විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමට කන්දෙ විහාරයේ පින් පෙට්ටිය විවෘත කර මුදල් ගිණුම්ගත කළා

  👤  3769 readers have read this article !
2017-07-05

අලුත්ගම කන්දේ විහාරයේ පින් පෙට්ටි පිරී ඇති බැවින් ඒවායේ ඇති මුදල් ගණන් කර ගිණුම්ගත කරන ලෙස විහාරාධිපති හිමියන් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විහාර දේවාලගම් පනතට අනුව ක්‍රියා කර ඇති බව බුද්ධශාසන හා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අමාත්‍යාංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් අධිකරණ ඇමැතිවරයා එසේ සඳහන් කළේය.
"අපේ රටේ විහාරස්ථාන පිළිබඳ අදාළ වන්නේ විහාර දේවාලගම් පනතයි. ඒ පනතේ විධිවිධානවලට අනුව ක්‍රියා කිරීම හැරෙන්නට ආණ්ඩුව කිසි ලෙසකින් විහාරස්ථානවල ස්වාධීනත්වයට බලපෑම් කරන්නේ නැහැ.

වත්මන් විහාරාධිපතීන් වහන්සේගේ කාලය තුළ කන්දේවිහාරය විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. විහාර දේවාලගම් පනත යටතේ පන්සල් වර්ග දෙකකට වෙන් කර තිබෙනවා. විහාරස්ථාන 238ක් ඒ අනුව එක් කොටසකට අයත් වනවා. කන්දෙ විහාරයත් ඒ යටතට ගැනෙනවා. එවැනි විහාරස්ථානවල ආදායම පිළිබඳ භාරකාර ගිණුම් පවත්වාගෙන යා යුතු වෙනවා. එම මුදල් බැංකුගත කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් සතුයි.

දළදා මාලිගාව, ශ්‍රීපාදස්ථානය, කතරගම, සීනිගම වැනි ප්‍රධාන විහාරස්ථාන විහාර දේවාලගම් පනතේ 4-1 වගන්තිය යටතට ගැනෙනවා. එම විහාරස්ථානවල භාරකරු පින් පෙට්ටි පිරී ඇති බව දැනුම්දුන් විට බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ගොස් ඒවායේ ඇති මුදල් ගණන් බලා මුද්‍රා තබනවා. භාරකරු හෝ භාරකාර හිමියන් දැනුම්දුන් විටයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා එම විහාරස්ථානවලට නිලධාරීන් පිටත් කර පින් පෙට්ටිවල තිබෙන මුදල් ගිණුම්ගත කරන්නේ. ඒකයි ක්‍රමවේදය.

සංශෝධන සහිත පළාත් පාලන
පනත් කෙටුම්පත
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා
මගේ රාජකාරිය අවසන්

"පළාත් පාලන ඡන්දයට අදාළ තාක්ෂණික සංශෝධන සියල්ල ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මගේ රාජකාරිය මම අවසන් කළා" යැයි පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තුවේදී ඊයේ (4දා) පැවැසීය.
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, පළාත් පාලන ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ෆයිසර් මුස්තාපා එසේ සඳහන් කළේය.
දිනේෂ් ගුණවර්ධන _ ඔය කියන සංශෝධනයක් න්‍යාය පත්‍රයේ නැහැ. පළාත් පාලන ඡන්දය ගැන මුළු රටම බලාගෙන ඉන්නවා. මේ සතිය තුළ න්‍යාය පත්‍රයට දාල ඒ පනත් සංශෝධනය සම්මත කරන්න.

ෆයිසර් මුස්තාපා - මම මගේ රාජකාරිය පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් ඉටු කර තිබෙනවා. තාක්ෂණික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල - දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන සඳහන් කළේ නැහැ.
කතානායක _ අපට පුළුවන් ලබන සතියේ ගේන්න.

දිනේෂ් ගුණවර්ධන - මේ පනත ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගියා. ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් තීන්දුව ආවා. ආණ්ඩුව පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරන්න ඕනෑ. මේ සතියේ සිකුරාදා එය විවාදයට ගන්න.

මුතුරාජවෙලට කසළ සමඟ මිනිස් අවයවත් දමලා

රෝහල්වල මෘත ශරීරාගාරවලින් බැහැර කරන මිනිස් අවයව පවා මුතුරාජවෙලට ගෙනැවිත් දමන කසළ සමඟ මිශ්‍රව තිබෙනවා යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයක් කරමින් එසේ සඳහන් කළ මන්ත්‍රිවරයා කසළ එක්රැස් කිරීම නිසිලෙස සිදුනොකරන බව මේ වන විට පැහැදිලියි. රට පුරාම විවිධ ස්ථානවල කසළ ගොඩවල් ගොඩගැසී තිබෙනවා. මෙය පරිසරයට පමණක් නොවෙයි මහජනතාවගේ සෞඛ්‍යයට වගේම ඩෙංගු ව්‍යාපෘතිය වැඩිවීමටත් බලපානවා. මැල්කම් රංජිත් කාදිනල් තුමා නිවේදනයක් නිකුත් කරමින් ජනතාව අධික ජාඇළ ප්‍රදේශයට කසළ බැහැර නොකරන ලෙස ඉල්ලා තිබෙනවා. මහා සංඝරත්නයත් මේ කුණු කසළ බැහැර කිරීමෙන් ජනතාවගේ සෞඛ්‍යයට හා පරිසරයට හානිකර බව පෙන්වා දී තිබෙනවා.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කසළ ප්‍රතිචක්‍රීයකරණය සඳහා ක්‍රමවත්
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.
කසළ ප්‍රශ්නය සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් අවශ්‍යයි.
මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු මම මේ සභාවේ ඉල්ලීමක් කළා පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි කියා. එම ඡන්දය ඇමැතිතුමා කල් දැම්මා. සභාව වියවුල් කර තිබෙනවා.

අපි පරිසර හිතකාමි අන්දමට මුතුරාජවෙලට කසළ බැහැර කරනවා

රෝහල්වලින් සහ මාතෘ ශරීරාගාරවලින් බැහැර කරන මිනිස් ශරීර අවයව කොටස් මුතුරාජවෙලට කසළ සමඟ ගෙනැවිත් දමන බවට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා කළ ප්‍රකාශය තමා ප්‍රතික්‍ෂේප කරනවා යැයි පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පැවැසීය.
ඇමැතිවරයා එසේ සඳහන් කළේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වයෙන් කසළ බැහැර කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මොරටුව කදිරාන, මුතුරාජවෙල සහ ගම්පහ විවිධ ස්ථාන කසළ බැහැර කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. මුතුරාජවෙලට පරිසර හිතකාමි අන්දමට කසළ බැහැර කරනවා. අරුවක්කාල ප්‍රදේශයට දුම්රියෙන් කසළ බැහැර කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

පළාත් පාලන ඡන්ද පැවැත්වීමට කලින් පළාත් පාලන ආයතන සංස්ථාපනය කළ යුතුයි. ඒ ආයතනවල ධුර කාල ආරම්භ කෙරෙන දිනය ගැසට් කරන්න ඕන. දිනය ඔක්තෝබර් 1වනදා කියා නව ගැසට් පත්‍රයේ පළකර තිබෙනවා. මෙය සංශෝධනය කරනවා.

මාධ්‍යට පෙන්වූ අංක නැති ස්වීප් ටිකට් සී.අයි.ඩී. එකට භාරදෙන්න බන්දුල ගුණවර්ධනට අභියෝග කරනවා

"හැම ප්‍රශ්නයකටම සී.අයි.ඩී. එකට යන බන්දුල ගුණවර්ධන මහතාට තමා මාධ්‍යට ඉදිරිපත් කළ ගොවිසෙත ලොතරැයි පත රැගෙන සී.අයි.ඩී.යට යන ලෙස අභියෝග කරනවා. එසේ නොකළහොත් අපි එතුමාව සී.අයි.ඩී. එකට ගෙන්වනවා" යැයි විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවැසීය.
අමාත්‍යාංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ සඳහන් කළ විදේශ කටයුතු ඇමැතිවරයා "දිනුම් අදින දිනයක් බාර් කෝඩ් එකක් සඳහන් කර නැති 'ගොවිසෙත' ලොතරැයි පතක් ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. එය සී.අයි.ඩී. එකට ඉදිරිපත් කරන්න තිබුණා. මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. මුද්‍රණය කෙරෙමින් තිබූ 'ගොවිසෙත' ලොතරැයි පතක ආකෘතියක් ප්‍රදර්ශනය කරමින් බන්දුල ගුණවර්ධන මහතා එම ලොතරැයියේ දිනුම් අදින දිනයක් සඳහන් කර නැතැයි චෝදනා කළා.

මේ පැමිණිල්ල පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. මෙවැනි ලොතරැයියක් ලැබුණා නම් එය බලධාරීන්ට දැනුම්දීම මිස මාධ්‍ය සන්දර්ශන පවත්වා ඉදිරිපත් කිරීම නොවෙයි කරන්න තිබුණේ.
ලොතරැයි මණ්ඩලය පිළිබඳ දිගින් දිගටම එල්ල කරන චෝදනා පදනම් විරහිත බව මේ සභාවේදී දැනුම් දෙනවා. මේ ගැන අපි අනිවාර්යයෙන්ම කොමිසමක් පත් කර වාර්තාව ඉදිරිපත් කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon