ජපානයෙන් මහින්ද සුළඟක් හමාවිද?

  👤  4605 readers have read this article !
2017-06-11

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමක් බදාදා සවස පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් එවැනි රැස්වීමක් පසුගිය සතියේ ද පැවැත්වුණේය. එහෙත් මෙහි අරමුණ වූයේ ආපදා තත්ත්වය සම්බන්ධ සිකුරාදා පැවැත්වෙන විවාදය සම්බන්ධව සාකච්ඡා කිරීමයි. ආපදා අවස්ථාවේ විපතට පත් අයට සහන සැලසීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ බව මෙහිදී ජනාධිපතිවරයා ස්තුති පූර්වකව සිහිපත් කළේය. "සමහරු කියනවා මේව කළේ හමුදාව කියලා. හමුදාව කියන්නෙත් රජයේ කොටසක් තමයි. නමුත් පටු වාසි ගන්න මේ මොහොතෙත් ඇතැමුන් බොරු චෝදනා එල්ල කරනවා" මෛත්‍රි වැඩිදුරටත් කීවේය.

මේ අතර විවාදයට කථිකයන් තෝරා ගැනීමේදී ඒ සඳහා 30කට අධික පිරිසක් ඉදිරිපත් වූහ. ඒ සියලු දෙනාටම අදහස් දැක්වීමට අවස්ථාව දුන්නොත් පාර්ලිමේන්තු රැස්වීම් කාලය දිගු වන බවට එහිදී අදහසක් ඇති විය. "කමක් නෑ, රෑ 12 වුණත් කමක් නෑ. කාලය ලබා දෙන්න" ජනාධිපතිවරයා කීවේය.

මේ රැස්වීම අවසානයේ මුජිබර් රහුමාන් තවත් ප්‍රශ්නයක් පිළිබඳ අවධානය යොමු කළේය. "මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලටත් දිගින් දිගටම පහර දෙනවා. මේවා වළක්වන්න පොලිසිය අසමත් වෙලා. පොලිසිය ක්‍රියා කරන්නේ නැත්නම් ස්වාභාවික ආපදාවට වඩා වැඩි ආපදාවක් රටට වෙන්න පුළුවන්." ඔහු දැඩිව අවධාරණය කළේය. "මේක පිටිපස්සේ ඉන්නේ කවුද?" එහිදී ජනාධිපතිවරයා විමසීය. "පසුගිය ආණ්ඩුවේ අය. අප මේක පැහැදිලිව මීට කලිනුත් කියලා තියෙනවා. මේ ආණ්ඩුව පත් කරන්නත් හේතු වුණේ මේ කරුණු තමයි" මුජිබර් කීවේය. මේ අතර හර්ෂ ද සිල්වා "මාගේ ආසනයෙත් මේ වගේ දේවල් සිදු වෙලා, මේවා දිගින් දිගටම සිදු වෙන්න දෙන්න එපා" යැයි කීවේය. "මේක විසඳන්න පොලිසියට කරන්න බැරි නම් හමුදාවට හරි භාර දෙමු." ජනාධිපතිවරයා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ දිනවල සිටින්නේ ජපානයේ සංචාරයක නිරත වෙමින්ය. පියල් නිශාන්ත, රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටිති. ජපානයේ සිටින මහින්දට එරට වෙළෙඳ ඇමැති ටෙහිනීරෝ නිකායි ඇතුළු පිරිසක්ද හමු විය. "අපි ඔබතුමා පිළිගන්නේ හිටපු ජනාධිපතිවරයා විදියට නෙවෙයි ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ කරලා රටට නිදහස ලබාදුන් විශිෂ්ට නායකයකු ලෙසයි" ජපන් ඇමැතිවරයා මහින්දට කීවේය. "හැම විටම ශ්‍රී ලංකාවේ දියුණුවට ජපානය ලබාදුන් සහයෝගය වෙනුවෙන් මම ස්තූති කරනවා" එහිදී මහින්ද කීවේය.

ජපන් සංචාරය අතරතුර ටෝකියෝ මුසුකි කුණු ප්‍රතිචක්‍රියකරණ ව්‍යාපෘතිය නිරීක්ෂණයටද මහින්ද සහභාගි විය. එමෙන්ම කටාර්හි ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවර බව පිළිබඳවද අවධානය යොමු කළේය. කටාර්හි ශ්‍රී ලංකේය සංවිධාන කීපයක නියෝජිතයන්ට කතා කළ මහින්ද එම තොරතුරු ලබා ගැනීමෙන් පසුව ඇමෙරිකාවේ සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ හට දුරකතන ඇමතුමක් දුන්නේය. "කටාර් අර්බුදය පිළිබඳ මැදිහන් වී කටයුතු කරන්න" යැයි ඔහු අගමැතිගෙන් ඉල්ලීය. එම ඉල්ලීම කළ මහින්ද රනිල්ගේ සැප සනීප විමසීමටද අමතක කළේ නැත.

හිටපු ජනාධිපති මහින්දගේ ජපන් සංචාරය මෙරට දේශපාලන වෙනසකට පාදක වන ඉඟියක් වන්නේද යන්න පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ අවදානයට ලක්වී ඇත. ඒ පසුගිය සඳුදා ජපානයේදී සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හමුවී සාකච්ඡා කිරීම ඇතුළු කරුණු කීපයක් පාදක කර ගනිමින්ය. මෙය නව ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය ගනු ලබන උත්සාහයේ එක් අවස්ථාවක්ද යන්න මහින්දගේ ජපන් සංචාරය පිළිබඳ අවධානය යොමු වී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ වර්ෂයක් පාසා සිංගප්පූරුවේදී සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයකට අනුව වැඩිදුර පරීක්ෂණයක් සිදු කළ යුතු බැවින් හෙතෙම ඇමෙරිකාවට ගියේය. ඒ අනුව පෙස්බෙටේරියන් විශ්වවිද්‍යාල රෝහලට ඇතුළු වී එම පරීක්ෂණයට පෙනී සිටි ඔහුට ශල්‍යකර්මයක් කිරීම අවශ්‍ය නොවන බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය විය.

අගමැති රනිල් වික්‍රමසිංහ සඳුදා එක්සත් ජාතීන්ගේ සාගර හා සාගර සම්පත් තිරසර ලෙස භාවිතය පිළිබඳ සමුළුව ඇමතුවේය. එහිදී ඔහු ඉදිරිපත් කළ පරිසර සංකල්ප දෙස බොහෝ දෙනකුගේ අවධානය යොමු විය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙෂ් හමුවීමටද අගමැතිවරයාට අවස්ථාව සැලසුණේය. "ශ්‍රී ලංකාව දැන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා තිරසර සංවර්ධනය පැත්තෙන් හොඳ ගමනක් යනවා. ලෝකයේම සහාය ඊට ලැබෙනවා" මහ ලේකම්වරයා එහිදී කීය.

මේ අතර ඇමෙරිකා සංචාරය අතරතුර මෙරට සිටින මැති ඇමැතිවරුන්ට කතා කරමින් විස්තර ලබා ගැනීමටද අගමැතිවරයා කටයුතු කරයි. අගමැති රටේ නොමැති නිසා පක්ෂයේ වගකීම් දරන්නේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින්ය. "ඔබතුමා දැන් අපේ අගමැතිතුමා වගෙයි" බ්‍රහස්පතින්දා සභා නායක කාර්යාලයට ගිය දයා ගමගේ කිරිඇල්ලට කීවේය. "අගමැතිතුමා නැති නිසා ඔබතුමන්ගේ වැඩ දෙගුණ තෙගුණ වෙලා කියලා ආරංචියි." විජයදාසද එම කතාබහට එක් විය. කිරිඇල්ල ඊට සිනහවකින් පිළිතුරු දී ආපදා තත්ත්වයට මුහුණ දීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡාවක නිරත වූහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒ අතර ජනාධිපති මෛත්‍රි බංග්ලාදේශයට යෑමට සූදානම් වෙයි. ඒ ජූලි 13දාය. එරට අගමැතිනි ෂික් හසීනාගේ ඇරැයුමකට අනුව හෙතෙම බංග්ලාදේශයට යයි. මෙරට බංග්ලාදේශයේ මහ කොමසාරිස් රියල් සමිදුල්ලා විසින් පසුගියදා එම ආරාධනය සිදු කොට තිබිණි. එරට නිල චාරිකාව අතරතුර ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකටද අස්සන් කිරීමට සූදානමින් සිටියි.

රටේ පවතින තත්ත්වය පිළිබඳ තානාපතිවරුන් දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය පියවර ගෙන තිබේ. ඒ අනුව දිනේෂ්, ප්‍රසන්න, නාමල් ඇතුළු පිරිසක් බ්‍රහස්පතින්දා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි යුරෝපා සංගම් කාර්යාලයේදී එහි නියෝජිතයන් මුණගැසුණහ. "ආණ්ඩුව දිගින් දිගටම දේශපාලන පළි ගැනීම් කරනවා. දේශපාලනඥයන්ගෙන් පමණක් නෙවෙයි නිලධාරීන්ගෙනුත් පළි ගන්නවා." දිනේෂ් කීවේය. "හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරලා කොටි සංවිධානයේ අය නිදහස් කරනවා. අවුරුදු ගණනක් හිරේ ඉන්න නිලධාරීන්ට තාම චෝදනාවක්වත් ගොනු කරලා නැහැ" ප්‍රසන්න රණතුංග තවත් කරුණක් පෙන්වා දුන්නේය.

මන්ත්‍රිවරුන්ගේ එම අදහස් දැක්වීම සාවධානව අසා සිටි යුරෝපා සංගමයේ නියෝජිතයන් ඔවුන්ගෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගැන විපක්ෂයේ අදහස් විමසා සිටියේය. "ආණ්ඩුව හදන්නේ කොටි ඩයස්පෝරාවට ඕන විදියට මේ රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. අපි ඒකට එකඟ නැහැ" ඒ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් එලෙස කළේ දිනේෂ්ය. "අපි අපේ ස්ථාවරය පැහැදිලිව ආණ්ඩුවට කියලා තියෙනවා. ඒකීයභාවය කියන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නැයි ඒ ගොල්ලෝ හදන්නේ. අපි කොහොමත් ඒකට එකඟ නැහැ" ඔහු වැඩිදුරටත් කීවේය. එහෙත් එම නියෝජිතයෝ ඒ පිළිබඳව විමසන්නට වූහ. "ව්‍යවස්ථාව වෙනස් කරන්න අපිට වඩා ඕනකමක් තියෙන්නේ ඔබතුමාලටනේ. රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධනයකට අපි කොහොමත් එකඟ වෙන්නේ නැහැ." දිනේෂ් බැරිම තැන දැඩි ස්වරයෙන් කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා දහවල් පාර්ලිමේන්තුවේ කමිටු කාමර 4දී පැවැත්විණි. ඒ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. ගංවතුර ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා මන්ත්‍රිවරුන්ගේ මාසික දීමනාව ආපදා සහන ගිණුමට බැර කරන ලෙස සන්ධාන මහ ලේකම් අමරවීර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් කළ ඉල්ලීම පිළිබඳ මෙහිදී පළමුව අවධානය යොමු විය. එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කරමින් බොහෝ දෙනෙක් අදහස් පළ කරන්නට වූහ. "පසුගිය දවස්වල අපේ මන්ත්‍රිතුමන්ලා පුළුවන් විදියට මේ තැන්වල බැහැලා මිනිස්සුන්ට උදවු කෙරුවා. අපිත් අපේ පැතිවලින් බඩු එකතු කරලා ඒ පැත්තට යැව්වා. මිනිස්සුයි මාධ්‍යයි නොඉන්න මේ ආණ්ඩුවේ අමුඩෙත් නැති වෙනවා" ප්‍රසන්න රණතුංග කියා සිටියේය. "අපි ඒකාබද්ධයෙන් වෙනම වැඩපිළිවෙළක් යොදවන්න ඕන" යැයි යෝජනා කළේ රංජිත් සොයිසාය. "හැබැයි අපේ මන්ත්‍රිවරු දැනටමත් පුළුවන් විදියට උදවු කරනවා" ඩලස් කී කතාව පවිත්‍රාද අනුමත කළාය. කෙහෙලිය කීවේ ආණ්ඩුව සමඟ කිසිම දෙයක් නොකළ යුතු බවකි. එසේ අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂය අමරවීරගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

මේ අතර සනත් නිශාන්ත මන්ත්‍රිවරයාට එරහිව සිදු කෙරෙන විනය පරීක්ෂණ පිළිබඳව මන්ත්‍රි කණ්ඩායමේ අවධානයට ලක්විය. "මම මේ ගැන උසාවියට යනවා. හැබැයි ඒකට ලොකු මුදලක් වැය වෙනවා" සනත් නිශාන්ත සඳහන් කළේය. සනත් නිශාන්ත මන්ත්‍රිවරයාට වැය වන මුදල් දැරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු සූදානම් වුවද ඔහු ඊට එකඟ වූයේ නැත. ඉඩමක් විකුණා ඒ සඳහා මුදල් සොයා ගන්නා බව ඔහු කීවේය.

ආපදා තත්ත්වය හමුවේ මුදා ගැනීම් හා සහන සේවා සම්බන්ධීකරණයේ සක්‍රිය වැඩ කොටසක් ඉටු කළ කතානායක කරු ජයසූරිය විපතට පත් කළුතර, රත්නපුර හා මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ගොස් පෞද්ගලිකව එම ගමන අතරතුර කතානායකවරයා ගංවතුරට ලක්වූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාගේ මාකඳුරේ නිවෙසටද ගියේය. තමන් ගංවතුරෙන් බේරී ඉණිමඟක් දිගේ නැඟ ගිය හැටි එහිදී අමාත්‍යවරයා විස්තර කර සිටියේය. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතානායකවරයා ගියේ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාද සමඟිනි. එහිදී ගංවතුරට හසුවී සිටියදී බේරා ගනු ලැබූ ගැබිනි මවක් තමන් බිහි කළ කිරි කැටි දරුවා සමඟ රෝහලේ සිට සිය නිවෙසට නොගොස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දරුවා සමඟ පැමිණ ස්තුති කිරීමේ පුවතක් ප්‍රාදේශීය ලේකම්වරයා මතක් කළේය. එය අසා සිටි කතානායකවරයා "එම දරුවට ගඟට සම්බන්ධ නමක් තැබුවා නම් හොඳයි" යනුවෙන් යෝජනා කළේය.

ගංවතුර හා නාය යෑමෙන් විනාශ වූ ප්‍රදේශවල ජනතාවට පිහිට වූ දේශපාලනඥයෝ රැසක්ම පසුගිය දිනවල සමාජ ජාලවල ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූහ. පාලිත තෙවරප්පෙරුමට පසුව වඩාත්ම කතාබහට ලක් වූයේ නාමල් රාජපක්ෂගේ ඡායාරූප පිළිබඳවයි. නාමල් නිවෙසක අත්තිවාරමක් කපන ඡායාරූපයක්ද ඒ අතර විය. නාමල් එලෙස උදවු කළේ කටුවන ප්‍රදේශයේ පදිංචි මහේෂ් සඳරුවන් නමැති තරුණයාගේ නිවෙස ඉදිකිරීම සඳහාය. පසුගිය ඉරිදා එම අවස්ථාවට ඩී. වී. චානක මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. අත්තිවාරම කපමින් සිටි නාමල්ට "බලාගෙන හාරන්න, හංගපු රත්තරන් හමු වේවි" යැයි චානක විහිළු කරද්දී "ඔය වළ හාරපන් මේකෙන් නොවෙයි ඕකෙන් තමයි හම්බ වෙන්නේ" නාමල්ද පෙරළා විහිළුවක් කළේය. "නාමල් මන්ත්‍රිතුමා ඔය වළ කපන එක ෆේස්බුක් දමලා හංගපු රත්තරන් හොයනවා කියලා කියාවිද දන්නේ නැහැ" යි චානක යළිත් කීවේය. "ඕන කෙනෙක් ඕන එකක් කරපු දෙන්. මිනිස්සු දන්නවා ඒවා මඩ කියලා" නාමල් දුන්නේ එවැනි පිළිතුරකි.

පාර්ලිමේන්තු සතියක් නිසා මේ අඟහරුවාදා කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් පත්‍රිකා 17කට පමණ අනුමැතිය පළ වී තිබිණි. කටාර් රාජ්‍යයේ අර්බුදය පිළිබඳ මෙහිදී විදේශ ඇමැති රවිත් විදේශ රැකියා ඇමැති තලතාත් තමන්ට ලැබී ඇති කරුණු සම්බන්ධයෙන් අනාවරණයක් කළහ. ශ්‍රී ලාංකිකයන්ට මේ දක්වා කරදරයක් නොමැති බව ඔවුන්ගේ අදහස වී තිබිණි. එහෙත් ලබන කැබිනට් මණ්ඩල රැස්වීමට විශේෂ වාර්තාවක් ඒ පිළිබඳ ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැන්වීය.

තමන් කෙසෙල් ගෙඩි 3ක් නම හා ඡායාරූපය යොදා ගනිමින් සහනාධාර ලෙස බෙදූ බවට සමාජ ජාලවල පළවූ පුවත අසත්‍ය බව සඳහන් කරමින් ගයන්ත මෙහිදී දිගු විස්තරයක් කළේය. තමන් ඒ පිළිබඳ සී. අයි. ඩී. යට පැමිණිලි කළ බවද ඔහු දැන්වීය. "ඔව්, ඔව් මේවට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි." ජනාධිපතිවරයාද එහිදී කීවේය. "මේක කරන්නේ එක්තරා පවුලක පුතෙක්ගේ ලේකම්වරයෙක් කියලා දැන් හෙළි වෙලා. මේ මඩ ගහන්න තිස් දෙනකුගෙන් විතර කණ්ඩායමක් බඳවාගෙන මධ්‍යස්ථානයකුත් ආරම්භ කොට තිබෙනවා." රාජිතද එම කතාබහට එක් වූයේය.

මේ අතර මුස්ලිම් ජාතිකයන්ට විවිධ හිරිහැර වන බව කියමින් ඒවා පාලනය කිරීමට රජයේ අපොහොසත්කම පිළිබඳ චෝදනාවක් රිෂාඩ් ද ඉදිරිපත් කළේය. එමෙන්ම ඔහු තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් "මම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකා ගැන සාකච්ඡා කිරීමට පෙර ඒවායේ විස්තර පිටට ගිහින්" යැයි කීවේය. "ඒ මොකද්ද" එම අවස්ථාවේ ජනාධිපතිවරයා විමසීමක් කළේය. ශ්‍රී ලංකා ඛනිජවැලි සමාගම පෞද්ගලීකරණය කිරීමට අදාළ තොරතුරු පිටවී ඇති බව එසේ ප්‍රකාශ විය."මම ඒක අගමැතිතුමා ඉන්න ආර්ථික කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කරන්නම්." රිෂාඩ් පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අඟහරුවාදා හම්බන්තොට ගියේය. ඒ ගංවතුර සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධ සාකච්ඡාවක් සඳහාය. ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය පැමිණියේ රුහුණු මාගම්පුර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙතයි. ඔහු පිළිගැනීමට පැමිණ සිටි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එහිදී සිය මෝටර් රථයේ නංවාගත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවට සහභාගි විය. "මෙහේ වැඩ කටයුතු හොඳින් සිදු වෙනවා කියලා මට ආරංචියි." එහිදී ජනාධිපතිවරයා සජිත්ට පැවැසීය.

ප්‍රගති සමාලෝචන රැස්වීම අතරතුර හම්බන්තොට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පවතින ගිලන් රථ හිඟය පිළිබඳ අවධානය යොමු කළේය. ඒ සමඟම සජිත් ජනාධිපතිවරයාගේ කනට ළං වෙමින් "මේකට හොඳ විසඳුමක් තියෙනවා සර්. ආපසු යන්න වාහනේට නැග්ගම මම කියන්නම්" යැයි පැවැසීය. ඒ අනුව රැස්වීම අවසානයේ ජනාධිපතිවරයා සමඟ මෝටර් රථයට නැඟුණු සජිත් "ජපානයේ අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් පාවිච්චි කළ ඉතා නවීන ගිලන් රථ නොමිලේ පරිත්‍යාග කරන වැඩපිළිවෙළක් තියෙනවා. අපට තිබෙන්නේ ඉල්ලීමක් කරන්න විතරයි. මමත් ඒවා අරන් දෙන්න උත්සාහ කළා. ඒත් මේ නිලධාරි පන්තිය එක එක රෙගුලාසි කිය කියා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ අයට ඕන රජයේ මුදලින් ඇණවුම් කරලා ගෙන්වන්න" යැයි සඳහන් කළේය. "සජිත් ඔයා මට මේකට අදාළ විස්තර දෙන්න. අපි ඒ වැඩේ පටන් ගන්න බලමු" යැයි ජනාධිපතිවරයා කීවේය.

ජීවිත රැසක් බිලිගත් ඩෙංගු මදුරුවා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භික්ෂුණින් වහන්සේ නමකගේ ජීවිතය ඉකුත් 1දා බිලිගත්තේය. ඒ කොට්ටාවේ ශාන්ත නන්දා භික්ෂුණියයි.
දේශීය මාධ්‍ය හා සමාජ වෙබ් අඩවි හරහා සමාජගත වූ මෙම සිද්ධිය ජපානයේ සංචාරයක යෙදී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනගත් වහාම ඔහුගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ කතා කර අපවත් වී වදාළ භික්ෂුණීන් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති ගොරකානේ ශාඛ්‍යධීතා භික්ෂුණී ආරාමය වෙත ගොස් කටයුතු සොයා බලා තමාට කතා කරන ලෙස දැනුම් දුන්නේය.

එහි ගිය හෙට්ටිගේ මහතා අපවත් වී වදාළ භික්ෂුණින් වහන්සේගේ පියා වන මාධ්‍යවේදී දයා පෙරේරා හමුවී තොරතුරු විමසා එම ස්ථානයේ සිටම මහින්ද රාජපක්ෂ දුරකතනයට සම්බන්ධ කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා දයා පෙරේරා සමඟ පැය භාගයකට ආසන්න කාලයක් කතා කර ශෝකය බෙදා ගෙන ඇත. "රටට සමාජයට ප්‍රයෝජනවත් අය මේ ඩෙංගු රෝගයට බිලි වෙනවා. මේක මර්දනය කරන්න ආණ්ඩුව පියවරක් ගන්න උනන්දු වෙන්නේ නැහැ. ආණ්ඩුව සංවිධානාත්මකව නිසි වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කරනවා නම් මේ වසංගතය විශාල වශයෙන් මැඬපවත්වා ගන්න පුළුවන්." හිටපු ජනාධිපතිවරයා කීවේ ශෝකය බෙදා ගනිමින්ය.

ජනාධිපති මෛත්‍රි දකුණේ ගොඩනඟන බව කියන ශ්‍රී ලනිප නායකයා යැයි පැවසෙන මහින්ද අමරවීර බදාදා රාත්‍රි සාදයක් පැවැත්වීය. ඒ මාලඹේ පිහිටි හෝටලයකදීය. ඊට දේශපාලන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ඔහුගේ හිතවත්තු රැසක් පැමිණ සිටියහ. දයාසිරි, දුමින්ද, නිමල්, ඉන්දික, ලක්ෂ්මන් වසන්ත ඇතුළු පිරිසට අමතරව ආරුමුගම් තොණ්ඩමාන්, දේවානන්දා වැනි පිරිසක්ද එක්ව සිටීම විශේෂත්වයක් විය. මහවැලි නියෝජ්‍ය ඇමැති තනතුර ඇතුළුව ජනාධිපතිගෙන් විවිරණ රැසක් ලැබීම එම සාදය සංවිධානය කිරීමට හේතු වී තිබිණි. එය අලුයම එක දක්වාම පැවැත්වීය.

පොලිසියේ ඉහළ තනතුරක් දරන පුද්ගලයකු මේ දිනවල පළාත් සභා මැතිවරණයට එජාප අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වන බවට පොලිසියෙන්ම ආරංචි පැතිර යමින් තිබේ. මොහුගේ අපේක්ෂාව මධ්‍යම හෝ වයඹ පළාතෙන් මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටයි. මේ සම්බන්ධයෙන් ඔහු පසුගිය දිනවල ප්‍රසිද්ධ ජේ‍යාතිෂවේදීන් හමුවී අනාවැකි විමසා ඇත. ඒ ජයග්‍රහණය කළ හැකිද යන්න පිළිබඳවයි. අනාවැකිකරුවන්ගේ අදහස වී ඇත්තේ ජයග්‍රහණය කළ හැකි බවටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon