කැබිනට් පත්‍රිකා රැසක් ජනපති නිෂ්ප්‍රභ කරයි

  👤  6603 readers have read this article !
2017-07-02

කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ය.
උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ හරීන් ප්‍රනාන්දු කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමත් සමඟ එහි කටයුතු ආරම්භ විය. 'ඔබතුමා යෝජනා කරන විසඳුම මොකද්ද?' එම කතාව අසා සිටි ජනාධිපතිවරයා හරීන්ගේ විමසූ අතර ඔහු කීවේ උමා ඔය ව්‍යාපෘතිය නතර කළ යුතු බවයි. 'මේකෙ වැඩ දැන් සියයට හැත්තෑවකටත් වඩා අවසන්. පසුගිය රජය මේක ආරම්භ කොට තිබෙන්නේ ශක්‍යතා අධ්‍යයනයකින් තොරවයි.' මෛත්‍රි යළිත් කීවේය. මේ ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කොට ජනාධිපතිවරයා තීරණයක් ගත යුතු බව හරීන් කියා සිටියදී ඇමැතිවරුන් බොහෝ දෙනකුගේ අදහස වූයේ එසේ යෑම අනවශ්‍ය බවයි.

'බණ්ඩාරවෙල නගර වැසියන් පානීය ජල අර්බුදයකට මුහුණදී සිටිනවා. ඊට පිළියම් යෙදිය යුතුයි' අගමැතිවරයා කියා සිටියේය. කෙසේ වෙතත් මෙහි කටයුතු සොයා බලා විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමරවීර, විජයමුණි හා චම්පිකගෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබූහ. 'මම ඉන්නේ මිනිසුන්ගෙ පැත්තෙ' අවසානයේ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අර්බුදයට ලක්වී ඇති සයිටම් විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන්ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි. ජනාධිපතිවරයා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සිදුකළ සාකච්ඡාව ගැන මෙහිදී ඇමැතිවරු ප්‍රසාදයෙන් කතා නොකළහ. එය ජනාධිපතිවරයා සිදු නොකළ යුතුව තිබූ දෙයක් ලෙස ඇමැතිවරු තර්ක කළහ.
'රජයේ ප්‍රතිපත්ති හදන කොට ඒක වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කළ යුතු නැහැ' චම්පික කියා සිටියේය.
'ඒක කිසිසේත් නිල සාකච්ඡාවක් නෙවෙයි. මම ඒ කතාබහ ආරම්භ කරන කොටත් ප්‍රකාශ කළා. ලේකම්වරුවත් කවුරුවත් සහභාගි කළෙත් නැහැ' ජනාධිපතිවරයා නිදහසට කරුණු රැසක් එසේ ඉදිරිපත් කළේ එහිදී කිසිදු එකඟතාවක් හෝ නිල තීන්දු ගැනීමක් සිදු නොවූ බවද කියමින්ය.

පසුගිය ආණ්ඩුව ඇණවුම් කොට තිබියදී වත්මන් ආණ්ඩුව නතර කළ ගුවන් යානා 3ක් මිලදී ගැනීමේ ගිවිසුමකට අදාළව වාරික වශයෙන් වන්දි ගෙවිය යුතු බවට යෝජනාවක් මෙහිදී කබීර් හෂීම් ගෙනාවේය. ඊට ඇමැතිවරු රැසක්ම විරුද්ධව කතා කළහ. 'මේක ගෙවන්න වුණොත් තවත් හෙජිං ගනුදෙනුවක් වේවි. හෙජිං නිසා ලෝකයේ බැංකුවලට ණය ගෙව ගෙවා ඉන්න වුණා. මේක ගෙවන්න ගත්තොත් සිදු වෙන්නෙත් ඒ ටික තමයි' සුසිල් දැඩිව කියා සිටියේය. සුසිල්ට ජනපති සහාය පළකළ නිසා කබීර්ගේ එම කැබිනට් පත්‍රිකාව වෙනත් දිනයක සාකච්ඡාවට ගැනීමට කල් තැබීය.

මේ අතර කබීර් තවත් යෝජනාවක් ගෙන එමින් ලිට්රෝ ගෑස් මිල වැඩි කිරීම සඳහා අනුමැතිය ඉල්ලා සිටියේය. 'ගෑස් මිල වැඩි කරන්න බැහැ. දැනටමත් බඩු මිල වැඩියි කියලා මිනිස්සු චෝදනා කරනවා. මේවට අනුමැතිය දෙන්න බැහැ' ජනාධිපතිරයා එම යෝජනාව ද ප්‍රතික්ෂේප කරමින් කීවේය.
රවුෆ් හකීම් යෝජනාවක් ඉදිරිපත් කරමින් ජල ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා සිටියේය. ඊටද ජනාධිපති විරුද්ධ විය. 'හැම කෙනාම වැඩි කරන්න අවසර ඉල්ලනවා. මේ වගේ වැඩ නිසා රජය ජනතාවගෙන් දුරස් වෙනවා' මෛත්‍රි කීවේය. ඒ නිසා එම යෝජනාවද සාකච්ඡාවට ගැනීමටවත් නොහැකි විය.

නව ඉඩම් ඇමැති ගයන්ත පසුගිය ඉඩම් ඇමැති ජෝන්ගේ කාලයේ ඉදිරිපත් කොට තිබූ යෝජනාවකට අනුමැතිය ඉල්ලා සිටියේය. රජයේ ඉඩම් සමාගම්වලට බදු පදනම මත මුදා හැරීමට එමඟින් අනුමැතිය ඉල්ලා තිබිණි. එහෙත් ඒ යෝජනා ජෝන්ගේ පෞද්ගලික යෝජනාවක් ලෙස සලකා ඊට අනුමැතිය දීමද කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කොට තිබුණේය.

හිටපු ජනාධිපති මහින්ද අභාවප්‍රාප්ත ආචාර්ය සමන් කැලේගමගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය. මහින්ද එහි යන විට දිනේෂ්, තිස්ස, වෙල්ගම, කිරිඇල්ල ඇතුළු පිරිසක්ද එහි වූහ. මහින්ද පිටත් වන විටම අගමැති වික්‍රමසිංහ එහි පැමිණියේය.

බදාදා හිටපු ජනපති මහින්ද විවාහ මංගල්‍යයකට සහභාගි විය. ඒ රත්නපුරයේ හිතවත් මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකගේය. පැමිණ සිටි පිරිස මහින්ද සමඟ ඡායාරූප ගැනීමට උනන්දු වූ නිසා විවාහ උත්සවයේ කටයුතුවලටද බාධා ඇති කෙරිණි. ඒ නිසා ඔවුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට මහින්දට සිදුවිය. "මේ මඟුල් ගෙදර මගේ නෙවෙයි, අර ඉන්නේ මනමාලි, ඒගොල්ලන්ගේ ආරාධනාවකට තමයි මම ආවේ. ඒ අයට ඕන විදියට වැඩේ කරගෙන යන්න ඉඩ දෙමුද?" මහින්ද කීවේය.
මහින්ද විවාහ මංගල්‍යය පැවැති හෝටලයෙන් පිටතට යත්ම එහි පැමිණෙන ජෝන් සෙනවිරත්න දුටුවේය. "මොකද මේ පරක්කු, අපි නම් යන්නයි හදන්නේ" මහින්ද ජෝන්ට කීවේය. "පොඩි වැඩ වගයක් තිබුණා සර්" ජෝන් කියත්ම මහින්ද යළිත් හඬ අවදි කරමින් "මඟුල් ගෙදරට පරක්කු වෙලා ආවට කමක් නැහැ. වෙන ඒවට පරක්කු වෙන්න එපා. එතකොට බස් එක මිස් වෙයි." යැයි පැවැසුවේ ජෝන්ට ඉඟියක් කරමින්ය.

බදාදා මහින්ද හමුවට විජේරාම නිල නිවෙසට රණවිරුවෝ පිරිසක් පැමිණියහ. "අපේ විශ්‍රාම වැටුප තවම හදලා දෙන්න මේ ආණ්ඩුවට වුවමනාවක් නැහැ. යුද ජයග්‍රහණය සමරන්න ඉඩ දෙන්නේ නැහැ. අපට සලකන්නේ සතුරන්ට වගේ" එම ආබාධිත රණවිරුවෝ මහින්දට කීහ.
"ඔය ප්‍රශ්න විසඳන්න මමත් වගකිවයුතු අයට කතා කළා. ඒත් ඒවා ගණන් ගන්නේ නැහැ. පිටරට ගියාමත් එහේ අය මගෙන් අහන්නේ මොකද්ද දැන් ලංකාවේ වෙන්නේ කියලා" මහින්ද ඔවුන්ට කීවේය.

"මේ ආණ්ඩුවෙ නායකයො වැඩ වරද්දගෙන. රටේ පදනමට ගහලා රට පාලනය කරන්න යෑම විහිළුවක්. ජාතිවාදය අවුස්සන්නෙත් ආණ්ඩුවේ අයමයි. එහෙම කරන ගමන් සංහිඳියාව ගැන කතා කරනවා" එතැන සිටි උදය කීවේය.

"රටක් ඉදිරියට යන්නේ දේශාභිමානී හැඟීිම් එක්ක. මේ ආණ්ඩුව ඒ හැඟීම් තියෙන අයට කියන්නේ ජාතිවාදියෝ කියලා. ජාතිවාදී හැඟීම් මරලා දාලා කේඬෑරි වෙච්ච පිරිසක් එක්ක රට පාලනය කරන්න හදනවා" හිටපු ජනපතිගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේද කතාබහට එකතු වූයේ එලෙසින්ය. මේ අතර එම ස්ථානයට පැමිණි ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම් තම නවතම ගීත එකතුවක් මහින්දට දුන්නේය. "දැන් ජනතා බලවේගයක් හැදිලා ඉවරයි. පොහොට්ටුව හොඳයි නේද?" මහින්ද එතැන සිටි අයගෙන් විමසා සිටියේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ උපන් දිනය බ්‍රහස්පතින්දාට යෙදී තිබිණි. එම නිසා අගමැති රනිල් එදින උදෑසනින්ම ඇයට සුබ පතන්නට දුරකතන ඇමැතුමක් දුන්නේය. ඉන් පසු ඔවුන් දෙදෙනා අතර විනාඩි කිහිපයක සුහද කතාබහක් ඇති විය.
"යාළුවා කතා කළේ නැද්ද?" අගමැති සිනාසෙමින් විමසද්දී ඒ කතා කරන්නේ කවුරු ගැනදැයි චන්ද්‍රිකාට තේරුම් ගැනීම අපහසු වූයේ නැත. ඒ අනුව "කවුද මහින්දද?" යි ඇය විමසුවාය. "ඔව්, ඔව් කතා කරලා මදි හරිනම් තෑගිත් එවන්න ඕන" අගමැතිවරයා යළිත් සිනාසෙමින් කීවේය. "තෑග්ග හැටියට එයා පුළුවන් නම් මට ලොකු බෝම්බයක් එවාවි!" චන්ද්‍රිකා තරමක් උස් හ¾ඩින් පිළිතුරු දුන්නාය.

පසුව අගමැති රනිල් අරලියගහ මන්දිරයට ගියේය. ඒ රාජකාරි කටයුතු කිහිපයක් එදිනට සිදු කිරීමට නියමිතව තිබූ බැවින්ය. ඔහු යනවිට හිතවත් මැති ඇමැතිවරු පිරිසක්ද අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ.
"සංවිධානාත්මකව කල්ලි වශයෙන් ඇවිත් විනාශයන් සිදු කරන ළමයි ගැන මොකද කරන්නේ, අමාත්‍යාංශ අල්ලන අරාබි වසන්තයක් ගැනත් පත්තරවල පළ වෙලා තිබුණා" කිරිඇල්ල එහිදී අගමැතිගෙන් විමසා සිටියේය.

"ඔය ළමයි අහිංසකයි, එක එක්කෙනාගේ අතකොළු වෙලා. පොලිසිය, උසාවිය, නීතිය ක්‍රියාත්මක කරාවි. අපි අත දාන්නේ නැහැ" අගමැතිවරයා පිළිතුරු දුන්නේය.
මේ අතර වෛද්‍ය වැඩ වර්ජනය ගැනත් ඔවුන්ගේ කතාබහට ලක් විය. "ජනතාව බිල්ලට දීලා වර්ජනය කරන මේ එක ‍ෙදාස්තර කෙනෙක් හදන්න ජනතා මුදල් අඩුම තරමේ ලක්ෂ 110ක්වත් වැය වෙනවා" විජයදාස කීවේය. "වෛද්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් කළ යුතු බවට සමාජයේ දැඩි මතයක් ලියලනවා. වෛද්‍ය සේවාව අඩපණ කිරීම මානව හිමිකම් කඩ කිරීමක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් එක් කළොත් හොඳයි කියන තරමට බුද්ධිමතුන් පවා මත පළ කරනවා" දයා ගමගේ කීවේ එවැනි කතාවකි. "එහෙම කරනවද කියලා සෞඛ්‍ය ඇමැතිගෙන් අහන්න" යැයි අගමැතිවරයා පිළිතුරු දුන්නේ වෛද්‍යවරුන් ජනතාවට සේවය නොකළහොත් ඔවුන් ජනතා අධිකරණයේ චූදිතයන් වන බවද අවධාරණය කරමින්ය.

"උමා ඔය ව්‍යාපාරය 2009දී පටන් අරගෙන තියෙන්නේ කාන්තාරවල උමං හාරන ක්‍රමයටයි. ජල මූලාශ්‍ර හිඳිලා, ගෙවල් ඉරිතළලා, ලොකු ණයකුත් ඉරානයෙන් අරගෙන, දැන් මොකද මේකට කරන්නේ" ආචාර්ය විජයදාස අගමැතිවරයාට තවත් ප්‍රශ්නයක් යොමු කළේය.
"ආණ්ඩුවක් ලෙස අපට මහින්දගේ ඒ කුණු ගොඩත් කරගහන්න වෙනවා" අගමැතිවරයා කීවේය.

"එජාපය නිර්ආගමිකයි කියලා නිවේදනයක් ආවා. ඒත් එජාපය සර්ව ආගමිකයි නේද? එහිදී බුදු දහමට ප්‍රමුඛ තැන ලැබෙනවා නේද?"යි විජයදාස තවත් කරුණක් කතාබහට ගෙනාවේය. "රට තුළත් එජාපය තුළත් බුදු දහමට ප්‍රමුඛත්වය දෙනවා. ඔය නිවේදනය ඉංග්‍රීසියෙන් යවලා තියෙන්නේ. සමහර මාධ්‍ය ඒකේ පරිවර්තනය වරද්දවාගෙන තියෙනවා වගෙයි" අගමැතිවරයා එසේ කීවේ එජාප සභාපති දින කිහිපයකට පෙර එජාපය නිර්ආගමික යැයි සඳහන් කර නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන්ය.

පාර්ලිමේන්තුව නියෝජනය කොට අභාවප්‍රාප්ත දේශපාලනඥයන් රැසක් පිළිබඳ ශෝක යෝජනා සාකච්ඡාවට ගැනීම දිගු කලක් තිස්සේ අතපසු වෙමින් තිබිණි. ඒ පිළිබඳ කතානායක කරු ජයසූරිය වෙත එම පවුල්වල සාමාජිකයන් පෙන්වා දුන්නේ වරක් දෙවරක් නොවේ. එම ශෝක යෝජනා කඩිනමින් ගෙන ඒම ඔවුන්ට කරන ගෞරවයක් ලෙස සිහිපත් කළ කතානායකවරයා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පුළුල් ඉඩක් ඒ සඳහා වෙන් කිරීමට කටයුතු කළේය. ඒ අනුව ජුනි මස පාර්ලිමේන්තුව අවසන් කෙළේ ඒ.එම්.එස්. අධිකාරි, ආරියරත්න ජයතිලක, චන්ද්‍රා රණතුංග, මෛත්‍රිපාල හේරත් යන හිටපු මන්ත්‍රිවරුන් සිවුදෙනකු පිළිබඳ ශෝක යෝජනා විවාදයට ගැනීමෙන් අනතුරුවයි. එදින එම පවුල්වල සාමාජිකයන්ද පාර්ලිමේන්තුවට කැඳවූ කතානායකවරයා ඔවුන්ට දිවා භෝජන සංග්‍රහයක්ද තැබීමට පියවර ගත්තේය.

රාජ්‍ය අංශයේ සියලු ගිණුම්කරණ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයන්ට අනුව යාවත්කාලීන කිරීමත්, එකම ජාලයක් බවට පත් කරමින් සියලු අංශවලට තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සැලසීම විධිමත් කිරීමත් අරමුණු කරගනිමින් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නිලධාරීන් සඳහා විශේෂ වැඩමුළුවක් මීගමුවේදී පැවැත්විණි. ඒ කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්ය. 'මහජන මුදල් අවසන් සතය දක්වාම විනිවිදභාවයකින් යුතුව රටට උපරිම ඵලදායීතාවක් ලැබෙන ලෙස යෙදවීමේ වගකීමෙන් දේශපාලනඥයන්ට මෙන්ම රජයේ නිලධාරීන්ටද ඉවත් විය නොහැකි බව මෙහිදී කතානායකවරයා අවධාරණය කළේය.

උතුරු පළාත් සභාව මුල්කර ගනිමින් ඇති වූ අර්බුදය එකිනෙක ලිහී යද්දී නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට උතුරේ දේශපාලනඥයෝ පිරිසක් කටයුතු කරති. ඒ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මුල්කර ගනිමින්ය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ සම්පන්දන්, සුමන්තිරන් ඇතුළු නායකත්වයට අභියෝග කිරීමද එහි එක් අභිප්‍රායක් වී ඇත. මේ සඳහා ප්‍රමුඛ අවිය ලෙස උතුරේ දේශපාලනඥයන් විසින් තෝරාගෙන සිටින්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරීය. ආනන්ද සංගරීට අයත් කොළඹ පිහිටි නිවෙසේදී ඒ සම්බන්ධව විශේෂ රහස් සාකච්ඡාවක් පසුගිය බදාදා පැවැත්විණි.

එම්. කේ. ශිවාජිලිංගම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වූ නව ව්‍යාපාරයකි. එය යාපනය තුළ මුල් බැසවීමට නම් ආනන්දසංගරී වැනි ජේ‍යෂ්ඨයකුගේ මැදිහත්වීම අවශ්‍ය බව දෙමළ දේශපාලනඥයන්ගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රංශ ශාඛාවේ රැස්වීමක් සඳහා එක්වීමට ප්‍රසන්න රණතුංග, සනත් නිශාන්ත ඇතුළු පිරිසක් පසුගියදා ප්‍රංශයට ගියහ. ඉරිදා පැවැති එම ශාඛා රැස්වීමේදී ප්‍රසන්න පැයකට අධික කාලයක් ගෙන දීර්ඝ කතාවක් කළේය.
ප්‍රසන්නගේ කතාවෙන් පසුව නැඟී සිටි තරුණයෙක් බොදු බල සේනාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ මතය කුමක්දැයි විමසීමක් කළේය. "බොදු බල සේනා එකේ මතය ගැන අපට ගැටලුවක් නැහැ. ඒත් ක්‍රියාත්මක වෙන විදිය ගැන පොඩි පොඩි ගැටලු තියෙනවා" ප්‍රසන්න උත්තර දුන්නේය. එහෙත් එම ප්‍රශ්නය දිගින් දිගටම ඇදී ගිය නිසා බල මණ්ඩල රැස්වීම උණුසුම් ස්වරූපයක් ගත්තේය.

ප්‍රංශය තුළ තවමත් ප්‍රසිද්ධියේම එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආධාර එකතු කරන බව ප්‍රසන්නට එහිදී අසන්නට ලැබිණි. එය තහවුරු කර ගැනීමට ප්‍රසන්නට අවශය වුවත් පැරිසියේ දුම්රියපොළේ පිහිටි එම ස්ථානයට ප්‍රසන්න එක්ක යෑම, ඔහුගේ ආරක්ෂාවම තර්ජනයක් විය හැකිව තිබිණි. එම නිසා ප්‍රංශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එම ස්ථානයට නොයෙන ලෙස ප්‍රසන්නගෙන් ඉල්ලීමක කළහ. ඒත් ප්‍රසන්න දැඩිව පෙරැත්ත කළ නිසා හඳුනා ගැනීමට අපහසු වන ලෙස ප්‍රසන්නට කබායක් පොරවා එම ස්ථානයට රැගෙන ගියහ. පැරිස් දුම්රියපොළට ගිය ප්‍රසන්නට ප්‍රභාකරන්ගේ රුව යොදා ගනිමින් පිරිසක් ආධාර එකතු කරනු දැකගත හැකි විය.

නිවාස අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල ප්‍රධානීන්ගේ විශේෂ රැස්වීමක් පසුගියදා ඇමැති සජිත්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි. එහිදී ඇමැතිවරයා බරපතළ චෝදනාවක් කළේය. "ඔය හැම ආයතනයකටම මම වෙස්වළාගත් කණ්ඩායම් යවලා තියෙන්නේ. ඒ අය මට හැම දෙයක්ම වාර්තා කරනවා. වාහනයකට ලීටර් 120ක් තෙල් ගැහුවා කියලා බිල් දැම්මත් ඇත්තටම ගහන්නේ 85යි ලීටර් 35ක සල්ලි සාක්කුවේ. මේ අක්‍රමිකතා කරන අය ගැන දැඩිව පියවර ගන්න" සජිත් කීවේය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ උපන් දිනය යෙදුණු ජුනි 23දා "ජාතික නිවාස දිනය" ලෙස ප්‍රකාශයට පත් කළේ මීට දෙවසරකට ඉහත දීය.
මෙවර ජාතික නිවාස දිනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට "සඳපහනගම" දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ජනපතිවරයාට ඊට සහභාගි විය නොහැකි බව කාරුණිකව දන්වා තිබිණි. ඒ නිසා නිවාස දින සැමරුම් උත්සවය සජිත් පැවැත්වූයේ තමන්ගේම ප්‍රධානත්වයෙනි. උත්සවය අතරතුර සජිත්ට දුරකතන ඇමැතුමක් ආවේය. නිවාස ව්‍යාපෘතියට විදේශ රටක් සහාය පළ කරන බව ඉන් කියැවිණි. "දවස ප්‍රබෝධමත් වන සුබ ආරංචියක් ලැබුණා." සජිත් එතැන සිටි නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායකගේ කනට ළං වී කීවේය.

පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ අධීක්ෂණ කාරක සභාව වෙත පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා තිබිණි. එහි ප්‍රධාන අවධානය යොමු වූයේ කෘමි සතුන් නොවන වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි නිසා ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන්ය.
"මොනරුන්, උෟරන්, ලේනුන් ඇතුළු සත්වයන්ගෙන් වී ගොවිතැනට, ධාන්‍ය වගාවන්ට, කෙසෙල්, මඤ්‍ෙඤාක්කා ඇතුළු වගාවන්ට සිදු වන හානි වැළැක්වීමට මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසඳුමක් දී නැති බවට ගොවීන්ගෙන් නිරන්තර පැමිණිලි එනවා"
එම අධීක්ෂණ කාරක සභාවේ සභාපති විජිත හේරත් ප්‍රශ්න කළේය. "වඳුරන්ට වෙඩි තියන්න වායු රයිෆල් දෙනවා. සත්තු එළවන්න එක එක දේවල් ගොවියෝ කරනවා. ඒත් මේකට නිශ්චිත විසඳුමක් නැහැ" කෘෂිකර්ම නිලධාරීහු ප්‍රකාශ කළහ.

"ඒත් මේක ලොකු ගැටලුවක්. විසඳුමක් දෙන්න වෙනවා. ඒ නිසා ඔබතුමන්ලා මේකට හරියන විසඳුමක් යෝජනා කරලා නිර්දේශ සහිත වාර්තාවක් හදන්න අපි ඊළඟ රැස්වීමේදී මේක සාකච්ඡා කරමු" විජිත හේරත් අවධාරණය කළේය.

මේ අතර කාරක සභාවේ සාමාජිකයකු වන පූජ්‍ය රතන හිමි ග්ලයිපොසේට් තහනම සම්බන්ධව විශේෂ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ගැනද මෙහිදී සාකච්ඡාවට ගැනුණි. ඒ අනුව ග්ලයිපොසේට් ගැටලුව ගැන වැඩිදුරට සාකච්ඡා කිරීමට ජූලි 6 වැනිදා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කෘෂිකර්ම කාරක සභාවට කැඳවීමටද එහිදී තීරණය කෙරිණි.

සයිටම් විරෝධී සටන දිනෙන් දින දිග්ගැස්සෙන තත්ත්වයක් ඇති වී තිබේ. ඊට සහාය පළ කරමින් වෛද්‍ය පීඨ සිසුන්ගේ මවුපිය සංගමය පසුගියදා විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිටින් ගමන් අරඹා කොටුව දුම්රියපොළ ඉදිරිපිටද සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වූහ. එම විරෝධතාවට දේශපාලන පක්ෂ රැසකටද ඇරයුම් ලැබී තිබිණි. ඒ අනුව ජවිපෙන් නලින්ද ජයතිස්ස, පෙරටුගාමීන් නියෝජනය කරමින් පුබුදු ජයගොඩ, ජානිපෙ නියෝජනය කරමින් ජයන්ත සමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පා ගමන අවසන් වී සත්‍යග්‍රහය ඇරැඹෙන තෙක් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් සුහද කතාබහක නැයැළී සිටියහ.

"අද මෙතැනට මහගෙදර අය ඔක්කොම එකතු වෙලානෙ" මවුපිය සංගමයේ නියෝජිතයෙක් ඔවුන් දෙස බලමින් කීවේය.
"සයිටම් ආයතනය එදා පිහිටුවනකොට ඔබතුමාල විරුද්ධ වුණේ නැද්ද" ජයන්ත සමරවීරට එතැන සිටි අයෙක් ප්‍රශ්නයක් යොමු කළේය.
"අපි හැමදාම පෙනී හිටියෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. කැබිනට් මණ්ඩලය රවට්ටල මේක එදා එස්.බී. යෝජනා කරනවිට විමල් වීරවංශ විරුද්ධ වුණා. ත්‍රිමාවිතානල, වෙනුර එදිරිසිංහලා මේ උපාධි කඩ ජනසතු කරන්න දිවි පූජා කළා. අපි ඒවා අමතක කරල දේශපාලනය කරන්නෙ නැහැ" ඔහු කීවේය.

අඟහරුවාදා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ හමුවක් පැවැත්විණි. එම හමුව මිත්‍ර නියෝජිත හමුව ලෙස නම් කොට තිබිණි.

පළාත් පාලන මැතිවරණය කල්යෑම පිළිබඳ මෙහිදී ප්‍රමුඛතම අවධානය යොමු විය. පළාත් පාලන පනත පාර්ලිමේන්තුවේදී පළමු වර කියවුද එය සම්මත කරන දිනයක් ආණ්ඩුව ප්‍රකාශ කොට නොතිබීමද මෙහිදී බොහෝ දෙනකුගේ විවේචනයට ලක් වූයේය.
'අපි විශ්වාස කරන්නෙ මැතිවරණ කොමිසම ගැනයි, මේ වෙන කොට පළාත් පාලන මැතිවරණයට අදාළ විවිධ ගැසට් ප්‍රකාශයට පත්වී තියෙනවා. මන්ත්‍රි සංයුතිය, කොට්ඨාස පිළිබඳ පවා නිවේදන නිකුත් වෙලා. දැන් ඉතිං මැතිවරණය පැවැත්වීම කොමිසමේ වගකීමක්' ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිත හිටපු ඇමැති බැසිල් කීවේය.

'ඒ වුණාට තාක්ෂණික ගැටලු තියෙනවා' මහින්ද දේශප්‍රිය කියා සිටියේය. 'එත් සුළු අඩුපාඩු තිබුණ කියල ඒක මැතිවරණය කල් දැමීමට කරුණක් කරගත යුතු නැහැ' බැසිල් යළිත් කීවේය.

මේ අතර දැනට ප්‍රකාශයට පත් කොට ඇති කොට්ඨාස බෙදීම්වලද ගැටලු පවතින බව එහිදී අනාවරණය කෙරිණි. අත්තනගල්ලෙ බහු ආසන 5ක් ගැසට් වෙලා තිබුණත් ඇත්තටම තියෙන්නෙ 4ක් පමණයි බැසිල් පෙන්වා දුන්නේය. එය පිළිගන්නට මෙන් ශ්‍රී ලනිප නියෝජිත ලසන්ත අලගියවන්නද හිස සැලුවේය. 'මම මේ ගැන ඇමැතිතුමාට කියල නිවැරැදි කරන්නම්' මහින්ද දේශප්‍රිය එහිදී කීවේය.

දැනට පවතින මන්ත්‍රි ධුර 8400 ප්‍රමාණය හරි අඩකින් අඩු කිරීමට ශ්‍රී ලනිප ගෙන ඇති තීරණය නිසා පළාත් පාලන මැතිවරණය තවත් කල් යා හැකි බවටද එහිදී කරුණු අනාවරණය වූයේය.

මහරගම පන්සල පාරේ බදාදා උදෑසන වාහන තදබදයක් ඇතිව තිබුණේ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසකගේ වාහන රැසක් ඒ දෙසට ඇදෙමින් තිබූ නිසාය. ඔවුන් පැමිණියේ පන්සල පාරේ පදිංචිව සිටින හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ නිවෙසටය. දේශපාලන මිතුරන්, ව්‍යාපාරික මිතුරන් මෙන්ම මාධ්‍ය මිතුරන්ද එසේ පැමිණියේ ඔහුගේ හැටපස් වැනි උපන් දිනයට සුබ පැතීමටය.
උදෑසන කැවුම්, කිරිබත් සහිත තේ මේසයක් සුමනදාසගේ නිවෙසේ සූදානම්වී තිබූ අතර උපන් දින කේක් ගෙඩියක්ද විය. භාව කේන්දරයක හැඩය ගත් රවුම් හැඩති කේක් ගෙඩිය කාගේත් අවධානයට ලක්විය.

හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර, නියෝජ්‍ය ඇමැති මනූෂ, හිටපු ඇමැති අතාවුද ඇතුළු දේශපාලනඥයන් ඔහුට සුබ පැතුවේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමිනි.
'ඔබතුමා සියවසක් කල් ජීවත් වෙන්න ඕන' අතාවුද සුබ පැතුවේ ඉතා සංවේදීවය.

උපන් දින තේ පැන් සංග්‍රහය භුක්ති විඳිමින් සිටින අතරවාරයේදී වි.ජ.මු., මනූෂ හා අතාවුද කතා කරමින් සිටියදී පාසල් ගොඩනැඟිලි ගැනත් කතාවක් ඇදී ආවේය.
'අපේ පාසල් ගොඩනැඟිලි හදන්නේ ළමයින්ගේ හිත් ඇදගන්න විදියට නෙවෙයිනේ. ඔහේ ගොඩනැඟිලි හදාගෙන යනවා විතරයි' වි.ජ.මු. කීවේය.
'ඒක නම් ඇත්ත. නිකම් පෙට්ටි පෙට්ටි වගේ ගොඩනැඟිලි තමයි හදන්නේ. පසුගිය කාලේ ගේ්‍රරු ඇමැතිතුමාලා මහින්දෝදය විද්‍යාගාර සැලසුම් කළේ ටිකක් වෙනස් විදියකට' මනූෂ ගොඩනැඟිලි ගැන අදහස් දැක්වූවේය.

'බලන්න පරණ පාර්ලිමේන්තුව දිහා. ඒක හරිම තේජස් විදියට තියෙනවානේ. සුද්දා ඒවා හැදුවේ ඒ විදියටනේ' එතැන සිටි අයෙක් කීවේය.
'අලුත් පාර්ලිමේන්තුවේ විදිය බලන්න. ඒක නම් ඉතින් ජපනාගෙනේ' අතාවුද කීවේ දියවන්නාවේ පාර්ලිමේන්තුව ඉදිකිරීම් ගැනය.
'ඒක හැදුවේ ජෙෆ්රි බාවානේ. ඔය පාර්ලිමේන්තුවේ නයි ඉන්නවානේ' වි.ජ.මු. කීවේ ඔහු කතානායකවරයා ලෙස කටයුතු කළ කාලයේදී පාර්ලිමේන්තුවට එන නයි එළවා දැමීමට ගත් උත්සාහය ගැනය.

'පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි කතානායක නිල නිවෙසේත් නයි ඉන්නවානේ' වි.ජ.මු.ගේ බිරිය පැවැසුවාය.
'ඒක කණු උඩ හදලා තියෙන්නේ. ඒක යටින් නයි එනවා. ඒක වහන්න අපි කතා කළාට කවුරුවත් ඒකට කැමැති වුණේ නෑනේ' වි.ජ.මු. කීවේ පාර්ලිමේන්තුවේ සිටින නයි ගැන තවත් විස්තර රැසක්ද කරමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon