රටකට ලැබෙන්නේ ජනතාවට ගැළපෙන ආණ්ඩුවකි

  👤  3559 readers have read this article !
2017-08-22

ප්‍රජාතන්ත්‍රවාදය යන නමින් හැඳින්වෙන තට්ටු මාරු දේශපාලන ක්‍රම ඇති සෑම රටකම වාගේ ජනතාව රවටා ඡන්දය ගැනීමට දේශපාලනඥයන් 'බොරුව' යහමින් උපයෝගී කර ගන්නා අයුරු දක්නට ලැබේ. සාමාන්‍යයෙන් 'බොරුව' ඡන්ද උපක්‍රමයක් ලෙස බහුලව භාවිත කරන්නේ වැඩ බැරි දේශපාලනඥයන්ය. බොරු කියා ඡන්දය ගැනීම සෑම දේශපාලනඥයකුටම පොදු ලක්‍ෂණයක් නොවන බවත් මෙහිදී සඳහන් කළ යුතුමය. නැත්නම් ඒ ජනතාවට බොරු නොකියන දේශපාලනඥයන්ට කරන අසාධාරණයකි.

ලංකාව තුළ 2015 ජනාධිපතිවරණය තරම් ඡන්ද ප්‍රතිඵලයට බලපෑම් කිරීමට 'බොරුව' මහා පරිමාණයෙන් උපයෝගී කරගත් තවත් මැතිවරණයක් අපට මතක නැත. වසර 21ක් පුරා එකම පක්‍ෂයක් විසින් පාලනය කරනු ලැබීම නිසා හෙම්බත්ව, වෙනසක් බලාපොරොත්තුවෙන් සිටි ඡන්දදායකයන්ට උත්තේජනයක් ලබාදීම සඳහා මෙම මැතිවරණයේදී බොරුව උපරිම මට්ටමෙන් යොදා ගැනිණි.

බලයේ සිටි දේශපාලනඥයන්ගේ හොර මැරකම් පිළිබඳ විස්තර අඩංගු යැයි ලිපි ගොනුවක් කැමරාව ඉදිරිපිට ලෙළවමින් ඡන්දයට පෙරදා වූ අවසාන රූපවාහිනි විවාදයේදී එවකට විපක්‍ෂයේ සිටි, වර්තමානයේ නියෝජ්‍ය ඇමැති ධුරයක් උසුලන අයෙක් කී හැටි අපට මතකය.

දක්‍ෂ විවාදකයකු වූ එම තරුණ මහතා වැඩසටහන ඇරැඹීමට සුළු මොහොතකට පෙර රූපවාහිනි ආයතනයේ මේසයක් මත තිබූ ලිපිගොනුවක් ඉල්ලාගෙන විවාදයට ගිය බව යමෙක් මට පසු කලෙක පැවැසීය. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ කියන ලිපිගොනුව ඇතුළේ මොනවා තිබුණාදැයි අද වනතුරු රටේ කිසිවකු නොදන්නා අතර මේ තරුණ දේශපාලනඥයා ඒ ගැන ඉන්පසු කිසි දිනක කතා කළ බවක් අපට මතක නැත.

විශාල ගසක් වට්ටන්නට පහසුම ක්‍රමය එහි මුල කැපීම බව නොදන්නෙක් නැත. ඒ නිසා පසුගිය මැතිවරණ දෙකේදීම රාජපක්‍ෂ පවුල ඉලක්ක කොට විශාල මඩ ප්‍රහාර එල්ල විය. 2015 ජනාධිපතිවරණය හා මහ මැතිවරණ කාලවල ප්‍රසිද්ධ වේදිකාවල අසන්නට ලැබුණු රස කතා කිහිපයක් මතක් කොට බලමු.

මහින්ද රාජපක්‍ෂට ඩුබායි ගිණුමක ඩොලර් බිලියන 18ක් තිබෙනවා, ඩුබායිවල මැරියට් හෝටලය අයිති මහින්ද රාජපක්‍ෂ පවුලට, යාපනයෙන් සොයාගත් රත්රන් බඩු කන්ටේනර් පිටින් ශිරන්ති රාජපක්‍ෂ රටින් පිට කරලා, නාමල් රාජපක්‍ෂයට ලැම්බෝගිනි කාර් තිබෙනවා, කොටස් වෙළෙඳපොළේ වැඩි හරියක් තියෙන්නේ රාජපක්‍ෂලාගේ කළු සල්ලි, රාජපක්‍ෂ පවුලේ පොඩි පුතා රෝහිත අශ්වයෝ ගෙන්වන්නේ බකිංහැම් මාලිගාවෙන්, අශ්වයෝ පදින්න මහින්දගෙ පොඩි පුතා දිනපතා නුවරඑළියේ යන්නේ හෙළිකොප්ටරයෙන්, යෝෂිත රාජපක්‍ෂගේ පෙම් පලහිලව්වකට තාජුඩීන්ව මරවලා. ගෝඨාභය රාජපක්‍ෂ තමයි බොදු බල සේනාව මෙහෙය වන්නේ. රට වටේ තියෙන ලොකු ලොකු ගෙවල් බොහෝමයක් රාජපක්‍ෂලාගේ. රාජපක්‍ෂගේ පොඩි පුතාට අයිති රොකට් එකක් තියෙනවා. මහින්ද රාජපක්‍ෂගේ භාවිතයට වෙනම ගුවන් යානා කාමර කට්ටලයක් ඕඩර් කරලා. ලංකා බැංකුවේ ඇති ගෝඨාභයගේ ගිණුමක රුපියල් බිලියන 08ක්, කඩවත කෙරවළපිටිය අධිවේගී මාර්ගයෙන් ගසා කන මුදල රුපියල් කෝටි 520යි. රාජපක්‍ෂලාට විරුද්ධ අය ගෝඨාභය සුදු වෑන්වලින් උස්සල මිනී මෝරුන්ට කන්න දෙනවා.

රටේ බල පෙරැළියක් කරන්නට තරම් ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් පසුගිය ආණ්ඩුවට විරුද්ධව පෙළ ගස්වන්නට එවකට විපක්‍ෂයට හැකිවූයේ ගණන් හිලව් පවා ගොතා කී ඉහත දැක්වෙන කතා දෙවරක් විශ්වාස කරන්නට තරම් බොළඳ ජනතාවක්ද රටේ සිටිය නිසා නොවේද? ඔවුන් තුළ රාජපක්‍ෂවරුන් ගැන වෛරයක් ඇති කරන්නට සමත් වූ ඉහත කී චෝදනාවලින් අද වන විට ඔප්පු වූ එකදු චෝදනාවක්වත් ඇත්ද? කළ වරද පිළිගන්නට ඇති ලැජ්ජාව නිසා 'තවමත් හොරුන්ට දඬුවම් නොලැබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින්' කියා සිත සනසා ගන්නා කී දෙනකු අදත් අපි අතර ජීවත් වනවාද?

පසුගිය ආණ්ඩුව සුපිරිසුදු ආණ්ඩුවක් කියා අප කිසි විටෙක තර්ක නොකළ යුතුය. මන්ද නිදහසින් පසු බලයට ආ සෑම ආණ්ඩුවකම දූෂණය තිබණු බව අප කවුරුත් දන්නා නිසාය. ගැටලුව වන්නේ හොරුන් අල්ලන්නට පත් කරගත්තේ කම්බ හොරුන් පිරිසක් වීමය.

'දූෂණය වළක්වා ගැනීම සෑම ආණ්ඩුවකම වගකීම වුවත් එය මුළුමනින්ම වළකා ගත් ආණ්ඩුවක් අද ලෝකයේ තිබෙනවාද?' කියා පසුගියදා මාද සහභාගි වූ සම්මන්ත්‍රණයක කථිකයකු වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර සභාවෙන් මතුවූ පැනයකට පිළිතුරු දෙමින් ඇසීය. ඔහු පෙන්වා දුන්නේ වංචා දූෂණවල යෙදුණු රාජ්‍ය නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට මරණ දඬුවම දෙන චීනයේ පවා සෑම වසරකම කවුරුන් හෝ අලුතින් වරදක් කොට අසුවන බවයි.

ඔහුගේ තර්කය වූයේ මොන වැරැදි මධ්‍යයේ වුවත් රට ආරක්‍ෂා කොට ඉදිරියට ගෙන යමින් සිටි රාජපක්‍ෂලා එළවා ඊට වඩා පිරිසුදු පාලනයක් අවංකවම පැතූ යමෙක් වේ නම් ඒ දේශපාලන යථාර්ථයන් ගැන කිසිදු හැඟීමක් නැති අයකු විය යුතුයි. දූෂණය නැති කරන්නට කියා බලයට ගෙනැවිත් තිබෙන්නේ ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව බව පැවැසූ වසන්ත අසා සිටියේ රට සංවර්ධනය කරන ආකාරය නොදන්නා, ලෙයින් කඳුළින් දිනූ දේශය බෙදා වෙන් කරන්නට බෙදුම්වාදීන් හා අත්වැල් බැඳගත්, බලය වෙනුවෙන් රට රැකගත් රණවිරුවන් පාවාදෙන, එදා වේල ජීවත්වන්නට රාජ්‍ය දේපොළ විකුණන පාලනයක් යටතේ අපි අහිමි කරගනිමින් සිටිනා ජාතියේ අනාගතය ගැන අද වග කියන්නේ කවුද කියායි.

ජෝෂප් ඩිමෙස්ට්‍රා නමැති ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයා කියන ආකාරයට 'සෑම ජාතියකටම ලැබෙන්නේ ඔවුන්ට ගැළපෙන ආණ්ඩුවකි' (Every Nation Gets the Government it Deserves) 'සරලව කියනවා නම් ඡන්දදායකයන් බහුතරය දේශපාලනය නොදන්නවා නම් ඔවුන්ගේ පාලකයන් ලෙස පත්වන්නේ බොරුකාරයන් පිරිසකි. මෙය මොනතරම් හොඳින් වර්තමාන ලංකාවට ගැළපෙනවාද?

2015 ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී වත්මන් පාලකයන් බොරු කීවේ පසුගිය ආණ්ඩුව ගැන පමණක් නොවේ. ඔවුන් මහජනතාවට දෙන්නට බලාපොරොත්තු වන සහන ගැනද දුන් පොරොන්දුවලින් අති බහුතරය කඩවුණු පොරොන්දු වේ.

ඉන් කිහිපයක් මතක් කර බලමු.
ජනාධිපතිවරණයට පෙර ඉතා ජනප්‍රිය වූ දැන්වීම් මාලාවක් හරහා තරුණ පරපුරට දුන් පණිවුඩයක් වූයේ නව ආණ්ඩුවක් යටතේ ඔවුන්ට අඩු මිලට වාහන ගන්නට ලැබෙන බවයි. වැස්සට තෙමි තෙමී ගෙදරකට ගොඩවන තරුණියක් අනාගතයේ තමුන්ගේ ආණ්ඩුවක් යටතේ අඩු මිලට වාහනයක් ගන්නට ලැබෙන අවස්ථාව ගැන කියනවා ඔබට මතක ඇත. එහෙත් බලයට ආ පසු වත්මන් රජය කළේ තරුණ පරපුරට දුන් මේ පොරොන්දුව නිර්දය ලෙස කඩ කරමින් වාහන බදු අති විශාල ලෙස වැඩි කිරීමයි. පසුගියදා සුළු ප්‍රමාණයකින් අඩු කළේ විශාල ප්‍රමාණයෙන් මේ ආණ්ඩුව විසින්ම වැඩි කළ වාහන බදුය.

තරුණ ඡන්ද ගැනීම සඳහා දුන් තවත් පොරොන්දුවක් වූයේ රටේ පොදු ස්ථානවල නොමිලේ වයිෆයි පහසුකම් ලබාදෙන බවයි. නමුත් ආණ්ඩුව බලයට පත්වූ පසු කළේ දුරකතන හා අන්තර්ජාල පහසුකම සඳහා බදු වැඩි කිරීමයි. වත්මන් ආණ්ඩුව බලයට පැමිණ ඉදිරිපත් කළ පළමු අයවැයෙන්ම මෙම බදු හඳුන්වා දෙන ලද අතර 2016දී එම බදු තවත් වැඩි කරන ලදී.

රුපියල් 100ක 'රී-ලෝඩ්' එකක් දමන විට ඉන් අඩක්ම බදු වශයෙන් රජයට ගෙවීමට පාරිභෝගිකයාට සිදුවිය. පසුගියදා මේ බදුවල යම් අඩුවක් සිදුවුවද ඒ ළඟදීම එන්නට නියමිත ප්‍රාදේශීය සභා ඉලක්ක කොට හඳුන්වා දෙන්නට නියමිත ඡන්ද ගුණ්ඩු මාලාවේ පෙරනිමිත්තක් පමණක් බව තේරුම් ගන්නට තරම් අපේ තරුණ තරුණියන් දැන්වත් ඊනියා යහපාලනය වටහාගෙන ඇතැයි බලාපොරොත්තු වෙමු.

අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ලබාදෙන බව 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයාගේ මැතිවරණ ප්‍රකාශයේ පවා සඳහන් විය. රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදනයෙන් 10%ක් වූ රටක මෙවැනි පොරොන්දුවක් විහිළුවක් බව තේරුම් ගැනීමට තරම් සරල ගණිත දැනුමක්වත් 6% පිටේ ගැසූ කමිස ඇඳගෙන පෙළපාළි ගිය සමහර කථිකාචාර්යවරුන්ට නොතිබීම අපේ රටේ අවාසනාවකි.

සෞඛ්‍යට දළ ජාතික නිෂ්පාදනයෙන් 3% වෙන් කිරීමටද එකළ පොරොන්දු වූ අතර අයවැය කතා 3කට පසුවවත් මේ පොරොන්දුව ඉටු කිරීමට ආණ්ඩුව සමත් වී නැත. 2015 අයවැයෙන් සෞඛ්‍යයට වෙන් කළ මුදල 2016 අයවැයේදී 7.5%කින් අඩුකර ඇත. එදා මේ ප්‍රතිශතය ඉල්ලමින් කෑ මොර දුන් පුරවැසි බලවේග අද ආගිය අතක් නැත.

පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ට රුපියල් 2,500ක පඩි වැඩිවීමක් ලබා දෙන බව මැතිවරණවලදී පොරොන්දු වූ උදවිය බලය ලැබුණු පසු කළේ හැකිනම් පඩි වැඩිවීමක් දෙන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා යැයි අය-වැය යෝජනාවලදී කියවා ඇඟ බේරා ගැනීමයි.

තවත් කඩවුණු පොරොන්දු රාශියකි.
සියලු පාසල් දරුවන්ට රුපියල් 250/_ සමඟ රජයේ
වියදමින් නව ඉතුරුම් ගිණුමක්
විශ්වවිද්‍යාල සිසුන්ට පරිගණක මිලදී ගැනීමට පොලී
රහිත ණය
පොහොර සහනාධාරය දිගටම
සියලු ගොවි ණයවලින් 50% කපා හැරීම
රාජ්‍ය සේවකයන් සියලු දෙනා 50,000/- ණය කපා හරින
ලද යතුරුපැදි
රාජ්‍ය බැංකුවල ලක්‍ෂ දෙකට අඩු ස්වර්ණාභරණ උකස්
ගිණුම්වලින් පොලී කපා හැරීම
සහතික මිල තේ කිලෝව 90/-, රබර් කිලෝව 350/-,
සහල් කිලෝව 50/-, කිරි ලීටරය රු. 70/-
මෙතරම් රැවටීම්වලට ලක්වූවාට පසුත් තමන් කියනා ඕනෑ දෙයක් තවදුරටත් අන්ධ භක්තියෙන් විශ්වාස කරන ජන කොටසක්ද සිටිනා බව දන්නා වත්මන් පාලකයන් නොනවත්වා මතුරන මන්ත්‍ර කිහිපයක් ඇත.

මින් ප්‍රධාන වන්නේ රාජපක්‍ෂවරුන් රට ණය උගුලක පටලවා ඇතැයි පුන පුනා කීමයි. මෙසේ අනුන්ට ඇඟිල්ල දික් කරන්නේ වසර දෙකක් තුළ රටේ සමස්ත රාජ්‍ය ණය බර රුපියල් කෝටි 7,39,100 සිට රුපියල් කෝටි 9,86,500 දක්වා වැඩි කරගෙන රටේ සමස්ත ණය බර කිසිදු විටෙක දළ ජාතික නිෂ්පාදනයෙන් 80කට වඩා වැඩි විය නොහැක කියන 2013 අංක 15 දරන මූල්‍ය වගකීම් පනත පවා උල්ලංඝනය කළ ආණ්ඩුවකි.

පළමු වසර දෙක තුළ පමණක් ඊනියා යහපාලන ආණ්ඩුව රටේ සෑම පුරවැසියකුම රුපියල් එක් ලක්‍ෂ ‍ෙදාළොස් දහස් හාරසිය පනහකින් (1,12,450කින්) අලුතින් ණය කර තිබේ. මේ අනුව අද වන විට මෙරට සෑම පුරවැසියකුම ලෝකයට රුපියල් හාර ලක්‍ෂ හතළිස් අටදහස් හාරසියයක් (4,48,400ක්) ණය වේ. ඉන් රුපියල් එක් ලක්‍ෂ ‍ෙදාළොස් දහස් හාරසිය පනහක්ම (1,12,450ක්) එක්කර තිබෙන්නේ පසුගිය වසර දෙක තුළ වත්මන් ආණ්ඩුව විසිනි.

වෙනත් වචනවලින් කියනවා නම් වත්මන් ආණ්ඩුව රටේ ඒක පුද්ගල ණය බර වසර දෙකක් තුළ 33%කින් ඉහළ දමා ඇත. මේ ගෙවී යන්නේ තුන්වැනි වසර වන අතර ආණ්ඩුව තවදුරටත් ගජරාමෙට ණය ගනිමින් සිටියි. වසර පහක් නිම වන විට රටේ ණය බර කොතැනක නතර වේද කියා දන්නේ දෙවියන් පමණි.
ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ආ දා සිට නොනවත්වා කියන කරුණක් නම් කඩිනමින් දූෂිතයන්ට දඬුවම් දෙන බවයි. වත්මන් පාලකයන් විසින් තමුන්ට හිතවත් පොලිස් නිලධාරීන් පත්කොට අලුතින් පිහිටුවන ලද එෆ්.සී.අයි.ඩී.ය විසින් විමර්ශන නිමවා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට ඇති ලිපිගොනු 80කට අධික ප්‍රමාණයකට අදාළ නඩු පැවැරීම ප්‍රමාද යැයි ආණ්ඩුවේ නියෝජිතයන් නිරන්තරවම ගෝරනාඩු කරනු අපට අසන්නට කියවන්නට ලැබේ. මෙය අසා සිටින පොලිසියේ හා දෙපාර්තමේන්තුවේ කාර්ය භාරයන්හි වෙනස නොදන්නා සාමාන්‍ය ජනතාව නීතිපති දෙපාර්තමේන්තුව හොරුන් රකිනවා යැයි මතයක් ඇති කර ගනිති.

එහෙත් යථාර්ථය නම් පොලිසිය විමර්ශනයක් අවසන් කොට ලිපිගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ පමණින් එය නඩු නිමිත්තක් නොවන බවයි. විමර්ශනයෙන් හෙළිදරව් වූ කරුණු නඩුවකට හේතුකාරක වෙනවාදැයි තීරණය කරන්නේ පොලිසිය නොව නීතිය දන්නා නීතිපති දෙපාර්තමේන්තුවයි.
මනා රාජ්‍ය පාලනයේ මූලික ලක්‍ෂණයක් නම් එක් ආයතනයකට හෝ පුද්ගලයකුට තම අභිමතයට අසාධාරණ තීරණය ගැනීමට නොහැකි ලෙස විවිධ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු අතර වගකීම බෙදී තිබීමයි. මහජන අයිතිවාසිකම් ආරක්‍ෂා වෙන්නෙත් දේශපාලකයන්ට පොලිසිය අතකොළුවක් කරගෙන නීතිය අයුතු ලෙස භාවිත කරන්නට ඇති ඉඩකඩ ඇහිරෙන්නේත් මෙසේ වගකීම් බෙදී ගිය විටයි.

ඕනෑම ආණ්ඩුවක් යටතේ පොලිසිය ක්‍රියාකරන්නේ පක්‍ෂග්‍රාහීව බව අපි අත්දැකීමෙන් දනිමු. තම ස්වාමීන් සතුටු කරන්නට අවශ්‍ය නම් නීතිය නවන්නට හෝ තමන් සූදානම් බව මයික්‍රෆෝනයක් ඉදිරිපිට සිටගෙන ප්‍රසිද්ධියේ කීවේ වත්මන් පොලිස්පතිමය. එවැනි තත්ත්වයක් යටතේ දේශපාලන අවශ්‍යතා සපුරාලන්නට කරන පොලිස් විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස එන එන සෑම ලිපිගොනුවක්ම නඩුවකින් අවසන් විය යුතු නම් ඉන් අදහස් වන්නේ අප කිසිවකු නොපතන පොලිස් රාජ්‍යය බිහිවී අවසන් බවය. එවැනි දෑ ගැන අප අසා තිබෙන්නේ මර්දනයෙන් රටවල් පාලනය කළ හිට්ලර්, මුසලෝනි, ස්ටාලින් වැනි ඒකාධිපතියන්ගේ පාලන තන්ත්‍රයන් යටතේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්