උෟරගේ මාළු උෟරගේම පිටේ තියා කැපීම

  👤  4643 readers have read this article !
2017-09-19

උගත් මිනිසුන් රටේ දේශපාලනය ගැන අවධානයෙන් සිටින යුගයක් ලෝකයේ බොහෝ රටවල තිබිණි. නමුත් කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ ජීවිත සංකීර්ණ වෙද්දී තරගකාරී සමාජයක් තුළ තම තමුන් පෞද්ගලික ජීවන අරගලයේ යෙදෙනවා විනා ඉන් පරිබාහිර දේවල් ගැන අවධානයක් යොමු කිරීමට බොහෝ දෙනකුට කාලයක් නොමැති තත්ත්වයක් උදාවී ඇත.

ඒ අනුව දේශපාලනයේ යෙදී සිටින්නන් හැරුණු විට දේශපාලනය ගැන උනන්දුවක් දක්වන්නේ අද සමාජයේ ඉතා සුළු පිරිසක් පමණි. මෙය ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටලවලට පොදු සත්‍යතාවකි.

කුමන පක්ෂයක් බලයට ආවත් ජාතික ප්‍රතිපත්තිවල විශාල වෙනස්වීමක් නොවන රටක නම් මේ ප්‍රවණතාවයේ වරදකුත් නැත.
එහෙත් දේශපාලන අවුල් වියවුල් බහුල, රටේ අභ්‍යන්තර කටයුතුවලට නිතර පිටස්තරයන් විසින් ඇඟිලි ගසනු ලබන රටක උගතුන් රටේ දේශපාලන ප්‍රවණතා ගැන ඇස් කන් වසාගෙන සිටිනවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ.
අද ලංකාවේ තිබෙන්නේ මා දෙවැනුව කී ආකාරයේ වාතාවරණයකි.

එක් පැත්තකින් දේශපාලන පක්ෂ දෙකක් එක්ව දෙමුහුන් ආණ්ඩුවක් පිහිටුවාගෙන එකිනෙකට නොගැළපෙන මතවාද රැසක් මැද්දේ රටක් පාලනය කරන්න අසීරු උත්සාහයක නියැළී සිටිති. වසර කිහිපයකට පෙර වේගයෙන් සංවර්ධනය වෙමින් පැවැති රට පැහැදිලිවම ආර්ථික අර්බුදයකට මුහුණපා සිටියි. මහා පරිමාණ දූෂණ වංචා ගැන නව රජයටද චෝදනා එල්ලවෙමින් තිබෙන අතර රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය ගැටලු සහගතය.

පොලිස්පති නීතිය නවන හැටි උගන්වන රටේ නීතියේ සාධාරණත්වය අද ප්‍රසිද්ධියේම අභියෝගයට ලක්වෙමින් පවතී. වසර දහස් ගණනක් ඒකීය රටක් ලෙස පැවැති ලංකාව ෆෙඩරල් කරන ලෙස ඉතා ප්‍රබල බලපෑමක් ඇත. 30 වසරක යුද්ධයකින් රට බේරාගත් රණවිරුවන්ට ජාත්‍යන්තර අධිකරණවල යුද අපරාධ චෝදනා එල්ල වෙමින් පවතී.
දෙදහස් පන්සිය වසරක් පුරා රටේ මුදුන් මල්කඩ ලෙස සැලකුණු බුදු දහමට හා එහි ආරක්ෂකයන් වූ භික්ෂු ප්‍රජාවට රටේ පාලකයන්ගෙන්ම ප්‍රසිද්ධියේ අවමන් එල්ල වෙමින් පවතී. සම්පූර්ණයෙන්ම රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වියයුතු ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ලොකුම අමාරුව තිබෙන්නේ අපට නොව ජගත් මානව හිමිකම් කොමසාරිස්ටය.
මෙවැනි තත්ත්වයක් යටතේ තවදුරටත් ඇස් කන් වසාගෙන නොසිට රටේ සමාජ, ආර්ථික දේශපාලන වාතාවරණය පිළිබඳව කරුණු කාරණා වටහාගන්නට යම් උත්සාහයක් හෝ දැරීමේ වගකීමක් අද සමාජයේ උගතුන් යැයි හැඳින්විය හැකි අයට ඇත. ඒ අනුව මේ ලිපියෙන් උත්සාහ කෙරෙන්නේ සංකීර්ණ යැයි සිතා බොහෝ දෙනකු තේරුම් ගන්නට උත්සාහ නොකරන දෙයක් වන ලංකාවට අද ඇති ජාත්‍යන්තර බලපෑම හැකිතාක් සරලව පහදා දෙන්නටය.

2009 මැයි මාසයේ ලංකාවේ හමුදාවන් ප්‍රභාකරන් පරාජය කොට ලංකාවේ සමස්ත භූමියම ත්‍රස්තවාදයෙන් මුදා ගන්නට සමත් වීම ශ්‍රී ලාංකිකයන්ගේ අමන්දානන්දයට හේතු වුවද එය නිසා පෞද්ගලිකවම අසතුටට පත්වූ බොහෝ දෙනකු රට තුළත් රටින් පිටතත් සිටියහ. ඉන් සමහරුන්ට තිබුණේ රාජ්‍යතාන්ත්‍රික හේතුය. නමුත් අපට බැලූ බැල්මට නොපෙනෙන පෞද්ගලික හේතු රැසක් ද තිබිණි.

උදාහරණයක්ද වශයෙන් වසර ගණනාවක් තිස්සේ උතුරේ ප්‍රශ්නයට ඍජුවම මැදිහත් වූ එක් නෝර්වීජියානු ජාතික දේශපාලනඥයකු වන එරික් සෝල්හයිම්ගේ සිහිනය වී තිබුණේ දෙමළ ජනතාවට ස්වෛරී රටක් ලබාදුන් කෙනා ලෙස නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමටය. ලංකාවේ ප්‍රශ්නය වවාගෙන කමින් උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි සමහරක් ප්‍රබල විදේශ රාජ්‍ය නිලධාරීන්ගේ බලාපොරොත්තු කඩවිය. ලෝකය පුරා දෙමළ ජනතාවගෙන් එල්.ටී.ටී.ඊ.යට උදවු කිරීම සඳහා මුදල් එකතුකරමින් විශාල පොහොසතුන් බවට පත්වී සිටි දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ගේ ආදායම් මාර්ග අවහිර විය.
ඇත්තෙන්ම සිදුවූයේ ඔවුන් ඒ නිසා ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ රජය සමඟ වෛරයක් ඇති කර ගැනීමය.

සාමාන්‍ය ජනතාව මහා රාජ්‍යතාන්ත්‍රික කටයුතු ලෙස දකින දේවල් බොහෝමයක් පිටුපස ඇත්තෙන්ම තිබෙන්නේ පුද්ගල මතවාද යැයි කීවොත් කියවන්නන් බොහෝ දෙනකු පුදුම වනු ඇත. නමුත් සත්‍යය එයයි. ඕනෑම රටක රජයට ඍජු බලපෑම් කළ හැකි පුද්ගලයන් පිරිසක් සිටින අතර එම පුද්ගලයන් සිතන හැසිරෙන ආකාරය අවසානයේ රාජ්‍ය තාන්ත්‍රික තීරණවලට බලපායි.

උදාහරණයක් වශයෙන් ඉන්දියාව හා ලංකාව අතර මහින්ද රාජපක්ෂ යුගයේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව සලකා බලමු. යුද්ධය අවසන් වන කාලයේ ඉන්දියාවේ බලයේ සිටියේ ආචාර්ය මන්මෝහන් සිං අගමැති ධුරය දැරූ කොංග්‍රස් රජයයි. ඒ කාලයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවක් තිබිණි.
එවකට ඉන්දීය රජයේ විදේශ ලේකම්ව සිටි ශිවශංකර් මෙනන් විසින් පසු කලක ලියන ලද "ඇතුළාන්තය" නමැති පොතේ මෙම සම්බන්ධතාව පවත්වාගෙන යෑමට මුල් වූ පුද්ගලයන් ගැන විස්තරයක් ඇත. ඔහු කියනා ආකාරයට, ඉන්දියාව පැත්තෙන් ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායන්, ආරක්ෂක ලේකම් විජය සිං හා විදේශ ලේකම් ශිවශංකර් මෙනන් යන තිදෙනාත් ශ්‍රී ලංකා රජය පැත්තෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන තිදෙනා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල තිරයෙන් පිටුපස වගකීම් භාරව සිටියහ.

2014දී ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය පරදා නව රජය බලයට පත්වී නරේන්ද්‍ර මෝඩි අගමැති වූ පසු දෙරට අතර අනේ‍යාන්‍ය විශ්වාසය ඉතා ශීඝ්‍රයෙන් කඩා වැටිණි.
එයට මූලික හේතුවක් වූයේ ලංකාව පිළිබ¼ද රාජ්‍යතාන්ත්‍රික තීරණවලදී අගමැති මෝඩි ඇහුම්කන් දුන්නේ අජිත් ඩුවාල් නමැති නව ඉන්දීය ආරක්ෂක උපදේශකයාට වීමයි. අජිත් ඩුවාල් රාජපක්ෂලා දෙස බැලුවේ සැකයෙනි. දැඩි චීන විරෝධියකු වූ ඔහු මහින්ද රාජපක්ෂ චීනය සමඟ ආර්ථික සබඳතා ගොඩනඟා ගැනීම නොරිස්සුවේය. එහි ප්‍රතිඵලය වූයේ අජිත් ඩුවාල්ගේ බලපෑම මත ඉන්දියාවේ නව රජය ලංකාවට එරෙහි වූ විදේශ බලවේගවල පැත්ත ගැනීමය. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වූයේ ඉතා බලගතු පිරිසක් විසින් මෙහෙයවන ලද විදේශ ප්‍රතිත්තීන් හරහා රටවල් කිහිපයක්ම මහින්ද රාජපක්ෂ එළවීමේ ක්‍රියාවලියට අතගැසීමයි. එහි අවසාන ප්‍රතිඵලය 2015දී සාර්ථක විය. මහින්ද රාජපක්ෂ එළවීමේ කුමන්ත්‍රණයට රාජ්‍යතාන්ත්‍රික සහාය ලැබුණු බවට හොඳම උදාහරණය මැතිවරණයෙන් පසු එවකට සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වන ජෝන් කෙරි "මෙම ජයග්‍රහණය පිටුපස අපත් සිටිනවා" යනුවෙන් උදව් අනමින් කළ ප්‍රකාශයයි. මීට අමතරව විවිධ රටවල ආණ්ඩු පෙරළන්නට ඇමෙරිකාව විසින් වෙන්කළ මුදල් පිළිබඳ රහස් වාර්තාවක් මීට වසරකට පමණ පෙර යමෙක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබිණි. එම රහස් වාර්තාවට අනුව රාජ්‍ය පෙරළීන් සඳහා ඇමෙරිකාව විසින් මුදල් වෙන් කරනු ලැබූ රටවල් අතර ලංකාවද තිබිණි.

දැන් අපි නැවත මහින්ද රාජපක්ෂට එරෙහිව විවිධ බලමුළු ගොඩනැඟෙන්නට පටන් ගත් තැනට යමු. ලොව පුරා විවිධ රටවලට බලපෑම් කළ හැකි පුද්ගලයෝ මේ අතර සිටියහ. උදාහරණයක් වශයෙන් දෙමළ ඩයස්පෝරාවට ඔවුන්ගේ මුදල් බලය හා පිරිස් බලය භාවිත කරමින් යුරෝපය බොහෝ රටවල මෙන්ම කැනඩාවේ සමහර දේශපාලනඥයන් අල්ලේ නැටවිය හැකිය. පසුගිය කාලයේ කොටි සංවිධානය යුද්ධයෙන් පරාජය වීම වැළැක්වීම වෙනුවෙන් විශාල උත්සාහයක් දැරූ හිටපු බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෙන්ම එවකට විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් නියෝජනය කළ පාර්ලිමේන්තු ආසන තුළ විශාල දෙමළ ඡන්ද සංඛ්‍යාවක් තිබුණු අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔවුන් ලංකාවට කළ බලපෑම්වල පිටුපස තමන්ගේ ආසනය රැක ගැනීමේ පෞද්ගලික අවශ්‍යතාවද සැඟවී තිබිණි.
යුද්ධයෙන් ප්‍රභාකරන් පරාජය වීම වැළැක්විය නොහැකි බව තේරුම් ගත් කළ මේ කණ්ඩායම කළේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහායකයන්ගෙන් පළි ගන්නා ආකාරය සැලසුම් කිරීමයි. මේ සැලසුම් සකස් වන්නට පටන් ගත්තේ යුද්ධය අවසන් වන්නටත් කළින්ය.

ඔවුන්ගේ පළමු ප්‍රයත්නය වන්නේ 2010 පැවැති මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමයි. ඒ සඳහා සුුදුසුතම පුද්ගලයා ලෙස තෝරාගැනෙන්නේ ඒ වන විට යුද ජයග්‍රහණය නිසා රටේ විශාල කීර්තියක් දිනාගෙන සිටි හිටපු යුද හමුදාපතිවරයායි. සරත් ෆොන්සේකා මහතා තමුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව රටට කියන්නේ ඇමෙරිකාවේ කළ සංචාරයකින් පසුවීම අහඹු ක්‍රියාවක් විය නොහැකිය.

එපමණක් නොව සරත් ෆොන්සේකා තමන් මැතිවරණ සමයේ කළ ආන්දෝලාත්මක 'සුදු කොඩි' චෝදනාව හරහා එතෙක් ලංකාවේ හමුදාව යුද අපරාධ කළා යැයි කියන්නට ක්‍රමයක් සොයමින් සිටි මහින්ද විරෝධී විදේශ බලවේගවලට කදිම අවස්ථාවක් උදා කරදුන්නේය. කොටින්ම කියනවා නම් එදා පටන් අද වන තුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අබියස ලංකාවට එරෙහිව නැඟෙන යුද අපරාධ චෝදනාවට වස්තු බීජය ලබා දුන්නේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාය.
කෙසේ වෙතත් මහින්ද විරෝධී බලවේගවල බලාපොරොත්තු සුන් කරමින් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයෙන් පරාජය විය.
ජගත් මානව හිමිකම් කොමිසම හමුවේ ලංකාවට එරෙහිව යෝජනා පිට යෝජනා එන්නට පටන් ගන්නේ ඉන් පසුවයි.

ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් ලංකාවට එරෙහිව පළමු යෝජනාව ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරනු ලබන්නේ 2011 වසරේදීය. නමුත් මෙම යෝජනාව ජගත් මානව හිමිකම් කොමිසම හමුවේ පරාජය කරමින් ඒ වෙනුවට යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ලංකාවට සුබ පතමින් නව යෝජනාවක් සම්මත කරවා ගැනීමට එදා ජිනීවාවල ශ්‍රී ලංකා තානාපති වූ ආචාර්ය දයාන් ජයතිලක ඇතුළු නිලධාරීහු සමත් වූහ.
නමුත් අවාසනාවකට මෙන් යුද්ධයෙන් පසු අපේ විදේශ අමාත්‍යාංශයට බහිරවයෙක් කඩා වැටුණු අතර රට වෙනුවෙන් කැපවීමෙන් හා නුවණින් කටයුතු කළ නිලධාරීන් එකින් එක ඉවත් කරන්නට කටයුතු ආරම්භ විය. ඒ වෙනුවට රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව අත්දැකීම් අඩු හෝ නැත්තටම නැති පිරිසක් විසින් ජිනීවා අභියෝගය භාරගන්නා ලදී.

2012 සිට ලංකාවට එරෙහිව වසරක් පාසා ඉදිරිපත් වූ සෑම යෝජනාවක්ම අනුමත වන්නේ ඉන් පසුවය. අපට දිගින් දිගටම උදා වූයේ පරාජයයි.
නමුත් 2015දී ලංකාවට යළිත් අවස්ථාවක් ලැබිණි. ඒ ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරදා රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමයි.

ට්‍රම්ප් බලයට විත් මාස කිහිපයක් යන තුරුම ඇමෙරිකාවේ විදේශ කටයුතු භාරව සිටියේ ජනාධිපති ඔබාමා විසින් පත්කළ නිලධාරීන්ය. නමුත් මොවුන්ගේ ආයුෂ සීමිත බවත් නුදුරේදීම අලුත් නිලධාරීන් පිරිසක් වැඩ භාරගන්නා බවත්, ඔවුන් අනුගමනය කරන්නේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති මිස ඔබාමාගේ හෝ හිලරිගේ ප්‍රතිපත්ති නොවන බවත් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අබමල් රේණුවක හෝ අවබෝධයක් ඇති අයෙක් නම් දැන සිටිය යුතුය.

ඒ වන විටත් ජගත් මානව හිමිකම් කොමිසම හමුවේ ලංකාවට එරෙහිව ඊළඟට ඉදිරිපත් වන යෝජනාව හිටපු නිලධාරීන් විසින් සකස් කොට තිබිණි. සුපුරුදු පරිදි එය ශ්‍රී ලංකාවට අවාසිදායක යෝජනාවක් විය. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් අවස්ථාව උදාකරගෙන ලංකාව කළ යුතුව තිබුණේ කෙළින්ම මේ යෝජනාවට විරුද්ධත්වය පෑමයි. එසේ කළානම් අලුත පත්වන ට්‍රම්ප්ගේ නිලධාරීන්ගේ සහාය අපට ලබාගෙන අනාගතයේදී ලංකාවට එරෙහිව ආරම්භ වී තිබුණ මේ ක්‍රියාවලිය අවසන් කරවා ගන්නට අපට අවස්ථාව තිබිණි.

නමුත් ලංකාවේ නව විදේශ ඇමැතිවරයා කළේ අදහාගත නොහැකි දෙයකි. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ලංකාවට එරෙහිව සකස් වී තිබූ යෝජනාවට විරෝධය පානවා වෙනුවට ඔහු එය අගය කරමින් පිළිගත්තේය. ඊට අමතරව තම රටටම එරෙහිව සකස් වී තිබුණු යෝජනාවට ලංකාව සම අනුග්‍රාහකයකු කළේය.
මේ අනුව තමුන්ගේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රහය දුන් පළමු හා නිසැකවම අවසාන රජය ලෙස යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වේ.

මීට පෙර අපට විරුද්ධව යෝජනාවක් ජගත් මානව හිමිකම් කොමිසමට පැමිණි සෑම විටම අපට සහාය දක්වන්නට සූදානම් රටවල්ද සිටියහ. නමුත් මින් මතු ජගත් මානව හිමිකම් කොමිසම තුළ අපට කෙරෙන අරියාදුකම්වලට එරෙහිව අපට වෙනත් කිසිදු රටක සහාය පැතිය නොහැකිය. මන්ද යහපාලන රජය කළ අමන ක්‍රියාව නිසා අප චූදිතයා පමණක් නොව පැමිණිලිකරුද වන බැවිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්