කටාර් ප්‍රශ්නය සහ අපේ ඇත්තෝ

  👤  3392 readers have read this article !
2017-06-09

සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි රටවල් කිහිපයක් මැද පෙරදිග රටක් වන කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතහැර දැමීමට තීරණය කළේ එරට ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දෙන්නේ යැයි චෝදනා කරමිනි.

අදාළ තීරණය ගත් රටවල් නියෝග කර ඇත්තේ කටාර් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වහා සිය රටවලින් පිටවන ලෙසය. කටාර් බලා යෑමද ඒ රටවල් එම සිය වැසියන්ට තහනම් කර ඇත. ගුවන් සමාගම් කිහිපයක් කටාර් රාජ්‍යය වෙත පියාසර කිරීමද අත්හිටුවා තිබේ. බරපතළම කාරණය වී ඇත්තේ කටාර් රාජ්‍යයට මායිම්ව ඇති රටක් වන සෞදි අරාබිය සිය දේශ සීමා වසා දැමීම නිසා ප්‍රවාහන කටයුතු ඇනහිට තිබීමය. ඉන් කටාර් රාජ්‍ය තුළ දැඩි ආහාර හිඟයක් මතුව ඇතැයි වාර්තා වී ඇත.
කටාර් රාජ්‍යය ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දෙන බව සත්‍යයක් විය හැකිය. එහෙත් ඒ චෝදනාවම සෞදි අරාබිය ඇතුළු ඇතැම් මැද පෙරදිග රටවලටද එල්ල වී ඇත. ඇමෙරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවලටද මේ චෝදනාව එල්ල වී තිබිණි. තලෙයිබාන්වරුන්ට, ඔසාමා බින් ලාඩන්ලාට ආරම්භයේ දී උදවු උපකාර කළේ ඇමෙරිකාව බවට චෝදනා එල්ල වූ අතර කොමියුනිස්ට් ව්‍යාපාරයට එරෙහිව ඉස්ලාමීය අන්තවාදය ඉස්මතු කිරීම ඇමෙරිකාවේ අරමුණ වූ බව පැවැසේ. එහෙත් වර්තමානයේ ඉස්ලාමීය අන්තවාදයෙන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බැට කමින් සිටී. මෙවැනි පසුබිමක කටාර් රාජ්‍යයට සම්බාධක පැනවීම කුමන අර්ථයකින් කළා දැයි පැහැදිලි නැත.

එහෙත් කටාර් රාජ්‍යයට මෙලෙස තහංචි පැනවීම ලංකාවටද බලපා තිබේ. ලාංකිකයන් එක් ලක්‍ෂ පනස් දහසක් එහි රැකියා කරන. කටාර් රාජ්‍යය මුහුණ දී ඇති අර්බුදය හමුවේ එරට වෙසෙන ලාංකිකයන්ගේ ඥාති හිත මිත්‍රාදීන් කලබල වීම සාධාරණය. එහෙත් යුද ගැටුමක් නොවන නිසා අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත. කටාර්හි සිටින අපේ තානාපතිවරයා ද එරට වෙසෙන ලාංකිකයන් ආරක්‍ෂා සහිතව වෙසෙන බව ප්‍රකාශ කර තිබිණි. ඇමැතිනි තලතා අතුකෝරල පවසා තිබුණේ ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බවය. ඊළඟ කැබිනට් රැස්වීමට විෂය භාර ඇමැතිවරයා හා විදේශ ඇමැතිවරයා "වාර්තා" ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත.
කටුනායක ගුවන්තොටුපොළේ බැංකු කිහිපයක් කටාර් රියාල් මුදල් මාරු කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා ගැටලුවක් මතු වුවද මුදල් ඇමැතිවරයා මැදිහත්වීප්‍රශ්නය නිරාකරණය කර තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටාර් රියාල් අවලංගු බව ප්‍රකාශ කර නැති නිසා බැංකුවලට ඒ සම්බන්ධ තීරණයක් ගත නොහැකි බව කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී ඇමැති රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබිණි.

කටාර් රාජ්‍යයේ වර්ධනය වන තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් සිටීම බලධාරීන්ගේ වගකීමය. එරට රැකියා කරන ලක්‍ෂයකට අධික ලාංකිකයන්ගේ සුරක්‍ෂිතතාව ඊට හේතුවය. ඊනියා ආපදා කළමනාකරණය මෙන් ගංවතුර නාය යෑම් සිදුවූ පසු කලබල වී ඵලක් නැත. මුහුද හත් ගව්වක් තියා අමුඩ ගැසිය යුතු නැතත් ලක ලෑස්ති වීම කොයිදේටත් හොඳය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon