හොරු සමඟ හෙලුවෙන්

  👤  4517 readers have read this article !
2017-08-10

56 මැතිවරණයේදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත්විය. ඒ ආණ්ඩුවේ මුදල් ඇමැති වුණේ ස්ටැන්ලි ද සොයිසාය. 59 සැප්. 26 අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සිදුවිය. බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ මුදල් අමාත්‍ය ස්ටැන්ලි ද සොයිසාගේ සොහොයුරු නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසාටය. නියෝජ්‍ය පොලිස්පති ඉල්ලා අස්විය.

එහෙම මදි, ආණ්ඩුව ඔබත් ඉල්ලා අස්වෙන්න.

මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසාට ඉල්ලා අස්වෙන්න කියා ආණ්ඩුවේම නියෝජිතයෝ කීවේ එහෙමය.
අන්තිමට මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා ද ඉල්ලා අස්විය. ඔහු අස්වුණේ සොයුරාට එල්ල වූ චෝදනාවක් හින්දාය. ඒ චෝදනාවත් වක්‍ර චෝදනාවක්ය. හැබැයි ඒ කාලයේ මුදල් ඇමැතිට "ගෙදර යන්න" ඒකම ප්‍රමාණවත් විය.

ආත්ම ගෞරවය කියන්නේ අන්න ඒකටය.
1960 ජූලි 20 මහා මැතිවරණයෙන් දිනුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ය. ආසන 151න් 75ක් ශ්‍රී ල.නි. පක්‍ෂය ලබා ගත් අතර වමේ පක්‍ෂවල සහයෝගයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති වශයෙන් දිවුරුම් දුන්නාය. ඇය තමන්ගේ ආණ්ඩුවේ මුදල් ඇමැතිකම දුන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකටය. ඒ වෙනකොට සහල් සේරු දෙකක් සතියකට සත 25 බැගින් නිවැසියකුට දෙමින් තිබ්බේය. මේක වෙනස් කරන්නට හිතුව මුදල් ඇමැතිවරයා නිවෙස්වලට දෙන සහල් සේරු 2න් භාගයක් අඩු කරන්නට යෝජනාවක් ගෙනාවේය. හැබැයි ඒ යෝජනාවට ශ්‍රී ලංකා එකේ මන්ත්‍රිවරු විරුද්ධ වූහ. ෆීලික්ස් කළේ "මුදල් ඇමැති" පට්ටම පැත්තකට දමා ගෙදර යන එකය. හැබැයි ෆීලික්ස් ගෙදර ගියේ "දූෂණ චෝදනා" තිබිලා නොවේය. ඔහුට තිබුණේ තමන්ගේ පක්‍ෂයේ නියෝජිතයෝ තමන්ගේ යෝජනාවට එරෙහි වෙච්ච එක ගැන වේදනාවක්ය.

හෘදසාක්‍ෂිය කියන්නේ අන්න ඒකටය.
මෙහෙම අස්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා එකේ අය විතරද? නෑ. එක්සත් ජාතික පක්‍ෂයේ ද එහෙම ඉල්ලා අස්වූ අය හිටිය බව ඉතිහාසය පෙන්වා දුන්නේය. 1953 රට පුරා දරුණු හර්තාලයක් ආරම්භ වෙද්දී ඒක දරාගන්නට බැරිව ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වුණේය.

හැබැයි මේ කවුරුවත් අස්වුණේ "දූෂණ" චෝදනා හින්දා නම් නොවේය. හැබැයි ඒ හැමෝටම හෘදසාක්ෂිකිය එක්ක චෝදනාවක් තිබ්බේය.
ලංකාවේ හිටපු මුදල් ඇමැතිවරයා වූ දැන් විදේශ කටයුතු ඇමැතිවරයා වන රවි කරුණානායකට තිබෙන්නේ "කැත" චෝදනාවක්ය.
"රවි ඉල්ලා අස්වෙනු"

එහෙම කියන්නේ සාමාන්‍ය මිනිස්සුය. ආණ්ඩුවේ සමහර ඇමැතිවරුද ඉන්නේ ඒ මතයේය. "කැත පැටිකිරිය" හේතුවෙන්, ගානක්වත් නැති ගානට, ඔහු ඉන්නේ දිනෙන් දින ආණ්ඩුව ප්‍රපාතයට දක්කමින්ය.

"මහින්ද රාජපක්‍ෂ ජනතාවගේ සල්ලි පික් පොකට් ගහලා එයාලගේ සාක්කු පුරවා ගත්තා. අපිට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්. පින් එක ගලවපු ගේ‍රනේඩ් බෝම්බයක්. පළමුවැනි දින සීය ඇතුළත අපි ජනතාවට සහනාධාර දුන්නා.
වතාවක් රවි කියන්නේය. කතාවේ හැටියට රවි විශ්වකර්මයෙක්ය. මහින්ද හින්දවා තිබූ භාණ්ඩාගාරයෙන් දින සියයක් ඇතුළත සහන දුන්නේ කොහොමද කියා අහනකොට රවි දෙන උත්තරේ මොකක්ද කියා දන්නේ නැත.

මේ මිනිස්සු පස්පඩංගුවේ බැන බැන යන්නේ "රනිල්ගේ සෙවණැල්ල" කියා ඡන්දේ දවස්වල ඇඩ් දැමූ මිනිසාටය. "නායකත්වයේ විශ්වාසය" කියා පෝස්ටර්වල සිටි මිනිසාටය. "විශ්වාසය තහවුරුයි" කියා ජනපතිගේ අගමැතිගේ ඡායාරූප දමා පෝස්ටර් ගැසූ මිනිහාටය.
වරක් ඩ්ඡ් සඟරාව රවිගෙන් මෙහෙම අසයි. දේශපාලනඥයන්ට එන චෝදනා වර්ග දෙකයි. එකක් ගෑනු ප්‍රශ්න, අනෙක සල්ලි ප්‍රශ්න. මං හිතන්නේ ඔබට තිබෙන්නේ සල්ලි ප්‍රශ්න?

"මට කියන්න මම එක සතයක් වංචා කරලා තියෙන්නේ කොහෙද කියලා. ඉහළ නිලතල දරනකොට ඔය වගේ චෝදනා එනවා. මට සතොස හොරා කිව්වා. දැන් පේනවනේ හොරා කවුද කියලා. මිලියන 500ක් ආයෙත් ගෙවන්න වෙලා තියෙනවා. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි හොරකම නතර කරන එක. ඒ තරම් හොරු ඉන්නවා. හොරකම නවත්වන්න යන ගමනට බාධාවන් එනවා මිසක ඒකට කිසි උදව්වක් ලැබෙන්නේ නැහැ.

මේ කතාව අහනකොට සිනහ යන්නේ කොහෙන්ද කියා හිතා ගන්න බැරිය. ඊටත් පස්සේ සඟරාව මෙහෙම ප්‍රශ්නයක් අසයි.
"අනුර කුමාර පාර්ලිමේන්තුවෙන් පිටතදී කිව්වා රවි කරුණානායක නිසා ලංකාවට ලක්‍ෂ 47,000ක් පාඩු වුණා කියලා"
"නෑ නෑ එයා ඒක එළියෙදි කිව්වේ නෑ. ඇතුළේ කියපු එක එළියට ප්‍රකාශ කළා"

"නෑ. ඒ වීඩියෝවේ තිබුණේ පාර්ලිමේන්තුවෙන් පිටතදී කරන ප්‍රකාශයක්?"
"එයා ඒ චෝදනාව කළේ පාර්ලිමේන්තුවේදී. එයාට කොන්දක් නෑ. ජ.වි.පෙ ඉන්නේ පට්ට හොරු ටිකක්. යුනියන් එකේ කට්ටිය තමයි ඕක කළේ. ඒගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද අඩුවුණා කියලා හරි පගාව අඩුවුණා කියලා හරි තමයි ඕක කළේ. මම ඕවා තුට්ටුවකට ගනන් ගන්නේ නැහැ. මම බලන්නේ ජනතාවගේ ආදායම වැඩි කරන්න. ඕනම තැනකට කළු බැටළුවෝ ඉන්නවා එයාලා තමයි"

එහෙම කියන රවිගේ සැබෑව මොනතරම් වෙනස් ද කියා පෙනෙන්නේ බැඳුම්කර කොමිසම දිහා බැලුවාමය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධව ඇලෝසියස් විසින් විවිධ පාර්ශ්වයන් වෙත යවන ලද හා එම පාර්ශ්වයන් විසින් ඇලෝසියස් වෙත එවන ලද කෙටි පණිවුඩ දහස් ගණනාවක් අතරින් 10ක් පමණක් රැගෙන අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කරන විට ඔහු උන්නේ නිරුත්තරවය.
අත යට ගනුදෙනු පිළිබඳව බොහෝ දේ ඒ පණිවුඩවල අන්තර්ගත විය.

මොනාක් අති සුඛෝපභෝගී මහල් නිවාස යුගලය පිළිබඳව කතාබහ අතරේදී ඔහු දුන් පිළිතුරු "හිනා යන" ඒවා විය. ඔහු කියා සිටියේ බිරිය හෝ දියණිය එවැන්නක් තමාට නොපැවැසූ බැවින් තමා මේ මොහොත වනතුරුත් දැන නොසිටි බවය. මේ ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා ලෙස නම් කළ පුද්ගලයා ය. 2001 එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ගෙදර යන්න පාදක වෙච්ච "සතොස" ප්‍රශ්නයේ ආන්දෝලනාත්මක ඇමැතිවරයා ය.
"ඔබලාගේ සමාගමේ සභාපති ලක්‍ෂ්මි කාන්තන් රුපියල් ලක්‍ෂ 700ක් එක් වරකුත් රුපියල් ලක්‍ෂ 750ක් තවත් වරක් බෑග් දෙකක දමාගෙන දෑතින් ඔසවාගෙන ආ බව සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි සින්නයියා මහතාම ප්‍රකාශ කොට තිබෙනවා.

ඒවා කිසිම තැනක සඳහන් නැති මුදල්. ඔබ මුදල් ඇමැතිවරයෙක් හැටියට පසුගියදා මුදල් විශූද්ධිකරණ පනතකුත් ගෙනාවා නේද? මේ මුදල් එතකොට මොන මුදල් කියලද ඔබ හිතන්නේ?

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහෙම අහද්දී රවි නිරුත්තරය.
සියල්ල අවසානයේ ඔහුට තිබුණේ දන්නේ නෑ. මතක නෑ. කියන උත්තර දෙක විතරය.
දැන් බොහෝ දේ පැහැදිලිය. "අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන්නේ" කියා එදා හමුදාවට සමච්චල් කළ පුද්ගලයාට දැන් සියල්ල පාරාවළල්ලක් වෙලා ඉවරය.
ඒකාබද්ධ විපක්‍ෂය දැන් රවිට එරෙහිව දෙවැනි "විශ්වාසභංගය" ගෙනැවිත්ය. පළමු එකෙන් ඔහු බේරුණේ පක්‍ෂ දේකේම අය සාමූහිකව ජනපතිගේ හඬට කන් දුන් හින්දාය. හැබැයි මේ වතාවේ එක්සත් ජාතික පක්‍ෂයේ අය පවා කියන්නේ "රවිට" එරෙහිව ඡන්දය දෙනවා කියලාය. "රවි අස්වෙන්න කියා" ජනපති කී බව මාධ්‍යවල පළවිය.
දැන් හැමෝම කියන්නේ "රවි අස්වෙන්න" කියලාය. හැබැයි එහෙම නොකියන කෙනෙක් වේ නම් ඔහු මේ ගනුදෙනු අස්සේ ඉන්න සැඟවුණු චරිතයක් වෙනවාට සැක නැත.
"මේ ආණ්ඩුව දැන් ගොම හැළියක්" කියලා මිනිස්සු කියන්නේ ඒවා දිහා බලලාය.

"කොහොමද දැන් ආණ්ඩුව" කියලා ආණ්ඩුවේම ඇමැතිවරුන්ගෙන් ඇහුවම ඒ අය කියන්නේ "යන විදිය වැරැදියි" කියලාය. හැත්තෑවෙන් පස්සේ කිසිම ආණ්ඩුවක් මේ තරම් ඉක්මනින් ආණ්ඩුවේම මිනිස්සුන්ට එපා වෙලා නැත.

යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ මහ බැංකු බැඳුම්කරය හරහා රුපියල් බිලියන 1000ක් එනම් ටි්‍රලියනයක හානියක් මේ වන විට රටට සිදුවී ඇති බැව් ශ්‍රීල.නි.ප. මාධ්‍ය හමුවේදී කීවේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධනය. මහින්ද යුගයේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, නොරොච්චෝලේ, දකුණු අධිවේගය, කටුනායක අධිවේගය, ඉහළ කොත්මලේ, කෙරවලපිටිය බලාගාර ඇතුළු සියල්ලම සඳහා වියදම් කළ මුදල ඇ. ඩොලර් බිලියන 5කි. ඒ කියන්නේ රුපියල් බිලියන හත්සිය පනහකි.

එහෙම බැලුවම ඒ මුදල් ගියේ කාගේ සාක්කුවලටද කියා සොයා බැලිය යුතුය.
"ගිය ආණ්ඩුවේ ඉන්නවා කීව හොරු එකෙක්වත් අල්ලපු නැති මේ ආණ්ඩුව මේ ආණ්ඩුවේ හොරු අල්ලයිද" කියා හිතන්න නම් බැරිය.
"මගේ තාත්තා විතරද හැම දේටම වැරැදි? ඇයි හොරකං කරපු අනෙක් එවුන් අදාළ නැද්දැ"යි රවිගේ දියණිය අසනවාය. ඒ කියන්නේ රවිත් වැරැදිය. තවත් අය වැරැදියි යන්නය. හැබැයි එදාවේල කන්න නැතිව දුක් විඳින මිනිස්සු ඉන්න රටක ඇය අම්මාගෙන් මෙහෙම ඇසුවානම් හොඳය.

කලින් ජීවත් වූ ගේ හදනතුරු ලක්‍ෂ 15ක මාසෙක කුලියට අලුත් ගෙදරකට යන විට ටික කලකින් ඒ ගෙදරට රුපියල් මිලියන ගණන් ගෙවමින් පවුලේ සින්නක්කර අයිතියට ගන්න විට, අම්මේ කොහෙන්ද අපිට මෙච්චර සල්ලි" කියා ඇසුවානම් සමහර විට මව ද නිරුත්තර වනු ඇත.

දැන් ආණ්ඩුව ඉන්නේ පඹ ගාලකය. ආණ්ඩුවටත් වඩා එක්සත් ජාතික පක්‍ෂය ඉන්නේ පැරැදිලා ඉන්න කාලෙටත් වඩා අන්ත අසරණ තැනකය.
රවි ඉවත් කළොත් ඔහු ඉවත් වී ගොස් බොහෝ දේ කියනු ඇත. ඒවා තීරණාත්මක වනු ඇත. නිරුවත් වූ කෙනා අනෙකා නිරුවත් කරන්නට දෙපාරක් හිතන්නේ නැත. රවි තියා ගත්තොත් ආණ්ඩුවේ ගමනක නිමාව කොහොමත් ඉක්මන් වනු ඇත.

දැන් පුවක්ගෙඩි කිහිපයක් ගිරයක හිරවෙලාය. "ඇතුළෙත් ගැට පිටතත් ගැට ය. ගෙදර ගියොත් අඹු නසී. මඟ සිටියොත් තෝ නසී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්