එගොඩහ යන්නෝ

  👤  5291 readers have read this article !
2017-09-21

යමපල්ලන් විසින් අපාගත වූ මිනිසෙක් යම රජු හමුවට ඉදිරිපත් කරන ලදී. යමපල්ලෝ පව්කාරයාට කතා කොට අසූචි වළ හෝ කටු ඉඹුල යන දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙස කීහ.

පව්කාරයෝ කිහිපදෙනෙක් ඇඟේ ලේ පෙරා ගෙන විලාප දිදී කටු ඉඹුල දිගේ නඟිමින් සිටියහ. අනෙක් පස වූ අසූචි වළේ සිටියේ සිගරැට්ටුවක් කටේ ඔබා ගෙන දුම් වළලු පිට කරමින් මහත් සතුටින් සිටින පව්කාරයන් කිහිපදෙනෙකි. කටු ඉඹුල දෙසත් අසූචි වළ දෙසත් බැලූ පව්කාරයා මහත් සතුටින් අසූචි වළ තෝරා ගත්තේ 'ෂා අපායට ඇවිල්ලත් මෙහෙම ඉන්න තියෙනවා නම් මාරයිනේ' යැයි කියමිනි.

ඒ අනුව යමපල්ලෝ අලුත් පව්කාරයා අසූචි වළ අසලට රැගෙන ගියහ. ගත වූයේ තවත් තත්පරයකි. අසූචි වළ අසලින් නළා හඬක් ඇසුණේය.
'හරි දැන් ඉන්ටවල් ඉවරයි. දැන් ඉතිං ඔළුවෙන් හිටගනිල්ලා' යමපල්ලෙක් සිගරැට් උරමින් සිටි පව්කාරයන්ට අණ දුන්නේය.'
මේ බොහෝ දෙනකු අසා පුරුදු කතාවක්ය. දැන් පේන්නේ ආණ්ඩුවේ ඉන්ටවල් ඉවර බවය.

මෛත්‍රි එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන කොට මෙහේ අරුන්දික 'පැත්ත' මාරු කරලාය. එහෙම බැලුවම පුත්තලමේ දෙන්නෙක්ම ආපසු මහින්ද වෙත ගිහින්ය. පියංකර ජයරත්න මුලින්ම, යහපාලන ආණ්ඩුවෙන් ඉවත්ව මහින්ද වෙත ගියේය. ඊළඟ පිම්ම පැන්නේ අරුන්දිකය. දෙන්නම පුත්තලමේය.
'ඔය දෙන්නෙක් ගියාට ආණ්ඩුව හෙල්ලෙයියැ. මේක තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුවක්.'

සමහරු හිත හදාගන්න කියන්නේ එහෙම කතන්දරය. හැබැයි ඇත්ත ඊට වඩා අසුන්දරය. මේ ආණ්ඩුවෙන් ගැලවී යන්නේ එකම දිස්ත්‍රික්කයක දෙන්නෙක්ය. ඒක කලාතුරකින් වෙන දෙයක්ය. මනාප මැතිවරණ අතරේ ප්‍රතිවාදීන් අතරට වඩා තරගය තිබෙන්නේ තමන්ගේම පක්ෂයේ අය එක්කය. එහෙව් එකේ එකම දිස්ත්‍රික්කයක එකම පක්ෂයේ හිටපු පියංකර ජයරත්නත් අරුන්දික ප්‍රනාන්දුත් දෙදෙනාම එකම තීන්දුවක් ගෙන එළියට බැස්සේ ආණ්ඩුවේ දෙදරීම ආරම්භ කරමින් නොවේ කියා කියන්නට කාටවත් බැරිය.

අරුන්දික කවුද? නිකම්ම නිකං නියෝජ්‍ය ඇමැති කෙනෙක්. මිනිහා කොහෙද ආණ්ඩුව හොල්ලන්නේ'
යහපාලනවාදීන් උජාරුවෙන් එහෙම කියන්නේය. ඒත් කතාව හරියට ගළපාගත්තොත් ආණ්ඩුව පත්වෙලා ඉන්න තත්ත්වය තේරුම් ගන්න පුළුවන්ය.
ගිය ජනාධිපතිවරණය වෙලාවෙ මහින්ද හිටියේ 'ගලිවර්' වගේය. ඔහුගේ දැවැන්ත පෞරුෂයට අලගු තියන්නවත් කෙනෙක් නැතැයි හැමෝම කීහ. ප්‍රතාපවත් බලමහිමයක් ඔහු වටා ගොඩනඟා තිබුණේය. ඔහුට තිබ්බේ 3න් 2ට වඩා වැඩි බලසම්පන්න ආණ්ඩුවක්ය. ඒ ආණ්ඩුව තිබ්බේ රැස් විහිදෙමින්ය. සමහරු කීවේ අවුරුදු 70කටවත් මහින්දගේ ආණ්ඩුව හොල්ලනවා බොරු කියලාය. ප්‍රතිවිරුද්ධ බලවේග මහින්දට මොනතරම් අනුගතව සිටියාද කීවොත් ජවිපෙ 'වොයිස් එක' වෙච්ච විමල් අවුරුදු ගාණකට පෙර මහින්දට එක් විය. ඒ විතරක්ද, ජීවිත කාලය පුරාම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ආත්මය කැප කළ 'සෝමවංශ අමරසිංහ' පවා අන්තිමට මහින්ද ළඟට කිට්ටු විය. 'මහින්දට තියෙනවා වශී බෝලයක්. හැමෝම මනුස්සයා ගාවට ගියාම එයාගේ පැත්තට හැරෙනවා' සමහරු කීවේ එහෙමය.

දිස්ත්‍රික්ක, පළාත් පිටින් එක්සත් ජාතික පක්ෂ බල කණු මහින්ද ගාව නතර විය. මහනුවර-කෙහෙලිය, අමුණුගම, එස්.බී., තිස්ස, කළුතර-රාජිත, මහින්ද, බදුල්ල-විජමු, ලක්ෂ්මන්, කුරුණෑගල- ජොන්ස්ටන්, දයාසිරි, ගාල්ල-හේමකුමාර, මනුෂ, වගේ හැම දිස්ත්‍රික්කයකම එජාප ප්‍රබලයෝ මහින්ද සෙවණ තෝරා ගත්හ. සමහරු එහෙට මෙහෙට පනින අය බව ඇත්තය. හැබැයි ඒ හැමෝම මහින්දව තෝරා ගත්හ. ජීවිතේට අලියගෙන් තොර ලොවක් නොපැතූ විජමුලා, ගාමිණී ලොකුගේලා, ජොන්ස්ටන්ලා, පී. දයාරත්නලා, ධර්මදාස බණ්ඩලා, කරු ජයසූරියලා, තිස්ස අත්තනායකලා වගේ බල ඇත්තු නැවතුණේ මහින්ද ගාවය. මහින්ද ගාවට දහය පහළොව යනකොට එහෙන් රනිල් ගාවට ආවේ හතර පස් දෙනෙක් විතරය.

මංගල, ශ්‍රී පති, විජයදාස වගේ දෙතුන් දෙනෙක් හැර වෙන කවුරුවත් රනිල් ගාවට ආවේ නැත. එහෙම ආව විජයදාසත් අද රනිල්ට නැත.
එහෙම බැලුවම මහින්ද අමුතු නායකයෙක්ය.
හැබැයි එහෙව් ආණ්ඩුව එක රැයෙන් කුඩුසංකායම් වෙලා ගියේය.

ජනාධිපතිවරණය වෙලාවේ මෛත්‍රි එක්ක එළියට බැස්සේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක්ය. ඒ වෙනකොට මෙරට දේශපාලනයේ මහින්ද ගාව සිටි ජාතික තලයේ කවුරුත් මෛත්‍රි එක්ක එළියට ආවේ නැත. දුමින්ද දිසානායක ඒ වෙනකොටත් නියෝජ්‍ය ඇමැතිවරයෙක්ය. වසන්ත සේනානායක මන්ත්‍රිවරයෙක්ය. එම්.කේ. ඩී. එස්. ගුණවර්ධන දන්න කෙනෙක් නැත. අර්ජුන කොහොමත් හිටියේ මහින්දගෙන් අෑත් වෙලා ය.

මෛත්‍රිලා තියපු පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව වෙලාවේ හිටියේ එහෙන් මෙහෙන් අමාරුවෙන් ඇහිඳගත් කීප දෙනෙක්ය.
දතට දත, ලෙයට ලෙය වගේ ගේමක් ගැසූ මහින්ද තමන්ගෙන් ගිය මහ ලේකම් වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ගලවාගෙන "තරම" පෙන්නුවේය.
පොදු අපේක්ෂක කණ්ඩායම කරකවා අතාරින්නට මහින්ද සමත් විය. හැබැයි මහින්ද නොදැක්ක පැත්තක් තිබ්බේය. "කරිජ්ජ පාගපු මට පරවාගෙන් පරයා වෙන් කරගන්න පුළුවන්." කියා කයිවාරු ගැසුවාට පරාජයේ තීරණාත්මක "තැන" හොයා ගන්නට මහින්දට නුපුළුවන් විය. ඡන්ද සටනේදී මහින්ද ගියේ රන්දෝලි පෙරහරක්ය. මෛත්‍රි ගියේ මල් පෙරහරක්ය. දිස්නෙට තිබ්බේ මහින්දගේ පෙරහරය. චාමෙට තිබ්බේ මෛත්‍රිගේ පෙරහරය. අන්තිමට දිස්නේ දීපු පෙරහරට වඩා චාම්වට තිබ්බ පෙරහර ගොඩ ගියේය.
විපක්ෂය නන්නත්තාර කොට තුනෙන් දෙකට වඩා බලයක් අරගෙන සිටිය මහින්ද ගෙදර ගියේය.

ඒ නිසා ආණ්ඩුවක් පෙරළෙන්නේ යන කෙනාගේ තරම අනුව නොවේ. යන විදිය අනුවය.
එහෙම බැලුවම ආණ්ඩුවේ කණු දැන් බුරුල් වෙමින් තිබෙන්නේය.
ඒ දවස්වල මහින්දට හිටියේ "දෑත්" ශක්තිමත් කරන්න හිතේ කැමැත්තෙන් ගිය පිරිසක්ය. ඒ නිසාම ඔහුට 18 වැනි සංශෝධනය පවා කරගන්නට හයියක් තිබ්බේය. "අපි ආණ්ඩුවෙන් යනවා, අපිට ඉන්න බෑ. මේ අපේ ආණ්ඩුව නොවේ." කිය කිය එජාපයෙන් ආව අයවත් මහින්දට කීවේ නැත. ඒ කාලේ මහින්දව රැකගන්න ආවේ ශ්‍රී ලංකා මන්ත්‍රිවරුන්ටත් වඩා එජාපයෙන් ආව අය ය.

ඔවුහු පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් රනිල් ප්‍රමුඛ එජාපයට "කුඩු වෙන්න" ගැසූහ. මහින්ද එජාපයෙන් ආව අයට හොඳට සැලකුවේය. ජනමාධ්‍ය තිබ්බේ කෙහෙළියටය. පාරිභෝගික තිබ්බේ ජොනීටය. ධීවර තිබ්බේ රාජිතටය. විදෙස් දුන්නේ ජී. එල්.ටය. කම්කරු දුන්නේ ලොකුගේටය. අධ්‍යාපන දුන්නේ බන්දුලටය. එහෙම බැලුවම මහින්ද ශ්‍රී ලංකා එජාප දෙගොල්ලන්ටම එකම හැන්දෙන් බෙදුවේය.

"මේක සැලුන් ‍ෙදාරක්, එන අයට එන්න පුළුවන්. යන අයට යන්න පුළුවන්. හැබැයි ඔය හැමෝගෙම ෆයිල් මගේ ගාව බව අමතක කරන්න එපා" මහින්ද කීවේ එහෙමය.
ඉතින් දෙගොල්ලෝම මහින්දව රැකගන්න දිවි හිමියෙන් කැප වූහ.

දැන් මේ ආණ්ඩුවේ තත්ත්වෙ කොහොමද?
අපි ඉන්නේ ටික දවසයි. අපිට වැඩ කරන්න ඉඩක් නෑ,
හැමදේටම රනිල් අත දානවා, අපිට බලයක් නෑ.
මේක බලහත්කාරයෙන් කරපු විවාහයක්. අපි ඉන්නේ නෑ.
ආණ්ඩුවේ ශ්‍රී ලංකා පාර්ශ්වය කියන්නේ එහෙමය.

අපි තමයි මේ ආණ්ඩුව හැදුවේ, ඒත් අපිට පාක්ෂිකයෝ ගාවට යන්න බෑ. දීලා තියෙන තනතුරුවලින් කරන්න දෙයක් නෑ.
එහෙම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුය. බැලුවම ඒකෙත් ඇත්තක් තිබේ. උෟව හොල්ලලා ආණ්ඩුව පෙරළන්න වෙඩි මුරය තිබ්බ හරින්, මේ ආණ්ඩුවේ ඩිජිටල් ඇමැතිය. තීරණාත්මක වෙලාවේ මහින්ද ගාවට ගිය දයාසිරි ආපහු ඇවිත් ක්‍රීඩා ඇමැති වෙලාය. මෛත්‍රි එක්ක එළියට බැහැලා එජාපයට ආව වසන්ත සේනානායක නියෝජ්‍ය විදෙස් ඇමැතිය. පොළොන්නරුවට ඔහුට කරන්නට දෙයක් නැත. රාජපක්ෂලා එන්න කියද්දී නොගිය මාතර බුද්ධික පතිරණ තාමත් මන්ත්‍රිය. හැබැයි නූලෙන් ගොඩ ගිය සාගල කැබිනට් ඇමැතිය.

දැන් ආණ්ඩුවේ ඉන්න බොහෝ දෙනා අළුයට ගිනි තරමට කලකිරීමෙන් ඉන්න බව ඇත්තය.
තීරණාත්මක වෙලාවක ආණ්ඩුවෙන් යන අය අතර ඉන්නේ ශ්‍රී ලංකා එකේ මන්ත්‍රිවරුන් විතරයි කියා කවුරුහරි හිතනවා නම් ඒක හීනයක්ය.
එහෙම කොහොමද කියන්නේ?

එහෙම කියන්නේ මේ යන විදිය බලලාය.
ආණ්ඩුවට හිතාගන්න බැරි වෙලාවක පළුවක් ගැලවෙනකොට ඒක නාය යෑමක් තරම් එකක් වනු නොවෙතැයි කියා කාටවත් කියන්න බැරිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon