ආණ්ඩුවේ පළමු හොරකම අතේ මාට්ටු වෙලා ගෙවල් සන්තෝසම් ගන්න ඇමැතිට ලැජ්ජා නැද්ද

  👤  4231 readers have read this article !
2017-07-26

මේ ආණ්ඩුවේ පළමු හොරකම අතේ මාට්ටුවෙලා ඉවරයි. ලක්‍ෂ 116ක ගෙවල් කුලියට ගන්න මේ ඇමැතිවරයාට හිරිකිත නැද්ද? ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් (ජ.වි.පෙ.) විමසුවේය.

ආර්ථිකය මෙතරම් ලිහිල් කිරීමෙන් හානි කර ප්‍රතිඵල ලැබීම හැකියි. විදේශ විනිමය පනත ලිහිල් කිරීමෙන් රටේ ආර්ථිකයට හානි කර බලපෑම් එල්ල වෙනවා. මේ ලිබරල් කිරීම අනතුරු දායකයි.
වත්මන් ආණ්ඩුව කතා කරන්නේ ගිය ආණ්ඩුව කරපු දේයි. රාජ්‍ය සම්පත් විකුණාගෙන කෑම පටන් ගෙන තිබෙනවා. ඒක වැරදියි. ඒ නිසා රට තවත් අගාධයට තල්ලු වෙනවා.

පසුගිය රජයේ හොරකම් කරපු එක හොරකමක්වත් අල්ලා ගන්න මේ රජයට බැරිවුණා. ඒත් මේ රජයේ පළමු හොරකම අතේ මාට්ටුවෙලා ඉවරයි. මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිව යුතු ඇමැතිවරයෝ කවුද කියලා අද රටටම හෙළිවී ඉවරයි. නමුත් තවම මේ ඇමැතිවරයා රකින්න රජය උත්සාහ කරනවා.
තමන්ගේ මිත්‍රයාට රුපියල් මිලියන 16.5ක ගෙයක් අරන් දෙනවා නම් එතැන තියෙන්නේ මොන ගනුදෙනුවක්ද?

කප්පරක් දූෂණ වංචා ගැන කොතරම් කතා කළත් ඔබතුමන්ලාගේ ආණ්ඩුව පටන් ගන්නකොටම මහ බැංකු බැඳුම්කර වංචාවෙන් අහුවෙලා ඉවරයි.
බැඳුම්කර වංචාවට මූලිකවම සම්බන්ධ වූ තුන් හතර දෙනා ගැන කියන්න, හත් පොළේ නාගන්නේ නැතිව. එතුමා හෙට කොමිසමට ගිහින් මොනවා කියයිද දන්නේ නැහැ.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ඊ.ටී.එෆ්. අරමුදලේ රුපියල් කෝටි 5500ක් මේ බැඳුම්කර නිසා රටට අහිමි වුණා. ලක්‍ෂ 116ක ගෙවල් කුලියට ගන්න මේ ඇමැතිවරයාට හිරිකිත නැද්ද? දැන් තව කොමිසමක් දාලා වැඩක් නැහැ. තව මොන දේ සාක්කිවලින් එළිවෙයිද දන්නේ නැහැ. රාජපක්‍ෂ කට්ටිය අවුරුදු දහයක් කළ දේ ඔබතුමන්ලා මාසයෙන් කරලා.

මහින්ද රාජපක්‍ෂ ගත් ණය කන්දට අපි යටවෙලා
2022 වෙනකන් ඔළුව උස්සන්න බෑ

ණය ගෙවා ගන්න බැරි නිසා කෙසේ හෝ ඡන්දය දිනා ඒකාධිපති පාලනයක් ගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ මහතා අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණය පැවැත්වූ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පැවැසීය.
අපේ ජනාධිපතිතුමා 2015 රට භාර ගන්නා විට අපනයන දුර්වල වෙලා තිබුණා. විදේශ විනිමය සංචිත දුර්වල වෙලා තිබුණා. එය මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ වසර නවයක පාලන කාලයේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවුණා.

2015 ජනාධිපතිතුමා මෙරට පාලනය භාර ගන්නා විට අගමැතිතුමාටත් අපේ ආණ්ඩුවටත් මහා ණය කන්දක්, මහා මානව අයිතිවාසිකම් චෝදනා කන්දක් හා මහා දූෂණ කන්දක් පැවැරුණා. එයින් මානව අයිතීන් පිළිබ¼ද කන්දට විසඳුමක් දුන්නා.
භීෂණ කන්දට සම්බන්ධ පරීක්‍ෂණවලින් බොහෝ දේ හෙළිව තිබෙනවා.

රාජපක්‍ෂ පවුලේ බිලියන 3.1ක් වැනි විශාල මුදලකට සම්බන්ධ නඩු අහමින් තිබෙනවා. පිටරටවල තිබෙන මහා කන්දට අත ගහන්න බැරි වුණත් ඒවා ඉදිරියට යනවා.
මේ වසරේ විතරක් මහින්ද රාජපක්‍ෂ කාලයේ ලබාගත් ණය සඳහා ඩොලර් බිලියන 2805ක් ගෙවනවා. මෙයින් සියයට 72ක්ම මහින්ද රාජපක්‍ෂ රේස් පදින්නයි අර කෝටි ගණන් ඔහුගේ වියදමට ගත්ත සල්ලිවලටයි නැව් එන්නේ නැති වරාය හදන්නයි ගත් මුදල්.
බරපතළම තත්ත්වයට එන්නේ 2019 හා 2020 දීයි. 2019 විදේශ ණය සඳහා පමණක් ඩොලර් මිලියන 4245ක් ගෙවන්න වෙනවා. මෙයින් සියයට 85ක්ම මහින්ද
රාජපක්‍ෂලා ගත් ණයයි. ඉතිරිය තමයි අපේ ආණ්ඩුව ලබාගත් ණය. 2022දී අපට ඩොලර් මිලියන 4372ක් ගෙවන්න වෙනවා.
2022 වනතුරු අපට ඔළුව උස්සන්න බැහැ.

මහින්ද රාජපක්‍ෂ සුමනදාස කී නිසා නොවේ ඡන්දේ තිබ්බේ. මේ ණය ගෙවා ගන්න බැරි නිසා. කොහොම හරි ඡන්දය දිනාගෙන ඒකාධිපති පාලනයක් ගෙනිහින් මිනිසුන් තළාපෙළා පාලනය කිරීමටයි අවුරුදු දෙකකට කලින් ඡන්දය තිබ්බේ.
විපක්‍ෂයේ සමහරු ආර්ථිකය කඩා වට්ටන්න කටයුතු කරද්දී අපි ආර්ථිකය ඉදිරියට ගෙන යනවා.

විදේශ රටවල මුදල් තැන්පත් කර ඇති අය අපරාධකරුවන් සේ සලකන්න බෑ

"විදේශ රටවල මුදල් තැන්පත් කර ඇති අය අපරාධකරුවන් වශයෙන් සැලකුවහොත් ඔවුන් ඒ මුදල් මෙරටට රැගෙන එන එකක් නැහැ"යි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

විදේශ විනිමය පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදය ආරම්භ කරමින් අගමැතිවරයා එසේ පැවැසීය.
විදේශවල තිබෙන මුදල් රටට ගෙන්වා ගැනීමට අපි කටයුතු කරන්න ඕන. විදේශ විනිමය තියෙනව නම්, ඒ අයට ප්‍රකාශයක් කරල මුදල් මෙරටට ගේන්න පුළුවන්.
ශ්‍රී ලංකාවෙන් බැහැර පදිංචි පුද්ගලයකුට ණයහර කාඩ්පත් පාවිච්චි කර ගනුදෙනු කරන්න පුළුවන්. වත්මන් නීතිවලින් එය නිදහස් කර තිබෙනවා.
ආනයන බලපත්‍ර අවශ්‍යයි කියල අපි 2012 වසරේ පනතක් ගෙනාවා. ඒකත් දැන් පාලනය වන්නේ මහ බැංකුවෙන්.
විදේශ විනිමය පාලන පනත අපි දැනට පරිච්ඡින්න කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව තමයි විදේශ විනිමය පාලනය කරන්නේ.
විදේශ විනිමය කියන්නේ ධනපති කිහිප දෙනකු යටතේ පාලනය වන දෙයක් නොවේ.

ඕනෑම පුද්ගලයකුට ඩොලර් දස දහසක් හෝ පහළොස් දහසක්, විදේශ විනිමය ප්‍රකාශ කළාට පසු ගේන්න පුළුවන්.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ විනිමය නීති ලෝකයේ සෑම රටක්ම ගෙන ආවා. අපිටත් මේ සංචිත පිළිබඳ ප්‍රශ්න තිබුණෙ නැහැ.
මුදල් ස්ථාවරත්වය පිළිබඳ අපි ලොකු බරක් තබා තිබෙනවා. මේ විරාමයන් මාස හයෙන් හයට අලුත් කරන්න පුළුවන්.
විදේශ විනිමය පාලනය කිරීම අපි නවත්වල තිබෙනවා. එය කළමනාකරණය සහ අධීක්ෂණය කිරීමයි කරන්නේ. මේ පනත මඟින් අපි මූල්‍යකරණ ලිහිල් කිරීමක් හඳුන්වා දී තිබෙනවා. සංචිත ගතහොත්, ප්‍රමාණවත් සංචිත ප්‍රමාණයක් අපට තිබෙනවා.

සුදු වෑන් රියකින් පැමිණ රයන් ජයලත් ශිෂ්‍යයා
පැහැර ගැනීමට තැත් කිරීම පොලිසියේ විනය විරෝධී වැඩක්

ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු නායක රයන් ජයලත් සිසුවා පැහැර ගැනීමට සුදු වෑන් රියකින් පැමිණ බරපතළ විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නවාදැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායක
දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයක් කරමින් ප්‍රශ්න කළේය.
විද්වත් වෘත්තීය සංගම් කාර්යාලයේදී සයිටම් විරෝධී සාකච්ඡාවක් පවත්වන අවස්ථාවේ නිල නොවන ලෙස සුදු වෑන් රියකින් පිරිසක් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු නායක රයන් ජයලත් සිසුවා පැහැර ගැනීමට උත්සාහ කළා. එහි සිටි වෘත්තීය සංගම් නායකයන් එම උත්සාහය ව්‍යර්ථ කළා.
මෙම ක්‍රියාව මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා. සුදු වෑන් වලින් පැමිණ ශිෂ්‍යයන් පැහැර ගැනීම ගැන පියවර ගන්නවාද? විනය විරෝධී කටයුතු කළ පොලිස් නිලධාරීන් පිළිබඳව පියවර ගන්නවාද?

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල
මෙතුමාගේ ප්‍රකාශයේ සුදු වෑන් කියලා තිබුණා.
මේක පොලිසියට අයිති එකක්.
සුදු වෑන් එකක් නොවේ. මේ පුද්ගලයාට වරෙන්තු පහක් තියෙනවා.
මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි කණ්ඩායම නොසන්සුන් විය. ආණ්ඩු පක්ෂයෙන්ද හඬක් නැඟුණි. ඒ හේතුවෙන් සභාවේ ඝෝෂාකාරී තත්ත්වයක් මතු විය.

රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසිය අනුගමනය කළ ක්‍රමවේදය වැරැදියි: කනගාටුව පළ කරනවා

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමේ සහ ක්‍රමවේදයේ අඩුපාඩු පැවතුණ බවත්, ඒ නිසා සිදුවූ අපහසුතාව පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනතාව වෙත තම කනගාටුව ප්‍රකාශ කරන බවත්, නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) පැවැසීය.

"කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි වෘත්තිකයන්ගේ සංගමයේ ගොඩනැඟිලි පරිශ්‍රයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු වන රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුවූ සිද්ධිය සම්බන්ධව මා විසින් පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවා ගත්තා. එම වාර්තාව මේ සභාවේ සභාගත කරනවා."
"සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට 2017 ජුනි 21 වැනිදා බලහත්කාරයෙන් ඇතුළු වී, රජයේ දේපළවලට අනර්ථයක් සිදු කිරීමට අදාළව පොදු දේපළ පනත යටතේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවකු ලෙසත්, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ නඩුවට පෙනී නොසීටිම හේතුවෙන් වරෙන්තු නිකුත්වී ඇති සැකකරුවකු වශයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු වන රයන් ජයලත් ශිෂ්‍යයා උක්ත සඳහන් දින අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම සිදුවීම සිදුවී තිබෙනවා."

"කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මෙම වරෙන්තුකරු හෙවත් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරු ඉකුත් 20 වැනි දින, කුරුඳුවත්ත පොලිස් වසමේ වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැඟිල්ල තුළ සිටින බවට ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පමණක් සහභාගිවී තිබෙනවා. නිලධාරීන් ප්‍රවාහනය හා මෙහෙයුම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත වාහන පමණක් භාවිත කර තිබෙනවා."
"කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ඉකුත් 20 වැනිදා මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන ලද මෙහෙයුම හා එම ක්‍රමවේදය සම්බන්ධව අඩුපාඩු ඇති බවට මට නිරීක්ෂණය වනවා."

"පොලිස් දෙපාර්තමේන්තුව මෙලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීමේදී ඊට සහභාගි වූ නිලධාරීන්ගේ යම් අඩුපාඩු සිදුවී ඇද්දැයි පරීක්ෂා කර වාර්තාවක් සපයන ලෙස මේවන විට පොලිස්පතිට නියෝග කර තිබෙනවා."

ඒ වගේම, නිසි සැලසුමකින් හා නිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑම සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සෑම පොලිස් නිලධාරියකුම දැනුවත් කරමින් පොලිස්පති විසින් උපදෙස් චක්‍රලේඛයක් නිකුත් කිරීමට මේ වන විටත් දැනුවත් කර තිබෙනවා.

මෙම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු වන රයන් ජයලත් යන ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට යෑම හේතු කොටගෙන අතිගරු ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට මෙන්ම පුරවැසියන්ට පොලිස් දෙපාර්තමේන්තුව මඟින් යම් අපහසුතාවක් සිදුවීම සම්බන්ධයෙන් මා කනගාටුව ප්‍රකාශ කරනවා."

විදේශ ඇමැතිගේ විනිමය
වංචා නඩුව යට ගහන්නේ ඇයි

විදේශ විනිමය වංචා කිරීමේ සිද්ධියට අදාළව නැවත අධිචෝදනා පත්‍ර සකස් කර නඩු පවරන්නෙ නැත්තේ ඇයිදැයි රටට හෙළිකරන්න යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.

රවි කරුණානායක මහතාට විරුද්ධව විදේශ විනිමය වංචා නඩුවක් තිබුණා. විදේශ විනිමය වංචා නඩුවක් තිබුණ කෙනෙක් මා දන්නා තරමට රටක මුදල් ඇමැති වූ ප්‍රථම අවස්ථාව මෙයයි. පසුව තාක්ෂණික කරුණු මත එතුමා නිදහස් වුණා.

ඒ විදේශ විනිමය රුපියල් කෝටි
හතළිස් දෙක රාජ් රාජරත්නම් ළඟද නැතිනම් කාළඟද? අධිකරණයේ ගිණුමකද? රටට කියන්න.
අධි චෝදනා පත්‍රය වැරැදි නම් නැවත ඉදිරිපත් කරන්න පුළුවන්. නැවත අධි චෝදනාපත්‍ර සකස් කර නඩු පවරන්නේ නැත්තේ ඇයිදැයි රටට හෙළි කරන්න.

අනුරාධපුරයට පානීය ජලය තිබෙන්නේ
දින 25 කට පමණයි

උතුරු මැද පළාතේ පවතින නියඟය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජලය තිබෙන්නේ තවත් දින විසිපහකට පමණකැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ (එජනිස) පැවැසීය.

උතුරු පළාතේ පානීය ජලය ප්‍රශ්නය විසඳීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුරාධපුර දිසාව වෙනුවෙන්ද ක්‍රියාවට නංවන ලෙස මන්ත්‍රිවරයා ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාගෙන් ඉල්ලීමක්ද කළේය.
යාපනය දිසා මන්ත්‍රි ඩග්ලස් දේවානන්ද ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා ලබාදුන් පිළිතුරෙන් අනතුරුව
ෂෙහාන් සේමසිංහ මහතා ඉහත ඉල්ලීම කළේය.

අනුර ප්‍රියදර්ශන යාපා
දැනට මාස දෙකකට කලින් අප එහි ගියා. සෑම අංශයක් සමඟ සාකච්ඡා කළා. මාස තුනකට ප්‍රමාණවත් වතුර තිබෙන බව එහිදී ප්‍රකාශ වුණා. අඩුපාඩුකම් ගැන ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය බවුසර් දීලා තිබෙනවා. කුලියට ගන්න පුළුවන් හැම බවුසරයක්ම ගෙන ඒ පළාත්වලට යවන්න බලාපොරොත්තු වෙනවා.

නීති පිට නීති දැමීම දූෂණයට මුල් වෙනවා

නීති පිට නීති දැමීම දූෂණයට මුල බවත් නීති වැඩි වන විට ඒවා ක්‍රියාත්මක කිරීමේදී නොයෙක් පරිපාලන ප්‍රශ්න ඇති වන බවත් විශේෂ කාර්ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම පැවැසීය.

අපේ රටේ ලක්ෂ පහළොවක් පිටරටවල විවිධ රැකියා කරනවා. අද ලෝකයේ හැම රටකටම කුමන සමාජ දර්ශන තිබුණත් එය දියුණු කිරීමට විදේශ විනිමය අවශ්‍යයි.
අද මැණික් කර්මාන්තය අර්බුදයකට ගිහිල්ලා සල්ලි ගේන්න දෙන්නෙ නෑ. සල්ලි ගෙනියන්න දෙන්නෙ නෑ කියලා ව්‍යාපාරිකයො කියනවා. නව තාක්ෂණය තුළ විනිමය පාලනය හරියට කරන්න ඕනෑ.

විදේශ විනිමය නව පනත මහ බැංකුවේ අධීක්ෂණයට මුල් තැන දීලා තිබෙනවා. මීට පෙර පැවැති පනතේ ඇමැතිවරයාට අවස්ථාව දීලා තිබුණා. මෙහි ප්‍රධාන අධීක්ෂණ බලතල මහ බැංකුවට ලබාදීම හොඳයි. මූල්‍ය මණ්ඩලය හරහා යමක් පවසනවා හැර ඇමැතිවරයාට මහ බැංකුවට බලපෑම් කරන්න බැහැ.
අපට මේ රට ඉක්මනින් සංවර්ධනය කරන්න නම් සල්ලි නැතිව බැහැ. එය ලිහිල් කරන්නේ ඇයි? නීති පිට නීති දාපුවාම ඒක තමයි දූෂණයට මුල. නීති ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්. නීති වැඩි වන විට ඒවා ක්‍රියාත්මක කරද්දී නොයෙක් පරිපාලන ප්‍රශ්න ඇති වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon