ඇමැති මාරුව

  👤  3453 readers have read this article !
2017-06-12

1948දී රාජ්‍ය පාලන බලය ඉංගී්‍රසීන්ගෙන් ස්වදේශිකයන් අතට පත්වීමෙන් පසු මහජන ඡන්දයෙන් පිහිටුවා ගත් ආණ්ඩුවල කැබිනට් මණ්ඩලය අතේ ඇඟිලි ගණනට මඳක් වැඩි වුවද ඒ කිසිවක් 'මෙගා' කැබිනට් වූයේ නැත. කැබිනට් මණ්ඩලය තරවීම ඇරැඹුණේ 1977න් පසු ආර්ථිකය විවෘත කිරීමත්, විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමත් සමඟය.

ඉකුත් දශක තුනක කාලය තුළ කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ඇමැති මණ්ඩලය රටට ඔරොත්තු නොදෙන තරමට තර වන්නට විය. කැබිනට් ඇමැතිවරුන්, කැබිනට් නොවන ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස ඇමැතිවරුන් වර්ග කිහිපයකි. ප්‍රශ්නය වන්නේ අදාළ අමාත්‍යාංශ බෙදා වෙන් කර ඇත්තේ විද්‍යාත්මකවද යන්නය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට ඇමැති පට්ටම් බෙදාදීම හැර එවැනි කිසිදු සැලසුමක් ආණ්ඩුවලට තිබුණේ නැත. මේ ආණ්ඩුවට ඇත්තේත් නැත. පැති මාරු කර විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට පැමිණි මන්ත්‍රිවරුන් අතරින් නියෝජ්‍ය ඇමැතිකමක් හෝ නොලැබුණු අයෙක් නැත. මේ නිසා සිද්ධ වී ඇත්තේ අමාත්‍යාංශ පැටව් ගැස්සවීමය. ඇතැම් අමාත්‍යාංශයකට ඇත්තේ එක් දෙපාර්තමේන්තුවක් පමණි. දෙපාර්තමේන්තුව වෙනුවෙන් අමාත්‍යාංශයක්, ඇමැතිවයකු, රාජ්‍ය ඇමැතිවරයකු හා නියෝජ්‍ය ඇමැතිවරයකු පත් කිරීම පාලකයන්ට සරල කාරණයකි. විද්‍යාත්මකව අමාත්‍යාංශ වෙන් කිරීම, ඇමැති ධුර අනවශ්‍ය ලෙස ලබා නොදීම, ඇමැතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද කප්පාදු කිරීම ආදී සියල්ල මැතිවරණ ප්‍රකාශවලට පමණක් සීමා වූ සුරංගනා කතා පමණි.

අමාත්‍යාංශ විද්‍යාත්මකව බෙදීම කෙසේ වෙතත් මේ වන විට අමාත්‍යාංශවලට අදාළ විෂයන්ද අවිධිමත් හා අකූමවත් ආකාරයට බෙදාදීමට පාලකයෝ කටයුතු කරමින් සිටිති. පසුගියදා කැබිනට් සංශෝධනයක් කළේ දූෂණ, වංචා, අක්‍රමිකතා හා අකාර්යක්ෂමතාව යන කාරණා මත පදනම්වය. එහෙත් අදාළ සංශෝධනයෙන් හුදු ඔළු ගෙඩි මාරුවක් මිස අන් යමක් සිදුවී නැත. ඉන් සිදුව ඇත්තේ තවත් කඩතොල්ලක් හදා ගැනීමය. මුදල් අමාත්‍යාංශයට මෙතෙක් අයිතිව තිබූ ආයතන කිහිපයක් විදේශ අමාත්‍යාංශයට ඉල්ලන බව මාධ්‍යවල පළ වී ඇත. අගමැතිවරයා ඇමෙරිකාවේ සිට දිවයිනට පැමිණි පසු අදාළ ඉල්ලීම් සලකා බලා තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවද පළවුණේ මාධ්‍යවලය.

ජනාධිපති හා අගමැති එකතු වී කුමන තීරණයක් ගනීදැයි කිසිවකු දන්නේ නැත. එහෙත් එක් දෙයක් පැහැදිලිය. අමාත්‍යාංශද විද්‍යාත්මකව නොව ඇමැති පට්ටම් ලබාදීම උදෙසා බෙදා වෙන්කර තිබියදී ඒ ඒ අමාත්‍යාංශවල විෂයට අදාළ ආයතනද මෙලෙස ඇමැතිවරුන්ට ඕනෑ ඕනෑ විදියට බෙදා දීමට ගියොත් ආණ්ඩුවම විහිළුවක් වීමට බැරි නැත.

ණය උගුලක සිරවී සිටින රටකට මෙගා ඇමැති මණ්ඩලය නඩත්තු කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇත. එසේ තිබියදී රටේ අභිවෘද්ධියට තඹ සතයකුදු වටිනාකමක් නොලැබෙන ලෙස අමාත්‍යාංශ හා විෂයන් බෙදා දෙනවා නම් එය ජාතික අපරාධයකි. ඒ ගැන පාලකයන්ට එකිනෙකාට ඇඟිල්ල දිගු කරගත නොහැකිය. මන්ද මේ සියලු දෙනා මාරුවෙන් මාරුවට ආණ්ඩු කරමින් මේ වරදම නොඑසේ නම් මීටත් වඩා වැරැදි කර ඇති නිසාය.

පව් නොකළ තැනැත්තකු පළමු ගල ගසන්නැයි ජේසුස් වහන්සේ කියූ විට සියලුදෙනා ගල් බිම දැමුවා සේ අනෙකාට ඇඟිල්ල දිගු කිරීමට කිසිවකුට නොහැකිය. වැඩ සිද්ධ වෙන්නේ මේ ආකාරයට නම් ගල් ගසා එළවිය යුත්තේ පාලක පන්තියයි. ප්‍රශ්නය වන්නේ පළමු ගල ගසන්නේ කවුරුන්ද යන්නය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon