ඛනිජ තෙල් බෙදාහැරීම යථා තත්ත්වයට පත් කරනවා

  👤  4467 readers have read this article !
2017-07-27

අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ඉහළට ඔසවා තබා අධිකරණයට හා නීතියට ගරු කරනවා. ඒවා විනාශ කරමින් රට අස්ථාවර කරන බලවේගවලට යටවෙන්නෙත් ඒ බලවේගවලට හිස නමන්නේත් නැහැ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිවේදනයක් වශයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා එසේ පැවැසීය.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කළා.
මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය, ප්‍රතිපත්තිය හා දැක්ම මේ සභාවට පැහැදිලි කළ යුතු යැයි අප කල්පනා කළා. අප එසේ කරන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා ප්‍රජානත්ත්‍රවාදී අගයන් ආරක්‍ෂා කිරීමට අපේ රජය සැමවිටම කැපවී සිටින නිසයි.

පසුගිය කාලයේ එවැනි පිළිවෙතක් ක්‍රියාත්මක වුණේ නැහැ. රජයේ ප්‍රතිපත්තිමය තොරතුරු පමණක් නොව මූල්‍ය තොරතුරු ද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේ නැහැ. රාජපක්‍ෂ රෙජීමය සමයේ පාර්ලිමේන්තුව නිකම්ම නිකම් සීල් එකක් බවට පත් කර තිබුණා. ජනවාරි 08 වැනිදා විප්ලවයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස මේ රටේ බහුතර ජනතාව පත් කර ගත් පසු අප නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් රට තුළ ස්ථාපිත කරලීමට කටයුතු කළා. පාර්ලිමේන්තුව බල ගැන්නුවා.
එහි ප්‍රතිඵල ලෙස ජනතාවට නිදහසේ ජීවත්වීමේ, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබුණා. මේ අයිතියෙන් ප්‍රයෝජන ගත් යම් යම් කොටස් ඒ නිදහස් පරිසරය පාවිච්චි කරමින් පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවන් ගණනාවක් ද අප නිරීක්‍ෂණය කළා.

ඕනෑම වෘත්තීය කණ්ඩායමක් සිය වෘත්තියේ උන්නතිය හා සුබ සාධනය වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම්, අරගල, විරෝධතා ව්‍යාපාර පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් කිසියම් පිරිසක් පදනම් විරහිතව කිසිදු පිළිගත හැකි හේතු නොමැතිව රටේ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කොට රට අස්ථාවර භාවයට පත් කිරීමට අප ලබා දුන් නිදහස පාවිච්චි කරනවා නම් රජයක් හැටියට වගකීමෙන් යුතුව ක්‍රියා කිරීමට අප බැඳී සිටිනවා.

ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිල අදහස් දැක්වීම මෙහෙමයි.
මෙහෙම කියන්නේ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු බන්දුල සමන්කුමාර මහතායි.
ලිඛිතව ජනාධිපතිවරයා එකඟ වෙනවා නම් අපි අනිවාර්යයෙන් වැඩ වර්ජනය නවත්වනවා. එහෙම නැතුව ජනාධිපතිතුමා එක්ක නොවෙයි ශක්‍ර දේවේන්ද්‍රයා එක්කවත් අපි සාකච්ඡා පවත්වන්න එන්නේ නෑ ඒක අපේ තීරණය.

අපේ රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා ප්‍රතික්‍ෂේප කර නැහැ. ඛනිජ තෙල් වෘත්තීය සමිති සමඟ අපේ මැතිඇමැතිවරුන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා පවත්වා තිබෙනවා.
මම අප්‍රේල් 24 සහ ජූලි 13 යන දිනවල ඔවුන් සමඟ සාකච්ඡා කළා.
ඒ සාකච්ඡාවලදී ඔවුන් ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව අවධාරණය කළා. පළමුවැන්න හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව, දෙවැන්න ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳව, තුන්වැන්න සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය පිළිබඳව.

මෙයින් දෙවැනි හා තුන්වැනි කරුණු පිළිබඳව අප එකඟත්වයට පැමිණියා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව සිදුකෙරෙන මූලික සාකච්ඡාවන්ට වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් ලබා ගන්නා බව අපට ඔවුන්ට දැනුම් දුන්නා. දැන් ඒ පිළිබඳව බරපතළ ගැටලුවක් නැහැ. මේ තෙල් ටැංකි පිළිබඳව හා බදු දීමේ ගිවිසුම පිළිබඳව දැනට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. එම නඩු තීන්දුවෙන් අනතුරුව මෙහි ඇති නීත්‍යනුකූල තත්ත්වය පැහැදිලි කරන්න පුළුවන්. සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිළිබඳ යෝජනා ඛනිජ තෙල් ඇමැතිතුමාට භාර දෙන ලෙස අප දැනුම් දී තිබෙනවා. ඒවා ලැබුණු පසුව අපි සලකා බලනවා. හම්බන්තොට තෙල් ටැංකි අයිතිය ඇත්තේ වරාය අධිකාරියටයි. වරාය අධිකාරියට මේ අයිතිය ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. නමුත් ඒ අවස්ථාවේ කිසිවකුත් විරෝධය පළ කළේ නැහැ. අප දැන් ඛනිජ තෙල් වෘත්තීය සමිති ඉල්ලීම වරාය අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා.

රජයේ කිසිදු ක්‍රියා පිළිවෙතකින් තෙල් සංස්ථාවට අගතියක් හෝ හානියක් සිදු නොවන බවට මා වෘත්තීය සමිති හමුවේ සහතික වුණු බවද මෙහිදී සඳහන් කරන්නට කැමැතියි. ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කළේ මේ සියලු කරුණු ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීමෙන් පසුවයි.
අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු පරිශ්‍රයන් හා ඒවායේ ප්‍රවේශ මාර්ග ආරක්‍ෂා කරලීමේ කටයුතුවලට ආරක්‍ෂක හමුදාව මැදිහත් වුණා. ඒ වගේම ඉන්ධන බෙදා හැරීමේ කාර්යයන්ට පූර්ණ ආරක්‍ෂාව සැපයීමේ වගකීම ඔවුන්ට පැවරුණා.

අද දහවල් වන විට සියලු කටයුතු යථා තත්ත්වයට පත් කෙරුණා. මේ වන විට ඉන්ධන බවුසර් පිටත් කෙරෙමින් පවතිනවා. ගුවන් යානා ඉන්ධන රැගත් දුම්රියද කටුනායක බලා යන්නට සූදානම්. සියලු කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා.

අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ඉහළට ඔසවා තබනවා. අධිකරණයට හා නීතියට ගරු කරනවා. නමුත් ඒවා විනාශ කරමින්, රට අස්ථාවර කරන බලවේගවලට යට වෙන්නේ නැහැ. ඒ බලවේගවලට හිස නමන්නෙත් නැහැ.

හමුදාව යැව්වෙ
තෙල් බෙදන්නද
ආරක්ෂාවටද ?

"තෙල් සංස්ථාවෙ සේවකයන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. හමුදාව යැව්වෙ ආරක්ෂාවට කියා මරික්කාර් කියනවා. තෙල් බෙදන්න කියල අගමැතිතුමා කියනවා. මේ දෙකෙන් ඇත්ත කුමක්ද කියලා අපි දන්නේ නැහැ."

අගමැති
"ගිය පාලන කාලෙ නම් මේ එකක්වත් කියන්න වෙන්නෙ නැහැ. මම මේ ගැන ප්‍රකාශයක් කළේ නැත්නම්, මෙහෙම නැඟිටල කතාකරන්නෙ නැහැනේ."
(දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු සහ අනුර කුමාර දිසානායක ප්‍රධාන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු නැඟී සිට අදහස් පළකිරීමට උත්සාහ කරද්දී, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක්ද නැඟී සිට ඝෝෂා කරන්නට වූහ.)

කතානායක
"මන්ත්‍රිවරු කරුණාකරල වාඩිවෙන්න. සභාවේ වැඩ කරන්න ඉඩ දෙන්න. ඝෝෂා කරන්න එපා. ප්‍රධාන කටයුතු ආරම්භ කරන්න තියෙනවා."
(අණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් මන්ත්‍රිවරු නොනවත්වාම ඝෝෂා කරති)

කතානායක
"සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවනවා."

කතන්දර එපා
අත්අඩංගුවට ගත් අය
නිදහස් කරන්න

තෙල් සංස්ථාවේ සේවකයන්ට මැරයො දාල දිගින් දිගටම පහර දෙනවා. වෘත්තීය සමිති නිලධාරීන් ජනාධිපති සමඟ සාකච්ඡා කර පැමිණෙන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ලේ හලන එකයි, වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගන්න එකයි නවත්වන්න යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
අගමැතිතුමා, වෙන කතන්දරවලින් වැඩක් නැහැ. මිනිස්සු ලේ හලාගෙන මහපාරේ. ඇයි මෙහෙම හැසිරෙන්නේ? තවමත් පහර දෙනවා. වහාම මේ පහරදීම නවත්වන්න. අත්අඩංගුවට ගත්ත අය නිදහස් කරන්න.

අගමැති - අපි කාටවත් වෙඩි තියන්නෙ නැහැ. අත්අඩංගුවට ගත්ත කවුරුවත් තියාගන්නෙ නැහැ. හැම එක්කෙනාගෙන්ම කටඋත්තර අරගෙන පිටත් කරනවා.
විමල් වීරවංශ - අගමැතිතුමා, මරික්කාර් කියන මැරයගෙ ගෝලයො ටික තවම ගහනවා.
බන්දුල ගුණවර්ධන - මරික්කාර්ගෙ තගාල ගහනවා. රටට මෙහෙම කරන්න එපා. මේක තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය. මේ තගාල දාල ගහන එක නතර කරන්න.

වැඩ වර්ජන කරලා
ආණ්ඩුව පෙරළීමට
ඉඩ දෙන්නේ නෑ

දෙනගම දම්මික රණවීර, ඡායාරූප _ අශාන් ගමගේ
දේශපාලනික අරමුණු වෙනුවෙන් වැඩ වර්ජන කොට රජය පෙරළීමට ඉඩ නොදෙන බව සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (26දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලටද සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේ පිළිතුරු දුන්හ.
පළාත් සභා ඡන්දය එකම දවසක පැවැත්වීමට කැබිනට් අනුමැතිය දී තිබෙනවා. පළාත් සභා මැතිවරණ පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ කවදාද?
රාජිත සේනාරත්න මහතා
අන්තිම පළාත් සභා මැතිවරණයේ කාලය අවසන් වූ පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සියලු පළාත් සභා විසුරුවා හරිනවා.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගැනීමෙන් පසුව පාලක මණ්ඩලයට පත් කොට සිටින්නේ කවුද?

එහි සභාපති ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් මෙන්ඩිස් පත්කළා. මහාචාර්ය සරත් විජේසූරිය, වෛද්‍ය ලියෝන් ප්‍රනාන්දු, අයිවන් වීරක්කොඩි, වෛද්‍ය දීපාල් වීරසේකර, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඇතුළු පිරිසක් ඒ සඳහා පත් කළා.
අවුරුදු 10කට පසුව නෙවිල් ප්‍රනාන්දු රෝහල ආපසු ඔවුන්ට හිමි වෙනව කියල වෛද්‍ය සංගමය ප්‍රකාශ කොට තිබෙනවා?
ඒ තීන්දු ගන්නේ රජයයි. රුපියල් බිලියන 3.55ක් වටිනා රෝහලක් නිකන් දුන්න එකේ හිතේ අමාරුව තමයි ඔය තියෙන්නේ. ඒ ණය මුදලත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගෙවනවා. එම්. ආර්. අයි. ස්කෑනරයක් ඇතුළු නවීන පහසුකම් එහි තිබෙනවා.

මේක පරිත්‍යාග කරන්නේ ඇයි කියන ප්‍රශ්නය ජනතාවට තිබෙනවාද?

ඒක එයාගෙන් අහන්න.
වර්ජනය කරන සේවකයන් කෙරෙහි ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්ද?
මේක දැන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කොට තිබෙනවා. එම අත්‍යවශ්‍ය සේවා පනත හොඳට කියවල ඉන්න කියන්න.

ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධව මොකක්ද අදහස?

ඒවා දේශපාලන ඉල්ලීම්. ඔය විදියට රටක් පාලනය කරන්න බැහැනෙ. හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල තෙල් ටැංකි දෙනවද නැද්ද කියල තීරණ ගන්නෙ රජය. බැසිල් රාජපක්‍ෂ එක්ක රෑට කෑම කාල උදේට ගන්න තීන්දුවලට අපි එකඟ වෙන්නෙ නැහැ.

හම්බන්තොට වරාය ගිවිසුම අස්සන් කළ පසු එහි පාලන කටයුතු සිදු වන්නේ කෙසේද?

ගයන්ත කරුණාතිලක මහතා
මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සිකුරාදා පැවැත්වෙනවා.

මේකට සංශෝධන භාර ගන්නවාද?

දයාසිරි ජයසේකර මහතා
හොඳ යෝජනා ගෙනාවොත් සලකා බලන්න සූදානම්
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම රවි කරුණානායක ඇමැතිවරයා වෙනුවෙන් කුලියට ගත් නිවෙසට බදු ගෙවා තිබෙනවා. මේ ගැන ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද?

රාජිත සේනාරත්න මහතා
ඒ සඳහා රවි කරුණානායක ඇමැතිතුමා ජනාධිපති කොමිසමට ගොස් ඔහුගේ ප්‍රකාශය ලබා දෙන්න නියමිතයි.

කැබිනට් මණ්ඩලයේදී ඒ ගැන සාකච්ඡා වුණාද?
කැබිනට් මණ්ඩලය තියෙන්නේ ඒවා සාකච්ඡා කරන්න නෙවෙයි.
ඒත් රජයට මේක විශාල හානියක්?
එක පැත්තකින් කරුණු අහල නඩුවක් තීන්දු කරනවාද?

අපි බලමු එතුමා දෙන පිළිතුරු.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ආකාරය ගැන බොහෝ විවේචන තිබෙනවා. ඒ ගැන අදහස කුමක්ද?
මේ සියලු අත්අඩංගුවට ගැනීම්වලට අධිකරණය නියෝග කොට තිබෙනවා. නමුත් ඔහු අත්අඩංගුවට ගන්න පොලිසිය පැමිණි ක්‍රමය කාටවත් අනුමත කරන්න බැහැ. රටේ නීතිය අනුව එහෙම කරන්න පුළුවන් කියල පොලිසිය කියනවා. ඒක හරි. ඒත් උද්ඝෝෂණයක් වෙලාවකට යන්න ඕන නැහැ ඔය වගේ කෙනෙක් අත්අඩංගුවට ගන්න. රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්න ඔය විදියට ගියා නම් ඒක අනුමත කරන්න පුළුවන්. මම ඔය ගැන පොලිස්පතිටත් කතා කළා. මේක රජය අපහසුතාවට පත් කරන්නක් බවත් ප්‍රකාශ කළා. මේක කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ආණ්ඩුව මාරු වුණාට තවම රාජ්‍යය වෙනස් වෙලා නැහැ.
රවි කරුණානායක ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබින්ට පත්‍රිකා 3ක් ප්‍රතික්‍ෂේප වුණාද?
දයාසිරි ජයසේකර මහතා
මහා බෝධි සංගමයේ භාරකාරත්වය විසුම්පාය නිල නිවෙසට ඉල්ලා සිටීම හා කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකා 3කට අනුමැතිය හිමි වුණේ නැහැ. මහා බෝධි සංගමය ගැන ලබන සතියේ යළි සාකච්ඡා කරනවා.

මේ වැඩ වර්ජන පිටුපස කවුද සිටින්නේ?

රාජිත සේනාරත්න මහතා

රාජපක්‍ෂලාගේ මූල්‍ය වංචා පිළිබඳ දැන් පරීක්‍ෂණ අවසන් වෙමින් තිබෙනවා. ඒවා අධිකරණයට ඉදිරිපත් වුණාම ඒ අය අත්අඩංගුවට පත්වෙනවා. රාජ්‍ය දේපළ පනත යටතේ එම නඩු පැවරෙනවා. දැන් භික්‍ෂුන් වහන්සේ මඟින් ඔවුන් අත්අඩංගුවට ගන්න එපා කියල පණිවුඩ එවනවා. ඒවගෙන් බේරෙන්න කියල හිතල වරාය බදුදීම, නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීම නතර වූ පසු මේ රටේ ආර්ථිකය ගෙනියන්න බැරිව, ආණ්ඩුව කඩා වැටෙනව කියල ඒ අය සිතනවා. ඒ නිසා තමයි ඔය වැඩ වර්ජන කරවන්නේ.

රාජිත සේනාරත්න මහතා
2002දී මම ගෙන ආ ඉඩම් පනත අනුව සින්නක්කරව විදේශිකයනට ඉඩම් දෙන්න බැහැ. ඒත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා ෂැංග්‍රිලා එකට සින්නක්කරව ඉඩම් දුන්නා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon