පොදු හතුරා

  👤  5647 readers have read this article !
2017-06-29

'ගෙට් සොලමන් ඔන් ද ෆෝන්'

මෙහෙම කීවේ ස්ටීවන්ය. ස්ටීවන් කියන්නේ ඩී.එස්. සේනානායකටය. සොලමන් කීවේ බණ්ඩාරනායකටය. දෙන්නා හොඳටම හිතවත්ය. අලුත් පක්‍ෂයට නමක් දාන්න බොරැල්ල මන්දිරයට එකතු වෙච්ච පිරිස අතර බණ්ඩාරනායක හිටියේ නැති බව දැනගත් ඩී.එස්. මිතුරාට කතා කළේ 'මේ වැඩේට එන්නම ඕන' යැයි කියාය.
බණ්ඩාරනායක ඒ වෙනකොට සිංහල මහ සභාවේ සභාපතිය. අලුත් පක්‍ෂය 'එක්සත් ජාතික පක්‍ෂය' වෙද්දී බණ්ඩාරනායකද ඊට එකඟ වුණේය. ඊට පස්සේ තිබ්බ මැතිවරණයෙන් ජයගත්ත එක්සත් ජාතික පක්‍ෂයේ අගමැතිකම ඩී.එස්.ට යද්දී බණ්ඩාරනායක ඒ රජයේ සභානායකවරයා මෙන්ම පළාත් පාලන අමාත්‍යවරයාද විය.

කාට කාටත් වඩා සමීප හිතවත්කමක් තිබ්බ ඩී.එස්. එක්ක හදපු එක්සත් ජාතික පක්‍ෂය එක්ක යන ගමන ජනතාවාදී එකක් නොවන බව බණ්ඩාරනායකට තේරුම් යන්න වැඩි කාලයක් ගියේ නැත. ඩී.එස්. ගෙන් පස්සේ අගමැති වෙච්ච ඩඩ්ලිට වඩා බණ්ඩාරනායකට නොපෑහුණේ ජේ.ආර්.ය. 'යැංකි ඩිකී' කියන නමම ජේ.ආර්.ට වැටුණේ ඔහුගේ 'බටහිර ආලය' හින්දාය. ඔහු කළේ 'ලෝක බැංකු පදේට නටන, බටහිරට කත් අදින' ප්‍රතිපත්ති තියෙනවා කියන එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වෙලා අලුත් බලවේගයක් හදන එකය.

ඒ බලවේගය මොනතරම් ඉක්මනින් මිනිස්සු වැලඳ ගත්තාද කීවොත් 56 එක්සත් ජාතික පක්‍ෂය ආසන 8ට බස්සවා බණ්ඩාරනායක මේ රටේ 4 වැනි අගමැති විය. බණ්ඩාරනායක චින්තනය එක්ක මිනිසුන් පෙළගැසුණු හැටි කොහොමද කීවොත් ඔහුගේ ආසනය වූ අත්තනගල්ලෙන් ඔහු ලැබූ වැඩි ඡන්ද ගණන 41,997කි. විරුද්ධ අපේක්‍ෂකයාට ලැබුණේ ඡන්ද 3,019කි.

'පොදු හතුරා' පරද්දන්න හදපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආපහු පොදු හතුරාගේ ගිලටීනයට හිර වෙනවා දකින්නට කවුරුවත් කැමැති නැත. එක්සත් ජාතික පක්‍ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි දෙකක් වුණාට එකක් වගේ කියන අයට බොහෝ දේ වැරැදිලාය. ඒ දෙක රටේ අනෙක් පක්‍ෂවලටත් වඩා වෙනස් බව කවදාටත් වඩා ඔප්පු වෙන්නේ දැන්ය. එක මඟක යන පක්‍ෂ දෙකක් කියා මේ දෙකට කීවාට යන්නේම දෙමඟකය.

'කොහොමද එහෙම කියන්නේ?'
පක්‍ෂ දෙක දෙකක්ම බව ඔප්පු වෙන දෙයක් වුණේ 1953 සැප්තැම්බර් මස 01දාය. ඒ එවකට විපක්‍ෂ නායක බණ්ඩාරනායක විසින් රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින්ය. මෙම යෝජනාවට හේතු ලෙස රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව අපොහොසත්වීම, රජය දියත් කළ සය අවුරුදු වැඩසටහනේ අසාර්ථක භාවය, මූල්‍ය හා පරිපාලන ක්‍ෂේත්‍රයේ අකාර්යක්‍ෂමතාව හා දූෂණත්, හාල් සහනාධාර නැති කිරීම නිසා ජනතාව පළ කළ විරෝධතාව නොසලකා හැරීමත්, මැතිවරණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමත් යන කාරණා බණ්ඩාරනායක විසින් ඉදිරිපත් කරන ලදි.
හරියටම බැලුවොත් ඒවා සාධාරණ තර්ක වුණේය.

ඩී.එස්. සේනානායක මහතා මියයෑමෙන් අනතුරුව රාජ්‍ය නායකත්වයට පත් ඩඩ්ලි සේනානායක මහතා ඉදිරියේ ආගමික හා භාෂා ප්‍රශ්න පමණක් නොව ආර්ථික ප්‍රශ්නද විය. රටේ ජාතික ආදායම අඩු වූ අතර රබර් ඇතුළු අපනයන ද්‍රව්‍යවල මිල පහළ වැටිණි. මේ සඳහා පිළියම් හෝ වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට නොවූ අතර ඔවුන් ඒ සඳහා චීනය සමඟ රබර් - සහල් ගිවිසුම ඇති කරගනු ලැබීය.
ඒ සියල්ල අරගෙන බැලූ විට පක්‍ෂ දෙකට තිබ්බේ වෙන වෙනම ගමනක්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කරන්නේම දේශීය චින්තනයට මුල් තැන දෙමින්ය. සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා 1954 ඔක්තෝබර් මාසයේ යාපනයේ කළ සංචාරයකදී කීවේ තමා බලයේ සිටින තුරු සිංහල හා දෙමළ භාෂා දෙකටම සම තැන ලබාදෙන බවය. හැබැයි බණ්ඩාරනායක කීවේ 'සිංහල' පමණක් රාජ්‍ය භාෂාව කරන බවය. සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය යන හ¾ඩින් කොළඹ නගර සභාවේ පැවැති මහ සභාවට එක්සත් භික්‍ෂු පෙරමුණ ඉදිරිපත් කළ 'දස පනත' බණ්ඩාරනායක විසින් පිළිගනු ලැබූ අතර 1955 දෙසැම්බර් 17 දින සිංහල බස ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් විය යුතු බව
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිය දෙවැනි සමුළුවේදී සම්මත කරගත්තේය.

අද රටක් විදියට කල්පනාවෙන් බැලුවොත් රටට ඉතිරිවෙලා තියෙන්නේ එකම බෝට්ටුවක දෙපැත්තට හබල් ගෑමේ කරුමයට මුහුණ දෙන්නටය. හැමදාම මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක නිර්මාණය වන්නේ යූ.ඇන්.පී. හා යූ.ඇන්.පී. විරෝධී වශයෙනි. එහි යූ.ඇන්.පී. විරෝධී කොටසේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයය. අද කෘත්‍රිම තත්ත්වයකින් එකී විරෝධය වහලාය. එහෙත් ඒ වැසීම මොන තරම් අසාර්ථකද කියා පෙනෙන්නේ දැන් රටේ තත්ත්වය බැලුවාමය. ආණ්ඩුවට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ශ්වයට රටේ තියෙන තත්ත්වය විටින් විට පැවැත්වෙන 'සමුපකාර ඡන්ද'වලින් වුණත් හිතා ගන්නට පුළුවන්ය. මේ මොහොතේ කිසිදු බලයක් නැතැයි කියන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විතරයි කියා 'මායිම්' නොකරන මහින්දගේ පිටුපසින් මිනිස්සු පෙළ ගැසී සිටින්නේ ඇයි කියා ආණ්ඩුවට පක්‍ෂ ශ්‍රී ලංකා සුළුතරය හරියට හිතුවොත් මේ ආණ්ඩුව 'හෙට වුණත් පෙරළන එක' සරල වැඩක්ය.

'අනුරට වෙච්ච දේ මතකද?'
අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැවැන්තම චරිතයක්ය. ඔහු තමන්ගේ අම්මත් එක්ක (සිරිමාවෝ) පැවැති විරසකය පිරිමසා ගත්තේ පක්‍ෂයෙන් ගිහින් එක්සත් ජාතික පක්‍ෂයේ නැවතිලාය. 'තාත්තා හදපු පක්‍ෂයෙන් ඉවත් වෙලා තාත්තා හිටපු පක්‍ෂයට යන එක වරදක් නෙවේ' කියා අනුර කීවේය. හැබැයි අනුර ගියා නොව ඒ වෙනකොටත් තිබ්බේ අනුරගේ පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කරලාය.
එක්සත් ජාතික පක්‍ෂයට එක්වෙන බවට අනුර ලියූ ලිපියේ තිබුණේ මෙහෙමය.

'සැලකිය යුතු කාලයක් තිස්සේ හිතාමතාම සැලසුම්කොට මා වෙත එල්ල කෙරුණු ඇනුම් - බැනුම් ගණනාවක් නිසාම මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා අස්වූයෙමි. ඒ හැරුණු විට ඔවුහු පැහැදිලි හේතු කිසිවක් නොදක්වා දවස් අසූ නවයක් තිස්සේ මා පක්‍ෂ තහනමකට ලක්කොට තැබූහ. මගේ අත් හා පාද හා කටද බැඳ දමා දේශපාලන වශයෙන් ඔවුහු මා හුදකලාකොට තැබූහ. ඒ මාස කිහිපය තුළ මා ලක් වූ බරපතළ අවමානයත් මා විඳි දැඩි සිත් වේදනාවත් මුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයම පැහැදිලිව දනී. සති කිහිපයක් තිස්සේ සුපරික්‍ෂාකාරීව කල්පනා කිරීමෙන් පසු, මගේ ජීවිතයේ සාරවත්ම කොටස වූ විසි අවුරුදු කාලයක් මා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්වීම, ඇතැම් විට දුෂ්කරම තීරණය මම ගත්තෙමි. මා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා අස්වී දවස් දෙකකට පසු ඔවුහු මගේ ඉල්ලා අස්වීමේ ලියුම කිසි පැකිලිමකින් තොරව භාර ගත්හ. මගේ මුළු ජීවිතයම දේශපාලනයට විනා අන් දෙයකට කැප නොවුණු හෙයින් ශ්‍රී ලංකාවෙන් ගිය මා පෙළුණු දැඩි පීඩනයෙන් බැහැරව, ගතවූ දවස් කීපය තුළදී මම මගේ අනාගතය ගැන ඉතා පරීක්‍ෂාවෙන් කරුණු සලකා බැලුවෙමි. පිහිටුවීම සඳහා මගේ පියාද උදවු කළ ඔබගේ පක්‍ෂයට බැඳෙන ලෙස ඔබ මට කළ විවෘත ආරාධනය ගැනද මම පරීක්‍ෂාකාරීව සලකා බැලුවෙමි. එහෙයින් එක්සත් ජාතික පක්‍ෂයට බැඳෙන ලෙස අතිගරු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාත් ඔබගේ පක්‍ෂයේ සියලු තරාතිරම්වල පාක්‍ෂිකයනුත් වෙනුවෙන් ඔබ කළ ආරාධනය පිළිගැනීමට මම තීරණය කළෙමි.'

එහෙත් අනුර පුතා එක්සත් ජාතික පක්‍ෂයට යෑම පිළිබඳව සිරිමා බණ්ඩාරනායක මව කියා සිටියේ, කිසිම විටෙක අනුර ඉවත් කිරීමට පක්‍ෂය තුළ කුමන්ත්‍රණයක් නොතිබූ බවය. වැරැදි කිහිපයක් නිසා ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කළා විනා චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකළේ පුතා නිසා මෙම ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට බවත් අෑ කීවාය.

මේ කතා සේරම අස්සේ 1993 ඔහු එක්සත් ජාතික පක්‍ෂයට එක් වුණේය.
එක්සත් ජාතික පක්‍ෂය කීවේ 'දැන් ඉතින් ආණ්ඩුව හොල්ලනවා බොරු' කියලාය.
අනුර වගේ පතාකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වුණාම හැමෝම හිතුවේ පක්‍ෂය ඉවරෙටම ඉවරයි කියලාය. හැබැයි සිද්ධ වුණේ වසරක් යන්නටත් කලින් 17 වසරක එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 'පෙරළීමය.'

ඒ එක්කම අමතක නොකළ යුතු දෙයක් තිබේ. 94 එක්සත් ජාතික පක්‍ෂය පෙරළා දැම්මේ ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොවේ. ප්‍රබල පොදුජන එක්සත් පෙරමුණය. ඒ වැඩේට කාලයක් තිස්සේ 'ජයඝෝෂා, පාද යාත්‍රා' ගිහින් පාර කැපුවේ මහින්ද එහෙමය.
ඒ නිසා අලුත් පක්‍ෂයකින් වුණත් 'ආණ්ඩු පෙරළන ගේමක්' ගහන එක මහ ලොකු දෙයක් නොවන බව ඉතිහාසය ඔප්පු කර තිබේ. අගෝස්තු මාසයෙන් 'යහපාලන' ආණ්ඩුවේ පක්‍ෂ දෙකේ සන්ධානය ගැන තීරණය කරන්නට නියමිතය.

'එකට යමුද?'
ආණ්ඩුවේ ඉන්න අයගෙන් එහෙම ඇහුවොත් ඔය ඉන්න ඇමැතිලාගෙන් 20ක්වත් 'හා' කියන්නේ නැති බව නම් ඒකාන්තය.
'අපි කියන්නේ අපේ ආණ්ඩුවක් හදමු.'

පක්‍ෂ දෙකේම අය කියන්නේ ඕකය. එහෙම කීවත් ඔය පක්‍ෂ දෙකේම අය ගමට යන්නේ බොහොම අමාරුවෙන් බව කියන්නේ ආණ්ඩුවේම ඇමැතිවරුය. නිකන් නොවේ ලොකුම ඇමැතිවරුය.

හැබැයි ඔය දෙකේම අය ගලවාගෙන මහින්දලා වෙනම ආණ්ඩුවක් හැදුවොත් ඒකත් පුදුමයක් වෙන්න බැරිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon