මහනුවර විද්‍යාර්ථයට පැමිණි දඹානේ වන්නිලැත්තෝ

  👤  3094 readers have read this article !
2017-06-07

මෙවර ජගත් පරිසර දිනය වෙනුවෙන් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ප්‍රාථමික අංශය සංවිධානය කළ සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වී තිබුණේ දඹානේ ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති උෟරුවරිගේ වන්නිලැත්තෝය. දේශපාලනඥයකුට ආරාධනා නොකර පරිසර දින සැමරුමට දඹාන ආදිවාසී නායකයාට ආරාධනා කිරීම කෙතරම් අවස්ථාවෝචිතදැයි සිතෙන්නේ එතුමා එහිදී කර ඇති කතාව විමසා බැලූ විටය.

ආදිවාසී නායකයා සිය කතාවේදී ප්‍රකාශ කර ඇත්තේ වැඩිහිටියන්ට පරිසරයේ ඇති වැදගත්කම අවබෝධ කර දීම අසීරු කරුණක් බවත් පාසල් දරුදැරියන් දැනුම්වත් කොට පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඔවුන්ට පැහැදිලි කරදිය යුතු බවත්ය. ඇත්ත වශයෙන්ම කළ යුත්තේද එයමය. අඩුම ගණනේ මින් ඉදිරියටවත් පරිසරය විනාශ මුඛයට නොයවා රැකගත හැක්කේ දරු පරපුර පරිසරයට ආදරය කරන්නන් වුවහොත් පමණි. වැඩිහිටියන් කරන්නේ ඊනියා සංවර්ධනයේ නාමයෙන් පරිසරයට හානි පැමිණීවීමය. මුදල පසුපස හඹායන මේ සමාජයේ පරිසරයද ඔවුන්ට මුදල් උපයන මාර්ගයක් පමණක් වී ඇත. මනුෂ්‍යයාට හා සමානව කුරා කුහුඹුවන්ට පවා මේ පරිසරය අයිති බව නොසිතීම ඛේදවාචකයකි.

ගෞතම බුදුන් වහන්සේට අනුව මනුෂ්‍යයා යනු සොබාදහමේ තවත් එක් නිමැවුමක් පමණි. සොබාදහම මනුෂ්‍යයාගේ දේපොළක් නොව, සත්ත්ව සංහතියේ තාවකාලික නවාතැන්පොළක් පමණක් යන්න බුදුන් වහන්සේගේ දේශනාවය. එරික් ෆ්‍රොම් වැනි මාක්ස්වාදී දාර්ශනිකයන්ද කියා සිටියේ මනුෂ්‍යයාට මෙන්ම ගහකොළවලටද සෙසු සත්ත්වයන්ටද ඇත්තේ සම අයිතියක් බවය. සොබාදහමෙන් වෙන්වූ ජීවිතයක්, සංවර්ධනයක් මනුෂ්‍යයාට නැතැයි ඔහු කියා ඇත. එරික් ෆ්‍රොම්ගේ අදහස් බුදුන් වහන්සේගේ ධර්මය සමඟ සම්පාත වන බව පෙනේ. බෞද්ධයකු නොවූවද ආදිවාසී නායකයාද දක්වා ඇත්තේ එවැනි අදහසකි. පරිසරය ආරක්ෂා කර ගැනීම උදෙසා 'සමරු දින' වැඩසටහන්, සමුළු, සංවිධාන, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු කොතෙක් තිබුණද පිටරටවල මෙන්ම මෙරටද දිනෙන් දින පරිසරය විනාශ වෙමින් පවතී.

ආදිවාසී නායකයා මේ විනාශයට හේතුව ලෙස දක්වා ඇත්තේ මුදල් ඉපැයීමට යොමුවී ඇති මනුෂ්‍යයාගේ තරගකාරීත්වයයි. ඔවුන්ට ගහකොළ, වැල්, මල් ඇතුළු පරිසරය අමතක වී යමින් පවතී. සොබාදහමට පිටුපා යන මේ නොනිමි තරගය ගැනත් ඉන් මනුෂ්‍ය වර්ගයාට සිදුවන විපත ගැනත් ෆ්‍රෙඩ්රික් එංගල්ස්ද පැහැදිලිව සඳහන් කර ඇත. එහෙත් මේ වනවිට ලංකාව පමණක් නොව ලෝකයම සොබාදහමට සතුරු වී සිටී. එහි ප්‍රතිවිපාක රටේ සැලකිය යුතු සංඛ්‍යාවක් මේ වනවිට භුක්ති විඳිමින් සිටිති.

පරිසරයෙන් මුදල් ඉපැයීමට නොහැකි බවත්, පරිසරය විනාශ කිරීමෙන් පමණක් මුදල් ඉපැයිය හැකි බවත් ආදිවාසී නායකයා ප්‍රකාශ කර තිබිණි. පහත් බිම් ගොඩකර ජලය බැසයන ස්ථාන අවහිර කර තිබීම ගංවතුර උවදුර දරුණු වීමට හේතුවක් බවත් ගොවියාගෙන් ලැබෙන අස්වැන්න දෙගුණ තෙගුණ කර ගැනීමට රසායනික ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් මනුෂ්‍යයා රෝගාබාධවලට ගොදුරු වී ඇති බවත් එතුමාගේ අදහසය. ආදිවාසී නායකයාගේ මේ කතාව පාලකයන් පමණක් නොව සියලු දෙනාගේම අවධානයට යොමුවිය යුතුය.

ආපදා කළමනාකරණ පරිසර සංරක්ෂක වැඩමුළු, සම්මන්ත්‍රණවලට සහභාගි වී නැති නමුත් උපාධි ඩිප්ලෝමා හදාරා නැති නමුත් ආදිවාසී නායකයාගේ අදහස් සාරගර්භය. පරිසර හිතකාමීය.

සොබාදහමට පිටුපා මුදල වෙනුවෙන් පෙනී සිටින සමාජයක කොන්දේසි විරහිතව සොබාදහම වෙනුවෙන් පෙනී සිටි ආදිවාසී නායකයාගේ කතාව ඇමෙරිකානු ආදිවාසී නායක සියැටල් සිහි කැඳවන බව කීම අතිශයෝක්තියක් නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon