ජාතිවාදී අපරාධවල යෙදුණු අය ආරක්ෂා කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවිය යුතුයි

  👤  4665 readers have read this article !
2017-07-06

"ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය සහ ආගම්වාදයට ඉඩක් නැහැ. ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන අයට ඉතිහාසයේ කුණු බක්කිය හිමිවෙනවා" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

ඇතැම් සංවිධානාත්මක පිරිස් රටේ ජාතිවාදය ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකාව තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමඟියෙන් ජීවත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය විසින් කටයුතු කර තිබෙනවා."
"අන්තවාදී හා ජාතිවාදී ක්‍රියාකාරකම් පසුගිය රජය සමයේ සිදුවුණේ, අනුග්‍රහය ඇතිවයි. ඒවා නවතා දැමීමටත් සිංහිඳියාවක් ඇති කිරීමටත් මේ රජය වහාම පියවර ගත්තා."
"අතුරුදන් තැනැත්තන් පිළිබඳව වූ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කර ගැනීම, ජාතික සමඟිය සහ සංහිඳියාව කාර්යාලය පිහිටුවීම, සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ලේකම් කාර්යාලය පිහිටුවීම, එවැනි ක්‍රියාමාර්ග රැසක් අප රජය විසින්
ගනු ලැබුවා."

"මේ සියලු ක්‍රියාමාර්ගවල අරමුණ වූයේ, සංහිඳියාව ඇති කර ආගමික සහජීවනය සහිත සපිරි සමාජයක් ඇති කිරීමයි. පසුගිය දිනවල ප්‍රදේශ කීපයකින් යම් ගැටුම්කාරී සිද්ධීන් කීපයක් වාර්තා වුණා. මෙවර අනුග්‍රහයක් ලැබුණේ නෑ. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ කෙසේ හෝ බලයට පැමිණීමට පටු දේශපාලන අරමුණු සහිත පුද්ගලයන් සෑම කුඩා සිදුවීමක්ම අන්තවාදී සහ ජාතිවාදී ක්‍රියාකාරකම් ලෙස අර්ථ දැක්වීමට කටයුතු කරන බවට අපට පෙනී ගොස් තිබෙනවා."

"ඔවුන්ගේ අරමුණ කිසිවක් නොව, ජාතිවාදය අවුස්සා, බලය ලබාගැනීමයි. අපි මේ ගැන ක්‍රියා කළා. කීපදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා."
"කනගාටුවෙන් වුවද කියන්නට සිදුවන්නේ සමහර ජනමාධ්‍ය ආයතන මෙම ජාතිවාදී ආගම්වාදී විසබීජ පැතිරවීමේ පහත් ක්‍රියාවන්වල නිරතවන බව පැහැදිලියි. ස්වල්ප දෙනෙක් පක්ෂව කතා කරනවා."

"ජාතිවාදය අවුස්සමින්, ක්‍රියාකරන, නිරතවන්නන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලබාදී තිබෙවා. ඒ අනුව සෑම පොලිස් වසමකම දිවා රාත්‍රි ජංගම, විශාල පාමුර සංචාර, මාර්ග බාධක වැඩි කිරීම, විශේෂයෙන් පසුගිය සිදුවීම් ඇති වූ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමටත් ප්‍රජාව දැනුවත් කිරීමටත්, අප්‍රමාදව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති වාර්තා කර තිබෙනවා."

"අළුත්ගම ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය හේතුවෙන් හානි වූ පල්ලිවලටත්, විහාරස්ථානවලටත් වන්දි ලබාදීමට අදහස් කරනවා. දර්ගා නගරයේ පල්ලිය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මියගිය අයට වන්දි ලබාදී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා."

"ජාතිවාදය උළුප්පමින් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන පුද්ගලයන් සියලු දෙනාගෙන් ප්‍රවේසම් විය යුතුයි. දේශපාලන වශයෙන් අනාථ වී සිටින මොවුන් ජාතිවාදය මත එල්ලී තම අරමුණු ඉටු කරගැනීමට මාන බලමින් සිටිනවා. ඒ වාගේම මේ අපරාධවල යෙදුණු අය ආරක්ෂා කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවිය යුතුයි. අප සියලු දෙනා එක්වී මේ පහත් ක්‍රියාවන් පරාජය කළ යුතුයි. ජාතිවාදයට හා ආගම්වාදයට ඉඩක් නෑ. එම අයට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි."

රිදීමාලියද්දේ උෟව වෙල්ලස්ස සීනි ව්‍යාපෘතියට කොන්දේසි සහිත අනුමැතියක්

සීනි කර්මාන්තය නඟාසිටුවීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බැවින් ඒ පිළිබඳ සියලු සැලසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
සීනි කර්මාන්තය නඟාසිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා එසේ පැවැසීය.

'සීනි කර්මාන්තය සඳහා යොදා ගත හැකි ඉඩම් හෙක්ටයාර් 28,568ක් පවතිනවා. මේ වන විට හිඟුරාන සීනි කර්මාන්තශාලාවේ වත්කම් වගකීම් නිරවුල් කිරීමට කටයුතු කර තිබෙනවා. සීනි කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන තිබෙනවා. මොනරාගල - බදුල්ල - අම්පාර - මඩකළපුව - ත්‍රිකුණාමලය හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල නව සීනි කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තවත් ව්‍යාපෘති කීපයකට පාරිසරික ඇගැයීම් වාර්තා සකස් කර තිබෙනවා. මොනරාගල ඇතිමලේ සීනි කර්මාන්ත ව්‍යාපෘතිය, බිබිල, මහියංගණය, රිදීමාලියද්ද, මැදගම, මඬුල්ල හා මාඔය ප්‍රදේශ ආවරණය වන බිබිල සීනි ව්‍යාපෘතිය, කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් පාරිසරික ඇගැයීම් සිදු කරමින් පවතිනවා.'

'උෟව වෙල්ලස්ස සීනි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඇගැයුම් සමීක්ෂණයට අනුව ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක තොරතුරු තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව කොන්දේසි සහිතව අනුමැතිය ලැබී තිබෙනවා.'

ධ්ඉධ්ඉ ප්‍රහාරයක් ගැන පුවත්පතක් සතුව
තොරතුරු තිබේ නම් පොලිසිය ඒවා ලබාගත යුතුයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලයට අයි.එස්.අයි.එස්. ප්‍රහාරයක් එල්ල වන බවට එක්තරා සති අන්ත පුවත්පතක පළ වූ පුවත සම්බන්ධයෙන් සොයා බලන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
'මේ පිළිබඳව ප්‍රවෘත්තියක් ලැබී තිබුණා. ඇමෙරිකන් තානාපති කාර්යාලයට එහෙම එකක් ලැබී නෑ කියනවා. අපි දන්නේ නෑ මේ පුවත්පතට විශේෂ තොරතුරු තියෙනවාද කියලා.

අපි පොලිසියෙන් ඉල්ලා තිබෙනවා. ඒ අයගෙන් විශේෂ තොරතුරු ලබාගෙන එසේ අනතුරක් තිබෙනවා නම් අදාළ පියවර ගන්න කියා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්, ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයි.එස්.අයි.එස්. තර්ජනයක් ඇතැයි ඉරිදා පුවත් පතක් වාර්තා කර ඇති බැවින්
ඒ පිළිබඳව
පරීක්ෂණයක් කරන්නේදැයි කළ විමසීමට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon