කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

  👤  4337 readers have read this article !
2017-09-05

වත්මන් රජයේ පාලකයන් රටට ආදරය කරන පිරිසක් විය නොහැකිය. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ අප රටට අන්ධකාරය ගෙන දුන් ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජාතික අවශ්‍යතාව ඉටුකර ගැනීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පසුගිය රජය උත්සාහ කරද්දී ලොව පුරා සංචාරය කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ගතු කී එදා විපක්‍ෂ නායකයා අද මේ රටේ නිල නොලත් සැබෑ නායකයාය. කොටින්ගේ ප්‍රධාන කඳවුරු සංකීර්ණයක් වූ ආරක්‍ෂිත බංකර, මර උගුල්, වධකාගාර හා රෝහල් පිරි තොප්පිගල, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් නැඟෙනහිර ප්‍රදේශය මුදා ගැනීමේ සටනේ සුවිශේෂීම සංධිස්ථානය විය.

එදා ඒ යුද ජයග්‍රහණය, 'තොප්පිගල මහ කැලෑවක්' කියා අවතක්සේරු කළේද මේ පුද්ගලයාමය. 'ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන්' කිවූ පුද්ගලයා අද සභානායකයා. 'හමුදාව යන්නේ අලිමංකඩට නොව පාමංකඩට' කියා අපහාස කළ පුද්ගලයා යහපාලන රජයේ මුල්ම මුදල් ඇමැති වී පසුව විදේශ ඇමැතිද විය. සුදු නෙලුමක් කර තබාගෙන එදා යුද්ධයට විරුද්ධව තවලම් ගිය දෙමළ ඩයස්පෝරාවේ ඉතා කුලුපග සගයෙක් යහපාලන රජයේ මුල්ම විදේශ ඇමැති වූ අතර ඔහු අද මුදල් ඇමැතිය.
යුද්ධය අවසන් වූ විගසම දේශපාලන බල ලෝභයෙන් වගකීම් විරහිත සුදු කොඩි කතාවක් පිටරට මාධ්‍ය ආයතනයකට කියා ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තරයට මඟ පාදා දුන් තැනැත්තා අද වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරයෙකි. අදත් තම හමුදා නිලධාරීන් යුද අපරාධ කළ බවත්, ඔවුන්ට විරුද්ධව සාක්කි දීමට තමන් සූදානම් බවත් කියමින් මේ දේශපාලනඥයා ශ්‍රී ලංකා යුද හමුදාව අපකීර්තියට පත් කරයි.

යුද්ධයක් ජයගෙන විශාල මහජන ප්‍රසාදයක් දිනා සිටි මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම එදා පහසු කරුණක් නොවිණි. ඒ සඳහා විපක්‍ෂයට උදවු දී 2015දී වත්මන් රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායකවූ බාහිර බලවේග 3ක් විය.

1. බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව විසින් මෙහෙයවනු ලබන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක්
2. යුද්ධය අවසන් වීම නිසා ආදායම් මාර්ගයන් අඩුවූ රාජ්‍ය නොවන සංවිධාන
3. චීනය හා ලංකාව අතර ගොඩනැඟෙමින් තිබුණු ව්‍යාපාරික සම්බන්ධතා ගැන උරණ වී සිටි ඉන්දියාව
එදා විපක්‍ෂයට මූලෝපායමය සහාය ලබාදුන්නේත් මූල්‍යමය ආධාර ලබාදුන්නේත් මේ බලවේග තුනයි. එම සහාය වෙනුවෙන් වන්දි ලෙස බලයට ඒමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රධාන කණ්ඩායම් සමඟ පහත දැක්වෙන එකඟතාවන් ඇති කරගන්නා ලද බව බොහෝ දේශපාලන විචාරකයන් විසින් පෙන්වාදී ඇත.
1. යුද්ධය අවසන් කොට ලංකාව සංවර්ධන මාර්ගයට අවතීර්ණ කළ මහින්ද රාජපක්‍ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට යළි කිසි දිනක ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වන ලෙස ඔවුන්ව ව්‍යවස්ථාපිතව හා අනෙකුත් ක්‍රමෝපායන් මඟින් සීමා කිරීම.
2. දෙමළ ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව වූ බෙදුම්වාදී අරමුණු ඉටුකරලීම සඳහා පහසුකම් සලසන ආකාරයේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම.
3. ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදය යුද ජයග්‍රහණයක් අවසන් කිරීම තුළින් මැද පෙරදිග ත්‍රස්තවාදය පාලනය කිරීමේ ප්‍රයත්නය තුළ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල නොහැකියාව ලොවට ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ට යුද හමුදාව යුද අපරාධ චෝදනාවලට පටලා අපකීර්තියට පත් කිරීම.
2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්‍ෂකයා ජයගත් දින සිට නව රජය සිය මූලික අවධානය යොමුකර තිබෙන්නේ මේ පොරොන්දු ඉටු කිරීමටය. හිටපු හමුදාපතිවරයා ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස 2010දී කළ වගකීම් විරහිත ප්‍රකාශයක් වන සුදු කොඩි චෝදනාව මත පදනම්ව ආරම්භ වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව 2015 මාර්තු මස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාවක්, ශ්‍රී ලංකාවේ නව රජය විසින් අගය කරමින් පිළිගෙන එයට සම අනුග්‍රහයද දක්වන ලද්දේ මේ අනුවය.

මේ අනුව තමුන්ගේ රටටම එරෙහිව විදේශ රටක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සම අනුග්‍රහය දැක්වූ පළමු රට ලෙස ලංකාව ඉතිහාසගත වේ. වත්මන් පාලකයන්ගේ පරගැතිකම වටහා ගන්නට තවත් උදාහරණ කුමටද?

පුරා අවුරුදු 30කට ආසන්න කාලයක් අපට වසංගතයක්ව පැවැති රුදුරු ත්‍රස්තවාදය 2009 මැයි මස 18දා වන විට ශ්‍රී ලංකා භූමියෙන් සහමුලින්ම අතුගා දැමීම සඳහා 29,000කට වැඩි රණවිරුවන්ට ජීවිත පරිත්‍යාග කරන්නට සිදුවූ අතර 14,000කට වැඩි ප්‍රමාණයක් ඉන් ආබාධිත වූහ.

එහෙත් යුද ජයග්‍රහණයෙන් වසර පහකටත් අඩු කාලයක් තුළ යුද්ධය වෙනුවෙන් අපේ රණවිරුවන් කළ පරිත්‍යාග සියල්ල අමතක කොට ඔවුන්ට ජාතියේ ගෞරවය පුදනවා වෙනුවට තමුන් බලයට ගෙන ඒමට කළ උපකාරයන්ට වන්දියක් ලෙස දෙමළ ඩයස්පෝරාවේ හා ඔවුන්ට සහාය වන විදේශ බලවේගවල මන‍ෙදාල සපුරන්නට අපේ රණවිරුවන් කොටසක් නීතිය ඉදිරියට පමුණවන්නට පවා වත්මන් පාලකයන් සූදානම් බව පසුගිය කාලයේ රජය ක්‍රියා කළ ආකාරයෙන් පෙනේ.
2015 ජනවාරි මස රජය වෙනස්වූ වහාම නව විදේශ ඇමැතිවරයා ලහිලහියේ ජිනීවා ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියට අස්සන් කළේය. කාගේ වුවමනාවට කළත් මෙය අනාගතයේ ලංකාවට විශාල හානි ගෙන දෙන පියවරක් විය.

බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියට අවම වශයෙන් ඇමෙරිකාව හෝ මහා බි්‍රතාන්‍ය අස්සන් තබා නැත්තේ තම රටෙහි ආරක්‍ෂක හමුදාවන්ට ඉන් උදාවිය හැකි තර්ජනයන් නිසාය. ප්‍රඥප්තියට මෙතෙක් අස්සන් කර ඇති රටවල් 93නුත් 42ක්ම තම රටවල් තුළ එය මෙතෙක් අනුමත කොට නැති නිසා ඒ අස්සන්හි වලංගුතාවක් නැත. අප අසල්වැසි ඉන්දියාවද මෙම රටවල් 42ට අයත්වේ. නමුත් ලංකාවේ නව ආණ්ඩුවේ විදේශ ඇමැතිවරයා මෙයට අස්සන් කළා පමණක් නොව මාස කිහිපයක් තුළ වත්මන් රජය විසින් එය අනුමත කොට ලංකාව තුළ එහි වලංගුතාව පිළිගන්නා ලදී.

මීළඟ පියවර වූයේ 'අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත' ලංකාව තුළ සම්මත කර ගැනීමයි. මේ අනුව ලංකාවේ රණවිරුවන් දඩයමට අවශ්‍ය සාක්‍ෂි සම්පාදනය කිසිදු බාධාවකින් තොරව ලංකාව තුළම සිදුකිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින් අනුමත කොට දී ඇත.
තුන්වැනි පියවර නම් රජය විසින් ඊළඟට සම්මත කර ගන්නට නියමිත 'බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය සම්බන්ධයෙන් වූ පනතයි'. එම යෝජිත පනතේ මූලික අරමුණ වන්නේ 'බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය' ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමයි.
මේ පනතද සම්මත කළ විට සමස්ත ක්‍රියාවලියම සම්පූර්ණය. ඊළඟට තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාවේ සිතැඟි පරිදි රණවිරු දඩයම ආරම්භ කිරීමටය. මේ අතරවාරයේ දේශපාලනික වශයෙන් තමුන්ට තරග පිටියෙන් ඉවත් කරගන්නට අවශ්‍ය යම් යම් පුද්ගලයන්ද ඉලක්ක කරවීමට වත්මන් පාලකයන්ට අවස්ථාව සැලැසේ.
මෙම යෝජිත පනතට අනුව අතුරුදන් කළා යැයි යන සැකය මත පමණක් පදනම් කරගෙන ඕනෑම අයෙක් අත්අඩංගුවට ගන්නට හැකි අතර විදේශ රටකදී චෝදනාවක් ඉදිරිපත් වී නම් එම විදේශ රට තුළදී නඩු ඇසීම සඳහා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ලංකාවෙන් පිටුවහල් කිරීමටත් ඉඩ ප්‍රස්තා සැලසේ. සැකකරු පමණක් නොව ඔහු යම් හමුදා ඛණ්ඩයක සේවය කළ අයකු වී නම් ඔහුගේ අණදෙන නිලධාරීන් සියලු දෙනාද මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවැරිය හැකිය.
බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ පනත ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතව තිබුණේ අගෝස්තු මස 5දාය. එය කල් දමන්නට රජයට සිදුවූයේ මහා සංඝයා වහන්සේ පිරිසකගේ දැඩි උත්සාහය නිසාය.

දැන් බළලා මල්ලෙන් එළියට පැන ඇත. පනත අගෝස්තුවේ සම්මත වේ යැයි බලාපොරොත්තුවෙන් කොටි සංවිධාන ආධාරකරුවන් විසින් සකස් කරමින් තිබුණු යුද අපරාධ නඩුවක් බ්‍රසීලයේදී එහි ශ්‍රී ලංකා තානාපති ලෙස ක්‍රියා කරමින් සිටි හිටපු යුද හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව දැනටමත් පවරා තිබේ.
තවම පනත සම්මත වී නැති නිසා අත්අඩංගුවට පත් නොවී බ්‍රසීලයෙන් පැනගන්නට සමහර විට ජගත් ජයසූරියට හැකිවිය. ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව හා ලංකාව තුළ සිටින ඔවුන්ගේ සගයන් එක්ව සැලසුම් කළ පරිදි පනත සම්මත වී තිබුණා නම් ජයසූරියට බ්‍රසීලයේදීම වැඩ වරදින්නට ඉඩ තිබිණි.
ජයසූරිය බ්‍රසීලයෙන් පැන ගත්තත් ඔහුට මින් පසු කිසි දිනක බටහිර රටක විදේශ සංචාරයකට යා නොහැකි වනු ඇත. ඒ ලංකාව ඉහත කී අන්තර්ජාතික ප්‍රඥප්තියට දැනටමත් අස්සන් කොට ඇති නිසා අපේ රණවිරුවකු විදේශයකදී අත්අඩංගුවට ගෙන නඩු පැවැරීමට තවදුරටත් බාධාවක් නැති බැවිණි.

ජගත් ජයසූරියට පමණක් නොව කිසිදු රණවිරුවකුට අත තබන්නට තමුන් ඉඩ නොතබන බව වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනයේදී කියනු අසා සිටින විට අපට ඇතිවන්නේ ඉමහත් කම්පාවකි. ජනතාව රැවටීම අද කලාවක් වී ඇති අයුරක් මින් පෙනී යයි. රණවිරුවන් ගැන මෛත්‍රි හැඟීමක් ඇත්නම් ඉහත කී අන්තර්ජාතික ප්‍රඥප්තියට අස්සන් කරන්නට විදෙස් ඇමැතිවරයාට අවසර දුන්නේ ඇයි.

අස්සන් කළා පමණක් නොව එය රජය විසින් පිළිගත්තා නොවේද? ඉන් මාස කිහිපයකට පසු තවත් බියකරු පනතක් වන අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කළේ ඇයි. ඉන් පසු මේ ක්‍රියාදාමයේ අවසන් පියවර වන 'බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය සම්බන්ධයෙන් වූ පනත' නුදුරු අනාගතයේදීම සම්මත කරන බව සභානායකවරයා කියන්නේ මන්ද?

මේ ආකාරයට රණවිරු දඩයමට පසුබිම සැකසෙද්දී රජය නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදී ඒ හරහා බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුකිරීමේ කුමන්ත්‍රණයද සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටී. ඔවුන්ට අවශ්‍ය ව්‍යවස්ථාව දැනටමත් කෙටුම්පත් කොට අවසන් වී ඇති බව නිසැකය. එහෙත් නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසමින් පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථා සම්පාදක කමිටුව පිහිටුවමින් ජනතාව ගොනාට ඇන්දවීම අපූරුවට කරගෙන යනු ලැබේ.

මෙයින් අදහස් කරන්නේ ජනතා විරෝධය ඔවුන්ට නොවැදගත් කරුණු කිහිපයකට යොමු කරවා, අවසාන මොහොතේ ජනතාවට සවන් දුන් බවක් පෙන්වා එම කරුණු ජනතාවට අවශ්‍ය ආකාරයට වෙනස් කරනා ගමන් තමුන්ට සැබැවින්ම අවශ්‍ය කරුණු ව්‍යවස්ථාව තුළට අවසාන මොහොතේ රිංගවා ගැනීම බව රජයේ පසුගිය ක්‍රියාකලාප අධ්‍යයන කොට ඇති අයකුට නම් පැහැදිලි වෙනු ඇත. 19 ව්‍යවස්ථාව සම්මත කළ ආකාරය අනුව පාර්ලිමේන්තුවේ කනින් රිංගන සැටි වත්මන් පාලකයන් දැන් ඉතා හොඳින් ප්‍රගුණ කොට ඇති බව පෙනී යයි.
හොඳින් අධ්‍යයනය කරන විට පෙනී යන ආකාරයට එම ක්‍රමවේදය මෙසේය.
මුල් පියවර වන්නේ තමුන්ට අවශ්‍යම කරුණු සඟවාගෙන පනත ගැසට් කිරීමය. මේ අනුව කවුරුන් හෝ ශේ්‍රෂ්ඨාධිකරණයට ගියත් අභියෝගයකට ලක්වන්නේ ආණ්ඩුවට වැදගත්ම කරුණු නොවේ.

පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේ තමුන්ට අවශ්‍ය වැදගත්ම කරුණු කිහිපය පනතට සංශෝධන ලෙස හඳුන්වාදීම.
මන්ත්‍රිවරුන්ට මේ සංශෝධන නිසි ලෙස අධ්‍යයනය කරන්නට කාලයක් නොදී පනත කඩිමුඩියේ සම්මත කර ගැනීම.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව තුළ සම්මත කළ සෑම සංශෝධනයක් සම්බන්ධවම රජය ක්‍රියා කළේ මේ උපක්‍රමශීලී පිළිවෙත අනුවය.
අනාගතයේ ගෙන එන නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්ද වත්මන් පාලකයන් ක්‍රියාකරනු ඇත්තේ මේ ආකාරයටමය. එවිට කිසිවකුට නොදැනී බෙදුම්වාදීන්ට වූ පොරොන්දු ඉටු කරලන්නට හැකිවනු ඇත.

වත්මන් පාලකයන් රට-ජාතිය රැක ගැනීම ගැන ප්‍රසිද්ධ වේදිකාවල කුමන සුරංගනා කතා කීවත් ක්‍රියාවෙන් නම් අපට පෙනෙන්නේ ඔවුන්ට ඒ ගැන අවංක අවශ්‍යතාවක් නැති බවයි. රටේ අනාගතය ගැන කිසිදු හැඟීමකින් තොරව ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීමෙනුත්, ඉතිහාසය පුරා අප රැකගත් ආගමික-සංස්කෘතික උරුමයන් අවතක්සේරුවට ලක් කරමින් විවිධ දුරාචාරයන්ට නීතිමය පිළිගැනීමක් ලබා දෙන්නට උත්සාහ කිරීමෙනුත්, බෞද්ධ භික්‍ෂුන්ට විවිධ අයුරින් අපහාස උපහාස වන ලෙස ක්‍රියාකිරීමෙනුත් වත්මන් පාලකයන් දිගින් දිගටම ප්‍රදර්ශනය කරන්නේ මේ මානසිකත්වය නොවේද?

'කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල' කියා පැරැණි කියමනක් ඇත. දේශපාලන ලෝකයේ මෙය නිතර දක්නට ලැබේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් කටයුතු කිරීම වැදගත් වන්නේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්