල්, මායිම් සීමා නොතකයි. නියඟයෙන් මෙන්ම ගංවතුරෙන්, නායයෑම්වලින් පීඩාවට, දුකට පත්වන්නේ මේ රටේ මිනිසුන් හා ගැහැනුන්ය. 'ආක්‍රමණිකයකු ලෙසින් සොබාදහම පාලනය කිරීමට අප සූදානම් විය යුතු නැතැයි' ෆ්‍රෙඩ්රික් එන්ගල්ස් ප්‍රකාශ කර ඇත. ප්‍රශ්නය වන්නේ සොබාදහම පාලනය කිරීම තබා ස්වාභාවික විපත් කළමනාකරණය කර ගැනීමටවත් අප සමත් නොවීමය.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරට තදාසන්නව ළැව් ගින්නකින් විනාශ වූ අක්කර 20,000ක භූමියක් යළි පැළ රෝපණය කර වගා උයනක් කිරීමට ප්‍රාන්ත ආණ්ඩුව විශාල මුදලක් හා වෙහෙසක් දරමින් සිටී. සොබාදහම සමඟ මිත්‍රශීලීව ඔවුන් කටයුතු කරද්දී අප කරමින් සිටින්නේ සොබාදහමට හතුරු වීමය. වනතීරු, ගංගාධාර විනාශ වන ලෙස කටයුතු කිරීමය. ඊනියා සංවර්ධනය නාමයෙන් සොබාදහමට එරෙහිවීමය. මේ විපත් ඒ සියලු දේට සොබාදහමෙන් ලැබුණු පළිගැනීම් මිස අනෙකක් නොවේ.

මේ ප්‍රශ්නය අද ලෝකයටම පොදු වී ඇත. ලෝකයත් සමඟ එකතු වී ප්‍රශ්නයට විසඳුම් සොයනා අතරේ රටක් ලෙස සොබාදහම සමඟ ඇති ගැටුම සමනය කර ගැනීමට වෙහෙසිය යුතුය. එහෙත් ගංවතුර පාලනය, මධ්‍යම කඳුකරයේ වනාන්තර එළිකිරීම, සෝදාපාළුව, කඳුකරයේ ඉදිකිරීම් සිදුකිරීමට එරෙහිව කිසිදු සැලසුමක් රටට තවමත් නැත. වටිනා සැලසුම් වරින්වර ඉදිරිපත් වී ඇත. ප්‍රශ්නය ඒ කිසිවක් ක්‍රියාත්මක නොකිරීමය. මෙරට ආපදා කළමනාකරණය ගැන විධිමත් පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ 2006 වසරේදීය. එහෙත් තවමත් ආපදා කළමනාකරණය ගැන ජාතික සැලසුමක් රටට නැත. දීර්ඝ, මධ්‍ය හා කෙටිකාලීන සැලසුම් අවශ්‍යය. එහෙත් නැත්තේද එයමය.

ආපදා කළමනාකරණය ගැන, කැළිකසළ කළමනාකරණය ගැන අධ්‍යයනය කිරීමට දෙස් - විදෙස් සම්මන්ත්‍රණ, සාකච්ඡා කොතෙක් පවත්වා තිබේද? අධ්‍යයන චාරිකා සඳහා මැති ඇමැතිවරුන්, නිලධාරීන් කොපමණ වාරයක් පිටරට යන්නට ඇත්ද? එහෙත් හැමදාමත් පාලකයන් කරන්නේ ආපදා වූ පසු අනාථාධාර බෙදාදීම, මූල්‍යාධාර ලබාදීම, ජනතාව මුදා ගැනීම හා මිනීපෙට්ටි සැපයීමය.

බලයේ සිටියවුන් ආණ්ඩුවට ‍ෙදාස් කියද්දී ආණ්ඩුව කරන්නේ විපක්‍ෂයේ පැටිකිරිය රටට කියා පෑම මිස ජාතික විපතකදී සියලුදෙනා එක්වී කටයුතු කිරීමක් නැත. කට වචනයට එකමුතුකම කතා කළද බොහෝ විට දේශපාලනඥයා කරන්ගේ දිය රෙද්දෙන් බෙල්ල කැපීම හා වතුර යටින් ගින්දර ගෙනයෑමය. ගංවතුර, නායයෑම්, නියඟය පමණක් නොව කුමන විපත වුවත් කල්ගතවීමත් සමඟ සියලු දේ අමතක කර දැමීම පාලකයන්ගේ සිරිතය. මේ විපතේදීවත් ඒ සිරිත වෙනස් කළ යුතුය.
ෆ්‍රෙඩ්රික් එන්ගල්ස් ප්‍රකාශ කර ඇති පරිදි සොබාදහමට අයත් අපි සොබාදහමේ නීති නිසි ලෙස අධ්‍යයනය කොට යොදා නොගන්නේ නම් අනාගත පරපුරට සිදුවනු ඇත්තේ විපත් සමඟ යාමටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon