මහින්දට එරෙහිව මහින්ද

  👤  5866 readers have read this article !
2017-06-04

ගංවතුරත් ඒ සමඟ ඇති වූ නාය යෑම් ඇතුළු ආපදා තත්ත්වයන් නිසා රජය ඇතුළු බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබුණේ ඒ සම්බන්ධයෙන්ය. රජය මෙන්ම විපක්‍ෂයද ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය අගය කළ යුතු තත්ත්වයක තිබිණි. මහා සංඝරත්නය පිණ්ඩපාතයෙන් ලබා ගත් දේ පවා පරිත්‍යාග කළහ. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ද සුවිශේෂ කාර්යයක් ඉටු කළහ. මාධ්‍ය ආයතන ඇතුළු මහජන සංවිධානවල කාර්යභාර්ය ද කැපී පෙනුණි. රාජ්‍ය නිලධාරීන් පැය 24 පුරා වැඩ කළ ද එෆ්.සී.අයි.ඩී. යෑමට බියෙන් ඔවුන් චක්‍රලේඛවලට සිර වී සිටි නිසා එසේ චක්‍රලේඛවලට කොටු නොවන ලෙස ඉල්ලා සිටීමට ජනාධිපතිවරයාට පවා සිදුවිය.
පළාත් පාලන ආයතන අක්‍රියව පැවැතීම නිසා එහි මහජන නියෝජිතයන්ගේ කාර්යභාර්යේ අඩුවක් දක්නට ලැබුණු බව සමාජයේ පොදු අදහසයි.

මේ අතර ආපදාවට පත් නොවූ ප්‍රදේශවල අමාත්‍යවරුන් ආපදාවට පත් වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරුන් ලෙස පත් කිරීම බ්‍රහස්පතින්දා සිදුවිය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමකදීය. ඒ අනුව දිස්ත්‍රික් 6ක් සඳහා සම්බන්ධීකරණයට ඇමැතිවරු 24 දෙනෙක් පත් කරනු ලැබූහ.

එම සාකච්ඡාව ඉතා සුහද ස්වරූපයෙන් පැවැත්විණි. "මේ වගේ රැස්වීමක් මාසයකට වරක් වත් පවත්වනවා නම් හොඳයි. එතකොට අපට තිබෙන ප්‍රශ්න කතා කරලා නිරාකරණය කරගන්න පුළුවන්." ආශු මාරසිංහ එහිදී කීවේය. "මම මේක හදිසියේ රැස් කළේ අගමැතිතුමත් නොමැති අවස්ථාවකයි. අපි ඉදිරියේදී හොඳ විධියක් කරමු" ජනාධිපතිවරයා එහිදී කීවේය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රහස්පතින්දා ගාල්ලට ගියේය. ඒ ආපදා තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පැවැති විශේෂ සම්බන්ධීකරණ රැස්වීමක් සඳහාය. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ගයන්ත, වජිර, මනූෂ, ෂාන් ඇතුළු බොහෝ දෙනෙක්ද ඊට එක් වී සිටියහ.

"අනවසරයෙන් අවදානම් තැන්වල පදිංචි පුද්ගලයන් වෙනත් ස්ථානවල පදිංචි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා" මෙහිදී ගයන්ත කීවේය. ඊට සිනාසෙමින් පිළිතුරු දුන් ජනාධිපතිවරයා "ඔව් දැන් ඉඩම් ඇමැතිත් ගාල්ලේ නිසා කොහොමත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ"යි කීවේය. "ජනතා විමුක්ති පෙරමුණත් වෛද්‍ය සායන තියලා විශාල වැඩ කොටසක් කළා." මෙහිදී දකුණු පළාත් සභාවේ ජ.වි.පෙ. මන්ත්‍රි නලීන් හේවගේ කීවේය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා "ඔව් ඔව් රජයෙනුත් ඒවා කොහොමත් කළා" යැයි කීවේය.

රැස්වීම අවසානයේ මැති ඇමැතිවරුන් සමඟ කොළඹ පැමිණීමට හෙලිකොප්ටරය නවතා තිබූ ස්ථානයට ගිය ජනාධිපතිවරයා "ෂාන් දැන් ඔහොම පළාත් සභාවේ ඉඳලම බැහැ. පාර්ලිමේන්තු යන්න සූදානම් වෙන්න" යැයි සිනා සෙමින් කීවේය.

අඟහරුවාදා කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ අමාත්‍යාංශ සංශෝධනයෙන් පසුව පළමු වරටයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ඊට අගමැතිවරයාට සහභාගී වීමට අවස්ථාවක් නොවීය. ඒ ඔහු ඇමෙරිකාවට ගොස් සිටීම නිසාය.
මෙහිදී බොහෝ සෙයින් අවධානය යොමු වී තිබුණේ ආපදා තත්ත්වය සම්බන්ධයෙනි. "වර්ෂාවෙ ප්‍රමාණය ගැනවත් අනාවැකි පළ කරන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බැරි වුණා. ඒක බරපතළ තත්ත්වයක්. ජනතාව නිවැරැදි ලෙස දැනුවත් කරන්න අපොහොසත් වුණා. බංග්ලාදේශය කලින් සූදනාම් වෙලා හානිය අවම කර ගත්තත් අපට එහෙම කරන්න බැරි වුණා." පාඨලී චෝදනාවක් කළේය. "තියෙන සම්පත් අනුව උපරිම සේවයක් කරන්න කටයුතු කළා. එහෙම චෝදනා කිරීම වැරැදියි. තාක්ෂණය දියුණු කරන්න තියෙනවා. අනෙක වහින්නට කලින් දවසේ වැස්සේ තරම කියන්න බැහැ." අනුර යාපා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බේරා ගැනීමේ සටනක නිරත වූයේ එසේය.

"ගංවතුරෙන් සහන සැලසීමට සෑම අමාත්‍යාංශයකින්ම වැය ශීර්ෂයෙන් 5% - 10%ක් වෙන් කළොත් හො¼දයි" ජනාධිපති කියත්ම විදේශ ඇමැති රවි කීවේ "එසේ වැය ශීර්ෂ කැපීමට අවශ්‍ය නැහැ ඇතැම් අමාත්‍යාංශවල අතිරේක මුදල් තිබෙනවා. ඒවා ගමු" යනුවෙන්ය. අනතුරුව ඊට එකඟතාවක් පළ කෙරිණි.
ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටද මෙහිදී යෝජනා ඉදිරිපත් විය. එහෙත් එමඟින් ජාත්‍යන්තර ගැටලු ඇති විය හැකි බවටද මත පළවීම නිසා එම යෝජනාව යටපත් විය.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට වාහන ගැනීම සඳහා ඊට පෙර සතියේ පාර්ලිමේන්තුව සම්මත කළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. මහින්ද අමරවීර, හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එලෙස වාහන ගැනීමට මේක අවස්ථාවක් නොවන බව අවධාරණය කර සිටියහ. එය අනුමත කරමින් මේ වසර තුළ ඇමැතිවරුන්ට වාහන ගැනීමට ජනාධිපතිවරයා විසින් අත්හිටුවනු ලැබීය.

මෙහිදී කැබිනට් යෝජනා 17කට පමණ අනුමැතිය පළ විය. 2017 අය-වැය මඟින් සංවර්ධන ව්‍යාපෘති සහ වෙනත් කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන නැවත ප්‍රමුඛතා ගත කිරීමට තිදෙනකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් පත් කිරීමද ඒ අතර විය. මංගල, රවි සහ කබීර් ඒ සඳහා පත් කරනු ලැබූහ.
කැබිනට් මණ්ඩල රැස්වීම අවසන්වී එළියට පැමිණියද අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවට ලක් වූයේ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙනි. නවීන් දිසානායක ඇතුළු පිරිසකගේ මාතෘකාව වී තිබුණේ අලුත් සහ පරණ මුදල් ඇමැතිවරු ගැනය.

"බලන්නකො අලුත් මුදල් ඇමැති කලින් වගේ නැතිව අපේ කැබිනට් පත්‍රිකාවලට අනුමැතිය දෙනවා. ඉස්සර නිරීක්ෂණ පත්‍රිකා දානවා කියලා මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරනවා" එතැන සිටි එක් ඇමැතිවරයෙක් කියත්ම නවීන් කීවේ "මගෙත් කැබිනට් පත්‍රිකා පහළොවක් විතර ඒ විධියට බ්ලොක් කරලා තිබුණා. සජිත්ටයි මටයි තමයි වැඩියෙන්ම ප්‍රශ්න තිබුණේ" නවීන් කීවේය.

ගංවතුර ආපදාව ගැන සැලවෙන විට හිටපු ජනාධිපති මහින්ද සිටියේ තංගල්ලේ කාල්ටන් නිවෙසේය. අදාළ දිස්ත්‍රික්කවල සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අමතා ඒ පිළිබද සොයා බැලූ මහින්දට දැනගන්නට ලැබුණේ දිස්ත්‍රික්ක රැසක්ම දරුණු ආපදාවකට ගොදුරු වී ඇති බවයි.'රත්නපුරේම යටවෙලා ඉවරයි සර්' පවිත්‍රා මහින්දට කී කතාව වැනි කතා සෙසු දිස්ත්‍රික්කවලින් ඔහුට අසන්නට ලැබිණි. මේ අතර ජානක වක්කුඹුර මන්ත්‍රිවරයාගේ නිවෙසද ජලයෙන් යට වී ඇති බව සැලවූ පසු මහින්ද ඒ පිළිබඳව විශේෂයෙන් සොයා බැලුවේය. අනතුරුව මහින්ද සිය පුත්‍රයන් ඇතුළු පිරිස එක් කර ගනිමින් හැකි පමණින් අවතැන් වූ ජනතාවට පිහිට වන්නට වූහ. ඒ සඳහා මහින්දට හිතවත්තු විශාල පිරිසක් උදවු කර සිටියහ. දිස්ත්‍රික්කවලට යමින් එම කටයුතු කළ මහින්ද කළුතරට ගියේ අඟහරුවාදාය. පරදුව ඉන්ද්‍රජෝති විද්‍යාලයේ සිටි අවතැන් වූ ජනතාවගේ සුවදුක් බැලූ මහින්ද හිතවතුන්ට කතා කරමින් ජනතා අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගත්තේය.

මේ අතර බුලත්සිංහල පාහියන්ගල නායයෑමකින් එකම පවුලේ සත් දෙනකු මියයෑමට අදාළ වීඩියෝ දුරකතන ඔස්සේ රෝහිත මහින්දට පෙන්නුවේය. එම වීඩියෝව බලා ශෝකයට පත්වූ හිටපු ජනාධිපතිවරයා තමන්ට එම ස්ථානයට යෑමට අවශ්‍ය බව කියා සිටියේය. ඔහු එහි යන විටත් වෙල්ගම එම ස්ථානයේ සිටි අතර විපතට පත් ජනතාව මහින්ද දුටු වහාම ඔහු වට කරගෙන දුක කියන්නට පටන් ගත්හ. ඒ අතර වෙල්ගමද ආණ්ඩුවට චෝදනා කරමින් 'ආණ්ඩුව මහ ලොකුවට අරක කරනවා මේක කරනවා කියලා කිව්වට තවම මේ මිනිස්සු ගැන හොයල බලලවත් නැහැ' යි කීවේය. 'ආණ්ඩුවට ස්වාභාවික උවදුරු වළක්වන්න විධියක් නැහැ. හැබැයි ඒවායින් වෙන විපත අවම වන විධියට වැඩ කරන්න පුළුවන්. ඒක තමයි ආණ්ඩුවක වගකීම' යැයි මහින්ද පවසත්ම යළිත් වෙල්ගම කීවේ' "මේ ආණ්ඩුව නොකරන්නෙත් ඒකම තමයි. විපතක් වුණාම බොරුව කෑගැහුවත් දවස් දෙක තුනකින් මොනවත් මතක නැහැ' යනුවෙන්ය. 'මේ වගේ විපතක් වුණාම වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන ජීවත් වෙලා ඉන්න මිනිසුන්ගේ අනාගතය ගැන. ඒ අය අන්ත අසරණ වෙලයි ඉන්නෙ. මේ වගේ වෙලාවක නැති පිහිටක් ආයෙ වැඩක් නැහැ' මහින්ද කීවේ හැඟුම්බරවය.

පසුගිය සිකුරාදා දහවල් වන විට රටේ ප්‍රදේශ ගණනාවකින් ගංවතුර තත්ත්වයන් වාර්තා වූ නිසා හදිසි පක්ෂ නායක හමුවක් කැඳවීමට කතා නායක කරු ජයසූරිය කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ප.ව. 2 වෙද්දී පාර්ලිමේන්තුව කල් තැබිණි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර විලච්චිය සෝභිත හිමි සමරු ගම්මානයේ උත්සවයක් සංවිධානය කොට තිබිණි. ඒ පසුගිය සඳුදාය. එය කල් දැමීමට කතානායකවරයා කටයුතු කළේ ගංවතුර ආපදා වෙනුවෙන් එම කාලය යෙදවීමට අවශ්‍ය වූ නිසාය.
අනතුරුව කතානායකවරයා ආපදාවට පත්වූවන්ට සහාය වීමේ කටයුතුවලට සෘජුව මැදිහත් විය. එම ප්‍රදේශවලට ගොස් අවශ්‍ය සම්බන්ධීකරණයන් කිරීමට හෙතෙම ක්‍රියා කළේය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ආපදා පිළිබඳ සම්බන්ධීකරණ රැස්වීමකදී ජෝන් සෙනවිරත්න ඇමැතිවරයා "2003 ගංවතුරෙන් මේ වගේම ව්‍යසනයක් සිදු වුණා. ඒ කාලයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් තිබුණේ නැහැ. එදා ඒකට මුහුණ දෙන්න විශේෂ කැබිනට් අනු කමිටුවක් පිහිටෙව්වා. ඒකෙ සභාපති වුණෙත් කතානායක කරු ජයසූරිය මහතායි. ඒ නිසා එතුමාගේ අද්දැකීම් මේ වෙලාවේ අපට වැදගත්" යැයි පැවැසීය.
මේ අතර තමන්ගේ ජුනි මාසයේ වැටුප ආපදාවට සහන සැලසීමට පරිත්‍යාග කිරීමටද කතානායකවරයා කටයුතු කළේය.

ස්වාභාවික ආපදා තත්ත්වයට මුහුණ දෙන අතරම ආණ්ඩුවේ පැවැත්මට එල්ල වී ඇති තර්ජන හමුවේ ආපදා ඇතිවීම වැළැක්වීමට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 8 දෙනෙක් පසුගිය බදාදා දිවුරුම් දුන්හ. එය ගැටලුවලට විසඳුම් දෙන අතරම අලුත් ප්‍රශ්න මතු කරන්නක් ද විය. රවි හා හර්ෂ අතර තිබූ ගැටුම විසඳීමට මැදිහත් වී තිබෙන්නේ ඇමෙරිකාවේ සිටින රනිල්ය. හර්ෂගෙන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරය ඉවත් කර තමන්ගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයට පත්කර ගැනීමට රනිල් පියවර ගෙන තිබිණි.

ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය ඇමැතිවරිය වූ අනෝමා ගමගේට විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයට භාර දීමට සැලසුම් කොට තිබිණි. ඇය ඒ සඳහා පැමිණ ඉදිරි පෙළම ඉඳගෙන සිටියාය. හර්ෂ ද සිල්වා සෙල්ෆි ෆොටෝ එකක් ගෙන එම අවස්ථාවේම අන්තර්ජාලයට මුදා හැර තිබිණි. එහෙත් ඇයට එම තනතුර ලැබුණේ නැත. ඇමැති රවි විරුද්ධ වීම ඊට හේතුව බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

ගෙවී ගිය සතියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයකුගෙන් එම පක්ෂයේ පිරිසකට ආරාධනාවක් ලැබිණි. ඒ රාත්‍රි භෝජන සංග්‍රහයකට පැමිණෙන ලෙසින්ය. කොළඹදී පැවැති එහිදී වඩාත් කතාබහට ලක් වූයේ රටේ පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය පිළිබඳවයි. ජනපති මෛත්‍රිගේ මෙන්ම අගමැති රනිල්ගේ ක්‍රියාකාරකම් ගැනද මෙහිදී අවධානය යොමු වී තිබිණි. එහිදී එක් මන්ත්‍රිවරයකු බැරෑරුම් ලෙස සඳහන් කළේ "මේ වෙලාවේ මෛත්‍රිට සහාය දුන්නොත් ඇතුළට යන්න වෙනවා. රනිල්ට සහාය දුන්නොත් එළියෙ ඉන්න පුළුවන්" යනුවෙන්ය. එම කතාවට එතැන සිටි පිරිස ආරම්භයේදී සිනාසෙන්නට වූ නමුදු පසුව එම මුහුණුවල දක්නට ලැබුණේ බැරෑරුම් සොබාවකි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහ මන්ත්‍රිවරුන්ගේ සතිපතා සාකච්ඡාව සුපුරුදු පරිදි විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවෙසේදී පැවැත්විණි. එහෙත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ සහභාගි වූයේ නැත. ඔහු ජපානයේ සංචාරක නිරත වී සිටීම ඊට හේතුවයි. එහි මුලසුන හෙබවූයේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන විසින්ය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම ආදියට විරෝධය පළ කොට ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් හා ජන හමුවක් ලබන ජූලි මාසයේ මුලදී ත්‍රිකුණාමලයේදී පැවැත්වීම සඳහා මෙහිදී යෝජනා ස්ථීර කර ගනු ලැබීය. ජුනි මාසයේ පැවැත්වීමට මුලදී යෝජනා වුවත් මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලය මේ මස අවසන් වනතුරු පැවැත්වීම නිසා එය ජූලි මාසයට කල් දැමීමට තීරණය විය.

හිටපු ජනාධිපති මහින්ද බදාදා ජපානයට ගියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ. එල්. 454 ගුවන් යානයෙන්ය. ඒ ගමනට ලොහාන් රත්වත්තේ, යෝෂිත ඇතුළු 9 දෙනෙක් එක්වි සිටියහ. ආගමික හා දේශපාලන කටයුතු රැසකටද සම්බන්ධ වීමට හෙතෙම බලාපොරොත්තුව සිටියි.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දෙවැනි පෙළ නායකයන් බිහි කළ ජන නායකයකු ලෙස මෙරට දේශපාලන ඉතිහාසයට එක්ව සිටියි. ගාමිණි, ලලිත්, රනිල් ඇතුළු පිරිසක් ඔහු ගොඩනැඟුවේය. එහෙත් ඒ කීර්තිය අත්පත් කරගන්නට ඉන්පසුව නායකයන් සමත් වී නැත.
දැන් දෙවැනි පෙළ නායකයන් බිහි කරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය වී ඇත. ඔහු ඒ සඳහා පළමුව තෝරා ගත්තේ දකුණේ මිනිහෙක්ය. ඒ මහින්ද අමරවීරයි.

මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස පත් කළේය. එමෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයට අමතරව තම මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ධුරයද දුන්නේය. "මම ඔහුට එම තනතුර දුන්නේ දකුණේ නිසයි. දකුණේ ශක්තිමත්ම දේශපාලනඥයා ඔහු බවට පත් කිරීම මගේ අරමුණයි." මහින්ද අමරවීර මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගන්නා අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා කීවේය.

මෛත්‍රිට මෙහි අරමුණු දෙකක් ඇතිවාට සැක නැත. එකක් දෙවැනි පෙළ නායකත්වය ගොඩනැඟීමයි. අනික දකුණේ මහින්දට එරෙහිව දකුණේ තවත් මහින්ද කෙනෙක් ගොඩනැඟීමයි. රාජපක්‍ෂවරුන්ට බලය දෙනවා වෙනුවට අමරවීර කෙනකුට මීළඟ බලය පැවැරීමට ජනාධිපතිවරයාට අදහසක් තිබිය හැකිය.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අතුළු පෞද්ගලික සංචාරයක් සඳහා අගමැති රනිල් ඇමෙරිකාවට යෑමට නියමිතව සිටියේ සිකුරාදාය. එහෙත් ආපදා තත්ත්වය නිසා එය දින දෙකකින් ප්‍රමාද විය. ඇමෙරිකාවට ගියද ඔහු ආපදා තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයක් යොමු කළේය. අගමැතිවරයා රට තුළ නොමැති අවස්ථාවේ එජාප මෙහෙයුම් මධ්‍යස්ථානය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ පිහිටි සභානායක කාර්යාලයයි. බ්‍රහස්පතින්දා එහි රැස්වූ එජාප මැති ඇමැතිවරුන් පිරිසකගේ අවධානය යොමු වී තිබුණේ ගංවතුර සම්බන්ධයෙනි. 'අගමැතිතුමා අද උදෙන්ම මට කතා කළා. සැහැල්ලුවෙන් වෛද්‍ය පරීක්ෂණයට ඉන්න කියලා ‍ෙදාස්තරලා කිව්වත් ආපදා තත්ත්වය නිසා හිත සැහැල්ලු කරගන්න අමාරුයි' කියල එතුමා කිව්වා යැයි කිරිඇල්ල ඔවුන්ගේ කතාවට ආරම්භයක් දුන්නේය. ලොකු නියඟයකින් පස්සේ ලොකු වැස්සක් ඒවි කියලා අපේ නෝනා මට කිව්වා. කාලගුණ දෙපාර්තමේන්තුවට ඒක නොතේරීම අභාග්‍යයක්' කිරිඇල්ල යළිත් කීවේය. 'ආපදා ඇමැතිතුමා අගමැතිතුමාට අනවශ්‍ය ප්‍රහාරයක් එල්ල කරලා' වජිර කීවේය. 'විපක්ෂය ගංවතුරෙනුත් වාසි ගන්න හදනවා. රජය මොකුත් කළේ නැහැ නැතිලු. හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන් කියන්නෙ රජය නොවෙයිද'යි විජයදාස විමසා සිටියේය.

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු පත් කිරීම ගැනත් මෙහිදී අදහස් හුවමාරු විය. 'ජනාධිපතිතුමයි අගමැතිතුමයි කතා කරලයි ඒ වෙනස්කම් කළේ. තමන්ගෙ තනතුරු වෙනස් කරලා දෙන්න කියල අපේ තුන් දෙනෙක් අගමැතිතුමාගෙන් ඉල්ලල තිබුණා' කිරිඇල්ල කීවේය.

ගංවතුර විපත සැලවෙමින් පවතිද්දී සිය අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සිය අමාත්‍යාංශය වෙත කැඳවූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ වහාම ගම්මානවලට ගොස් සිදු වී ඇති අලාභහානි සොයා බලා අවශ්‍ය ප්‍රතිපාදන සහ යන්ත්‍රසූත්‍ර ද රැගෙන ගොස් සහන සැලසීමට එක්වන ලෙසය.

හම්බන්තොට දිස්ත්‍රික්කයට ගිය සජිත්ට දැනගැනීමට ලැබුණේ තංගල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පානීය ජල ව්‍යාපෘති 4ක් ගංවතුරෙන් සහමුලින්ම අකර්මණ්‍ය වී පැවැතීම නිසා පවුල් 25,000කට වැඩි ප්‍රමාණයක් උග්‍ර ජල ප්‍රශ්නයකට මුහුණ දී සිටින බවයි. සජිත් සිය පරිත්‍යාගශීලී හිතවතුන් එකිනෙකා වෙත දුරකතන ඇමතුම් දෙමින් "තත්ත්වය භයානකයි. හැම තැනම ගංවතුර....ජනතාවට බොන්න වතුර නැහැ"යි කීවේය. ඒ අනුව හිතවතුන් වතුර බෝතල ඇසිරූ ලොරි ගණනාවක් කොළඹින් පිටත් කර යවද්දී තංගල්ලේ මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා උප දිසාපති කොට්ඨාස 8 තුළ ඒවා ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් බෙදා හැරීමටද සජිත් සියලු කටයුතු සූදානම් කර තිබුණේය. සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට හා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන ලෙස දන්වා තිබුණත් සජිත් ජනාධිපතිවරයා අමතා දැනුම් දුන්නේ ඉතා භාරදූර කාර්යයක නියැළී සිටින නිසා තමන් ඒ රැස්වීම්වලින් නිදහස් කරන්නැයි කියාය. "හරි හරි මං දන්නවා. ඔයා වැඩේ කරගෙන යන්න" ජනාධිපතිවරයාගේ පිළිතුර විය. සජිත් ඉන් අනතුරුව කතා කළේ ලක්විජය සාගර පලන්සූරිය - ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාටය. "බරපතළ නිවාස හානි සිදුවෙලා තිබෙන කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, ගම්පහ දිස්ත්‍රික්කවල තත්ත්වය සොයා බලන්න ක්ෂණික විහිදුම් බළකායන් 5ක් යවන්න. හම්බන්තොට දිස්ත්‍රික්කය මම තනියම බලා ගන්නම්. හැම දිසාපතිවරයකුටම මම දැනටමත් කතා කරලයි තිබෙන්නේ. දත්ත, විස්තර ඉක්මනින් ලබා දෙන්න ඒ අය සූදානම්" කියාය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සෙසු නායකයන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන්ද ගෙවී ගිය සතිය පුරා වෙහෙස වූයේ නාය යෑම්, ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමටය.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල හා රත්නපුර යන ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල නායකයන්ට සහාය පිණිස සෙසු දිස්ත්‍රික්කවල නායකයන් හා පක්ෂ ක්‍රියාකාරීන් යෙදවීමේ සම්බන්ධීකරණ කටයුතු පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ විසින් සිදුකොට තිබිණි.
ඒ අනුව විමල් කොළඹට වඩා දැඩි විපතකට ලක්ව තිබූ කළුතර දිස්ත්‍රික්කයේ සහන සැපයීමේ කටයුතු සඳහා කළුතර දිස්ත්‍රික් නායක ජයන්ත සමරවීර සමඟ එක්ව කටයුතු කරන අයුරු දැක ගත හැකි විය. ආපදා තත්ත්වය ඇරඹි මොහොතේ නිල සංචාරයක නිරතව සිටි මාතර දිස්ත්‍රික් නායක, නිරෝෂන් ප්‍රේමරත්න දිවයිනට පැමිණෙන තෙක් තනිවද පසුව ඔහු හා එක්වද මාතර දිස්ත්‍රික්කයේ සහන සේවා සැපයීමේ කටයුතුවලට නයකත්වය දෙනු ලැබුවේ උදයශාන්ත ගුණසේකර විසිනි.
අවතැන් වූ ජනතාවට වියළි ආහාර හා පිසූ ආහාර සැපයීම, විපතට පත්වූවන් බෝට්ටු මඟින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යෑම, කිසිවකුගේ නෙත නොගැටුණු ස්ථානවල රැඳී සිටි විපතට පත් වූ ජනතාව සොයා ගොස් ඔවුන්ට පිළිසරණක් වීම හා විපතට පත් නිවාස හා විහාරස්ථාන ශුද්ධ පවිත්‍ර කර දීම යන කටයුතු ජානිපෙ සහන සේවා මෙහෙයුමේ මූලික අංග විය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ නාය යෑමෙන් ජීවිත හානි හා දේපළ හානි විශාල වශයෙන් සිදුව ඇති, කිසිවකුගේ පිළිසරණක් නොලැබුණු ගම්මානවල දිවි ගලවාගත් ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඒවා ලබාදීමට විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර විශේෂ පරිශ්‍රමයක් දැරූහ. බුලත්සිංහල, යටම්පිටිය, නාගහ‍ෙදාල එවැනි ගම්මානයකි. එහි නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 30කට අධික විය. "ගම මළ ගමක්" වුවද පසුගිය සඳුදා සවස් වන තෙක් විපතට පත් ගම්වාසීන්ගේ පිහිටට සිටියේ ගමේ පන්සලේ හාමුදුරුවන් පමණි. ගමනෙහි දුෂ්කරතා විඳ දරා ගනිමින් විමල් හා ජයන්ත ඇතුළු ජානිපෙ සහන සේවා කණ්ඩායම් එම ගම්මානය වෙත ළඟා වන විට සඳුදා රාත්‍රියද උදා වී තිබිණි.

"ඔබතුමා පාර්ලිමේන්තුවේ අපි ගැන කතා කරනවා. අපි ඒ බව දන්නවා. ආණ්ඩුවෙන් කිසිම වගකිවයුත්තෙක් මේ පැත්ත පළාතේ නොආපු තත්ත්වයක් ඇතුළේ ඔබතුමාගේ පැමිණීම අපට ලොකු ශක්තියක්. මේ වනතෙක් අපට පන්සලේ හාමුදුරුවන්ගේ පිහිට පමණයි තිබුණේ" තමන්ගේ දුක සැප බලන්න ආපු විමල්ට නාහග‍ෙදාළ ගමේ මිනිස්සු කීවේ එහෙම කතාවකි. විමල් සහ ජයන්ත ඇතුළු ජානිපෙ සහන සේවා කණ්ඩායම ඒ දුකට පත් වූ මිනිසුන්ගෙන් සමුගත්තේ ඔවුන් වෙනුවෙන් ඒ මොහොතේ කළ හැකි සියල්ල ඉටු කරමින් හෙට දිනයේද ඔවුන් වෙනුවෙන් කැපවෙන බවට පොරොන්දු වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෝ පසුගිය සතියේ 'රතු තරුව' සමඟ ආපදා සහන සේවා කටයුතුවල යෙදී සිටියහ. එම පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ වැටුප් අරමුදල්වලින් විපතට පත් ජනතාවට සහන ලබාදීමටද ජවිපෙ තීරණය කළේය. බුලත්සිංහල, අගලවත්ත, මිල්ලණිය, හොරණ, ඉංගිරිය ප්‍රදේශවල සහන කැඳවුරු පැවැත්වූ අතර කළුතර, ‍ෙදාඩන්ගොඩ, බුලත්සිංහල, මතුගම යන ප්‍රදේශවල වෛද්‍ය සායන පැවැත්විය. ඔෟෂධ ඉල්ලා වෛද්‍ය නලින්ද ජයතිස්ස තමන්ගේ ෆේස්බුක් ගිණුමේ දැමූ සටහන අනුව ඊට ප්‍රතිචාර වශයෙන් විශාල පිරිසකගෙන් පරිත්‍යාග ලැබී තිබිණි.

ජවිපෙ මාතර දිස්ත්‍රික්කයේ සහන කටයුතු කළේ හඳුන්නෙත්තිගේ මෙහෙය වීමෙන්ය. තිහගොඩ ප්‍රදේශයට ගිය ජවිපෙ නායක අනුර කුමාරට ජනතාව කිවේ 'පක්ෂ නායකයෙක් විධියට ඔබතුමා දකින්න ලැබීමත් සතුටුයි' යනුවෙන්ය. මාතර, මොරවක්කන්ද ප්‍රදේශයේ ජවිපෙ සාමාජිකයකුගේ පවුලේ දස දෙනකු පමණ ගංවතුරෙන් මිය ගොස් තිබියදී ඔහු වරල්ල සහන මධ්‍යස්ථානයට සම්බන්ධ වී විපතට පත් වූවන් වෙනුවෙන් වැඩකිරීමද මෙහිදී සියලු දෙනාගේ විශේෂ අවධානයට යොමු විය.

ආපදා තත්ත්වයේදී ජනතාවට උදව් කිරීම සඳහා මෙවර මැති ඇමැතිවරුන් කැපවී කටයුතු කරනු බොහෝ දෙනකුගේ අවධානයට ලක්වී තිබිණි. නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම සරන් කොටයක් ඇඳගෙන දිවා රෑ නොබලා වෙහෙස මහන්සි විය. නාමල් රාජපක්‍ෂ වයසක මවක් ඔසවාගෙන යෑම, අනුරාධ ජයරත්න හාල් ගෝනි කර ගැසීම ඒ අතර මාධ්‍යවල බොහෝ අවධානයට ලක්ව තිබුණේය.

ජනාධිපතිගේ පුත් දහම් සිරිසේනද හානියට පත් ප්‍රදේශවලට යමින් සහන සැලසීමේ කටයුතුවල යෙදී සිටියේය. රත්නපුරේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, ගංගාරාම ශ්‍රී මහා විහාරය ආදී ස්ථානවලට ගොස් ද්‍රව්‍ය බෙදා දුන්නේය. එසේ යමින් සිටි දහම්ට පවිත්‍රා වන්නිආරච්චි හදිසියෙන් මුණගැසිණි. ඇය වාහනයෙන් බැස ඔහු සමීපයට පැමිණ "ආ... පුතා වැඩ පටන් ගත්තද හොඳයි හොඳයි සමන් දෙවියන්ගෙ අඩවියෙන්ම පටන්ගත් එක හොඳයි" ඇය පැවැසුවාය. අනතුරුව ඔවුහු විනාඩි කිහිපයක් කතා කළහ. එහෙත් ඒවා දේශපාලන කාරණා වූයේ නැත.

බද්දේගම ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටියදී ජීවිතක්ෂයට පත් ගුවන් හමුදාවේ නිලධාරියකු වූ සේනක යාපාරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති, කතානායක ඇතුළු විශාල පිරිසක් වරින්වර මිනුවන්ගොඩ පිහිටි ඔහුගේ නිවෙසට ගියහ. ඔහුගේ එකම දරුවා වෙනුවෙන් ඕනෑම අවශ්‍යතාවකදී තමන් අමතන ලෙස එහිදී කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේ ඉතා හැඟුම්බර ස්වරූපයකිනි. මිනුවන්ගොඩ පදිංචි එඩ්වඩ් ගුණසේකර, ආශු මාරසිංහ යන මන්ත්‍රිවරුන්ද එහි පැමිණ සිටි අතර මේ වීරෝදාර නිලධාරියා වෙනුවෙන් ඉටු විය යුතු අවශ්‍යතා පිළිබඳ තමා දැනුවත් කරන ලෙසද එහිදී කතානායකවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර හිටපු ජනපති මහින්ද මිය ගිය යාපාරත්නගේ බිරියට ඇමැතුමක් දුන්නේය. ඒ ප්‍රසන්න රණතුංගගේ දුරකතනයෙන්ය. 'මට හරි කනගාටුයි වෙච්ච දේට. ඔයාගෙ මහත්තයා නැති වුණේ අසරණ මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න ගිහිල්ලා. ඒ හින්දා කනගාටුවන්න එපා. රණවිරුවො කියන්නෙ හැම තිස්සෙම අනුන්ගෙ ජීවිත බේරා ගන්න තමන්ගෙ ජීවිත පරදුවට තබන පිරිසක්' මහින්ද ඇය අස්වසාලමින් කීවේය.

ජාතිවාදී වැඩ මෙන්ම ප්‍රකාශද දැන් දැන් වැඩි වශයෙන් ඇසෙයි. ඒත් රජය ඒ පිළිබඳ පුළුල් ලෙස අවධානයක් යොමු කරන බවක් නොපෙනේ. සංහිඳියාවේ නාමයෙන් සිදුවන විනාශයන් අබිමුව මුනිවත රකින අතරම ඒ පිළිබඳ හඬ නඟන පාර්ශ්වවලට චෝදනා කරන අයුරුද දැක ගත හැකිය. නීතිඥ සංගමයේ සභාපති යූ. ආර්. ද සිල්වා පසුගියදා නිවේදනයක් නිකුත් කළේය. ජාතිවාදී, වර්ගවාදී ක්‍රියාවන්ට එරෙහිව සිදුකරන දේවල් මෙන්ම වෛරී සහගත ප්‍රකාශවලටද රජය විසින් දැඩි පියවර ගත යුතු බව ඔහු එමගින් අවධාරණය කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon