අන්තවාදීන්ට ඉඩ නොදෙනු

  👤  3009 readers have read this article !
2017-06-05

ජාතිවාදී, ආගම්වාදී හා වර්ගවාදී ක්‍රියා සිදු කරන පුද්ගලයන්ටත් එවැනි මතවාද වපුරන මාධ්‍ය හා සමාජ ජාලා වෙබ් අඩවිවලටත් එරෙහිව නීතිය තදින් ක්‍රියාවට නඟන ලෙසට පොලිස්පතිවරයා අදාළ අංශ දැනුවත් කෙරුණු බව වාර්තා වී තිබේ. පසුගිය කාලය තුළ රට තුළ කෙමෙන් වර්ධනය වෙමින් පැවති ජාතිවාදී හා ආගම්වාදී උසිගැන්වීම් සැලකිල්ලට ගනිමින් රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී දැනට පවතින උදාසීනකම පිළිබඳව මෙයට පෙර අවස්ථා කිහිපයකදීම අපි පෙන්වා දුන්නෙමු. ප්‍රමාද වී නමුත් එවැනි සෘජු පියවරක් ගැනීමට තීරණය කිරීම ඉතා වැදගත් වේ.

දැනට මෙරට පවතින නීතිය යටතේ ජාතිවාදී ආගම්වාදී ක්‍රියා සිදු කරන පුද්ගලයන් වසර 10ක් දක්වා වූ සිර දඬුවමකට යටත් කළ හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා විසින් ද පොලිස්පතිවරයාට පෙන්වා දී ඇති බව පසුගියදා අප පුවත්පත අනාවරණය කළේය. මේ ප්‍රශ්නයට රජයේ සෘජු අවධානය යොමුවීම පිළිබඳව අපි සතුටට පත්වෙමු.

රටක සාමය යහපැවැත්ම දරාගත නොහැකි අන්තවාදී කණ්ඩායම් ඕනෑම සමාජයක දැකිය හැකිය. එහෙත් එවැනි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය පාලනය කෙරෙන තදබල නීති පද්ධතියක් අවශ්‍ය වන්නේ ඔවුන්ගෙන් සමාජයට සිදුවන අනර්ථය බරපතළ වන හෙයිනි. ලංකාව නිදහසින් පසු ගෙවුණු 60 වසර මුළුල්ලේම ජාතිවාදී ආගම්වාදී උන්මත්තකයන් නිසා පීඩා විඳි රටකි.

ජාතිවාදී අරගල නිසා ඇතිවූ කළු පැල්ලම් මෑත ඉතිහාසය පුරාම දකින්නට තිබේ. 1915, 1958, 1979, 1983 ආදී වසරවල මෙරට අන්තවාදීන් ම්ලේච්ඡ අන්දමින් හැසිරෙමින් සහෝදර ජන කොටසකගේ ජීවිත හානි කළ බව ලෝකයම දනී. 1983 කළු ජූලිය මෙහිදී තීරණාත්මකය. දෙමළ භාෂාව කතා කළ ජනයා ප්‍රසිද්ධියේ මරා දැමූ එකී සිදුවීම් දීර්ඝ කාලයක් මුළුල්ලේ අප ඇති කරගෙන තිබූ ජාත්‍යන්තර ප්‍රතිරූපය සුනු විසුනු කර දැමීය. ශ්‍රී ලාංකිකයා වනාහී බාබේරියන්වරුන් වැනි අශිෂ්ට ජාතියක් යැයි ලෝකයා නිර්වචනය කරන්නටද එය හේතු වූයේය. දකුණේ අන්තවාදීන් උතුරට ගොස් යාපනේ පුස්තකාලය ගිනිබත් කිරීමත් එම ම්ලේච්ඡ අපරාධයට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් ලෝකයේ ශිෂ්ට මිනිස්සු පිළිකුලෙන් හෙළා දුටහ.

කුප්‍රකට කළු ජූලියේ අනියම් ප්‍රතිඵලයක් වූයේ රැඩිකල් තරුණ පිරිසකගේ කුඩා සංවිධානයක් වූ කොටි සංවිධානය කෙටි කාලයක් තුළ ලෝකයේ ප්‍රබලම සන්නද්ධ ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමය. රට තිස් වසරක යුද්ධයකට ගොදුරුවීමත් ලක්ෂයකට අධික ජීවිත ජාතියට අහිමි වීමත් එහි අවසන් ප්‍රතිඵලය වූයේය. එය යළිත් වරක් අත්විඳිය යුතු යැයි සිහිබුද්ධිය ඇති කිසිවකු කල්පනා නොකරනු ඇත.

නීතියද අභියෝගයට ලක්කරමින් මුස්ලිම් ප්‍රජාව කෙරෙහි වෛරය පතුරුවන අන්තවාදී කොටස්වල අවනීතික ක්‍රියා පසුගියදා ස්ථාන කීපයකින් වාර්තා වූ බව රහසක් නොවේ. එවැනි ක්‍රියා අනෙකුත් ජන කොට්ඨාසවල සිටින අන්තවාදීන්ටද උඩගෙඩි දීමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ජාතිවාදය සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා තීරණාත්මක ලෙස මුලිනුපුටා දැමිය යුතුය. නිය පහරින් සිඳලිය හැකි දේ පොරොවෙන් කපන්නට සිදුවන තෙක් වර්ධනය වීමට ඉඩ නොදිය යුතුය.

ආගම්වාදයද එසේමය. අනෙකාගේ ජාතිය, ආගම සහ සංස්කෘතිය ඉවසන්නට හුරු පුරුදු වූ ශ්‍රී ලාංකිකයන් හැටියට සහෝදරත්වයෙන් බැඳුණු ජනතාවකගෙන් තොරව රටකට යාහැකි ඉදිරි ගමනක් නැත. ලබාගත හැකි සංවර්ධනයක් නැත. සංහිඳියාව යථාර්ථයක් කරගනු පිණිස රටේ පාලකයන් එඩිතර තීන්දු ගත යුතුවාක් මෙන්ම භාවිතාවෙන්ම ඊට නායකත්වය දිය යුතුය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon