මිහිඳු හිමිගේ දහම් පණිවිඩය

  👤  4448 readers have read this article !
2017-06-08

ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නෙහි පොසොන් පොහෝ දින මිහිඳු මහ රහතන් වහන්සේ භාරතයේ සිට මෙරටට වැඩම කළේ පියාණන් වූ අශෝක අධිරාජ්‍යයා හෙවත් ධර්මාශෝක රජතුමා විසින් දේවානම් පියතිස්ස හෙවත් තිස්ස රජු වෙත ලබා දෙන්නැයි කියූ දහම් පණිවිඩයත් රැගෙනය.

අසිරිමත් පොසොන් පොහෝ දින මිගදායේදී තිස්ස රජු බුදුන් සරණ යෑම මෙරට නව ශිෂ්ටාචාරයක ඇරැඹුම සනිටුහන් කළේය. බුදුන් වහන්සේ දේශනා කළ පංචශීලයට අනුගතව අහිංසාව, කරුණාව සහ මෛත්‍රීය මුල් කරගත් ගමනක් ඉන් ඇරැඹිණි. බුදු දහම සමඟ භාරතයේ කලා ශිල්ප, කෘෂි තාක්ෂණය, සාහිත්‍ය හා අධ්‍යාපනය වැනි අංග රැසක උරුමයද ලැබිණි. ඉන් මෙරට සිදු වූ දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතිකමය පෙරැළිය කෙතරම්ද යත් ලංකාවේ සැබෑ ඉතිහාසය ඇරැඹෙන්නේ ලක්වැසියන් බුදු දහම වැලඳගත් දා සිට යැයි මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ ප්‍රකාශයෙන් තහවුරු වේ.

බුද්ධාගම මෙරට මුල් බැස ගැනීම නිසා බෞද්ධ සංස්කෘතිය තුළ සුපෝෂිත වූ ප්‍රබුද්ධ පිරිස සමාජය තුළ වැඩී වර්ධනය විය. ඉකුත් දිනවල රට මුහුණදුන් විපතේදීත්, ඊට පෙර ඇතිවූ විපත්වලදීත් විපතට පත් සහෝදර ජනතාව වෙනුවෙන් සෙස්සන් දැක්වූ කරුණාව, දයාව ඒ ප්‍රබුද්ධත්වයෙන් ගොඩනැඟුණක් බව නොකිවමනාය.
සතා සීපාවාගේ ජීවිතයට පවා ගරු කිරීමේ ප්‍රතිපදාව සියලු සත්ත්වයන්ට මෛත්‍රී කිරීමට කියාදුන් බුදුන් වහන්සේගෙන් අපට ලැබුණකි. එහෙත් වෛරයෙන් වෛරය නොසංසිඳේ යන බුදු වදන අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා වෛරය, හිංසාව පතුරුවන්නන් වර්තමාන සමාජයේ බහුල වෙමින් පවතින බව පෙනේ. සොබාදහම සමඟ සහජීවනය වෙනුවට පරිසරයේ වටිනාකම මුදල්වලින් මනින පිරිසද වර්තමාන සමාජයේ බහුලව දැකිය හැකිය.

ලොව ප්‍රථම සත්ත්ව අභය භූමිය මිහින්තලා අඩවියේ බිහි වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් එහිදී අරඹන ලද සාම විප්ලවය නිසාය. එහෙත් අපගේ නිරුපද්‍රිත පැවැත්මේ ප්‍රමුඛ සාධකයක් වූ සොබාදහම සමඟ තිබූ බැඳියාව ලිහිල් වෙමින් තිබේ. ඊට හේතුව බුදු දහමෙන් අෑත් වෙමින් මිථ්‍යාවන්ට අනුගත වෙමින් සිටීමය.
සතුට පරම ධනය යැයි බුදුන් වදාළ දහමට පිටුපා සතුට ඇත්තේ 'මුදල්' මත යන පටු අදහසට කොටුවෙමින් සිටින සමාජයකට පොසොන් පුන් පොහෝ දිනයේ මිස්සක පව්වේ සිට අනුබුදු මිහිඳු හිමි දුන් දහම් පණිවිඩය කුමක්දැයි සිහි කැඳවීමට කාලය පැමිණ ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon