මෙහෙම ගියොත් බබිත් සුං - බබීගේ අම්මත් සුං

  👤  4886 readers have read this article !
2017-08-18

'එන්න එළියට භීෂණය ඉවරයි'

මාතර නගරයේ මෙහෙම කටවුට් එකක් තිබ්බේ මීට අවුරුදු දෙකකට පෙරාතුවය. එහි පහළින් තිබ්බේ "දණ _ හිස - නොනැමූ මංගල සමඟ ගමනක්" කියලාය. මේක මංගලගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් වුණාට ඒ යටින් ලොකු කතාවක් තිබ්බේය.

දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය "දාහත් වසරක සාපය" කියලා සමාජගත කිරීමේ පුරෝගාමියෝ මංගලලාය. සාපය කෙළවර කිරීමේ මුර වෙඩි තිබ්බේද මංගලලාය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දමා අලුත් ආණ්ඩුවක් ගේන්න ඒ දවස්වල මංගලලාට පුදුම කට්ටක් කන්නට විය. අන්තිමට සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යුගය නිමා වීමය.

1994 ශ්‍රී ලනිප නායකත්වයෙන් තරග කළ පොදු පෙරමුණ දිනුවට පස්සේ අවුරුදු දෙකක් හැරුණු විට දෙදහස් පහළොව වෙනකම් "ආණ්ඩු" කළේ ශ්‍රී ලනිප ප්‍රමුඛ සන්ධානය.

හැබැයි ඒ ආණ්ඩුත් අර එක්සත් ජාතික පක්ෂය වගේම බිහිසුණු යුගයකට යන්න වැඩි කලක් ගියේ නැත. ඒකාධිපතිවාදයේ උග්‍රතම දවස් උදා වුණේ "මහින්ද යුගය" එක්කය. ඒකාධිපතිවාදයේ බිහිසුණු රඟ රටක් හැටියට අත්විඳිමින් සිටියහ. රටට ආසියාවේ ආශ්චර්ය කැන්දාගෙන එන බව පුරසාරම් දෙඩුවද ලෝකයේ කොන් වූ රටක් බවට පත්විය. නිදහස තුර වූ, මානව හිමිකම් සෝදාපාළු වූ, අයිතිවාසිකම් සුනුවිසුනු වූ, බලලෝභය දෝරෙ ගැලූ, පවුල්වාදය ඔඩු දිවූ දශකයක් අවසන් කාර්තුවේ උදා වෙමින් තිබ්බේය.
පොල් ගෙඩි දෙකක් ඉස්සූ දරුවාට දඬුවම් දෙන රටකුත්, කතුන් සීයක් දූෂණය කළ ප්‍රාදේශීය සභාපතිවරුන් ඒවා උත්සවශ්‍රී යෙන් සමරන රටකුත් නිර්මාණය විය.
ලස්සන වචනවලින් තොරොම්බල් කළ එහෙත් ඊට වඩා හාත්පසින් වෙනස් පැවැත්මක් සහිත රටක් නිර්මාණය වී තිබ්බේය. ලෝකයට "පාට්" දාන පාලනයක් බිහිවී තිබ්බේය. අන්තිමට කාත් කවුරුත් නැති හුදකලා "පාපන්දුවක් වී ලෝකයාගේ" පාපහරවල්වලට ලක්වූ රටක් නිර්මාණය විය. සුදු වෑන්, මරණ භීතිය, පළිගැනීම්, ජාතිවාදය, ආගම්වාදය, රටේ "එදාවේල" බවට පත්වී තිබ්බේය. නීතිය වෙනුවට අවනීතිය, සදාචාරය වෙනුවට අවිචාරය, හික්මීම වෙනුවට නොහික්මීම, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ෆැසිස්ට්වාදය, සාධාරණත්වය වෙනුවට අසාධාරණත්වය, යහපාලනය වෙනුවට පවුල් පාලනය රට වෙළා ගත්තේය.

"ජනවාරි අට" පෙරළිය සිදුවන්නේ අන්න එහෙම අන්ත දූෂිත පාලනයක් කෙළවර කරමින්ය. සිල්ලර කාරණාවලින් ඔබ්බට ගිහින් දේශපාලනික අරමුණු අරබයා මිනිස්සු පෙළ ගැහුණු මැතිවරණයක් වූවා නම් ඒ ඉකුත් ජනාධිපතිවරණය. ඉකුත් මහ මැතිවරණය ජනාධිපතිවරයාගේම දිනුමක් විය. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වැනි දේශපාලනික කාරණා ප්‍රමුඛ කොටත් ආර්ථිකමය අවශ්‍යතා ද්විතීයික කොටත් ප්‍රාර්ථනා ගොඩගසා ගනිමින් මිනිස්සු අලුත් ආණ්ඩුව හැදූහ.
මේ ගෙවෙමින් තිබෙන්නේ එහෙම බිහිවෙච්ච ආණ්ඩුවක්ය.

උභතෝකෝටිකයන් රැසක් මැද වුවත් මේ මොහොතේ තියෙන්නේ වෙන්ව ගමන් කරන පක්ෂ දෙකක් එකම "ඒදණ්ඩක" ගමන් කරන ආණ්ඩුවක්ය.
එක්වීමත් වෙන්වීමත් කාලානුරූපීව සාධාරණ හෝ අසාධාරණව සිදුවෙන්නක්ය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදාගත් මොහොතේ සමහරු "හොඳ" කීව අතර සමහරු "නොහොඳ" කීය. දෙදහස් පහළොවේ "ජනවාරි අට" පෙරළියක් කරමින් අගෝස්තු 17 පක්ෂ දෙකක් එකට එක්කොට මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ කළ වෙනස සමහරුන්ට හොඳය. සමහරුන්ට නොහොඳය.

තොරතුරු දැනගැනීමේ පනත, ස්වාධීන කොමිෂන් සභා මේ වනවිට ප්‍රායෝගික යථාවක් වී තිබෙන්නේ මේ පක්ෂ දෙක එක්ව ගමන් කරන හින්දාය. දිනූ පක්ෂය පරාජිත පක්ෂයෙන් කරන "සුපුරුදු" දේශපාලන දඩයම් මඟ හැරුණේ මේ එක්ව ගමන හින්දාය.

බොහෝ කරුණු කාරණා දෙස බලනකොට ජනාධිපතිවරයාගේ කොටස ඔහු බොහෝ සෙයින් ඉටුකොට තිබෙන්නේය. ආණ්ඩුවට වැටුණු "ගොම තලිය" වූ බැඳුම්කර සිදුවීම විමර්ශනය සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ජනාධිපති කොමිසම වඩා විධිමත්ව සහ කාර්යක්ෂමව විමර්ශන කරමින් සිටී. තනතුර හෝ බලය නොතකා ඇමැතිවරුන් පවා ගෙන්වාගෙන සාක්ෂි විමසීමේ "නිදහස" ඊට හිමිව තිබේ. ආණ්ඩුවේම සමහරු දින සති කල් අදිමින් සිටි විශේෂ ආර්ථික සභාව සම්මත කරගන්නට ජනාධිපතිවරයා සමත්ව සිටී. අවසන් කරන්නට මුදල් නෑ කියමින් "ආණ්ඩු කිහිපයක්" පස්ස ගැසූ මොරගහකන්ද ජනතා අයිතියට පත්කිරීමට කිට්ටු වෙමින් තිබේ. වසර ගාණක් ඔප්පු අහිමිව දුක් වින්ද මහවැලි ගොවීන් ලක්ෂයකට හිමිකම් ඔප්පු ප්‍රදානය කරමින් තිබේ. දේශීය සම්පත් පිටරටට විකිණීමේ ක්‍රියාවලිය නවත්වාලීමට ජනාධිපතිවරයා සක්‍රිය ලෙස මැදිහත් වෙමින් සිටී. සැලසුම්සහගත උපායශීලී ගමනක් ඔහුගේ පැවැත්ම තුළ දකින්නට පුළුවන්ව තිබේ.

ඒ අතරේ තම පක්ෂයද ආණ්ඩුව හා "ගැටගසාගෙන" රනිල් සමඟ මේ ගමන එක්ව යන්නට මෛත්‍රි අප්‍රමාණ මහන්සි වෙමින් සිටී.
දෙවසරක ගමන ගැන සාධනීය විවේචනවලට වඩා තිබෙන්නේ ඊර්ෂ්‍යා සහගත "නන්දෙඩවීම්" ය. චිරාත් කාලයක් රාජ්‍ය බලය දරමින් යෙහෙන් වැජඹෙන්නට සිටි සිහිනය "කුඩු" කිරීමේ වෛරයට ජනාධිපතිවරයාව ලක් කරලාය. ඒ නිසා මහින්දලා ප්‍රමුඛ ඒකාබද්ධයේ "කල්ලිය" තරහා මෛත්‍රි එක්කය.
"මට මේ හැටි ගහන්නේ මම ගමෙන් ආව අහිංසක ගැමියෙක් හින්දද..?" මෛත්‍රි නිතර අසන්නේ ඒකය.

"හොරු ඇල්ලුවද..? කීව දේ කළාද..?" කියා අහන ඒකාබද්ධය හිතන්නේ 2015ට පෙර හිටියෙත් මේ ආණ්ඩුව කියලා වගේය.
"හොරු අල්ලන්නේ කවද්ද..?"
ආණ්ඩුවේ හැමෝගෙන්ම මිනිස්සු අහන්නේ ඒකය. හොරු කවුද කියා දන්නා උදවිය දැන් හොරු නොවන ගානට පෙනී සිටිමින් ආණ්ඩුවට බනින්නේය.
දැන් මේ ආණ්ඩුවට හිනාවෙන බොහෝ දෙනෙක් අමතක කරන්නේ ඒ අයගෙන් ප්‍රශ්න කරන කොට දෙන උත්තරය.
වරක් ඩේසි ආච්චි නමැත්තියක කරළියට එන්නේ යෝෂිතගේ දෙහිවල නිවෙසක් සම්බන්ධ කතාබහකදීය. එෆ්.සී.අයි.ඩි.ය ඇයගෙන් ප්‍රශ්න කරද්දී අෑ දෙන්නේ හරි "අපූරු" උත්තරය.

මුලින් කවුදෝ ඇවිත් මැණික් මල්ලක් ඔඩොක්කුවේ තියලා ගියා. පස්සේ සතියකින් විතර එයාම ඇවිත් මැණික් මල්ල අරං සල්ලි පුරවපු බෑග් එකක් දීලා ගියා. ඒ සල්ලිවලින් මේ ගේ යෝෂිත පුතාට අරන් දුන්නා.
ඉතිං මේ කතාවලට හිනා වෙන්නට ඕනෑ කොහෙන්ද කියා හිතා ගන්න අමාරුය.

මල්වාන ප්‍රදේශයේ ඉඩමක් හා සුපිරි නිවෙසක් ගැන කතාබහ ඇදුණේ බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙනය.
නිවෙසේ සැලැස්ම හැදූ වාස්තු ශිල්පියා කියන්නේ නිවෙසේ සැලැස්ම හැදුවේ "පුෂ්පා මැඩම් කියපු හින්දා කියලාය. උළුවහු පැන්නූ පෙදරේරුවා කියන්නේ උළුවහු පනින විට වතුර වීදුරුව ගෙනාවෙ "පුෂ්පා මැඩම්" කියලාය. පුෂ්පා මැඩම් කියන්නේ බැසිල් සර්ගේ නෝනාය. හැබැයි බැසිල් කියන්නේ ගේ මගේ නෙවේ කියාය. ගේ නෝනාගේ කියා ඔහු පවසාද නැත. එහෙම නම් නෝනා කාගෙද කියා ප්‍රශ්නයක් එනවාය.
බැලුවම රවිගේ බැඳුම්කර කොමිසමේ කතාවෙයි මේ කතාවලයි ලොකු වෙනසක් නැත.

"මට මතක නෑ" කියා ඉල්ලා අස්වූ රවිගේ ප්‍රකාශය ඒකාබද්ධය "බයිට්" එකක් කරගෙනය. හිතාමතා "බයිට්" බවට පත්වීම ගැන සමාවක් දෙන්න බැරිය. "වරදක් කළා නම් හෝ චෝදනා ලැබුවා නම් එහි දඬුවම අනිවාර්යය, රවි ගෙවමින් සිටින්නේ ඒ වන්දියයි.
"යහපාලනය" යනු අතිශය කලාතුරකින් රටකට ලබා ගත හැකි භාග්‍යවත් අවස්ථාවකි. හැබැයි දැන් ඊට රිංගාගෙන සිටින බොහෝ දෙනා කරන්නේ "වහලේ ගොම ගාන, වැඩය. මේ වෙනකොට ආණ්ඩුව "අමාරුවේ වැටී" තියෙන්නේ එහෙම ගොම ගාන්නන් හින්දාය.

ආණ්ඩුවේ බොහොමයක් දෙනා ආණ්ඩුව හදන්න වෙහෙසෙනකොට හිටිය අය නොවේය. ඒ නිසාම ආණ්ඩුව පිහිටුවන විට තිබූ අරමුණු ගැන බොහෝ දෙනාට වගක් නැත. දැන් දෙපාර්ශ්වයම උත්සාහ කරන්නේ තමන්ගේම "ආණ්ඩුවක්" හදාගන්නටය. එකට යමින් දෙපිට කැපෙන කතා කියමින් දෙපිරිසම පුරුදු පක්ෂ දේශපාලනයේ "නාඩගම" නටන්නට හදමින් ඉන්නවාය.

මේ හින්දාම "යහපාලනය" අමතක වී "පුරුදු දේශපාලනය" මතු වෙලාය.
ඒ අතරේ ආණ්ඩුවේ "හොරු" ඉන්නවා කියන කතාවත් එකතු වෙලාය. හිටපු ආණ්ඩුවේ සමහර "කම්බ හොරුත්" මේ ආණ්ඩුවට එකතු වෙලාය. ආණ්ඩුවේ සමහරු හොරු එක්ක "ඩීල්" දාලාය. කෑල්ලෙන් කෑල්ල ගියත් හොරු හිරේ දාන්න දෙන්නේ නැහැයි ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු කියති. ඉතිං අපිට කියන්න තියෙන්නේ මෙහෙම ගියොත් බබිත් සුං බබීගේ අම්මත් සුං කියලාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්