බොදු බලය නව ගමනකට සැරසෙයි

  👤  5465 readers have read this article !
2017-06-25

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවී ඇතැයි අක්‍රමිකතා සම්බන්ධව සොයා බැලීමේ අරමුණින් එහි ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්ෂ මණ්ඩලය කැබිනට් මණ්ඩලය හමුවට කැඳවන ලෙස කීවේ ජනාධිපති මෛත්‍රියි. ඒ පසුගිය 13දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. ඒ අනුව පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවට ඔවුන් කැඳවා තිබිණි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාව පැවැත්වුණේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේය. "කැමැති ඕනෑම කෙනකුට මෙයට සහභාගි වෙන්න පුළුවන්" ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීම අවසන්වත්ම කීවේය.

මේ සාකච්ඡාවට අගමැති ඇතුළු ඇමැතිවරු පිරිසක්ද එක් වූහ. මෙහිදී රාජිත "විෂය භාර අමාත්‍ය කබීර්ගේ අනුදැනුමකින් තොරව නව පත්වීම් 1300ක් සිදු කොට තිබෙනවා" යැයි චෝදනා කළේය. මෙහිදී ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ අදහස වූයේ සේවකයන් 1400 ඉවත් වූ නිසා ඒ වෙනුවට 1200ක් බඳවා ගත් බවකි. එහෙත් ඒවා අසත්‍ය බව කබීර්ද පෙන්වා දුන්නේ මේ කිසිවක් තමන් නොදන්නා බව කියමින්ය.
"මේක තවමත් ගෝඨාභය පත් කරපු පිරිසක් ඉන්නේ. මේ රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න ඔවුන් මේකේ හොල්මන් කරනවා" ෆොන්සේකා තවත් චෝදනාවක් කළ අතර පාඨලී ඊට සහාය පළ කරමින් අදහස් දැක්වීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 5කට ආසන්න බවත් රුපියල් මිලියන 10ක වාර්ෂික බෝනස් මුදලක් ලබා ගෙන ඇති බවත් මෙහිදී හෙළි විය. මෙහිදී ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සිවු දෙනෙක්ද කරුණු දක්වන්නට වූහ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කොට ඇත්තේ අගමැතිවරයා විසින්ය. ඒ අනුව ඔවුන්ගේ කතාබහට අගමැතිවරයා ද එක් විය. "අධ්‍යක්ෂ මණ්ඩලයේ අඩුපාඩු තියෙනවා. නමුත් මොවුන්ගේ පාලනය යටතේ අලාභය අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. පරිපාලන ගැටලු විස¼දා ගැනීම ඔවුන් සතු වගකීමක්" ඔහු පෙන්වා දුන්නේය. මේ කතාබහට එක්වූ ජනපති මෛත්‍රී "මේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇමැතිවරු කරන චෝදනා බරපතළයි. අධ්‍යක්ෂ මණ්ඩලයත් භේදභින්න වෙලා. මේ ගැන මම තීරණයක් ගන්නම්. ගුවන් සමාගමේ ලාභ අලාභ, වැටුප්, කරපු වැඩ ගැන, කරන වැඩ ගැන, සේවක පිරිස ආදිය පිළිබඳ කැබිනට් මණ්ඩලයට සති දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන්න" යැයි අවධාරණය කළේය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවී ඇති දූෂණ, වංචා පරීක්ෂා කිරීම සඳහා වත්මන් රජය විසින් පත් කරන ලද ජේ.සී. වැලිඅමුණ කමිටු වාර්තාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමටද එහිදී තීරණය කරනු ලැබිය.

පකිස්තානයේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා ලැබුණු ආරාධනාවකට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සඳුදා එරටට ගියේය. සිවු දින සංචාරයක් වූ ඊට මහින්ද සමඟ ජී. එල්., විමල්, ඩලස් ඇතුළු පිරිසක්ද එක් වී සිටියහ.

මහින්ද ඇතුළු පිරිස නවාතැන් ගත්තේ ඉස්ලාමාබාද්හි සෙරේනා හෝටලයේය. අඟහරුවාදා උදෑසන එහි පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලුතිනන් ජෙනරාල් රිස්වාන් අක්තාර් මහින්ද සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. "ඔබතුමා ත්‍රස්තවාදය පරාජය කිරීමට ලබාදුන් දේශපාලන නායකත්වය අපි හැමවිටම අගය කරනවා. ත්‍රස්තවාදයෙන් පීඩා විඳින රටක් වශයෙන් අපි ඔබතුමා දුන් ඒ දේශපාලන නායකත්වයේ වටිනාකම ගැන හොඳින් දන්නවා" කුලපතිවරයා කීවේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ "සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම්" නමින් දේශනය සිදු කළේ බ්‍රහස්පතින්දාය. සිය දේශනය ආරම්භයේදීම ජයග්‍රාහී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට සුබ පතන්නටද මහින්ද අමතක නොකළේය. දේශනය අවසානයේ මහින්දගෙන් ප්‍රශ්න ඇසීමටද අවස්ථාව උදාවිය. "ත්‍රස්තවාදියාට තේරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොඳ ත්‍රස්තවාදියා නරක ත්‍රස්තවාදියා කියා බෙදන්න එපා" එහිදී බටහිර මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද කීවේ, "මේ වගේ දරුණු යුද්ධයක් නිමා කරන්නට නායකත්වය දුන් ඔබතුමා පරාජයට පත්වූ අවස්ථාවේ මොකද්ද හිතුණෙ?" යනුවෙන් එහිදී මහින්දට තවත් ප්‍රශ්නයක් යොමු විය. "මුලින් නම් කනගාටුක් දැනුණා. නමුත් මේක තමයි ලෝක සොබාවය කියලා පසුව තේරුම් ගත්තා" මහින්ද දුන්නේ එවැනි පිළිතුරකි.

පකිස්තානයේ සෙනෙට් සභාවේ සභාපතිනි නුෂාඩ් සදිකි ඇතුළු නියෝජිත පිරිසක්ද මහින්ද හමුවී සාකච්ඡාවක නිරත වූහ. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පකිස්තානය නෙරපීමට ගත් තීන්දුවට එරෙහිව මහින්ද තනිව පෙනී සිටීම සිහිපත් කළ සෙනෙට් සභිකයෝ ඒ වෙනුවෙන් සිය ස්තූතිය පිරිනැමීමට එම නියෝජිතයෝ කටයුතු කළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාකිස්තානු ජනාධිපති මැම්මුන් හුසේන් අතර හමුවක් එරට ජනාධිපති කාර්යාලයේදී සිදු වූයේද බ්‍රහස්පතින්දාය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඇති සම්බන්ධය මෙහිදී පාකිස්තාන ජනාධිපතිවරයා ගෞරවයෙන් සිහිපත් කළේය. විශේෂයෙන්ම පාකිස්තානය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට ක්‍රියාක්මක කෙරුණු කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා මහින්ද දැරූ උත්සාහය පාකිස්තාන ඉතිහාසය තුළ අමරණීය සිද්ධියක් වශයෙන් සටහන්වී ඇති බවත් හෙතෙම සිහිපත් කළේය. එමෙන්ම පාකිස්තානය ඕනෑම උදව්වක් මහින්දට කිරීමට සූදානමින් සිටින බවත්, ඕනෑම උදව්වක් ඇත්නම් ඉල්ලා සිටින ලෙසද දැන්වීය. ඒ අනුව පාකිස්තානයේ ඇති බොදු සිද්ධස්ථාන රැක බලා ගන්නා ලෙස මහින්ද ඉල්ලා සිටියේය.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා ඉදිරිපත් කරමින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය උසාවි වරෙන්තුවක් ලබා ගෙන තිබුණත් සති තුනක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නැත. එහෙත් උන්වහන්සේ බදාදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අතර එහිදී ඇප ලැබිණි. ඉන් පසුව අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද උන්වහන්සේට ඇප ලැබිණි.
එහෙත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අබිමුව පොලිසිය දැඩි අපහසුතාවට පත්විය. හාමුදුරුවන්ට අධිකරණ තුනෙන්ම ඇප ලැබීමත්, පොලිසිය ඊට විරුද්ධ නොවීමත් පිටුපස ආණ්ඩුව උන්වහන්සේට සහාය පළ කළ බවට සමාජ මතයක් නිර්මාණය වී තිබේ.

මේ අතර අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාව කොළ එළියක් නිකුත් කළහ. සියම් නිකායේ මල්වතු පාර්ශ්වයත්, එහි රෝහණ පාර්ශ්වයත් ඊට සහාය පළකොට සිටියි. මේ අතර අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පෙරවරුවේ භික්‍ෂු සංවිධාන රැසක විශේෂ සාකච්ඡාවක් ගල්කිස්සේ ධර්මපාලාරාමයේදී පැවැත්විණි. බුද්ධ ශාසනයටත් මහ සංඝරත්නයටත් එල්ල වන බලපෑම් පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදුවිය. ඒ අනුව ඉදිරියේදී තෛ්‍රනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ සංඝරත්නය සාකච්ඡා කොට සංඝ කතිකාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට මේ වන විට සැලසුම් කොට තිබේ. මේ අතර බොදු බල සේනා සංවිධානය 2002 බෞද්ධ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලෙස කතානායක කරු ජයසූරියගෙන් මෙන්ම දේශපාලන පක්‍ෂවලින්ද ඉල්ලීමක් කිරීමට යයි. බෞද්ධ ශාසනයට සිදුවන බලපෑම් සම්බන්ධ ප්‍රකාශයට පත් කරන ලද එම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මේ වනතුරුත් කතිකාවට ගෙන නොමැත.

කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකා 22කට පමණ අනුමැතිය හිමි විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට 2015 මාර්තු මාසයේදී පොරොන්දු වූ කරුණු ඉටු කිරීම සඳහා අමාත්‍ය අනු කමිටුවක් පත් කිරීමට අගමැති වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ද මෙහිදී අනුමැතිය පළ විය. ඒ අනුව එම කමිටුව අගමැතිවරයා විසින් පත් කොට ඇත. රවි, මහින්ද, සාගල, ආචාර්ය විජයදාස, මාරපන, රුවන් සහ අචාර්ය හර්ෂ එහි නියෝජිතයෝ වෙති.

බස් ගාස්තු වැඩි කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවකටද මෙහිදී අනුමැතිය පළ විය. නිර්ණායක 12ක් පිළිබඳ සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු වැඩි කිරීමට එම අනුමැතිය හිමි විය. එමෙන්ම ලබන 2018 මගී ප්‍රවාහන ගාස්තු සංශෝධනයට පෙරාතුව ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමටද මෙහිදී විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලට භාර කෙරිණි. ජූලි 1දා සිට ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 6.28කින් වැඩි වන අතර රුපියල් 9 අවම බස් ගාස්තුව රුපියල් 10 දක්වාද වැඩි කෙරේ.

මේ අතර අමාත්‍යවරුන් විසින් සිදු කරන ලද යෝජනා සම්බන්ධව විරුද්ධ අදහස් ඉදිරිපත් වීම නිසා කැබිනට් මණ්ඩලයේ කටයුතු දැඩි ලෙස උණුසුම්කාරී මුහුණුවරක් ගත්තේය. ගොවි ගෙවිලියන් සඳහා ස්වයං රැකියා මධ්‍යස්ථානයක් ලෙස හතරලියද්ද ප්‍රදේශයේ ආපන ශාලාවක් ඉදි කිරීමට ඉඩමක් වෙන් කර ගැනීමට දුමින්ද යෝජනාවක් ගෙනාවේය. එහෙත් ඊට අමුණුගමගෙන් දැඩි විරෝධයක් එල්ල විය. "මගේ ආසනේ ඒවා මම බලාගන්නම්, ඒවට ඇඟිලි ගහන්න කවුරුවත් එන්න එපා." අමුණුගමගේ එම ප්‍රකාශයත් සමඟ ආපන ශාලා ඉදිකිරීමේ යෝජනාවද යටපත් විය.

මේ අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් මලික් යෝජනාවක් ඉදිරිපත් කළේය. ඊට විරෝධය පළ කරමින් "හැමදාම වෙළෙඳ ගිවිසුම් ගැන කියනවා. අපි දන්නේ නැහැ මොනව කරනවද කියලා. ඕවා ගේන්න එපා" දයාසිරි දැඩිව කියා සිටි අතර "ඔව්, ඔව්, ඒක ඇත්ත තමයි, කරුණාකරලා එහෙම ගිවිසුමක් අස්සන් කරනවා නම් ඊට පෙර කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්න" ජනාධිපති මෛත්‍රිද අවධාරණය කළේය.

එංගන්තයේ මහල් ගොඩනැඟිල්ලක් ගිනි ගැනීම පිළිබඳ උදාහරණයට ගනිමින් ගාමිණී ජයවික්‍රම මහල් නිවාස ඉදිකිරීම් සම්බන්ධව නව අදහසක් ඉදිරිපත් කළේය. "හැම තැනම තට්ටු 10 _ 15 ගොඩනැඟිලි හදනවා. ලන්ඩන්වල සිදුවුණු දේවල් ගැන පාඩම් ඉගෙන ගන්නෙ නැද්ද, හදිසි අවස්ථාවකදී අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද?" ඔහු විමසා සිටියේය. "ඔව්, ඒක ඇත්ත, මම ඒ ගැන අවධානය යොමු කරනවා" එහිදී පාඨලීි කීවේය.

මෙහිදී නැඟීසිටිමින් රවි කරුණානායක මහ බැංකු අධිපතිට චෝදනා කළේය. "හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල්ගෙ ගෝලයො යොදා ගෙන රටේ ආර්ථිකය ගැන එක එක කතා කියනවා. වත්මන් මහ බැංකු අධිපතිත් සම්මන්ත්‍රණ තිය තියා රටේ ආර්ථිකය දුර්වල වෙලා කියනවා. මේවට විරුද්ධව පියවර ගන්න ඕන" ඔහු කීවේය.
කොළඹ කුණු පුත්තලම ප්‍රදේශයට බැහැර කිරීමේ ව්‍යාපෘතිය නිසා කැබිනට් මණ්ඩල රැස්වීමේදී රිෂාඩ් හා පාඨලී අතර උණුසුම් කතාබහක් ඇති විය. "කොළඹ කුණු පුත්තලමට ගෙන එනවාට ජනතාව විරුද්ධයි. මේක නැති ප්‍රශ්න ඇති කරන වැඩක්" රිෂාඩ් කීවේය. "නැහැ මේකෙන් පරිසරයටත්, ජන ජීවිතයටත් හානියක් වෙන්නේ නැහැ. වළවල්වල විද්‍යානුකූල ක්‍රමයට කුණු බැහැර කිරීමක් තමයි සිදු කරන්නේ." පාඨලී කීවේය.

කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වන්නට තිබියදී ජනපති මෛත්‍රි කාරුණික ඉල්ලීමක් කළේය. ඒ ඇමැතිවරුන් තම ජංගම දුරකතනවලින් සිදු කරන දේවල් නිසා රැස්වීම ගැන අවධානය අඩු වී ඇති බව හැඟී ගිය නිසාය. "ඇමැතිතුමන්ලා ජංගම දුරකතන නොඟෙන එනවා නම් හොඳයි" ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීම අඟහරුවාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කමිටුශාලා හතරේදී පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයට අරමුදලක් නොමැතිවීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඒකාබද්ධයටත් අරමුදලක් තිබීමේ අවශ්‍යතාව දිනේෂ් පෙන්වා දුන්නේය. 'රට මුහුණ දෙන ආපදාවකදී අපට අරමුදලක් තිබෙන එක ඉතාම වැදගත්' ප්‍රසන්නද ඊට සහාය පළ කෙළේය. 'අපේ ඉදිරි දේශපාලන කටයුතුවලටත් එවැනි අරමුදලක් තියෙන එක හොඳයි' ප්‍රකාශ කළේ මහින්දානන්දයි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තීරණය කළේ සුබසාධක අරමුදලක් ලෙස ගිණුමක් ඇරැඹීමටයි. එහි භාණ්ඩාගාරික ධුරය මහින්දානන්දට පවරනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂය ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට කටයුතු කරන විරෝධතා ජන රැලිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. "ඒ ස¼දහා මන්ත්‍රිවරුන්ගෙන් ලැබෙන සහාය මදි. ජනතාවට එන්න වාහන ඕන." විමලවීර දිසානායක කීවේය. මේ ගැන අවධානය යොමු කළ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඉරිදා සිට එම ප්‍රදේශවලට ගොස් ජන රැලියේ සංවිධාන කටයුතුවලට මැදිහත්වීමට ඉදිරිපත් විය.

අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණෙන තුරු එජාප මැති ඇමැතිවරු පිරිසක් අග්‍රාමාත්‍ය නිල කාර්යාලයේ රැඳී සිටියහ. මෙහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීම ඔවුන්ගේ අරමුණ විය.

"විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පැනලා කෝටි ගණනක හානියක් කරලා" කිරිඇල්ල එම කතාබහට ආරම්භයක් දුන්නේය. "මහින්ද සිටියා නම් සයිටම් 10ක් හදලා. ආණ්ඩුව විරෝධතාවලට කන් දෙමින් සාකච්ඡා කරන අතරමැදි තැනකට එන්න සූදානම් වෙලා ඉන්න අතරෙ
ළමයි ප්‍රචණ්ඩත්වයට යෑම අනුමත කරන්න බැහැ සාගල මැදිහත්වෙලයි එස්. ටී. එෆ්. එක යවල තියෙන්නේ. එහෙම නොවුණා නම් ලොකු විනාශයක් වෙනවා" අගමැතිවරයා කීවේය. මේ අතර සිදුවී ඇති අලාභහානි මෙන්ම සිසුන් අමාත්‍යාංශයට ඇතුළු වන තුරු පොලිසිය නිශ්ශබ්දව සිටියේද යන්න පිළිබඳ විමර්ශන වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස අගමැතිවරයා පොලිසිය භාර අමාත්‍ය සාගලට දැනුම් දුන්නේය.

"මම ලංකාවේ නැති අතර කීප දෙනෙක් මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරලා තිබුණා. ඥානසාර හාමුදුරුවෝ මම හංගාගෙන හිටියා කියලා. මුස්ලිම් ජාතිවාදී මත වපුරන කීප දෙනකු මට ප්‍රහාර දීලා තිබුණා" ආචාර්ය විජයදාස තවත් කතාවක් කතාබහට ගෙන ආවේය. "හාමුදුරුවන් හෝ අපි හෝ කවුරුවත් රටේ නීතියට යටයි. පොලිසිය විශ්වාස මදි කියලත් මට පණිවුඩ ආවා. මම කිව්වා නීතිඥ උපදෙසුත් අරන් පොලිසිය විශ්වාස මදිනම් උසාවියට භාර වෙන්න කියලා. පොලිසියේ හෝ උසාවියේ වැඩවලට අපි ඇඟිලි ගහන්නේ නැහැ" අගමැතිවරයා කීවේය. "අන්තිමට විශ්වාස නැහැ කියපු පොලිසියම උන් වහන්සේට ඇප දෙනවට විරුද්ධ වුණෙත් නැහැ" විජයදාස යළිත් කීවේය. "අස්ගිරි පාර්ශ්වයේ නිවේදනයෙන් පස්සේ අපි රන්ගිරි දඹුලු විහාරය ගැන දැඩි තීන්දු ගන්න යනවා කියලා ප්‍රශ්නය වෙන අතකට දැමීමටත් උත්සාහයක් තියෙනවා. ඒක ඉතා වැරැදියි. මේ වටිනා විහාරය ලෝක උරුමයෙන් ඉවත් කරන අනතුරක් තියෙනවා. අපි බලන්නේ ඒක රැක ගන්නයි. ඒ තීන්දු ගත්තේ මේ සිදුවීම්වලට කලින්" අකිල කියා සිටියේය.

"විගණකාධිපති වගේ ශුද්ධවන්තයෙක් මේ රටේ නෑ වගෙයි, එතුමා හැසිරුණේ. වාහනයක් තියෙද්දී මාසෙකට පන් ලක්ෂ තිස් පන් දහසක් කුලී ගෙවලා පිටින් වාහනයක් ගැනීම හරිද?" යැයි රන්ජන් තවත් කරුණක් පිළිබඳ අවධානය යොමු කළේය.

"උතුරු පළාත් සභාව හා විග්නේශ්වරන්ගේ මහ ඇමැතිකම අර්බුදයට ගිහින් එක පාරටම ඒක ෂේප් වුණේ කොහොමද?" දයා ගමගේ විමසීය. ඒත් ඊට උත්තර දෙන්නට ඉදිරිපත් වූයේ කිරිඇල්ලයි. "විග්නේශ්වරන් පත් කරන්න මුල් වුණේ සම්බන්දන්. මාවෙයි සේනාධිරාජා පත් කරන්නයි මුලින් අදහස තිබිලා තියෙන්නේ. නමුත් දඟලන්න එපා කියන පණිවුඩයයි මේ විශ්වාස භංගය හරහා දීලා තියෙන්නේ. කිරිඇල්ල පවසත්ම අගමැතිවරයාද හිස සැලුවේය.

"කිරිඇල්ල ඇමැතිතුමාගේ විග්‍රහය හරියටම හරි නේද අගමැතිතුමා" රන්ජන් ඇසුවේය. "ඒ විස්තරේ හරිද දැනගන්නයි තවත් විස්තර දැනගන්නයි ඔයා සම්බන්දන්ට කතා කරන්න" අගමැතිවරයා කීවේය.

කතානායක කරු ජයසූරිය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පිරිසක්ද සමඟ පසුගියදා අනුරාධපුරයේ මහවිලච්චිය ගමට ගියහ. ඒ ඇලපත්ගම ශ්‍රී සෝභිත හිමි ගම්මානයේ සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක සමාරම්භය වෙනුවෙන්ය. එම ඇලපත්ගම සියලුම පවුල් සඳහා නිවාස ඉදිකිරීමට මාදුළුවාවේ සෝභිත හිමිට තිබූ බලාපොරොත්තුව ඉටු කරලීමේ වගකීම භාරගෙන සිටින්නේ කතානායකවරයාය. කෙටි කලකින් සියල්ල අමතක වන සමාජයක සෝභිත හිමිගේ ගුණ සුවඳ අමතක නොකර කතානායකවරයා සිදු කරන කාර්ය මෙහිදී මහාචාර්ය සරත් විජේසූරියගේ ඇගැයුමට ද ලක්විය.

ජාතික විරුජන සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණේ කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්ය. මෙහිදී කතානායකවරයාගේ දෙසුම බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය. ශේ්‍රෂ්ඨ මිනිසුන් සිටින සමාජයේ තවත් පුද්ගලයකු ජීවිතය සමඟ පොරබදද්දී ඔහු බේරා ගැනීම වෙනුවට ඡායාරූප ගෙන ෆේස්බුක් දමන අරුම පුදුම පුද්ගලයන්ද සිටින බව මෙහිදී ඔහු කීවේය.

මේ අතර ගිලන්ව සිටින ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංගගේ සුවදුක් බැලීමටද කතානායකවරයා ගියේය. මෙරට සුභාවිත සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් දුන් දායකත්වය අගයමින් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමටද කතානායකවරයා පියවර ගත්තේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් සඳුදා ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචසන් මුණගැසෙන්නට ගියහ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීමට, පෞද්ගලිකකරණය නතර කිරීමට සහාය ලබා දෙන ලෙස ඔවුහු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියහ. පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ නොපැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. ඩෙංගු ආදී වසංගත තත්ත්වයන් වර්ධනය වීමට පළාත් පාලන නියෝජිතයන් පත් නොකිරීමද හේතු වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දුන්හ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඒ පිළිබඳ උනන්දුවෙන් කරුණු සටහන් කරගත් බව එහිදී මහ කොමසාරිස්වරයාගේ අදහස විය. මේ හමුව සඳහා ඒකාබද්ධ විෂය නියෝජනය කරමින් එහි නායක දිනේෂ්, බන්දුල, ලොකුගේ, මහින්ද යාපා සමඟ සේමසිංහද එක්ව සිටියහ.

ගංවතුරෙන් විපතට පත් වලස්මුල්ල ප්‍රදේශයේ පවුල් 435කට බෙදා දීම සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයෙන් සහ පෞද්ගලික දානපතියන්ගෙන් වියළි ආහාර තොගයක් එක් රැස් කර තිබිණි. එම වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සඳහා සජිත් පසුගියදා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය. වියළි ආහාර මලු සියල්ල තමන් අතින් බෙදාදීම ඔහුගේ අරමුණ වී තිබිණි. එහෙත් සංවිධානය කොට තිබුණේ සංකේතාත්මකව ආහාර මලු 10ක් පමණ ඇමැතිවරයා අතින් බෙදාදීමටයි. එම සැලැසුම දුටු සජිත්ට තරමක් කේන්ති ගියේය. ඒ අනුව "කවුද මගේ අතින් දහ දෙනකුට විතරක් බෙදන්න මේක ලෑස්ති කළේ" සජිත් සංවිධායක කමිටුවෙන් විමසුවේය. 'අපි හිතුවේ සර්ට හාල් කිලෝ 30ක් එක්ක මේ මල්ල බර වැඩිවෙනවා කියලා' එතැන සිටි නිලධාරියෙක් උත්තර දුන්නේය. "හොඳට මතක තියාගන්න මෙතැන ඉන්නෙ 411 දෙනයි. ඒ සියලු දෙනාටම දෙන්නෙ මගේ අතින් ඒක තමයි මගේ තාත්තත් අනුගමනය කළ විධිය. ඒ විධියටයි මාත් වැඩ කරන්නෙ. කිලෝ 30ක් නෙවෙයි කිලෝ 100ක් වුණත් උත්සන්න මට දෙයියො දීලා තියෙනවා." 'සජිත් කීවේ උපන් කෝපය සඟවා ගනිමින්ය. එසේ කියූ ඔහු පැමිණ සිටි සියලු දෙනාටම සහනාධාර මලු බෙදා දුන්නේය.

හිටපු අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පසුගියදා සෞදි අරාබියට ගියේය. ඒ මක්කම වන්දනාවට යන බව කියමින්ය. ඒ ගමන අතරතුර ඔහු එරට රාජකීයන් හමුවී ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට දිගින් දිගටම ප්‍රහාර එල්ල වන බවත් ඒ සම්බන්ධව කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බවත් ඔහු පවසා තිබේ. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන් 21 දෙනා එක අදහසක සිටින බවද ඔහු පවසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඒ එහි සභාපති අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ය. දකුණු අප්‍රිකාවේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසකගේ සහභාගිත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැඩමුළුවක් සංවිධානය කිරීම ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

ලබන 28දා කොළඹදී එම වැඩමුළුව පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගි කරගත යුතු අය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඊට මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගත යුතු නැති බවට නිමල් සිරිපාල යෝජනා කළේය. එහෙත් ඊට එජාපය මෙන්ම ජවිපෙද විරුද්ධ විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පසුගියදා හදිසියේම මෙන් ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලනිප මූලස්ථානයට ගියාය. ඇය එහි යන විට මහ ලේකම් දුමින්ද එහි විය. "ආ....දුමින්ද කොහොමද වැඩකටයුතු?" යැයි කියමින් ඇය දුමින්ද සමඟ සුහද කතාබහක නිරත වූවාය. ශ්‍රී ලනිප ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී කතාබහේ වැඩි අවධානයක් යොමු වී තිබූ අතර එය පැයකට අධික කාලයක් තිස්සේ සිදු විය.

සති කිහිපයකට ඉහතදී නාය යෑම් හා ගංවතුරෙන් ආපදාවට ලක්වූ ජනතාව සම්බන්ධයෙන් සිදු කළ යුතු ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ජවිපෙ රතු තරුව සහන කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්විණි. "විපතට පත් ජනතාවට වන්දි ලබාදීම ගැන දැන් අර්බුද මතු වෙලා. මුල් අවස්ථාවේදී මේ ගැන ආණ්ඩුවේ අවධානය තිබුණෙ මාධ්‍යවල අවධානය දිනා ගන්න. නමුත් දැන් ආණ්ඩුව වන්දි දීම ගැන කිසිම කතාවක් නැහැ. ඒ නිසා මේ ගැන ආණ්ඩුවට බල කරන්න ක්‍රමයක් හදාගන්න වෙනවා" හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා කීවේය. "ඔව් ජනතාව සම්බන්ධ කරගත්ත සංවිධානයක් හදන්න ඕන. බලපෑමක් නැතිව ආණ්ඩුව ජනතාවට සහන දෙන්නෙ නැහැ." නලින්ද ජයතිස්ස පැවැසීය. ඒ අනුව ආපදා සහන දිනා ගැනීමේ ජනතා එකමුතුවක් ගොඩනැඟීම රතු තරුව සහන කණ්ඩායමේ තීරණය විය. ඒ සඳහා ජනතාවගේ තොරතුරු එක් රැස් කිරීම අරමුණු කරගනිමින් "දුක්ගැනවිලි සභා" ඇති කිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon