මංගලගෙන් ආණ්ඩුවට ඔක්සිජන්

  👤  4755 readers have read this article !
2017-09-17

පසුගිය සති අන්තයේදී පොළොන්නරුවේ උත්සව හා විවෘත කිරීම් රැසකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වූ අතර කවුඩුල්ල මිරිස්හේන ගම සංවර්ධනය සඳහා ඉදිකිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල්ගල තැබීමේ උත්සවය කාගෙත් අවධානයට ලක්විය.

උත්සව භූමියේ සිටි කුඩා දැරියක් ජනාධිපතිවරයා වෙත පැමිණ එතුමාගේ ඔඩොක්කුවේ විනාඩි 20ක් පමණ ගත කිරීම කාගෙත් කතාබහට ලක් විය.
මෙම දැරිය රූපවාහිනියෙන් ජනාධිපතිතුමා දකින විට ජනාධිපති සීයා ලෙස හඳුන්වන්නට පුරුදුවී සිටි බව මවුපියන් කීය. එදින මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වැවත් සමඟ ගමක් වැඩසටහනට මිරිස්හේන ගමට එන බව කී විට මෙම දැරිය තම පියාට කීවේ තමන්ට ජනාධිපති සීයා බැලීමට යෑමට අවශ්‍ය බවය. රැස්වීමට ආ දැරිය බිම තැබූ විට පිරිස අතරින් ඉදිරියට ගියේ ජනාධිපතිවරයා වෙත යෑමටයි. එහෙත් ආරක්ෂකයන් ඇය නවත්වන්න හදන අයුරු ජනාධිපතිවරයා දුටුවේය. එසැණින් ජනාධිපතිවරයා කීවේ ඇයට එන්න ඉඩ හරින්න කියාය. අනුල්‍යා දැරිය ජනාධිපතිතුමා වෙත ගොස් සුරතල් වූ ආකාරය මාධ්‍යවේදීන්ට හොඳ ඡායාරූපයක් විය.

"ආර්ථිකයේ සුක්කානම ජනපති අතට ගන්නට" යන බවක් අප මීට පෙර කැබිනට්ටුවෙන් මුල් වරට හෙළි කරනු ලැබීය. එය තහවුරු වෙන සිදුවීම් රැසක් මේ වන විට සිදුවෙමින් තිබේ.
ඉකුත් අඟහරුවාදා ජාතික ආර්ථික සභාව ප්‍රථම වරට රැස් වන්නේ අපේ වාර්තාව ඇත්තක් කරමින්ය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආර්ථික සභා හමුවට අගමැතිවරයා, ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙක් එක්ව සිටීම විශේෂ විය. මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ද මේ අතර විය. ආර්ථික සභාවේ මහලේකම්වරයා ලෙස පත්කොට තිබෙන්නේ කීර්තිමත් නිලධාරියකු වන ලලිත් සමරකෝන් මහතාය.
දේශීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තය නඟා සිටුවීම උදෙසා ගත හැකි
ක්‍රියාමාර්ග ගැන මෙහිදී සාකච්ඡා කෙරිණි. ඉදිරියේදී සති දෙකෙන් දෙකට කැබිනට් රැස්වීමෙන් පසු ජාතික ආර්ථික සභාව රැස්වීමට නියමිතය. ක්‍රමානුකූලව ආර්ථිකයේ සුක්කානම ජනාධිපතිවරයා අතට පත් වෙමින් තිබෙන බව දැන් දැන් දැකගත හැකි වෙමින් තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්විණි. එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට හෙලන් මීගස්මුල්ල මහත්මිය පත් කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කර තිබිණි. ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට කාන්තාවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි. ඊට හේතුව හොරකම්, වංචා දූෂණ නැති කිරීමයි.
"මේ කාන්තාව නීතිය අකුරට ක්‍රියාත්මක කරන කාන්තාවක්. ඒ නිසා එම ධුරයට සුදුසුයි." මංගල කීවේය.
"අපේ කාන්තා ඇමැතිවරියන්ටත් වඩා මෙම කාන්තාව නීතිය ක්‍රියාත්මක කරනවාද? හොඳට වැඩ කරනවාද?
ජනාධිපතිවරයා සිනාසෙමින් ඇසුවේය.

පත් කිරීමට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාර විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
"තමන්ගේ අයිතිය වෙනුවෙන් අපේ කාන්තා ඇමැතිවරියන් අදහස් දැක්විය යුතුයි" ජනාධිපතිවරයා සිනාසෙමින් කීය.
ඉන්පසු ගෑස් මිල ඉහළ නැංවීම පිළිබඳව යෝජනාවක් ජීවන වියදම් කමිටුව විසින් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ගෑස් මිල 10%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබිණි. ඒ අනුව නව මිල 1431ක් වනු ඇත.

දිගින් දිගටම ගෑස් සමාගම් විසින් මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලුවත් අපට ලබා දෙන්න බැරි වුණා. අපේ රජය 8 වතාවත් ගෑස් මිල අඩු කරලා තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව ගෑස් සමාගම් අලාභයක් ලබනවා යැයි අමාත්‍ය මලික් සමරවික්‍රම කීවේය.
"ඔව් රජය යටතේ ඇති ගෑස් සමාගමද ගෑස් සිලින්ඩරයකින් රුපියල් 174ක පාඩුවක් ලබනවා. එම නිසා 10%කින් වත් මිල වැඩි කරන්න ඕනි.
එහෙම කීවේ, අමාත්‍ය කබීර් හෂීම්ය.
"ගෑස් මිල සංශෝධනය සිදු කිරීම මේ වසරේදී බෑ. ඒක ලබන වසරේදී සිදු කරමු" කීවේ අග්‍රාමාත්‍යවරයාය.
කැබිනට් මණ්ඩල රැස්වීමේදී දුමින්ද ඉල්ලා සිටියේ බීජ වී සහ බඩඉරිඟු බීජ ගොවීන්ට සහන ක්‍රමයකට ලබා දෙන්නයි කියාය.
ප්‍රතිපත්තියක් විදියට ඒක කරන්න එකඟයි. ඒත් ඔබතුමාගේ අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදනවලින් වියදම් කරලා තියෙන්නේ 26%යි.
මංගල සමරවීර අමාත්‍යවරයා කීවේය.

මම නැවතත් කියන්නේ අපි එහෙම දෙන්න එකඟයි. හැබැයි දෙන ප්‍රතිපාදන හරියට වියදම් කිරීමත් වැදගත්.
මේ අතර රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි චීනයේ ශැන්ක්ෂි පළාතේ ජිෂාන් නගරය හා මොනරාගල නගරය අතර සහයෝගය වර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ
වැඩපිළිවෙළක් දියත් කොට ඇත. කෙසේ වෙතත් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ඊට විරුද්ධව අදහසක් දැක්වීය.
මේ වගේ දේවල් වෙන කොට පළාත් පාලන අමාත්‍යාංශය වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයත් දැනුවත් වෙන්න ඕන.
ෆයිසර් කීය.

මුදල් ඇමැති මංගල සමරවීර මේ දිනවල කාර්යබහුලය. ඔහුගේ මංගල අයවැය නොවැම්බර් 9දා ඉදිරිපත් කිරීමට නියමිතය. එය වඩාත් තීරණාත්මක සහ සහනදායී අයවැයක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. සහන ලබා නොදීම ගැන බොහෝ චෝදනා ආණ්ඩුවට එල්ල වී තිබූ පසුබිමක ඔහු මේ අයවැයට සූදානම් වෙයි. මංගල මුදල් ඇමැති වූ සැණින් සහන කිහිපයක් ලබා දුන් අතර ඔහුගේ මුල්ම අයවැය ගැන දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාත් දැඩි වුවමනාවකින් බලා සිටී. අනෙක් අතට පළාත් පාලන ඡන්දයද කිට්ටු පසුබිමක් තුළ මේ අයවැය "සහන" අයවැයක් විය හැකි බවත් ආණ්ඩුවට ඔක්සිජන් දෙන අයවැයක් වනු ඇති බවටත් බොහෝ දෙනාගේ විශ්වාසයය.

පසුගිය සති අන්තයේ අගමැතිවරයා ගාල්ලට ගියේ වජිර අබේවර්ධනගේ ඇරැයුමෙනි. ගංවතුරින් හානි වූ තේවතු හා කම්හල් වෙනුවෙන් වන්දි ප්‍රදානය අගමැති අතින් සිදුවූයේ ගාල්ල නගර සභා ශාලාවේදීය. ඒ සතිය පුරා උත්සව රැසකට හා නව ආර්ථික කමිටුව ඇතුළු තීරණාත්මක සාකච්ඡා රැසකට එක්වූ අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැඳුරට ආවේ කොළඹ දිසාවේ ග්‍රාම නිලධාරීන් 5000ක් ඇමතීම සඳහා වජිර අබේවර්ධන සූදානම් කළ රැස්වීමටය. එහි යෑමට පෙර තමා හමුවීමට පැමිණි මැති ඇමැතිවරු සමඟද අගමැතිවරයා පිළිසඳරක යෙදිණි.
'මහ සෙනඟක් අරලියගහ මැඳුර ආක්‍රමණය කරලා. මම හිතුවා විරෝධතාකරුවන් පිරිසක් බැරියර් කඩාගෙන ඇවිත් කියල' සභානායක
ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ උස් හ¾ඩින් සිනාසෙමිනි.

'රාජ්‍ය සේවය යනු කුමක්ද රාජ්‍ය සේවකයාගේ වගකීම හා කාර්යභාරය කුමක්ද කියල අපි රට පුරා රාජ්‍ය සේවකයන් දැනුවත් කරන වැඩපිළිවෙළක් හැදුවා. අද කොළඹ දිස්ත්‍රික් ග්‍රාම නිලධාරීන් 5000ක් අගමැතිතුමා අමතන්නේ ඒ අනුවය' ඒ පැහැදිලි කිරීම කළේ වජිර අබේවර්ධනය.
'ලලිත් හා අනුෂගේ තීන්දුව ගැන ඔබතුමාගෙ මතය මොකක්ද' දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.
'ඒක උසාවි තීන්දුවක්. අපි බලපෑම් කළේ නෑ. ඒ අයට අභියාචනාධිකරණය හා ශේ‍ර්ෂ්ඨාධිකරණයේදී ඇපිල් කරන්න අවස්ථා 02ක් තියෙනවා. සාධාරණ කරුණු පෙන්නුවොත් ඇප ලබාගන්නත් පුළුවන් වේවි. ජනාධිපති කොමිසම හරහායි මේ කේස් එක ආවේ' අගමැති කීවේය.
බන්ධනාගාරය කියන්නේ උසාවියක් නෙවෙයිනේ. මයික් අල්ලන මාධ්‍යකරුවො විනිශ්චයකරුවන් නෙවෙයිනේ. ඒ නිසා නියම තැනදි සිල් රෙදි සිද්ධියේ වගකීම් භාර නොගෙන දැන් මයික් ඉදිරියේ වරද පිළිගෙන වැඩක් නෑ' ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.
'බන්ධනාගාරයේදී මාධ්‍යකරුවො ඉදිරියේ මහින්ද අවුල් වුණා. තමා කළ වරද හිතේ තියෙන නිසා එහෙම වෙන්නැති' වජිර අබේවර්ධන කීය.
'මහින්ද සිල් රෙදි බෙදීමේ වරද ප්‍රසිද්ධියේ පිළිගත්ත නිසා දැන් එයාට විරුද්ධව කවුරු හරි උසාවි ගියොත් ජනාධිපති මුක්තියත් නැති නිසා එයා හිර වෙනවා කියල රාජිත මාර පොයින්ට් එකක් ගෙනාවා' පී. හැරිසන් කීය.
'සයිටම් ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න ඕනෑ. ‍ෙදාස්තර සංගමය මස් රාත්තලම ඉල්ලලා ආණ්ඩුවටත් උඩින් යන්න හදනවා.' දයා ගමගේ කීය.
මෙහිදී කිරිඇල්ල දුන්නේ දිග උත්තරයක්ය.

'සයිටම්වලට ඉඩම් දීල දශ ලක්ෂ 600ක් දීල ඒකෙන් ශිෂ්‍යත්වත් අරගෙන මහින්ද මේක පටන් ගත්ත කාලෙ ‍ෙදාස්තරල කට ඇරියෙ නෑ. මහින්ද මේ පාර දිනුව නම් මේ වෙනකොට සයිටම් 10ක් හදල. ඒ අය බලයට ආවොත් සයිටම් අහෝසි කරනවදැයි නාමල්ගෙන් මාධ්‍ය ඇහුවම කාටත් සාධාරණ විසඳුමක් ගේනවා කියල මිසක් අහෝසි කරනව කිව්වේ නෑ. ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.

'ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන් නව ආර්ථික කමිටුව රැස්වුණා නේද' දයා ගමගේ ඇසුවේය.
'ග්‍රාමීය ආර්ථිකය ගැනත් දැඩි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා ඉල්ලුවා. මේ කමිටුව වගේම සී. සී. එම්. කමිටුවත් දිගටම යනවා. ඉතා කෙටි කලකින් මේ රට ගොඩදාන්න අපට පුළුවන්.' අගමැති කීය.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායකගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය සෙනසුරාදාටය. එදින උදෑසනම අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේය.

'සුබ උපන් දිනයක් වේවා නවීන්' දුරකතනයේ එහා කෙළවරේ සිටි රනිල් සුබපැතීය.
'ඔබතුමා ක්‍රමයෙන් මාව පක්ෂයේ දෙවැනි පෙළ නායකත්වයට ගෙන ඒම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා' නවීන් රනිල්ට සිය කෘතඥතාව පුද කළේය.
උපන්දිනය දවසේ නවීන් මහවැලි මහා සෑය අසලට ගියේ ඔහුගේ උපන් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වීමටය. මහවැලි මහා සෑයේ භාරකාරත්වය සම්බන්ධයෙන් මත ගැටුමක සිටි විහාරාධිපති ස්වාමින් වහන්සේද එහි පැමිණ සිටියහ.
'අපි අතර මතිමතාන්තර තිබුණත් මහත්තයා එක්ක එකතුවෙලා මේ සෑය දියුණු කිරීමට කටයුතු කරනවා. එම ස්වාමින්වහන්සේ පැවසූහ.
'මම දැන් තරුණ නැහැ. මම දැන් මධ්‍යම වයසේ. ගාමිණී දිසානායක මහතා අවුරුදු 48දී ප්‍රේමදාස මහත්තයා එක්ක හැප්පිලා එළියට ආවා. කටුක විදියට ඒ අවුරුදු හතර අපි ගත කළේ. ආයිමත් 94දී රුපියල් පහක් ගෙවලා පක්ෂ සාමාජිකත්වය අරගෙන ආයිමත් පක්ෂයට ආවා.' නවීන් සිය පියාගේ දේශපාලන ගමනේ ගමන්මඟ පිළිබඳවත් සිහිපත් කරන්න විය.

මෛත්‍රි ඉකුත් ජනාධිපතිවරණයට ආවේ නැවත ඡන්දෙකට නොඑන බව කියමින්ය. ඔහු ජයග්‍රහණය කළ පසුත් ඒ බව කී අතර නිතර නිතර ඔහු කටයුතු කළේ ස්වකීය බලතල අඩු කරගන්නටය. කෙසේ වෙතත් ඩිලාන් පෙරේරා පසුගියදා අලුත් කතාවක් කරළියට ගෙනාවේය.
"අපි 2020දී ජනාධිපති සටනට මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරනවා. එහා පැත්තෙන් එන්නේ රනිල් වික්‍රමසිංහ. අපිට ඕන රනිල්ව පරද්දවන්න. ඒ වගේම අපේ ආණ්ඩුවක් හදා ගන්න. හැබැයි මේක කරන්න මෛත්‍රි වගේම මහින්දත් ඕන. දෙන්නම එකතු වෙලා අපි රනිල්ව පරද්දවනවා. බෙදුණොත් වෙන්නේ අපි පරදින එක"
මේ කතාව ඩිලාන්ගෙන් පිටවන අතර ඔහු පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකද නිසා කතාවට යම් බරක් තිබේ.

පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සම්බන්ධව මහින්ද දේශප්‍රිය පසුගියදා කිසියම් ප්‍රහාරාත්මක ප්‍රකාශයක් කළේය.
පළාත් පාලන ඡන්ද එකම දිනයක තියන එක හොඳයි. හැබැයි ලෝකේ කොහේවත් ජාතික මැතිවරණ වගේ ලෝකල් මැතිවරණ එකම දිනයක තියන්නෙ නෑ. මතකනේ දකුණු පළාත් සභාවේ වෙච්ච සිදුවීම. අතරමඟ පළාත් සභාව කඩා වැටුණොත් මොකද කරන්නේ. මේක බිත්තරේ කඩන්නේ නැතිව ඔම්ලට් හදන්න යනවා වගේ වැඩක්.
මහින්ද දේශප්‍රිය කියයි. මේ මාසය තුළ 20 සම්මත නොවුණොත් තමන් මැතිවරණ කොමිසමේ බලතල පාවිච්චි කරන බව ඔහු කියයි. ඒ අනුව ඔහුට පළාත් සභා තුනට අදාළ ඡන්ද විමසීම සඳහා වන නිවේදනයක් නිකුත් කළ හැකිය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයකට රෙදි මදිමින් සිටී. ඒ පුංචි ඡන්දයටය. එය මේ වසරේ පැවැත්විය නොහැකි බව එම කොමිසම නිල වශයෙන් දන්වා සිටි අතර ජනවාරි 20 හෝ 27දා එය පැවැත්වීමට හැකිවනු ඇති බවයි විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ එය ජනවාරි 27දා පැවැත්වෙනු ඇති බවයි.

සඳුදා මහින්ද ලලිත් වීරතුංගගේ සුවදුක් බැලීමට ගියේය. දිගු කාලයක් තිස්සේ තමන්ගේ හිතෛෂී මිතුරකු මෙන්ම විශ්වාසවන්ත නිලධාරියකු ද වූ ලලිත් බැලීමට මහින්ද ගියේ මහත් ශෝකයෙනි.

"ඔයාලව හිරේ දාලා තියෙන්නෙ අපිව දාන්න බැරිකමට "මහින්ද ලලිත්ට කීවේය. "සර් ගණන් ගන්න එපා. අපි රටට වැඩ කළා. වැඩ කරද්දී අපි හිතුවේ නැහැ මේ වගේ දේවල් වෙයි කියලා" ලලිත් පිළිතුරු දුන්නේය. මහින්ද ලලිත්ට සමු දී පිටතට ආවේද මහත් ශෝකයෙනි.

යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වූ අරුන්දික ප්‍රනාන්දු පසුගිය කාලයේ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ චරිතයක් විය. ජාතික ආණ්ඩුව විවේචනය කරමින් සිටි අරුන්දික ආණ්ඩුව අතහැර එළියට බසින්නට සූදානම්ව සිටි නිදහස් පක්ෂ ඇමැතිවරුන් අතරින් කෙනකුද විය.
සනත් නිශාන්ත සංවිධානය කොට තිබූ සාකච්ඡාවකට ගිය අරුන්දික එන අතරේ සනත්ට දුරකතන ඇමැතුමක් දුන්නේය.
"මං එනවට කට්ටිය මොකද කියන්නේ?" අරුන්දික සනත්ගෙන් ඇසුවේය.

"ඒ ගැන හිතන්න එපා. සැලසුම් කරපු විදියටම වැඩේ කරන්න.
ප්‍රසිද්ධියේම එන්න. නැත්නම් වැඩක් නැහැ" සනත් පිළිතුරු දුන්නේය. අරුන්දික එදින රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනි නාළිකාවක පැවැති සංවාදයකට එක් විය. එහිදී නිවේදකයා වරක් ඇසුවේ මේ රටේ ජනප්‍රියම නායකයා කවුද කියාය. අරුන්දික ගත් කටටම කීවේ ජනප්‍රියතම නායකයා මහින්ද බවය. කරුණු කාරණා සියල්ල යෙදී තිබුණේ අරුන්දිකගේ තනතුර ගැලවෙන තැනටය.
පසුදින උදෑසනම අරුන්දිකට දැනුම් දී තිබුණේ නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කර ඇති බවය. ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව අරුන්දිකගේ ඇමැති ධුරය ඉවත් කොට තිබිණි.

කෙසේ වෙතත් මෛත්‍රි මෙවැනි තීන්දුවක් ගනීවි යැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළේ නැත. 20 වැනි සංශෝධනයට පෙර පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වන බවට රාවයක් තිබියදී පවා මෛත්‍රි අරුන්දිකව ඉවත් කිරීම ඇතැමුන්ගේ විමතියට හේතු වී ඇති බව පෙනිණි. ඒ සමඟම ආණ්ඩුව විවේචනය කරමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් අනපේක්ෂිත "නිහඬ" බවකට හරවා තිබේ.
තනතුර අහිමි වූ අරුන්දික එදින සවස මහින්ද මුණ ගැසුණේය.
"සාදරයෙන් පිළිගන්නවා" මහින්ද කීවේය.

"අනෙක් අයටත් එන්න කියන්න. දැන් ඉතින් වැඩේ හරිනේ" එතැන සිටි බන්දුල පැවැසීය.
අනතුරුව මහින්ද සහ අරුන්දික අතර සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහෙම ඉවත් වූ අරුන්දික නැවත ප්‍රවෘත්තියක් මැව්වේ ඉකුත් බදාදාය. ඒ ආපසු මෛත්‍රි හමුවීමට පැජට් පාරේ නිල නිවෙස වෙත යෑමෙන්ය. අරුන්දික යන විටත් මෛත්‍රි සූදානමින් සිටියේ ඔරුගොඩවත්තේ පැවැත්වෙන උත්සවයකට සහභාගි වීමට යෑමටය. අරුන්දික දුටු මෛත්‍රි "ආ එන්න ගමනක් යමු" කියා අරුන්දිකවත් කාරයේ දමාගෙන ඔරුගොඩවත්ත බලා ගියේය. එම උත්සවයේදී චන්දිම වීරක්කොඩි අරුන්දිකව පිළිගත්තේ ඊයේ නියෝජ්‍ය ඇමැති අද මන්ත්‍රි හෙට ආයෙමත් නියෝජ්‍ය ඇමැති ලෙසය.
අරුන්දික මෛත්‍රි හමුවූ කතාවට තටු ලැබුණු අතර නියෝජ්‍ය ඇමැතිකම යළිත් ලබාගැනීම සඳහා අරුන්දික මෛත්‍රිගෙන් සමාව ගත් බවට නිදහස් පක්ෂයේ ඇමැතිවරු මාධ්‍ය හමුවලදී කියා සිටියහ. එහෙත් ඔරුගොඩවත්ත උත්සවය නිමා වී මෛත්‍රි සමඟම මෝටර් රථයෙන් පැජට් පාරේ නිල නිවෙස වෙත පැමිණි අරුන්දික මෝටර් රථයෙන් බැස්ස වහාම යළිත් ගියේ මහින්ද හමුවීමටය.

"ඇයි ආයේ ගියේ?" හැමෝම අරුන්දිකගෙන් ඇසූහ. අරුන්දික ගිය කාරණය හෙළිවුණේ එතැනදීය.
මම නියෝජ්‍ය ඇමැතිවරයෙක්ව ඉන්න කොට ලබාදී තිබුණු ආරක්ෂකයන් සංඛ්‍යාව මන්ත්‍රිවරයකු වීම නිසා දෙදෙනකු දක්වා අඩු කළා. ඒ දෙන්නත් මාරු කරලා අලුතෙන් අය එවන්න ලෑස්තියි කියලා ආරංචි වුණා. අනික මගේ නිල රථ ගැන කතා කරන්න තිබුණා. ඒක සාකච්ඡා කරන්නයි ගියේ. එහෙම ගිය එක තමයි මේ විදියට හැමෝම අරගෙන තියෙන්නේ. අනතුරුව මෛත්‍රිගේ නිවෙසට ගිය තැන පටන් සිදුවූ සියලු දේ අරුන්දික මහින්ද ඇතුළු පිරිසට විස්තර කළේය.

පසුගිය ආණ්ඩුව සමයේ මාධ්‍ය ප්‍රධානීන් ලෙස කටයුතු කළ කණ්ඩායමක්
මහින්ද හමුවූයේ විජේරාම පෙදෙසෙහි නිල නිවසේදීය. ඒ පසුගිය බ්‍රහස්පතින්දාය. සාකච්ඡාව යන අතරතුර මහින්ද කෙහෙළියටද එන්න කියා පණිවුඩයක් යැවීය. කෙහෙළිය ගැනත් විවිධ ආරංචි යමින් තිබිණි. ඇමැතිකමට පැත්ත මාරු කරන්න යන බව ඒ ආරංචි අතර ප්‍රමුඛ විය. කෙහෙළිය ආවේ ඩෙනිමකින් සහ ටී ෂර්ටයකින් සැරසීය.
"ආ අද කොල්ල වගේ" කෙහෙළිය දුටු මහින්ද කීවේය.

"සර් එක්ක ඉන්න කොට අපි කොහොමත් කොල්ලො වෙනවා" කෙහෙළිය උත්තර දුන්නේය. සාකච්ඡාව යන අතරතුර කෙහෙළිය රවී වෛද්‍යාලංකාර ගැන අපූරු තොරතුරක් හෙළි කළේය. "සර් දන්නවද වැඩක්. රවී වෛද්‍යාලංකාර යුක්රේන් ගිහින්. එයා ගිහින් තියෙන්නේ යුක්රේනයේ සර් හංගලා තියෙනවා කියන ඩොලර් බිලියන 18 හොයන්නලු" හැබැයි මිනිහා හිස් අතින් ආපසු ආවා කියලයි ආරංචිය" කෙහෙළිය කීවේය. මටත් ඕක ආරංචි වුණා. ඔය තියෙනවයි කියන ඒවා හොයාගෙන හරි රටේ ජාතික සම්පත් විකුණන එක නතර කරන්න ආණ්ඩුවට පුළුවන් නම් ලොකු දෙයක්" මහින්ද පැවැසීය.

ඉකුත් සෙනසුරාදා උදෑසන කාලගුණය යහපත් වුණේ නැත. එහෙත් නිවාස ඇමැති සජිත් ප්‍රේමදාසගේ 40 වැනි උදා ගම්මානය දිඹුලාගල, මීවත්පුර "සඳරැස්ගම" ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිත විය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියට පෙර උදෑසනින්ම ගම්මානය වෙත ගිය සජිත් එහි නිවාස 34ටම ගොස් පවතින තත්ත්වය සොයා බැලුවේය. එහිදී හමුවූ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරිය ඇමැතිවරයාට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ ගම්මානය භාර තාක්ෂණ නිලධාරියා ඉතා හොඳින් සිය වැඩකටයුතු කළත්, ගම්මානයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් ආදියට වාර කීපයක් නොපැමිණි බවය. සජිත් එම නිලධාරියා කැඳවාගෙන කීවේ "ඔයා හොඳින් වැඩ කරන කෙනෙක් බව මං දන්නවා. ඒත් ඉහළ නිලධාරීන් කැඳවන රැස්වීම්වලට යන්න තරම් විනීත කමක් තියෙන්නට ඕනෑ. මම ඔයාගේ ඉදිරි වැඩකටයුතු දිහා බලාගෙන ඉන්නේ" කියාය. අනතුරුව ඒ වනවිට ජනාධිපතිවරයා පැමිණ සිටි ස්ථානයට ගොස් එහි සිට ජනාධිපතිවරයාගේ මෝටර් රථයෙන්ම උත්සව භූමියට පැමිණෙමින් සිටි සජිත් දුටුවේ ජනාධිපතිවරයා මඟ දෙපස බලමින් යමක් කීමට සැරසෙන අයුරුයි.

'සජිත් මම පහුගිය ආණ්ඩුවේ සිටියේ බොහොම පීඩනයකින්. මට මෙහේ සංවර්ධනය කරන්න එක සත පහක් දුන්නේ නෑ. දැන් තමයි මම 'පිබිදෙන පොළොන්නරුව' වැඩසටහනින් මේ පැත්ත සංවර්ධනය කරන්න පටන් අරන් තියෙන්නේ' යි ජනාධිපතිවරයා කීවේය. ඔහු ඊළඟට ඇසුවේ 'සජිත් මම දකිනවා ඔයාගේ උදා ගම්මාන වැඩපිළිවෙළ හොඳින් යනවා. මේ 40 වැනි ගම නේද? තව කීයක් හැදෙනවාද? කියා.

'දැනට රට පුරා ගම්මාන 454ක් ඉදිකරගෙන යනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඒ ගණන 500ක් වෙනවා. 2018, 19, 20 අවුරුදු තුනේ තවත් ගම්මාන 2000ක් හදනවා. ඒ අනුව සර් අපි ඊළඟ මැතිවරණයට යන්නේ අලුත් උදාගම්මාන 2,500 වැඩ අරඹලයි" සජිත් කියද්දී ජනාධිපතිවරයා පිබිදුණු මුහුණින් යුතුව කීවේ "ඒක නම් නියම ඉලක්කයක්නේ" කියායි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වන ලාල් සිරිසේන විසින් පැදවූ රථයේ ගැටී ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඒ.ජේ.එම්. ජයරත්න සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පත්වූ අතර මියගිය ඒ.ජේ.එම්. ජයරත්න ජවිපෙ දිරිය පුරවැසි සමිතියක සභාපති ධුරය දැරූ අයෙකි. බුද්ධදාස වකුගඩු රෝගියකුද වූ අතර ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් එන අතරදී අනතුරට ලක්වී තිබිණි. වාහනයත් එය පැදවූ ලාල් සිරිසේනත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය
කටයුතු කළේය. මෙම සිදුවීමෙන් පසු දින, එනම් පසුගිය ඉරිදා දිනයේ ජනාධිපතිවරයා මිය ගිය දෙදෙනාට අවසන් ගෞරව දැක්වීමට පොළොන්නරුවට ගියේය. ජනාධිපතිවරයාගේ පැමිණීම රහසක් වූ අතර කිසිදු මාධ්‍යවේදියකුට එය දැනගැනීමට හැකි වී තිබුණේ නැත. ජනාධිපතිවරයා සමඟ මහින්ද අමරවීර ඇමැතිවරයා පැමිණ සිටි අතර ආරක්ෂකයන් කීපදෙනකුට සීමා විණි. "ඔබතුමාගේ මල්ලි මගේ මනුස්සයා මරාගත්තා"යි පවසමින් මියගිය ජයරත්නගේ බිරිය හඬා වැටුණාය. ජනාධිපතිවරයා ඇය අස්වසාලීමට කටයුතු කළේය.

'අපි ඔබතුමාගෙන් මේ පවුලට දරුවන් දෙදෙනාට යුක්තිය බලාපොරොත්තු වෙනවා. ජවිපෙ පොළොන්නරුව සංවිධායක ටී.බී. සරත් ජනාධිපතිවරයාට කීය. "අනිවාර්යයෙන්ම පවුල වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා. මම ඒ ගැන ඩඩ්ලිට කියන්නම්
මැදිහත් වෙන්න කියලා. දරුවන් ගැන යුතුකමත් ඉටුකරනවා" ජනාධිපතිවරයා පොරොන්දු විය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon