අමාත්‍යාංශවල සැලැසුම් සංවර්ධන ඉලක්කවලට අනුකූල නෑ

  👤  3903 readers have read this article !
2017-08-09

අමාත්‍යාංශවල කිසිදු සැලැස්මක් හෝ ඒවායේ ප්‍රතිපත්ති හෝ තිරසර සංවර්ධන ඉලක්ක සමඟ අනුකූල නොවනු දක්නට ඇතැයි තිරසර සංවර්ධන සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව ප්‍රකාශ කරයි.

තිරසර සංවර්ධන ඉලක්ක සමඟ අනුකූල වන පරිදි සෙසු අමාත්‍යාංශ කටයුතු කිරීමට සැලැස්වීමේදී මුදල් අමාත්‍යාංශයේ කාර්ය භාරය ඉතා වැදගත් වන බවද වාර්තාව නිර්දේශ කර ඇත.

තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල එම අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඊයේ (08දා) ඉදිරිපත් කළේය.

තිරසර සංවර්ධන ඉලක්ක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම මීළඟ අයවැයේදී සැලකිල්ලට ගත යුතු කරුණකැයිද එම වාර්තාව නිර්දේශ කර තිබේ.
2030 සංවර්ධන න්‍යාය පත්‍රය සකස් කර ගැනීමේදී තිරසර සංවර්ධන නිලධාරීන් ලෙස ජාතික වැඩසටහන්වලදී උපාධිධාරීන් යොදා ගැනීම, එම නිලධාරීන්ට තොරතුරු තාක්ෂණ පුහුණුව ලබාදීම, නිලධාරීන් කැපවීමෙන් විධායක සහයෝගය ලබාදීම වැදගත් වන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පැවසීය.

මල්වානේ ඉඩම ගැනත් ජනාධිපති කොමිසමක් ඕනෑ

සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථය ඇති කිරීමට ලබාදුන් ටෙන්ඩරය ගැන වගේම මල්වානේ ඉඩම ගැනත් ජනාධිපති කොමිසමක් අවශ්‍ය බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි නලින් බණ්ඩාර කීවේය.

ඒ කෘත්‍රිම ධාවන පථය ඇතිරීමේ ටෙන්ඩරයේ විශාල වංචාවක් සිදුවී ඇති බව පේනවා. රුපියල් මිලියන 110ක් වැය කර තිබෙනවා.
මා පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරයකු ලෙස පැමිණ අදට අවුරුදු හතරක් සපිරෙනවා. අගමැතිතුමාගේ පාර්ලිමේන්තු දිවියටත් පසුගියදා අවුරුදු හතළිහ සම්පූර්ණ වුණා. ඒ ගැන මා සතුටු වෙනවා.

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට බඳවා ගැනීමේදී සුදුසුකම් නැති ළමයින් ගන්න එපා

"ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජර්මානු භාෂාව ඉගැන්වීමට අපි ආරම්භ කළ වැඩ පිළිවෙළ අද නතර කර තිබෙනවා" යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම (එජනිස) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මෙම ආයතනයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවාගැනීමේදී, අවශ්‍ය සුදුසුකම් රහිත දරුවන්ට අවස්ථාව දෙන්න එපා. රටටම විවෘත කරන්න. ඒ වගේම පස්ස ‍ෙදාරෙන් ඇතුළත් කරගන්නත් එපා.

පැරදුණු දේශපාලනඥයන්ට කාර්මික අභ්‍යාස ආයතනවල සභාපතිකම් දෙන්න එපා

දේශපාලනයෙන් සමුගත් අය කාර්මික අභ්‍යාස ආයතනවල සභාපති තනතුරු සඳහා පත් නොකළයුතු බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර පැවැසීය.

දේශපාලනයෙන් පැරදී ගෙදර ඉන්න දේශපාලකයන්ට මේ මණ්ඩලයේ සභාපතිකම නොදිය යුතුයි. ජර්මානු කාර්මික ආයතනය කීර්තිමත් තැනකට ආවේ එහි දරුවන් එහිම උපදේශකයන් වීම නිසයි. අප පක්ෂ භේදයෙන් තොරව කටයුතු කරනවා. මෙය සුවිශේෂ ආයතනයක්.

මේ ආයතනයට දේශපාලන නියෝජිතයකු පත්කිරීමට මා එකඟ නැහැ. එහෙම වුණොත් මේ ආයතනයත් තානාපති සේවයට අත්වූ ඉරණමට ගොදුරු වේවි. අපට අවශ්‍ය රටේ වෘත්තීය පුහුණු කටයුතු දියුණු කර තරුණ තරුණියන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමටයි.

ක්‍රීඩකයන්ගේ බඩවල් ගැන වගේම ක්‍රීඩාංගණ පිටින්ම
ගිලපු අයගේ බඩවල් ගැනත් හොයන්න ඕනෑ

"පසුගිය රජය කාලයේ සුගතදාස ක්‍රීඩාංගණයේ ඉදිකළ මංතීරුව ඉරිතළා යෑම ගැන දැන් නඩු පැවැරීමට යනවා" යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් (එජාප) පැවැසීය.

"පසුගිය ආණ්ඩු කාලයේ ක්‍රීඩාංගණ ඉදිකළ ආකාරය ගැන සෑහීමට පත්විය නොහැකියි. ක්‍රීඩාංගණවල ඉදිකළ මංතීරු මාස තුනක් ගත වෙද්දී භාවිත කිරීමට නොහැකි වූවා. ඒ නිසා රුපියල් කෝටි ගණන් රජයට අහිමි වුණා.

ක්‍රීඩකයන්ගේ බඩ ගැන විතරක් නොවේ ක්‍රීඩාංගණ පිටින් ගිලපු රටේ දේශපාලකයන්ගේ බඩ ගැනත් හොයලා බලන්න ඕන.
රවි කරුණානායක මහතාට එරෙහි චෝදනාව ගැන විතරක් නෙවේ අද සුදනන් වගේ හැසිරෙන ඒකාබද්ධ විපක්ෂයේ මහ හොරුන්ගේ හොරකම් ගැනත් පරීක්ෂණ පවත්වන ලෙස රජයෙන් ඉල්ලනවා."

එදා වගේ දේවල් සිදු නොවෙන්න ප්‍රධාන සංවිධායක වගබලාගත යුතුයි

පාර්ලිමේන්තුවේදී ඉකුත් 28දා සිදුවූ සිද්ධිය වැනි සිදුවීම් සිදුනොවීමට නම් විපක්ෂ කණ්ඩායමේ ප්‍රධාන සංවිධායකවරයා පාලනය කරගන්නැයි ඊයේ (8දා) පැවැති පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක ආර්. සම්පන්දන්ගෙන් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ විපක්ෂ නායක ආර්.සම්පන්දන් අදහස් දක්වමින්, මුළු රටම පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව බලා සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය එදා හැසිරුණු ආකාරය සුදුසු නොවන බවටත් චෝදනා කිරීම නිසා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා විපක්ෂ නායකවරයාගෙන් එසේ ඉල්ලා ඇත.

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ විනය
ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා

"ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය තුළ විනය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට වගබලා ගන්නවා" යැයි වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි පැවැසීය.මෙවැනි ආයතනයක් රුපියල් මිලියන 200ක් වෙන්කර දකුණු ප්‍රදේශයේත් බිහි කරනවා. ජයන්ත සමරවීර (එ.ජ.නි.ස.) - ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා සම්බන්ධව චෝදනාවක් සමාජ වෙබ් අඩවිවල පළවී තිබුණා.

චන්දිම වීරක්කොඩි _ ඒ ගැන අපි සොයා බැලුවා. දැනටමත් ඔහු ගැන විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඔහු විදුහල්පති තනතුරෙන් ඉල්ලා අස්වෙලා තිබෙනවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon