අගමැති හදිසියේ කැබිනට් මණ්ඩලයෙන් පිටව යයි

  👤  4860 readers have read this article !
2017-08-13

දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ යම් පමණකට හෝ උනන්දුවකින් සිටින සියලු දෙනාගේම පාහේ අවධානය යොමුවී තිබුණේ රවි කරුණානායක වෙතටය. බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල්වලින් කොල්ලුපිටියේ මොනාක් මහල් නිවාස ව්‍යාපෘතියෙන් නිවෙසක් බදු ගැනීම පිළිබඳ බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමේදී සාක්ෂි ඉදිරිපත් විය. රවි ඒ පිළිබඳ අගෝස්තු 2 වැනිදා සාක්ෂි දීමේදී 'දන්නේ නෑ'. 'මතක නෑ'. ආදී ප්‍රකාශ කිරීමත් සමඟ ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයෙන්ද ඔහුට ඉල්ලා අස්වන ලෙසට බලපෑම් නිරන්තර චෝදනා එල්ල විය.

ඔහු ඉවත් කරන ලෙස අඟහරුවාදා සවස ශ්‍රී ලනිප ඇමැතිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. "විධායක බලතල පාවිච්චි කොට ඉවත් කරනවාට වඩා කැමැත්තෙන් ඉල්ලා අස්වීම වඩාත් හොඳයි. අපි තව ටිකක් ඉවසමු. මේක විසඳේවි" ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

මේ ප්‍රශ්නය නිසා ආණ්ඩුව දෙදරීමකට පත්වීමට ඉඩ නොතබා ඔහු පිළිබඳ තීරණයක් ගැනීමට ජනාධිපතිත්, අගමැතිත් කිහිපවරක්ම සාකච්ඡා කළහ. එහි අවසන් සාකච්ඡාව බදාදා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෛත්‍රි, රනිල්, රවි සහ රාජිත එක්ව පැයකට අධික කාලයක් තිස්සේ පැවැත්විණි. අනතුරුව රවි විදේශ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කළේය.

ඒ අනුව බ්‍රහස්පතින්දා දහවල් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විදේශ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව රවි කීවේය. රවිගේ ප්‍රකාශයෙන් පසුව තවත් කිහිප දෙනෙක්ද සභාව ඇමැතූහ. ඒ අතර එජාපයේ නලින් බණ්ඩාරද විය. ඔහු වේගවත් කතාවක් කරන අතරතුර තම මේසය මත තිබූ කොළයක් දෙස බලමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්ටද පහර දෙන්නට විය.

නලින් බණ්ඩාර කියවන ලද්දේ ආරාධනා පත්‍රයක් බහා ලූ ලියුම් කවරයක පිටුපස වෙනත් අයකු විසින් ලියා දෙන ලද සටහනකි. එම ආරාධනා පත්‍රය සිකුරාදා සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වෙන දානමය පින්කමක් සඳහා පැමිණෙන ලෙස එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි අනෝමා ගමගේ පාර්ලිමේන්තුවේදී බෙදන ලද්දකි. ටිරාන් අලස්ට ව්‍යාජ චෝදනා නඟන ලද සටහන ලියා නලින් බණ්ඩාරට දී තිබුණේ එම ආරාධනා පත්‍රයක කවරයේය. කෙසේ වෙතත් අන් අයගේ බලපෑම් මත මෙවන් කොළ කියවන පිරිස තමන්ගේ අසරණකම කියමින් පණිවුඩ යවන්නට උත්සුක වනු පෙනේ.

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ හදිසි රැස්වීමක් බ්‍රහස්පතින්දා රාත්‍රි මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවෙසේදී පවත්වනු ලැබීය. සැප්තැම්බර් 02 පැවැත්වෙන ශ්‍රී ලනිප 66 වැනි සංවත්සරය සාර්ථක කරගැනීම සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පළමුව අවධානය යොමු වූයේය. ජනාධිපති මෛත්‍රි මෙන්ම දුමින්ද, අමරවීර ඇතුළු පිරිසක්ද ඒ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කළහ.

අනතුරුව සමෘද්ධි ප්‍රතිශෝධනය පිළිබඳ මෙහිදී ජෝන් සෙනෙවිරත්න අදහස් දක්වන්නට පටන් ගත්තේය. "සමෘද්ධිය කපන බවට රට පුරා ජනතාව පාරට බහිනවා. මේ නිසා ආණ්ඩුව වගේම ශ්‍රී ලනිපයත් අපහසුතාවට පත්වෙනවා. මේවට ඉඩදෙන්න බැහැ" ඔහු කීවේය. එහෙත් මේ වනවිට සමෘද්ධි විෂය අයත් එස්.බී. එහි සිටියේ නැත. එහෙත් දුරකතන ඇමතුමක් දී ඔහු ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එස්.බී. පැමිණි පසු යළිත් සමෘද්ධිය සම්බන්ධ කතාව ආරම්භ විය.

"මේක පටන් ගත්තෙ ලොකු අධ්‍යයනයක් කරලා. අපි හදන්නෙ සමෘද්ධිය කපන්න නෙවෙයි" එස්.බී. පැහැදිලි කළේය. "එහෙනම් මොකටද සමීක්ෂණ කළේ" නිමල් ලන්සා විමසා සිටිත්ම ඊට එස්.බී.ට කේන්ති ගියේය. "ඔයා දන්නෙ නැති දේවල් නොකියා කට වහගෙන ඉන්න" එම තරහ පිට එස්.බී. ලන්සාට කීවේය. "අපි කියන්නෙ සාමාන්‍ය මිනිස්සු කියන ප්‍රශ්නය. ඒකට උත්තරයක් නොදුන්නොත් අපිට ගම්වලට ගිහින් වැඩ කරන්න බැරි වේවි" ලන්සා කීය.

"මේ වෙලාවෙ අලුත් ප්‍රශ්න ඇති කරගන්න ඕන නැහැ. අපට මේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති. ඔන්න ඔය වැඩේ අත්හැරල දාන්න" මෛත්‍රි එම අවස්ථාවේ සියලු දෙනා අස්වසාලමින් කීවේය.

පළාත් සභා එකවර පැවැත්වීම සඳහා ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ගැන මෙහිදී දීර්ඝව සාකච්ඡා වූ අතර අනුර යාපා එය ආරම්භ කළේය. "පළාත් සභා මැතිවරණය එකම දවසක පවත්වන්න ඕනෙ කියලා ගේන්න යන යෝජනාවට මම ඡන්දය දෙන්නෙ නැහැ. ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි 20 ගේන්න හැදුවෙ මහ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඒත් දැන් කරන්න හදන්නෙ වෙනත් දෙයක්" ඔහු කීවේය. "ඔව් ඒක ඇත්ත. මටත් ඕකට එකඟ වෙන්න බැහැ" ආචාර්ය අමුණුගමද කීවේය.

"ඔය 20 වැනි සංශෝධනයට අධිකරණයට ගියොත් අපි අනිවාර්යයෙන්ම පරදිනවා" සුසිල්ද පෙන්වා දුන්නේය. "මැතිවරණ එක දිනයක පැවැත්වීම අපේ ඡන්ද පොරොන්දුවක්. මේකෙන් දූෂණ අවම වෙනවා" ෆයිසර් කීවේ වෙනස් කතාවකි. දුමින්ද ද එය අනුමත කළේය.

"මැතිවරණ කොමිසමේ සභාපති මා එක්කත් මේ ගැන කතා කළා. එතුමත් කිව්වෙ මේක අභියෝගාත්මක බව තමයි. එහෙම වුණොත් අපට 2/3න් සම්මත කරගන්න වෙනවා. හැබැයි මේ තියෙන තත්ත්වය යටතේ ඒක අමාරුයි. ඒ හින්දා හොඳම දේ තමයි මැතිවරණය පවත්වන එක. ඒ හින්දා ඔයාලා ඡන්දයට ලෑස්ති වෙන්න" ජනපති මෛත්‍රි අවධාරණය කළේය.

මේ අතර රවිගේ ඉල්ලා අස්වීම ගැනද මෙහිදී අදහස් පළ විය. "මම හරිම කාලකණ්ණි සතුටක් ලබනවා මේ ඉල්ලා අස්වීම ගැන. හැමදාම බල්ලට ගහන්න පොල්ල වන වනා හිටියොත් බල්ලා පැනලා යනවා." ඒ පිළිබඳ රෙජිනෝල්ඩ් කීවේ එවැනි කතාවකි.

"කලින් කරපු හොරකම්වලටත් මේ පියවර ගන්න ඕන. පල්හොරුන්ට විරුද්ධව සටන කම්බා හොරුන්ට භාරදෙන්න නරකයි. දූෂණයට එරෙහි සටන තවත් ශක්තිමත් කරගන්න අවුරුදු ගණනක් නඩු අහ අහ ඉන්නෙ නැතිව ඉක්මනට ඒවා ඉවර කරන්න ඕන. තොරණක වුණත් නිල්, කොළ, රතු, කහ බල්බ් දැල්වෙනවා. ඉදිරියෙන් බලන විට වෙන් වෙන් වශයෙන් පෙනුණත් තොරණ පිටුපසට ගියාම තමයි ඒ සියල්ල එකට සම්බන්ධ වෙලා තියෙන බව පේන්නේ" ඔහු වැඩිදුරටත් කීවේය."
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස්ලි දේවේන්ද්‍ර මෙහිදී "වෘත්තීය සමිති අපි එක්ක ඉන්නවා. හැබැයි ඒ අය කැමැති මහින්දට" යැයි කිහිපවරක් ප්‍රකාශ කළේය. ඔහුගේ හැසිරීම පාලනය කිරීමටද මධ්‍යමකාරක සභාවේදී සිදුවිය.

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව අවසන් වීමෙන් පසුව එස්.බී.ට කතා කළ මෛත්‍රි "ඔහොම ආවේගයෙන් උත්තර දෙන්න යන්න එපා. ඒක වැරැදියි. ඒ අයත් අපේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ. ඔවුන් ප්‍රශ්නයක් අහන විට ඊට සංයමයෙන් පිළිතුරු දෙන්න." මෛත්‍රි එස්.බී.ට අවවාද කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා කමිටුවක් පත් කිරීමට පසුගිය සතියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගැනිණි. ඩලස්, බැසිල්, විමල්, පවිත්‍රා, ලොකුගේ සහ ගම්මන්පිලගේ සහභාගිත්වයෙන් යුත් එම කමිටුව බදාදා බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි කාර්යාලයේ දී රැස් විය. ආණ්ඩුවේ වැරැදි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහි වැඩි අවධානයක් යොමු වූයේය. ඒ අනුව ජනතාව දැනුවත් කිරීමට දිවයින පුරා පෝස්ටර් ඇලවීමට ද තීරණය කෙරිණි. එම කතාබහ අතර විමල් කොළයක යමක් සටහන් කර බැසිල්ට දුන්නේය. එය කියවූ බැසිල් හඬනංවා සිනාසෙමින් අන්‍යයන්ටද පෙන්වූයේය. "මූසල දෙවසර" ලෙස එහි සඳහන් කොට තිබුණේ පෝස්ටරයට යොදා ගැනීමටය. ඊට කමිටුවේ සියලු දෙනාගේ අනුමැතිය පළ විය.

අනතුරුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වීමටත් තීන්දු කෙරිණි. අගෝස්තු 15 වැනිදා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී මේ සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

"ඔබතුමාම මේකට නමක් දාන්නකෝ" ගම්මන්පිල විමල්ට යෝජනා කළේය. ඒ අනුව යළිත් වරක් කොළයක යමක් ලියූ විමල් එය ද බැසිල්ට දුන්නේය.
"බැඳුම්කරේ - කාගෙ කරේ" දිනේෂ්, ජී.එල්., ඩලස්, වාසු, විමල් බන්දුල, ගම්මන්පිල ඔබ අමතන සම්මන්ත්‍රණයයි" යනුවෙන් එහි සටහන්ව තිබිණි. එම පෝස්ටරය සම්මන්ත්‍රණයේදී භාවිත කිරීමට ඔවුහු තීරණය කළහ.

ගෙවී ගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා පෙරවරුවේ රැස් වූයේ නැත. ඒ වෙනුවට අඟහරුවාදා සවස පැවැත්වෙන බව කැබිනට් ලේකම් කාර්යාලය විසින් ඇමැතිවරුන්ට දන්වා තිබිණි. එහෙත් එය එදින සවස නොපැවැත්වීමට ද හදිසියේම මෙන් තීරණය කෙරිණි. රවි කරුණානායක විදේශ ඇමැති ධුරයෙන් ඉවත් නොවන්නේ නම් හෝ ඉවත් නොකරන්නේ නම් ඔහු සිටින කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බවට ශි්‍රලනිප ඇමැතිවරුන් රැසක් අදහස් පළ කර සිටීම අඟහරුවාදා සවස කැබිනට් රැස්වීම නොපැවැත්වීමට හේතු වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රීලනිප නියෝජනය කරන ඇමැතිවරුන්ගේ සාකච්ඡාවක් හදිසියේම කැඳවීමට ජනාධිපති මෛත්‍රි කටයුතු කළේය. ප්‍රශ්නය විසඳෙනු ඇති බවත් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් එහිදී ජනාධිපතිවරයා ඇමැතිවරුන් අස්වසාලමින් සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ වචනය විශ්වාස කළ ඇමැතිවරු බදාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වීමට එකඟතාව පළ කර සිටියහ.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් පත්‍රිකා 20කට පමණ අනුමැතිය පළ විය. මත්තල ගුවන් තොටුපොළ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ පවත්වාගෙන යෑමද ඉන් එක් යෝජනාවක් විය. ඒ සඳහා ඉන්දීය රජය කරන ලද ඉල්ලීම අනුව කටයුතු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.

විදේශ ඇමැති රවි කරුණානායකට එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ මෙහිදී කතා නොවීය. එහෙත් බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳවද අදහස් ඉදිරිපත් විය. "නීතිපති දෙපාර්තමේන්තුව උනන්දුවෙන් පරීක්‍ෂණ කරන්නේ මේ රජය සම්බන්ධව විතරයි. එෆ්.සී.අයි.ඩී.ය යොමු කරපු ලිපි ගොනු 82ක් තියෙනවා. ඒවා එක තැන හිරවෙලා. මේවට අධිකරණ අමාත්‍යාංශයත් වග කියන්න ඕන" රාජිත චෝදනා කළේය. රාජිතගේ චෝදනාව විජයදාසටත් එක්කය. ඒ පිළිබඳ ඔහුටද කියන්නට දෙයක් තිබිණි "මම වැඩ කරන්නේ රටේ නීතියට. එක එක්කෙනාගේ අවශ්‍යතාව මත වැඩ කරන්න බැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහන්න මට බැහැ" විජයදාස කීවේය. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාර්ය ගැන බොහෝ දෙනකු ප්‍රසාදයෙන් යුතුව සිටිනු දැකගත හැකි වූයේ නැත.

මේ සාකච්ඡාව අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ හදිසියේම කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පිටව ගියේය. රවි කරුණානායක ඒ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් සිටි අතර ඔහු හමුවීම අගමැතිවරයාගේ අරමුණ විය.

ඉන් පසුව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනුණේ හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේ ගිවිසුම සම්බන්ධයෙනි. හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රි මීට පෙර ඇමැති අනුකමිටුවක් පත් කර තිබිණි. එහි වාර්තාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි මෙහිදී මෛත්‍රි දැනුම් දීමත් සමඟ ඒ පිළිබඳ දැඩි ආවේගශීලී අදහස් පළ වන්නට විය.

"දැන් ගිවිසුම අස්සන් කරලා ඉවරයි. කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පලක් නැහැ. ගිවිසුම අස්සන් කළ නිසා කමිටුව නිෂ්ප්‍රභ වෙනවා." ආචාර්ය අමුණුගම කීවේය. ඒත් සමඟම අර්ජුන, ආචාර්ය විජයදාස සහ සුසිල් අදහස් දක්වන්නට වූහ. "අපේ අමාත්‍ය කමිටුව වැදගත් යෝජනා 6ක් ඉදිරිපත් කළා. නමුත් ගිවිසුම සකස් කිරීමේදී ඒවා සලකා බලා නැහැ. 15%ක කොටසක් ලංකාවට හිමිවීම ගැන සතුටු වෙන්න බැහැ. අපට අවම වශයෙන් 51%ක කොටස් තියාගන්න තිබුණා." සුසිල් කීවේය. "ඉදිරියේදී ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන් වගන්තියක් අපි ගිවිසුමට ඇතුළත් කළා. ඒක අපි ලැබූ ජයග්‍රහණයක්" යැයි මහින්ද සමරසිංහ කියූ දෙයින් සුසිල් තවත් ආවේගශීලී විය. "ඒක ප්‍රායෝගික නැහැ. ඒකට දෙපාර්ශ්වයේම කැමැත්ත ඕන. ඔය සංශෝධන කතාව ප්‍රායෝගික නැහැ." ඔහු කීවේය.

ඒ අතර මහින්ද ඉංගී්‍රසියෙන් සුසිල්ට යමක් කියන්නට උත්සුක විය. ඊට බාධා කළ සුසිල් "අපිත් ඉංගී්‍රසි දන්නවා. ඉංගී්‍රසියෙන් බය කරන්න බැහැ. අපට 15%ක් වැඩක් නැහැ." යි කීවේය.

මේ කතාබහට එක් වූ අර්ජුන "වරාය ඇමැති ලෙස මම කැබිනට් මණ්ඩලයට යෝජනා රැසක් ඉදිරිපත් කළත් බහුතරයක් කරුණු ගැන සලකා බලලා නැහැ. වරාය පනත උල්ලංඝනය වන කිසිම දෙයක් කරන්න අයිතියක් නැහැ." යැයි කීවේය. "අපි රටක් විදියට ඩොලර් බිලියන 78ක් ණයයි. බිලියනයක් අඩු වුණා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක ජාතික ආරක්‍ෂාවටත් තර්ජනයක්. මේ නිසා කොළඹ වරායත් පිහිනුම් තටාකයක් වේවි. අවුරුදු 99ක් කියන්නේ පරම්පරා ගණනක්. මේකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්" එහිදී විජයදාස රාජපක්‍ෂ දැඩිව කියා සිටියේය. මේ සියලු අදහස් සාවධානව අසා සිටි ජනාධිපති මෛත්‍රි අමාත්‍ය කමිටුවේ වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනුම් දුන්නේය.

ජාතික විගණන පනත සඳහා නීතිපතිගේ අනුමැතිය ලැබී ඇති බව මෙහිදී කියැවිණි. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ අගමැතිවරයා වෙතය. "මේකට හුඟ කලක් ගත වුණා. ඇමැතිවරු ලබන සතියේ මේ ගැන අදහස් කියන්න" ජනාධිපති මෛත්‍රි කියා සිටියේය.

වාහන දඩ මුදල් සංශෝධනය පිළිබඳ නිර්දේශ කිරීමට පත් කළ කමිටු වාර්තාව මෙහිදී සැලකිල්ලට ගැනිණි. එහි දී රුපියල් 25,000 දඩය චෝදනා රැසක් සම්බන්ධයෙන් පැනවීමට තීරණය කෙරිණි. "මේ කටයුතුවලදී බස් රියැදුරන් ගැනත් හිතන්න ඕන" නිමල් කියා සිටියේය. එහෙත් ඒ පිළිබඳ වැඩි අවධානයක් පළ නොවීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ දප්පුල ලිවේරාගේ බිරියට ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති තනතුර දීම ගැන තමන්ට එල්ල වන චෝදනාවක් ගැන මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය. "මම මේක දුන්නෙත් නැහැ. ඒත් මට තමයි චෝදනා එල්ල වෙන්නේ. ජනාධිපතිවරයා කීවේය. මෙහිදී ජනාධිපතිවරයා නිදහස් කිරීමට චන්ද්‍රාණි බණ්ඩාර ඉදිරිපත් වූවාය. "මේ පත්වීමට කළේ මම. ඇයට ඒ සඳහා අවශ්‍ය තරම් සුදුසුකම් තියෙනවා." ඇය කීවාය.

විදේශ අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම හෝ නොගැනීම සම්බන්ධව කතානායකවරයාගේ තීරණය තීරණාත්මක වූ නිසා ඒ පිළිබඳ මුළු රටම පාහේ අවධානයෙන් පසුවිය. තම තීරණය ප්‍රකාශ කරන බව කතානායක කරු ජයසූරිය නිවේදනය කළේය.

කතානායකවරයාගේ තීරණය කෙරෙහි ප්‍රබල ලෙස ඉවහල් වූයේ අඟහරුවාදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී එජාපය ඉදිරිපත් කළ තර්කයක්ය. බැඳුම්කර කොමිසමේ විමර්ශනයක් සිදුවන අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් එහි සාක්ෂිකාරයකු සම්බන්ධයෙන් ඉදිරිපත් වුවහොත් විමර්ශන කටයුතුවලට බලපෑමක් සිදු වන බවට ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී පෙන්වා දුන්නේය. එහිදී දිනේෂ් ගුණවර්ධන බැඳුම්කර කොමිසම දඬුවම් ලබා දෙන අධිකරණයක් නොවන බවට තර්ක කරමින් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට බාධාවක් නොවන බව අවධාරණය කළේය. එවැනි කරුණු සාවධානව අසා සිටි කතානායක කරු ජයසූරිය නීති උපදෙස් ගැනීමෙන් පසුව සිය තීරණය ප්‍රකාශ කරන බව කීවේය. එහෙත් බ්‍රහස්පතින්දා රවි කරුණානායක විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා විශ්වාසභංග යෝජනාවක් අනවශ්‍ය බව ප්‍රකාශ කිරීමට පමණක් ඔහුට සිදු විය.

පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පසුගිය දිනයක හිල්ටන් හෝටලයට ගොස් විවේකයක් ගත්තේය. ඒ අතර ඔහු එහි තිබෙන නාන තටාකයේ දිය කෙළියේ යෙදෙන්නට ද අමතක කළේ නැත. ඔහුගේ මිතුරන් කිහිපදෙනකුද ඊට එක් වී තිබිණි. ඔවුන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් දිය ක්‍රීඩා කළ මුස්තාපා "මං කියන බොරු හින්දා තමයි ජනාධිපති තවම බේරිලා ඉන්නේ" යැයි උස් හ¾ඩින් කීවේ සෙසු අය සිනා ගන්වමින්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කාරක සභාව පසුගිය අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. ඒ එහි ප්‍රධානී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අතුරු වාර්තාව සකස් කිරීම මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස අතුරු වාර්තාවේ කටයුතු අවසන් කිරීමට බ්‍රහස්පතින්දා වන විට හැකියාව ලැබුණේය.

එහෙත් මෙහෙයුම් කමිටු සාමාජිකයන්ගේ අදහස් ඒ පිළිබඳ තවදුරටත් ලබා ගැනීමට එහිදී තීරණය කෙරුණු අතර අගෝස්තු 22ට පෙර ඒවා පාදක සටහන් ලෙස යොමු කරන ලෙසද එම සාමාජිකයන්ට දැනුම් දෙනු ලැබීය. ඒ අනුව ලබන 22,23,24 පැවැත්වෙන මෙහෙයුම් කමිටු කාරක සභාවේදී අතුරු වාර්තාව පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු තබා ඇත.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඒ දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්ය. ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමු වී තිබුණේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පැන නැඟී ඇති තත්ත්වයන් සම්බන්ධයෙනි. "ආණ්ඩුව විශ්වාසභංගය කොහොමහරි මඟහරින්නයි උත්සාහ කරන්නේ" ඩලස් කියා සිටියේය. "මේකට වගකියන්න ඕන රවි විතරක් නොවෙයි." ප්‍රසන්න පෙන්වා දුන්නේය. "මේ කොල්ලය සැලසුම් කළේ යහපාලන ආණ්ඩුව කැබිනට් මණ්ඩලය පත් කරපු දවසේමයි. එදා තමයි පළමු වතාවට මහ බැංකුව මුදල් ඇමැතිගෙන් ගලවලා අගමැති යටතට පත් කළේ" කෙහෙළිය කීය. "ඒ විතරක් නෙවෙයි. සිංගප්පූරු ජාතිකයෙක් මහ බැංකු අධිපති විධියට පත් කළෙත් අගමැති. ඒ පත්වීම් ලිපිය දුන්නේ ජනාධිපති අතින්. ඒ හින්දා මේකට ඔය කවුරුත් වගකියන්න ඕන" බන්දුල පැහැදිලි කළේය. "රනිල් - මෛත්‍රි දෙන්නත් මේ මගඩියට සම්බන්ධයි. අපි මේ ආණ්ඩුවට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕන" ප්‍රසන්න අවධාරණය කළේය. "බැඳුම්කර මගඩියෙන් වෙච්ච පාඩුව රුපියල් ටි්‍රලියනයක් විතර වෙනවා. හම්බන්තොට වරාය විකුණලා ගත්ත මුදල වගේ දහ ගුණයක පාඩුවක් මේකෙන් වෙලා තියෙනවා" බන්දුල යළිත් කියා සිටියේය.

හසලක ගාමිණි කුලරත්න මෙරට රණවිරුවන් අතර සුවිශේෂී පුද්ගලයකු ලෙස ඉතිහාසයට එක් වී සිටියි. ඒ 1991දී හමුදා සෙබළුන් 600ක් සමඟ අලිමංකඩ කඳවුර බේරා ගැනීමට දිවි පූජා කළ නිසාය. ගම්උදාව වැඩසටහන යටතේ ඉදිකෙරෙන නිවාස යෝජනා ක්‍රම රණවිරුවන්ගේ නමින් නම් කිරීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තීරණය කොට ඇත්තේ එවැනි අය සදා අනුස්මරණය කිරීමේ අරමුණෙන්ය.

ඒ අනුව සජිත් "සදාවීර සෙන්පති ගාමිණී කුලරත්න ගම" නමින් උදා ගම්මානයක් ඉදි කිරීම සඳහා පසුගියදා මුල්ගල තැබුවේය. සජිත් එහිදී නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට විශේෂ උපදෙසක් දුන්නේය. "රණවිරුවකුගේ නමින් උදා ගම්මානයක් හදනවානම් අනිවාර්යයෙන්ම ඒ රණවිරුවාගේ පිළිරුවක් හදන්න. රණවිරුවාගේ පවුලේ අයත් එක්ක කතා කරලා උපදෙස් ගන්න. උදා ගම්මානය විවෘත කරන දවසේ ඒ පිළිරුව ඉදිරියේ හමුදා උත්තමාචාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන්න." ඔහු කීය.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ විශේෂ හමුවක් පසුගියදා පැවැත්විණි. එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති, කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් ඊට සහභාගි වී සිටියහ. වංචා දූෂණ යට ගසමින් හොරු ආරක්‍ෂා කරමින් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට මෙහිදී ඔවුහු ප්‍රකාශ කරන්නට වූහ. "පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කියලා බලයට ආපු මේ ආණ්ඩුව දැන් ඒවා යටගහනවා. එහෙම කරන්නේ මේ ආණ්ඩුවත් වංචා දූෂණ කරන නිසයි. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වැහුවෙත් ඒකයි." සමරසිංහ කීවේය. "ඔව් දැන් බැඳුම්කර වංචාව නිසා මේ ආණ්ඩුවට වංචා දූෂණ ගැන කතා කරන්න බැහැ. පරණ හොරුයි, අලුත් හොරුයි ආරක්‍ෂා කරන්නේ ඒකයි. අපූරු වැඩේ කියන්නේ, ඊළඟට විදේශ ඇමැතිකම දෙන්න හදන්නෙ මාරපනට" හඳුන්නෙත්ති රහසක් අනාවරණය කරන්නාක් මෙන් පැවැසීය. "ඇවන්ගාඩ් වංචාව නිසා අස්වුණු මාරපන දමන්න තරම් ආණ්ඩුව බංකොලොත් වෙලා." වසන්ත යළිත් කීවේය.

මෙවැනි කතාබහ අතර ඔවුන් තීරණය කළේ මෙවැනි කරුණු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමටය. එම වැඩසටහන "හොරු රකින හොරු හෙළිදරව්ව" ලෙස නම් කරනු ලැබීය.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම තමන් මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි හඟවන්නට කටයුතු කරමින් සිටියි. එය හෙළි වූයේ පසුගියදා අර්ජුන් ඇලෝසියස් රුපියල් මිලියන 6ක් පොලියට ගැනීමට ව්‍යාපාරිකයකු මුණගැසීමට යෑමත් සමඟින්ය. අර්ජුන් සමඟ එම ගමනට විපක්‍ෂයේ ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකුද එක් වී සිටි අතර අර්ජුන් හා එම දේශපාලන පුත්‍රයා ගොස් රුපියල් මිලියන 6ක් ඉල්ලා සිටියහ. තම ආයතනයෙන් පවත්වාගෙන යන පුවත්පත්වල වැටුප් ඇතුළු වියදම් සඳහා පොලියට මුදල් ලබා දෙන ලෙස ඔවුහු ව්‍යාපාරිකයාගෙන් ඉල්ලූහ. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් බවට පැවසෙන මුදල රුපියල් කෝටි සිය ගණනක් බවට චෝදනා ගොනු වී ඇති මොහොතක ඔවුහු මිලියන 6ක් පොලියට ඉල්ලා සිටීමේ රංගනයක නිරත වී සිටිති.

අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එහෙත් රවි කරුණානායක සම්බන්ධයෙන් උද්ගත වී තිබූ තත්ත්වය මත එය හදිසියේම මෙන් අවලංගු කිරීමට සිදු වූයේය.

එහෙත් ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රිවරුන්ගේ හමුවක් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ආණ්ඩුව මුහුණපා ඇති අර්බුද සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම ආණ්ඩුවේ සිටින ඇතැම් ඇමැතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී වැඩි වශයෙන් අදහස් හුවමාරු විය. එහිදී ඇමැතිවරුන් සිවු දෙනකුගේ ක්‍රියාකලාපයන් විවේචනයට ලක් වූ අතර ඔවුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ආ යුතු බව ඔවුහු ප්‍රකාශ කරන්නට වූහ. ඒ අතර පළමුව විශ්වාසභංග යෝජනාව අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැතිවරයාට එරෙහිව ගෙන ඒමටද ඔවුහු තීරණය කළහ. පසුගිය රජයේ දූෂණ වංචා සැඟවීමට කටයුතු කරන බව ඔහුට ඉදිරිපත් කෙරෙන ප්‍රමුඛ චෝදනාවයි. එමෙන්ම පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා ඇතුළු ඇමැතිවරුන් සිවුදෙනකුට විරුද්ධවද විශ්වාසභංග යෝජනා ගෙන ආ යුතු බවටද එහිදී තීරණය විය.

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ සිරවී ඇති ලිපිගොනු පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් කොට චෝදනා ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පැවැරීමට ජනාධිපතිට සහ අගමැතිට බල කිරීමද ඔවුන්ගේ තවත් තීරණයක් විය.

එම රැස්වීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ හමුවූ එජාප මන්ත්‍රිවරු පිරිසක් තම මන්ත්‍රි කණ්ඩායමේ තීරණය පිළිබඳ දන්වන ලදී.
එජාප පසු පෙළ මන්ත්‍රිවරුන්ගේ තීරණයට සහාය පළ කිරීමට එජාපයේ තවත් ඇමැතිවරු පිරිසක්ද සූදානමින් සිටිති. හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය වෙත ඒ බව අනාවරණය කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්