දරුවන්ගේ ආරක්ෂාව සහතික කරනු

  👤  4351 readers have read this article !
2017-06-13

රටක් සමාජයක් යහපත් ශිෂ්ටසම්පන්න සමාජයක්ද යන්න මැන බලන්නට තිබෙන හොඳම මිනුම් දණ්ඩ වන්නේ එම සමාජය දරුවන් ආරක්ෂා කරනවාද, දරුවන්ට හොඳින් සලකනවාද නැද්ද යන්න සොයා මැන බැලීම වන්නේය. මෑතක සිට අපට ඇහෙන්නට දකින්නට තිබෙන සිදුවීම් වලින් ගම්‍ය වන්නේ ලාංකේය සමාජය දරුවන්ට නොසලකන, දරුවන් අනතුරේ හෙළන අවිචාරවත් යුගයක් පසුකරමින් සිටින බවය. ජාතියේ ජීවනාලිය ලෙස සැලකෙන දරුවන් වර්තමානයේ කොපමණ අවදානමකට ලක්වී තිබේද යන්නට උදාහරණ දිනපතා අසන්නට ලැබේ.

සංවර්ධනය, සමෘද්ධිය, ගැන කොපමණ ඉහළ මට්ටමේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළත් ලංකාවේ පාසල් යායුතු වයසේ දරුවන් 51,249 දෙනකු කිසි දිනෙක පාසල් ගොස් නැති බව නොබෝදා කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබිණි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2016 සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙරට ජනගහනයෙන් 4.6%ක්, එනම් 45,71,442ක් වයස අවුරුදු 5-17 අතර දරුවෝ වෙති. කිසිදා පාසල් නොගිය දරුවන් අතරට වැටෙන වැඩි පිරිස වතු ආශි්‍රතව ජීවත්වන මවුපියන්ගේ දරුවන් බවද එම වාර්තාව පෙන්වා දෙයි.

පසුගියදා අප පුවත්පත පළ කළ වාර්තාවක සඳහන් වූයේ මාතලේ දිස්ත්‍රික්කයේ දැරියන් 455 දෙනකු පසුගිය වසරේ ගර්භණීභාවයට පත්ව ඇති බවය. එය එසේ නම් එම දිස්ත්‍රික්කයේ ලිංගික අපයෝජනයට ලක්වූ දැරියන් ප්‍රමාණය ඊට වඩා 28 ගුණයකින් වැඩි විය යුතු බව සමාජ විද්‍යාඥයන්ගේ මතයයි. බොහෝමයක් දරුවන් අපයෝජනයන්ට ගොදුරු වන්නේ නිවෙස තුළදීම වීම වත්මන් සමාජය මුහුණ දෙන බරපතළ ඛේදවාචකයකි.

ලාංකේය සමාජය දරුවන්ට සතුරු, දරුවන්ට ආරක්ෂාව නොසලසන සමාජයක් බවට පරිවර්තනය වී ඇති බවට නිදසුන් දිනපතා අසන්නට ලැබේ. එක් පැත්තකින් දරුවන් මෙහෙකාර සේවයේ යොදවන මවුපියන් සිටින අතර දරුවන් සිඟමනේ යවන අවස්ථා කොතෙකුත් දකින්නට, අසන්නට ලැබේ. එපමණක් නොව දරුවා ගැන ඇති නොසැලකිල්ල නිසාම අම්මාට නියම කළ බෙහෙත් බීමෙන් සිඟිති දැරියක මියගිය පුවතක්ද අසන්නට ලැබිණි.

අනාරක්ෂිතව දරුවා යතුරුපැදියේ, ත්‍රීවීලරයේ ගෙන ගොස් වැඩිහිටියන් බේරී දරුවන් මියගිය අවස්ථා වාර්තා වූයේ එකක් දෙකක් නොවේ. එපමණක්ද නොව නොබෝදා පාසලක වහලය කඩාවැටී දරුවන් අනතුරට ලක්වූ අවස්ථාවක්ද අසන්නට ලැබිණි. ඒ සියල්ල පසෙක තිබියදී පවුල් ආරවුල් හේතුවෙන් ළිඳට, ගඟට පනින අම්මලා බෝනික්කන් වැනි කුඩා දරුවන් විපතේ හෙළන ලද අවස්ථාද නිතර වාර්තා වේ.

දරුවා අම්මාගේ තාත්තාගේ වුවද ඔහු වෙනත් සත්ත්වයෙකි. ඔහුට වෙනත් ජීවිතයක් ද තිබේ. ඔහුගේ ජීවිතය අවසන් කිරීමේ තීන්දුව ගන්නට මවට, පියාට හෝ වෙනත් කිසිවකුට අයිතියක් නැත. දරුවන් පීඩාවට පත්කිරීම මෙන්ම දරුවන්ට නොසලකා හැරීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය යුතු වැරැදි වන්නේය.
මිනිස්කම පරිහානියට පත් වී මුදල පසුපස හඹායන සමාජයක අප ජීවත් වන බව සැබෑය. එහෙත් සමාජයේ පවතින අවිචාරය මත දරුවන් දඩයමට ඉඩදිය නොහැකිය. ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම උදෙසා දරුවා කිහිල්ලේ ගසාගෙන ඉවක් බවක් නැතිව දුවන අම්මලා ඉතිරි පැය කීපය දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවන්නේ ඇයිදැයි යන්න වටහා ගත නොහැකිය. අප ජීවත් වන්නේ දරුවන් අපයෝජනය කරනු පිණිස නෙත් මානන බියකරු සමාජයක බව අමතක කළ යුතු නැත.
දරුවන්ගේ ආරක්ෂාව සඳහාම කැපවූ රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතනද කොතෙකුත් තිබේ. ඇමැතිවරුද, නියෝජ්‍ය ඇමැතිවරු ද, රාජ්‍ය ඇමැතිවරුද, අඩුවක් නැතිව සිටිති. එහෙත් ලංකාවේ දරුවන් අනතුරේය.

1998 අංක 5 දරන ළමා ආරක්ෂක පනත මෙන්ම 2005 අංක 34 දරන ගෘහස්ථ හිංසන වැළැක්වීමේ පනතද දැන් සක්‍රියව පවතී. එහෙත් එම පනත්වල ආරක්ෂාව දරුවන්ට සහතික නොවීම සමාජය මුහුණ දෙන බරපතළ අර්බුදයකි.

දරුවන් රටේ දරුවෝය. අනාගතයේ රට භාර ගන්නේ ඔවුන්ය. රටේ පාලකයන් පළමු හැන්ද බෙදිය යුත්තේ දරුවන්ටය. ප්‍රථමයෙන් සහතික කළ යුත්තේ දරුවන්ගේ ආරක්ෂාවය. ජාතික නිෂ්පාදනයේ හොඳම කොටස වැය කළ යුත්තේ දරුවන්ගේ පෝෂණය උදෙසාය. මහලු කුසීත පරපුටු පාලකයන්ගේ සුඛවිහරණය උදෙසා ජාතික ධනයේ වැඩි පංගුව වැය කරන රටක් දරුවන්ට කුඩම්මාගේ සැලකිල්ල දක්වයි නම් ඒ රටට අනාගතයක් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon