භාණ්ඩාගාරයේත් මීයෝද?

  👤  2937 readers have read this article !
2017-06-11

මුදල් ඇමැති ධුරයේ වෙනසක් සිදු වෙද්දී බරපතළ චෝදනාවක් මුදල් අමාත්‍යාංශයට එල්ල වී තිබේ. නොබෝදා රජයේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව මුදල් අමාත්‍යාංශයට අදාළ මූල්‍ය වාර්තා පිළිගත නොහැකිය. මුදල් අමාත්‍යාංශය යනු රටේ මහා භාණ්ඩාගාරයයි. රාජ්‍ය භාණ්ඩාගාරයේ ආදායම් - වියදම් අතර ප්‍රශ්නයක් මතුවීම බරපතළ කාරණයකි.

මුදල් අමාත්‍යාංශය සුවිශේෂී අමාත්‍යාංශයක් වන්නේ අන් කිසිවක් නිසා නොව රාජ්‍යයේ ධනය එකතු වන භාණ්ඩාගාරය එය වන නිසාය. ජනතාවගෙන් ලබාගන්නා බදු මුදල්, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආදායම් දෙපාර්තමේන්තුවට එකතු වන අතර අන්තර්ජාතිකව හා ජාතිකව ගන්නා ණය, ණය දෙපාර්තමේන්තුව හරහා ලබා ගනී. ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීම සඳහා සෑම ආණ්ඩුවටම 'ණය' ගැනීමට සිදුව තිබේ. ණය උගුලක සිරවී ඇතැයි කියන්නේ එනිසාය. එකතු වන බදු ආදායම් හා ණය ආධාර මුදල් වියදම් කිරීමේදී එය සිදුවිය යුත්තේ විධිමත් ආකාරයකටය. එහෙත් මුදල් අමාත්‍යාංශය රිසි සේ තමන්ට බෙදාගෙන ඇතැයි විගණන වාර්තාවට අනුව පැහැදිලිය.

මුදල් අමාත්‍යාංශයේ අය - වැය දෙපාර්තමේන්තුවට වාහන මිලදී ගෙන ඇත්තේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් බව විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත. රජයේ ආයතනවලට මිලදී ගත් වාහන 86ක් භාර නොදී මුදල් අමාත්‍යාංශ අංගණයේ දීර්ඝ කාලයක් රඳවා තිබී ඇති බවද හෙළි වී තිබේ.

වඩාත් වැදගත් කාරණය වන්නේ මුදල් අමාත්‍යාංශය අය - වැය සම්බන්ධව පළ කර ඇති තොරතුරු දෝෂ සහගත බව විගණන වාර්තාව පෙන්වා දී තිබීමයි. මුදල් අමාත්‍යාංශය 2003 දරන මූල්‍ය කළමනාකරණ පනත උල්ලංඝනය කර ඇත. පාර්ලිමේන්තුවෙන් පවරන ලද බලය ඉක්මවා මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇතැයිද අදාළ වාර්තාවේ සඳහන්ය. මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. එහෙත් 2006 සිට පාර්ලිමේන්තුව ලබාදෙන බලය ඉක්මවා මුදල් අමාත්‍යාංශය ණය ගෙන ඇත.
2016 වසරේ රජයේ ආදායම්වලින් රුපියල් බිලියන 297ක් හිඟව පවතින අතර ඒ පිළිබඳ කිසිදු සටහනක් අමාත්‍යාංශයේ ගිණුම්වල සටහන් වී නැතැයි අදාළ වාර්තාව පෙන්වා දී තිබේ. 2017 වසරේදී කොළඹ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පිටරටින් ගෙන්වූ වාහන 82ක් වෙන්දේසි කිරීමෙන් රුපියල් මිලියන 400ක පාඩුවක් රජයට සිදුවී ඇත.

පරිස්සමට තියපු දේ අෑලියාවට ගියා වගෙයි කියන්නේ මෙවැනි දේවලටය. කනගාටුව වන්නේ දූෂණ වංචාවලට වැට බැඳ හොරු අල්ලා හිරේ දැමීමට පැමිණි යහපාලනයක් ඇතිකරන බව කී ආණ්ඩුවක් යටතේද මුදල් අමාත්‍යාංශයේ 'වැරැදි' සිදුවීමය. ලෝකයේ දූෂිතම රටවල් අතර ලංකාවට ඉහළ තැනක් හිමිවන්නේ එනිසාය. මෛත්‍රි - රනිල් ආණ්ඩුව වගේම රාජපක්ෂ ආණ්ඩුවද 'මූල්‍ය' කටයුතුවලදී පාරදෘශ්‍යභාවයෙන් යුතුව වැඩ කර නැත. වැට් ඇතුළු බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශයට පැවැති උනන්දුව අන් දේවලට තිබී නැති බව පැහැදිලිය.

ජනතාවට සිදුව ඇත්තේ වක්කඩේ හකුරු හැංගුවා වැනි වැඩකි. රටේ මුදල් පරිස්සමින් විය පැහැදම් කිරීමට භාරදී ඇති මුදල් අමාත්‍යාංශය වගකීම් විරහිතව මෙලෙස වැඩ කරන්නේ නම් සෙසු අමාත්‍යාංශ ගැන කවර කතාද? විගණකාධිපති වාර්තාව වැරැදි යැයි මේ වනතුරු මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර නැත. අනෙක විගණකාධිපතිවරයාට වැරැදේ යැයි සිතිය නොහැකිය.

නව මුදල් ඇමැති මංගල සමරවීරට පළමුවෙන්ම කිරීමට සිදුව ඇත්තේ රටේ ආර්ථිකය නැංවීමට ක්‍රම සහ විධි සොයා බලනවා වෙනුවට මුදල් අමාත්‍යාංශය පිරිසුදු කර වැඩ පටන් ගැනීමටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon