අත පුච්චා ගැනීම

  👤  5677 readers have read this article !
2017-07-06

"රංගිරි දඹුලු විහාරයට ආණ්ඩුව අත තියයි"
"පිං කැට 253ක් රජය භාරයට"
"කන්දේ විහාරයේත් පිංකැට 37කට ආණ්ඩුව සීල් තබයි"
"යාපහුව රජමහා විහාරයේ පිං කැටයටත් සීල් තියයි"

මේ දිනවල "උණුසුම් පුවත්" ඒවාය. හැබැයි ඒවාට උණුසුම් කියනවාට වඩා "ගිනියම්" කියන එක වඩා සාධාරණය. ඒ සංවේදීම ප්‍රශ්නයක් වන දෙබරයකට ගල් ගැසීම හින්දාය. දැන් දෙබරය විසිරිලාය. ගල ගැසුවේත් අවුස්සා ගත්තේ වෙන කවුරුවත් නොව ආණ්ඩුවමය.
"මේ දා ගන්න ප්‍රශ්න හිතාමතාම දා ගන්නවාද කියලා හිතෙනවා. නැත්තං හැට හුට හමාරක් ප්‍රශ්න තියෙද්දී මේ මිනිස්සු පන්සල්වල පඬුරු පොලුයි, දේවාලවල පඬුරුවලටයි අත දාන්නේ මොන උලව්වකටද..?"

ගමේ, ගොඩේ, බස් රියේ, දුම්රියේ, වැඩපොළේ කොතනත් කතා වෙන්නේ එහෙමය.
"දැන් මේ අය ඉන්නේ මහා සංඝරත්නය නැති කරගෙන. ආයේ ඉතිං ආණ්ඩුව හැරෙනවා බොරු"
එහෙම කියන කතාවලද ඇත්තක් නැත්තේම නැත.

මිනිස්සු කියන්නේ ආණ්ඩුව දැන් නහය ළඟටම හිරවෙලා කියලාය.
පහුගිය දවස්වල ආණ්ඩුව "ඕනවට වඩා" සමහර ප්‍රශ්න බලෙන් ඇදගත්තේය. ඒ බොහොමයක්ම "යහපාලනය හා සංහිඳියාව මුවාවෙන් ගෙන ගිය "ආගමික හා ජාතිකත්ව" තරවටුය. සාමාන්‍යයෙන් ඇදගෙන නානවා කියන්නේ මේවගේ වැඩවලටය.
ඉස්සර ඉඳලාම භික්ෂු සමාජය එක්ක හැප්පෙන කොයි ආණ්ඩුවත් නැවතුණේ ගෙදරය. "තොපට තොපේ කොඩිය දැන්ම කෙසේවත් මේ කන්ද උඩරට ඔසවන්නට නීතියෙන් ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවුද..? මේ සිංහලේ රට. තවමත් මේ රට තොපට භාර දෙන්නට බැහැ. වේලාව පැමිණෙන තුරු ඉවසන්නට තරම් ආත්ම විශ්වාසයක් සුදු ජාතීන්ට නැත්ද..?"

එහෙම කීවේ 1818 කැරැල්ලට පෙරමුණ ගත් වාරියපොළ සුමංගල හාමුදුරුවෝය. ඉංගී්‍රසීන්ට විරුද්ධව ගහපු කැරැල්ලේ මුල් පුරුක වූයේ උන්වහන්සේය. මේ රටේ කහ සිවුරට තියෙන්නේ එසේ මෙසේ බලයක් නොවේ. එය චිරාත් කාලයක් තිස්සේ මෙරට සමාජය තුළ මුල් බැසගත් සම්ප්‍රදායක ප්‍රතිඵලයක්ය. තීරණාත්මක ප්‍රශ්න රටට ආව හැම විටකම "කහ සිවුරේ" බලය තීරණාත්මක විය.

වෛතුල්‍යවාදයට යට වෙච්ච මහසෙන් රජු මහා විහාරය මුළුමනින්ම වනසා බිමට සමතලා කොට උඳු වැපිරූ වූ බව කියන්නේ මහාවංශයේ 37 වැනි පරිච්ඡේදයේය. වෛතුල්‍යවාදය කියන්නේ මිථ්‍යාවක් බව රජු දැන ගන්නේ පස්සේය. ඒ වෙනකොට පෙරහැර ගිහිං ඉවරය.
දැන් සිද්ධ වෙන සමහර දේවල් දිහා බැලුවාම හිතෙන්නේ "පාලකයෝ" වෛතුල්‍යවාදයට අහුවෙලා කියලාය.

"එහෙම කියන්නේ ඇයි..?"
එහෙම කියන්න හේතු නම් අප්‍රමාණය. එකින් එක ගත්තොත් පොතක් ලියන්න තරම්ය. දැන් ආණ්ඩුව කියන්නේ "හාමුදුරුවන්ට තියෙන්නේ භාවනාවෙහි යෙදෙමින් ශ්‍රමණ ජීවිතයක් ගත කරන එක විතරයි" කියලා වගේය. එදා මෙදා තුර භික්ෂුන් වහන්සේලා මෙරට ප්‍රශ්නවලදී පෙරට පැමිණි බව රහසක් නොවේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව තෛ්‍රනිකායික මහනාහිමිවරු ඒකමතිකව තීරණය කරමින් තීන්දුවකට පැමිණීම "යහපාලන ආණ්ඩුව" ගමන් කරමින් සිටි "කැත" ගමන් මාර්ගයට එරෙහි රත්වෙන ටොක්කක්ය. ආණ්ඩුව ආව දවසේ සිට බොහෝ දෙනා සමඟ හැප්පුණු අතර ඉන් මෙරට භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ වූහ.

පවත්නා ව්‍යවස්ථාව ඒ අයුරින්ම පවත්වාගෙන යෑම උචිත බවටත් විධායක ජනාධිපති ධුරයක අවශ්‍යතාව රටට වැදගත් බවත් මෙහිදී මහ නාහිමිවරුන්ගේ තීරණය වී ඇති අතර මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කළ යුතු නම් සංශෝධනය කළ යුතු බවට උන්වහන්සේලා ආණ්ඩුවට යෝජනා කරති.
මේ තරවටුව පටන් ගන්නේ "ඉවසලා ඉවසලා" බැරිම තැනදීය.

මෙතෙක් ශ්‍රී ලංකා සමාජයේ නොවූ විරූ තරමට හේතු රහිතව බෞද්ධ භික්ෂුන් විවේචනය කිරීමටත්, භික්ෂුන්ට චෝදනා එල්ල කිරීමටත්, සංඝ මූලස්ථානවලට අපහාස කිරීමටත්, ශාසනික දේපොළ ජනසතු කරගැනීමටත්, අන්තවාදී සංවිධාන හා ඇතැම් දේශපාලන නායකයන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කරමින් සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී්‍රධර්ම මහා සංඝ සභාව සටන පටන් ගත්තේය.

එය ආණ්ඩුවේ කන හරහා ගැසූ අතුල් පාරක් වුණේ තෛ්‍රනිකායික මහනාහිමිවරුන් ඒකමතිකව ආණ්ඩුවේ නව ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙමින්ය. රංගිරි දඹුලු රාජමහා විහාරස්ථානය රජයට පවරා ගැනීමේ උත්සාහය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ විරෝධය පළ කරමින් තවත් ටොක්කක්, ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල විය.
පිං පෙට්ටිවලට ආණ්ඩුව අත තියන්න ගිහින් දැන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයත් "අකුළා ගන්නට"ය.

හැබැයි රාජිත කියන්නේ ව්‍යවස්ථාව ගේන බවය.
ඔහු කියන්නේ නව ව්‍යවස්ථාව සකස් කරමින් සිටින්නේ ගෙන එන්නට මිසක් බල බලා සිටින්නට නොවේ කියාය. පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සභාවේ කටයුතු ඉදිරියට ගෙන යන බවත් ඒ පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තුව විසින් ගනු ඇති බවත් පවසන ඔහු ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව සම්මත කරගත් දිනයේ සිට එය අකුළා ගන්නා ලෙස බලකරමින් විරෝධතා පවත්වමින් එය පට්ට පතුරු ගැසූ අය දැන් දැන් එයම කර තියාගෙන යා යුතු බවට යෝජනා කරන්නේ මන්දැයි තමාට නොතේරෙන බව කියයි.

එහෙම බැලුවම දැන් දෙපැත්ත "සටනට" බැහැලාය. ආණ්ඩුව තිබ්බ අඩිය පස්සට ගන්න පාටක් නැත. හැබැයි ඔවුන් තියන්නට යන ඊළඟ අඩිය බිහිසුණුය.
"මම ආවේ අයිස් ක්‍රීම් විකුණන්න නෙවේ. කවුරුන් කොතරම් චෝදනා කළත් මේ රටේ උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් බහිරවයෙක් වන්නට මම සූදානම්" කියා කියන්නේ ඇමැති අකිලය. ඔහු කියන්නේ තමන් තිබ්බ පියවරත් ආපසු නොගන්නා බවක්ය.

"සුද්දා මොනතරම් පීඩාකාරී පාලනයක් අරගෙන ගියත් සුද්දාවත් පිං කැටයට අත තැබුවේ නෑ. පන්සලේ පිං කැටයටත් අත තියන මෙවැනි ආණ්ඩුවක් යටතේ විහාර හා දේවාල ගම් පනත පැවතීම අතිශයින්ම බුද්ධාගමට තර්ජනයක්. ඒ නිසා මේ පනත එක්කෝ සුදුසු පරිදි සංශෝධනය වෙන්න ඕන නැති නම් ආණ්ඩුවේ බලපෑම් නැවැත්තීමට අහෝසි වෙන්න ඕන." මෙහෙම කීවේ උදය ගම්මන්පිලය.

ඒ කතාවෙත් ඇත්තක් තිබෙන බව පේන්නේ මේ සිද්ධ වෙන දේවල් බැලුවාමය.
දැන් දැන් කිට්ටු වෙන්නේ තීරණාත්මක අවස්ථාවටය. අගෝස්තුවේදී ආණ්ඩුවේ "සම්මුතියට" කාලය ඉවරය. ශ්‍රී ලංකා එකේ ඇමැතිවරුන් ඉන්නේ කලකිරිලාය. යූ.ඇන්.පී. එකේ ඇමැතිවරුන් ඉන්නේ තිත්ත වෙලාය. ඒ අතරේ ජනාධිපතිවරයා ඉන්නේ "කෙවිට" අතට අරගෙනය. පසුගිය කැබිනට් මණ්ඩලය රත් වුණේ ජනාධිපතිවරයාගේ තරවටුවෙන්ය. දූෂිතයන්ට දඬුවම් නොදීම ගැන ජනාධිපතිවරයා ඉන්නේ නොසතුටින්ය. එහෙම බැලුවම ඩීල් තියෙන්නේ කොතැනද කියා මිනිසුන්ට පැහැදිලිය.
කවුරු මොනවා කීවත් අගෝස්තුව කියන්නේ "රත් වෙන දවස්" ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon