‘බැඳුම්කර හොරු රකින්න එපා’ සජිත් රනිල්ට කියයි

  👤  5527 readers have read this article !
2017-09-24

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑදෙවැනි සැසිවාරයට සහභාගි වීම සඳහා මෛත්‍රි සති අන්තයේ ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.
ජයන්ති සිරිසේනද එම ගමනට එක්ව සිටි අතර ඔවුන් නිව්යෝර්ක් නුවරට සේන්දු වුණේ සඳුදා උදෑසනය. ජනාධිපතිවරයා පිළිගැනීමට
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු විශාල පිරිසක් මෛත්‍රී නවාතැන් ගන්නා හෝටලයට පැමිණ සිටියහ.

නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව රැස්වෙන අවස්ථාවේම එයට සමගාමීව තවත් සමුළු හා වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබිණි. එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජයීය සභාවේ සැසිවාරයක් 19දා පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය. එයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරෙෂ්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයෝ එක්ව සිටියහ. එයට සහභාගිවීමේ අවස්ථාවද ජනාධිපතිවරයාට හිමි විණි.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සැසියක්ද නිව්යෝර්ක් නුවරදී සංවිධානය කොට තිබිණි. 20දා පැවැති එම සමුළුවටද මෛත්‍රි සහභාගි විය. බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ නායකත්වයෙන් පැවැති සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නායකයෝ සහභාගි වී සිටියහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට එක් වූ ජනාධිපතිවරයාට එහි
පළමු සැසියේදීම ලෝක නායකයන් ඇමැතීමට දුර්ලභ අවස්ථාවක් ලැබිණි. එම පළමු සැසියට ලෝක නායකයන් වැඩි දෙනකු සහභාගි වී සිටීම නිසා එය ඉතා වැදගත් වූ අතර මෛත්‍රි ලෝක නායකයන් අමතා කීවේ තම රජය හෙමින් නමුත් ස්ථාවර ගමනක් යන බවය. සාමය, සංහිඳියාව, ආර්ථික සෞභාග්‍යය සඳහා යන මෙම ගමනට සහාය දෙන ලෙස ජනාධිපතිතුමා ලෝක
නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. හෙතෙම සිය කතාව සිදුකළේ සිංහල භාෂාවෙනි.

මේ අතර මෛත්‍රීට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් රාත්‍රි භෝජන සංග්‍රහයක දී හමුවිය.
භෝජන සංග්‍රහය අතර තුර දෙදෙනා ඉතා සුහද කතා බහක නිරත වූහ. මෛත්‍රි ඩොනල්ඩ් ට්‍රම්ප් හට නව ජනාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කළ අතර පසුගිය දිනවලදී ස්වාභාවික ව්‍යසනයෙන් ඇමෙරිකාවට සිදු වූ හානිය පිළිබඳ කනගාටුවද ප්‍රකාශ කෙළේය.
මෙහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ 'ශ්‍රී ලංකාව සුන්දර රටක්. ඔබ රට තුළ පැහැදිලි පරිවර්තනයක් සිදු කර තිබෙනවා. රටේ ඉදිරි කටයුතු සඳහා හැකි සෑම විටම සහයෝගය ලබා දෙනවා' කියාය.

මේ අතර ජනාධිපතිවරයා සමඟ ඇමෙරිකාවට යෑමට සිටි සරත් ෆොන්සේකාට වීසා නොලැබුණු කතාවක් ඉකුත් දිනවල ප්‍රචාරය විය. කෙසේ වෙතත්, මන්ත්‍රි උදය ගම්මන්පිල කියන්නේ වීසා නොලැබුණු කතාව අමූලික බොරුවක් බවය.

'යුද අපරාධ පිළිබඳ බරපතළ චෝදනා එල්ල වුණු පොල්පොට්, සුන් යත් සෙන්, සදාම් හුසේන් වැනි අයටත් ඇමෙරිකාව වීසා ලබා දීලා තිබෙනවා. උග්‍ර ඇමෙරිකානු විරෝධීන් වන මුවම්මර් ගඩාපි සහ පිදෙල් කැස්තේ‍රා්ටත් වීසා දීලා තිබෙනවා. එහෙම නම් ෆොන්සේකා ඇමැතිවරයාට විතරක් වීසා නොලැබුණේ ඇයි. ෆොන්සේකා ඇමැතිවරයාට වීසා ප්‍රතික්ෂේප කිරීම ඇත්තටම සිදුවෙලා නෑ. ඇත්තටම වුණේ ජනාධිපතිතුමා එතුමාව දාලා ගිය එකයි. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න තමයි වීසා ලැබුණේ නෑ කියලා රටට බොරු කිව්වේ." යැයි ගම්මන්පිල කියයි.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කොටගත් පසුගිය බදාදා එහි වැදගත් සිදුවීම් ගණනාවක් විණි. මෙම පනතේ අරමුණ වුණේ මනාප ඡන්ද ක්‍රමය ඉවත් කොට පළාත් සභා ඡන්දය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමය. පනත ගේන අතරේ ඒකාබද්ධ
විපක්ෂය දැඩිව කියා සිටියේ මේ පනතද පළාත් සභාවලින් සම්මත කරගත යුතු බවය. තත්ත්වය උග්‍ර වන විට පාර්ලිමේන්තුවේ වැඩ නවතා දැමූ කතානායකවරයා නීතිපති හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගෙන්වා සාකච්ඡා කිරීමට තීරණය කළේය.

නීතිපති, මැතිවරණ කොමිසම් සභාපති එදින දහවල් 12.00ට පමණ පාර්ලිමේන්තුවට පැමිණියහ. ඔවුන් සමඟ පක්ෂ නායකයන් කළ සාකච්ඡාවේදී තීරණය වූයේ මෙම පනතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බවය. තුනෙන් දෙක දිනා ගන්නට ආණ්ඩුවෙන් මෙහෙයුමක් දියත් වෙද්දී, තුනෙන් දෙක පරාජය කරන්නට ඒකාබද්ධ විපක්ෂය මෙහෙයුමක් දියත් කොට තිබිණි. ආණ්ඩුවට හකීම් සහ බදියුදීන්ගේ කැමැත්ත අත්‍යවශ්‍යම විය. ඒ අනුව අගමැතිවරයා හකීම් සහ බදියුදීන් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්විය.

ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීම සඳහා පළාත් සභා මැතිවරණයේදී
නියෝජිතයන් තෝරා ගැනීමේ අනුපාතය වෙනස් කිරීමට රනිල්ට සිදුවිය. ඒ අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමවේදයේ සියයට 60 සියයට 40 අනුපාතය මුස්ලිම් නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සියයට 50ට 50 දක්වා වෙනස් කිරීමට කටයුතු කෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණද මෙම සංශෝධනයට විරුද්ධ වනු ඇතැයි
ඒකාබද්ධය විශ්වාස කළේය. එහෙත් ඒකාබද්ධ විපක්ෂය හමුවීමට පෙර රනිල් සහ අනුර අතර සාකච්ඡාවක් පැවැති බව ඔවුන් දැන සිටියේ නැත. එම සාකච්ඡාවෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ මතය වෙනස්ව තිබිණි.

ආණ්ඩුවේ කඳවුරේ සංවිධාන කටයුතු පාර්ලිමේන්තු සභා ගැබ ඇතුළේ ක්‍රියාත්මක කළේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලය. එළියේ මෙහෙයුම දියත් කළේ ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්තය. ඔහුට පැවැරී තිබුණේ සියලුම මන්ත්‍රිවරුන් ගෙන්වා ගැනීමය. ගයන්ත එය අකුරටම කළේය. ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට එදින සවස ඡන්දය දීමට පැමිණෙන ලෙස දන්වනු ලැබීය. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ සරත් අමුණුගම ඇමැතිවරයා සිටියේ අසනීපව රෝහල් ගතවය. අමුණුගම රෝහලේ සිට පැමිණ පනතට ඡන්දය දී නැවතත් රෝහල්ගත විය. මංගල සමරවීර ඇමැතිවරයාද අසනීප වී ප්‍රතිකාර ගනිමින් සිටිය අතර ඔහුද පැමිණ ඡන්දය දී ගියේය. රංජිත් මද්දුම බණ්ඩාර හිටියේ රෝගීවය. ඔහුද පැමිණියේය. සිය මියගිය බෑණාගේ අවසන් කටයුතු කළ සැණින් අශෝක් අබේසිංහද පාර්ලිමේන්තු ආවේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය පැමිණි සිටියේ මෑතක බිහිකළ දරුවා සමඟය. දරුවාට කිරිදීම හා බලාගැනීම අවශ්‍ය නිසා ඇය පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැති අතර 'අපි බබා බලාගන්නම් එන්න' සභානායක
කාර්යාලයෙන් ඉල්ලීම කෙරිණි. ඒ අනුව ඡන්ද විමසීමට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය තම දරුවා පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ තබා ඡන්දයට සහභාගි වූවාය.

ඡන්දය දීමට වහාම පැමිණෙන ලෙස පණිවුඩය ලැබෙන විට වසන්ත සේනානායක නියෝජ්‍ය ඇමැතිවරයා සිටියේ ස්නානය කරමින්ය. වහාම පැමිණියත් ඔහුට දෙවැනිවර ඡන්දය දිය නොහැකි විණි. නමුත් තෙවැනිවර ඡන්ද විමසීමේදී ඒ මහතා ඡන්දය ප්‍රකාශ කළේය.

අර්ජුන රණතුංග ඇමැතිවරයා විටින් විට ආණ්ඩුව විවේචනය කරමින් සිටි අයෙකි. ආණ්ඩුවටත් වඩා ඔහු විවේචනය කළේ ක්‍රිකට් වැටී ඇති තත්ත්වය ගැනය. ඒ නිසා ඔහු පනතට ඡන්දය දීම ගැන කිසියම් අවදානමක් නොතිබුණා නොවේ. කෙසේ වෙතත් අර්ජුන මුලින් පනතට පක්ෂව ඡන්දය දී තිබුණේ නැත. විද්‍යුත් ඡන්ද ක්‍රමයේ දෝෂයක් නිසා සටහන්ව තිබුණේ ඡන්දය දීමෙන් වැළැකී සිටි ලෙසය. එහෙත් ක්ෂණිකව ඇමැතිවරයා නැඟිට තමා පනතට පක්ෂව ඡන්දය දුන් බව කීය. ඒ අනුව වරද නිවැරැදි කරනු ලැබීය.

ආණ්ඩුව නියෝජනය කළ තිදෙනකු ඡන්දය දුන්නේ නැත. ඒ අතරින් ඇමැති ධුරයෙන් ඉවත් කළ විජයදාස රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත. අනෙක් දෙදෙනා වූයේ අතුරලියේ රතන හිමි හා අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාය. දෙදෙනා විදේශගතව සිටි නිසා ඡන්දය දෙන්නට හැකියාවක් ලැබුණේ නැත.
කෙසේ වෙතත් මේ පනත සම්මත කිරීමේදී තුනෙන් දෙක අහිමි කිරීමට ඒකාබද්ධ විපක්ෂයද සෑහෙන උත්සාහයක් ගත්තේය. 20ට කලින් ආණ්ඩුවේ පළුවක් ගැලවෙන බවට දේශපාලන ක්ෂේත්‍රය පුරා කතාබහක් මතුව තිබිණි. එහෙත් පුරුදු පරිදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද ඡන්දය දා පාර්ලිමේන්තුවේ සිටියේ නැත. පනතට පක්ෂව ඡන්ද 159ක් හා විපක්ෂව 37ක් ලෙස ආණ්ඩුව ජය ගත්තේය.

ගෙවී ගිය සතිය අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉතා තීරණාත්මක හා අධික වැඩ සහිත සතියක් විය. ඒ මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සිටි වත්මන් ව්‍යවස්ථාවට අදාළ 20 වැනි සංශෝධනයට 2/3ක පාර්ලිමේන්තු බලයක් මෙන්ම ජනමත විමසුමක්ද අවශ්‍ය බවට ශේ්‍රෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නිසාය.
"උසාවියට ඉස්සර අය වගේ අපි බලපෑම් කරන්නේ නැති බවට මේ සති 2 තුළ හොඳ හොඳ සාක්ෂි 2ක් ආවා. ගිය සතියේ රජයේ මුදල් අවභාවිත කළ දෙන්නකුට උසාවිය දඬුවම් කළා. මේ සතියේ 20 වැනි සංශෝධනයට 2/3ට අමතරව ජනමත විමසුමක් ඕනෑ කියලා උසාවිය තීන්දු කළා. අධිකරණයට මෙවැනි ස්වාධීන බවක් කවදද තිබුණේ කියලා මිනිස්සුම දැන් අහනවා" 20ට අදාළ උසාවි තීන්දුව ලැබුණු පසු අගමැතිවරයා එසේ කීවේ පාර්ලිමේන්තුවේ යාබද අසුනේ සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලටය.
"වසර 3ක සිර දඬුවම් ලැබුණු දෙන්නාට දින කිහිපයකදී ඇප ලැබුණාට ජනතාව එච්චර කැමැති නැති බව පේනවා." ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිට කීය.
"දඬුවම් ලබා දුන්නෙත් උසාවිය. ඇප දුන්නෙත් උසාවිය. ඒ දෙකම ඔවුන් කළේ කාගෙවත් බලපෑමට නෙවෙයි. නීති රාමුව ඇතුළෙයි. ඇප ලබා දෙන ලෙස ඉදිරිපත් කළ සුවිශේෂී කරුණු උසාවිය පිළි අරන් තියෙනවා. උසාවි තීන්දුවලට අපි කාටත් හිස නමන්න වෙනවා" අගමැතිවරයා කීය.

20 වැනි සංශෝධනයට ජනමත විමසුම නමැති බාධකය පැමිණි පසු විකල්පයකට යෑමට අගමැතිවරයා සූක්ෂ්ම උපායක් යෙදූයේ තම වසර 40ක දේශපාලන අත්දැකීම් තුළය. පළාත් සභා සංශෝධන පනත බදාදා පාර්ලිමේන්තුවේදී 2/3ක ඉහළ ජයග්‍රහණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේ ඒ තුළය.
"ඊයේ මම පාර්ලිමේන්තුව ඇතුළෙ කිලෝමීටර් 10-12ක් කතානායක හා මගේ කාර්යාලයට හා සභාවට ඇවිද්දා. ගෙදර යනකොට රෑ 9ත් පහුවෙලා. ඊට පස්සේ ෆිල්ම් එකක් බලල මහන්සි ඇරලයි නිදාගත්තේ" අගමැතිවරයා එසේ කීවේ බ්‍රහස්පතින්දා උදේ පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයට පැමිණ සිටි මැති ඇමැතිවරුන් හමුවේය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ දිනවල මතුවෙමින් පවතින නවතම තත්ත්වයන් පිළිබඳ සාකච්ඡාවක් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, රුවන් විජයවර්ධන යන එ.ජා.ප. යේ ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනා පසුගිය දිනක අගමැතිවරයා මුණගැසිණි. ඔවුන් අගමැතිවරයාට පවසා ඇත්තේ බැඳුම්කර වංචාකරුවන්ට බුරුලක් නොදෙන ලෙසය.

'ආණ්ඩුවට මේක ලොකු ඩැමේජ් එකක්. මේකෙන් වැරදිකාරයෝ වෙන කාටවත් බුරුලක් දෙන්න එපා' මෙහෙම කීවේ නවීන්ය.
"සර් මේ ගනුදෙනුවේ වරදකරුවන් එළිදරව් වුණාට පස්සේ ඒ අයව ආරක්ෂා කරන්න අපි කවුරුත් පියවර ගන්න හොඳ නැහැ. ඒ අයට සමාවක් දෙන්න එපා" යැයි රුවන් කීය.

"ඔව්, එහෙම සමාවක් දුන්නොත් ඒක අපේ පක්ෂයට හොඳ නැහැ. අපේ පක්ෂයට ඒ හරහා අගෞරවයක් වෙනවා" යැයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවැසීය.
මෙලෙස වරදකරුවන් ලෙස ඔප්පුවන කිසිවකුට රජයේ තනතුරු ද ලබා නොදිය යුතු බවටද මෙහිදී නවීන් දිසානායක මහතා යෝජනා කළේය.
අගමැතිවරයාද මෙම තිදෙනාගේ යෝජනා හා ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවක්
පෙනෙන්නට විය.

පසුගියදා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක්ගෙන් හදිසියේම මහින්දට දුරකතන ඇමැතුමක් ලැබී තිබේ.
'සර්, ලලිත් වීරතුංග වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මගේ ලෝයර් කෙනෙක් සම්බන්ධ කරන්නද?'
ඇමැතිවරයා මහින්දගෙන් ඇසුවේය.

මේ ඇමැතිවරයාගේ ඥාතියෙක් ජේ‍යෂ්ඨ නීතිඥවරයෙකි.
මේ අමාත්‍යවරයා මහින්ද ආණ්ඩුවේද නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අතර ඒ කාලයේ නඩු කටයුතුවලදීද ඔහු මැදිහත් වූ බව ඒ යුගයේ තැන් තැන්වල රාවයක් ගියේය. මේ දිනවල ඔහු ආන්දෝලනාත්මක වී සිටින්නේ මැතිවරණ සම්බන්ධවය.

'මහින්ද එක්ක ෂේප් එකේ ඉන්න ඕනා. ඉස්සරහට දේශපාලනේ කරන්න වෙන්නේ මිනිහා එක්ක' ඇමැතිවරයා මිතුරන් සමඟ කියා තිබේ.
තමන් ඉන්නේ මෛත්‍රි සමඟ බව පෙන්වමින් මේ ඇමැතිවරයා 'ඩබල් ගේමක්' ගහමින් ඉන්න බව ඔහුගේ මිතුරන් පවසයි.

හිටපු ජනාධිපතිවරයාට සමීප මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුව පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ නිල නිවෙසේදීය. කෙහෙලිය සහ දිලුම් ද එම සාකච්ඡාවට එක්ව සිටියහ. දිලුම් එදින ආවේ කේක් ගෙඩියක්ද රැගෙනය. ඒ කෙහෙලියගේ උපන් දිනය වෙනුවෙනි.
කේක් ගෙඩිය කැපූ කෙහෙලිය මහින්දටත් දිලුම්ටත් කේක් කැව්වේය. එහිදී දිලුම් කීවේ බර්ත් ඩේ බෝයිට කේක් කවන්න කවුරුත් නෑනේ කියාය. මහින්ද එය අසා මහ හ¾ඩින් සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.

මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුව පැවැත්වෙන අතර මහින්දගේ නිවෙස ඉදිරිපිටට පැමිණි පුද්ගලයකු ආරක්ෂක අංශ වෙත කියා තිබුණේ මහින්ද මහත්තයා හමුවීමට අවශ්‍ය බවය. එහෙත් නිවෙස තුළ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් ඊට ඉඩදිය නොහැකි බව ආරක්ෂක අංශ එම පුද්ගලයාට දැනුම් දුන්නේය.
"එහෙම කොහාමද, අපිට බැරි නම් කාටද පුළුවන් කී පුද්ගලයා පිහියක් ගෙන ආරක්ෂක අංශ වෙත තර්ජනය කරන්නට ගත්තේය. වහාම ඔහු අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෝ ඔහු කුරුඳුවත්ත පොලිසියට භාරදීමට පියවර ගත්හ.

පසුගියදා මහින්ද සිය හිතවත් මන්ත්‍රිවරුන් සමඟ පාර්ලිමේන්තුවේ ආහාර ගනිමින් සිටින අතරතුර ෆයිසර් මුස්තාපා ද ආහාර ගැනීමට පැමිණියේය.
මහින්ද අසල තිබූ හිස් පුටුවෙහි ෆයිසර් වාඩි කරවීමට පවිත්‍රා, සනත් නිශාන්ත උත්සාහ කළද ෆයිසර් ඊට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් අවසානයේදී මහින්ද අසල වාඩි වීමට ෆයිසර්ට සිදුවිය.
"කොහොමද ෆයිසර්? මහින්ද ඇසුවේය.

"වරදක් නැහැ සර්" ෆයිසර් කීවේය.
"මොකද ඔයා දැන් පළාත් සභාත් කල්දාන්න ද යන්නේ? මහින්ද යළි ඇසුවේය.
"මගේ වැඩක් නෙවේ සර්." ෆයිසර් ඇඟ බේරා ගැනීමට උත්සාහ කළේය.
"ඕවා කළා වගේ නෙවේ ෆයිසර් ඔයාට තමයි ගමටවත් යන්න බැරි වෙන්නේ. අන්තිමේදී ජනාධිපති, අගමැති බේරෙයි. ඔයාට තමයි ගමේ මිනිස්සු පාඩමක් උගන්වන්නේ" මහින්ද කීවේය.

ෆයිසර් එතැනින් පිටත්ව ගියේය.

ඒකාබද්ධ විපක්ෂයේ ඩලස්, දිලුම්, සී. බී. ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට ගියහ. මන්ත්‍රිවරුන් සභාපතිවරයාගෙන් විමසා සිටියේ ආණ්ඩුව පනත් සංශෝධනය තුළින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙනි.

"මම මොනවා කරන්නද? ගිනි තියා ගන්නද? වෙඩි තියන්නද? මට කරන්න දෙයක් නැහැ" සභාපතිවරයා මන්ත්‍රිවරුන්ට පැවැසුවේය.
"ඔබතුමා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා. ඡන්දය පැවැත්වීම තීන්දු කරන්නෙ ඔබතුමා. පළාත් සභා ඡන්දය තියන්න මොනවා හරි කරන්න බැරිද? මන්ත්‍රිවරු ඇසූහ.
"මට කරන්න දෙයක් නැහැ. ඕක පාර්ලිමේන්තුවේදී සම්මත වුණාම නීතියක් වෙනවා. එතකොට මට කරන්න දෙයක් නැහැ" සභාපතිවරයා පැවැසුවේය.
"එතකොට ස්වාධීන මැතිවරණ කොමිසමෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද? මන්ත්‍රිවරු යළි ඇසූහ.

"ඒක නම් එහෙම තමයි. මට මාධ්‍ය ඉස්සරහට ගිහින් මේ කාරණය කියන්න වෙනවා" සභාපතිවරයා පැවැසීය. මේ අතර නීතිපතිවරයා හමුවීමට යෑමටද මන්ත්‍රිවරුන් සැරසුණද මහින්ද කීවේ හමුවීමට යෑම අනවශ්‍ය බවත් ඔහුට ලිපියක් යැවීම ප්‍රමාණවත් බවත්ය. ඒ අනුව කතානායකවරයාටත් පිටපතක් සහිතව නීතිපතිවරයාට ලිපියක් යවන ලදී.

පාර්ලිමේන්තුව නියෝජනය කරන වාමාංශික පක්ෂ නායකයෙක් පසුගිය ඉරිදා හදිසියේම ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැ දැකීමට ධර්මායතනය වෙත පැමිණියේය. ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායමක නායකයකු වුවත් ඔහු එදින පැමිණ තිබුණේ ආණ්ඩුවේ ඉල්ලීම්ක් වෙනුවෙනි. එනම් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇල්ලේ හිමිගේ සහයෝගය ලබා ගැනීම පිණිසය.

"උතුරේ දෙමළ ජනතාවට අසාධාරණයක් වෙලා තියෙනවා" මෙම නායකයා කතාවට මුලපුරමින් පැවැසීය.
"උතුරේ අයට පමණක් එහෙම විශේෂ අසාධාරණයක් වෙලා නැහැ" ඇල්ලේ හිමියෝ කීහ.
"උතුරේ යුද්ධය හින්දා දෙමළ කාන්තාවෝ 40,000කට වැඩිය වැන්දඹු වෙලා තියෙනවා" මෙම නායකයා පැවැසීය.
ඔබතුමා උතුරේ කාන්තාවන් ගැන කතා කරනවා. ඔබතුමාලා ගණන් කරලා තියෙනවද දකුණේ කාන්තාවෝ කී දාහක් වැන්දඹු වෙලා තියෙනවද කියලා" ඇල්ලේ හිමියෝ ඇසූහ.

එහෙත් එයට පිළිතුරක් ලැබුණේ නැත.
"ඔයා ආවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මගේ සහයෝගය ගන්න නම් ඒක හරියන්නේ නැහැ කියලා මතක තියා ගන්න. ඔයා ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරමින් ආණ්ඩුවට කඩේ යන්න එපා. ඔය රට බෙදන ව්‍යවස්ථාවට මගේ කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ" ඇල්ලේ හිමියෝ දැඩිව අවධාරණය කළහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය 20 වැනිදා පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා විවාදයට ගත් අවස්ථාවේදී කළ කතාව අතරතුර පාර්ලිමේන්තුව සිනා සයුරක ගිලී ගියේය.
'කාන්තා නියෝජනය වැඩි කිරීම වැනි' සුන්දර සාරි පොටවල් මේ පනත් කෙටුම්පත තුළ එල්ලලා පෙන්වූවාට ඒ හැම සුන්දර කතාවක් පිටපුසම ඇත්තේ සබරගමු, නැඟෙනහිර හා උතුරු මැද පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීමේ වුවමනාව.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට තේරෙන්නේ නැහැ සාගල රත්නායක ඇමැතිතුමාගේ පුටුවේ ගහලා තියෙනවා, 'කාන්තාවන්ට ඉඩක් නැද්ද?' කියලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාගේ පුටුව අසලත්, රුවන් විජයවර්ධන ඇමැතිතුමාගේ පුටුවෙත් ගහලා තියෙනවා කාන්තාවන්ට ඉඩක් නැද්ද? කියලා. මංගල සමරවීර ඇමැතිතුමාගේ පුටුවෙත් 'කාන්තාවන්ට ඉඩක් නැද්ද?' කියලා ගහලා තියෙනවාද? මම දන්නේ නැහැ. එහෙම කාන්තාවන්ට ඉඩක් නැත්නම් මෙතැන බෝඩ් එල්ලලා වැඩක් නැහැ. ඉඩ දෙන්නේ නැති අයත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්නය බේරගන්න යනුවෙන් විමල් වීරවංශ මහතා පවසද්දී පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ කාගෙත් සිනා හ¾ඩින් පාර්ලිමේන්තුව පිරී ගියේය.

කෙසේ නමුත් විමල්ගේ කතාවෙන් පසුව එම 'කාන්තාවන්ට ඉඩක් නැද්ද' බෝඩ් එකක්වත් ඇමැතිවරුන්ගේ ආසන අසල දක්නට ලැබුණේ නැත.

පසුගිය සති අන්තයේ ඉන්දියාවේ බුද්ධගයාව බලා ගිය කතානායක කරු ජයසූරිය මහතා අනගාරික ධර්මපාල ශ්‍රී මතාණන් වෙනුවෙන් එහි පැවැති 153 වැනි ජන්ම සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අතර, ධර්මපාලතුමන් ශ්‍රී ලංකාවට පමණක් අයත් නොවන ලෝකයට අයිති මහා ප්‍රතාපවත් බෞද්ධ නායකයකු බව හෙතෙම එහිදී සිහිපත් කළේය.

මේ අතර පළාත් සභා ඡන්ද විමසීම සංශෝධන පනත් කෙටුම්පත
සාකච්ඡාවට භාජන වූ පසුගිය බදාදා සවස් භාගය වන විට පාර්ලිමේන්තුව උණුසුම් විය.
එදින මඳක් අසනීප තත්ත්වයෙන් පසු වුවද ඒ සියල්ල පවුරක් සේ ශක්තිමත්ව දරා ගෙන සිටීමට කරු ජයසූරිය මහතා සමත් විය.
සභා ගර්භයේ මොන තරම් ආවේගශීලී වුවද ඡන්ද විමසීමෙන් පසු කතානායකවරයාගේ නිල මැදිරියට පැමිණි දෙපැත්තේම සාමාජිකයන් කිහිප දෙනකුම, ඇති වූ උණුසුම් තත්ත්වය තුළ කතානායකවරයා අපහසුතාවට ලක් වීම පිළිබඳව සිය කනගාටුව පළ කළහ. මෙහිදී කතානායකවරයා කීවේ "මගේ වගකීම මන්ත්‍රිවරුන්ට උපරිම වශයෙන් අදහස් දැක්වීමටත් ඡන්දය දීමටත් ඉඩ සැලසීමයි. මට කාගෙවත් අදහස් යටපත් කරන්නවත්, කාගෙවත් ඡන්ද අයිතිය අහිමි කරන්නවත් බැහැ. අපි එදා මෙදා තුර පෙනී හිටපු ප්‍රජාතන්ත්‍රවාදය ඒකයි" කියාය.

‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා පසුගියදා කළුතර මහ රෝහලට පැමිණියේ මාධ්‍ය හමුවක් පැවැත්වීමටයි. දැවැන්ත මුදලක් වැය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ සිදු කරන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමටය. එහිදී කළුතර මාධ්‍යවේදියකු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අනාගත හීන ගැන විමසුවේ මෙලෙසයි. "ඔබතුමා දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරි කාලයේදී අග්‍රාමාත්‍ය ධුරයට හෝ ජනාධිපති ධුරයට පත්වීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද" යැයි විමසීය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා මුව පුරා සිනා සෙමින් "ඒවා අනාගතයට භාරයි" යනුවෙන් ප්‍රකාශ කළේය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු කිහිපයක් පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.

පසුගිය දාසය වැනි දින කඳුරට ජනතා පෙරමුණේ තරුණ සම්මේලනය පැවැත්වුණේ කොටගල නගරයේදීය. මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකටය. කඳුරට ජනතා පෙරමුණෙන් ලද මෙම ආරාධනාව පිළිගත් ජවිපෙ නායකයා සමුළුවට ගිය අතර එහිදී ඔහුට විශේෂ පිළිගැනීමක් හිමිව තිබිණි.

කඳුරට ජනතා පෙරමුණේ නායක රාධා ක්‍රිෂ්ණන් ඇතුළු කඳුරට ජනතා තරුණ පෙරමුණේ නායකයන් ජවිපෙ නායකයා වේදිකාව කැඳවාගෙන ගියේ පෙළපාළියකින්ය. මෙහිදී ජවිපෙ නායකයාගේ කතාවට දමිළ තරුණයන්ගෙන්
විශාල ප්‍රතිචාරයක් ලැබිණි. මේ අතර, පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාවාරයේදී විජිත හේරත් මන්ත්‍රිවරයා සමඟ කතාබහක වැටුණු රාධා
ක්‍රිෂ්ණන් ඇමැතිවරයා මෙම තරුණ සමුළුව ගැනද විස්තර කළේය.

"ඔබතුමාලාගේ නායකයාට තමයි සමුළුවේදී වැඩිම ප්‍රතිචාර තිබුණේ. අපි
පළමුවැනි වතාවට තමයි මේ වගේ සිංහල නායකයෙක් අපේ සමුළුවකට ප්‍රධාන ආරාධිතයා විධියට එකතු කරගත්තේ. අපේ තරුණ පරම්පරාවට හොඳට සිංහල භාෂාව තේරෙනවා. ඒ නිසා කතාවටත් හොඳ ප්‍රතිචාර තිබුණා. වතුකරයේ ප්‍රශ්නය ගැන අනුර සහෝදරයා හොඳට පැහැදිලි කළා. සමුළුවෙන් පස්සේ අපේ අය ඔබතුමාලාගේ නායකයා ගැන තමයි කතා කළේ. ඇත්තටම ජවිපෙට ස්තූතියි. අපේ සමුළුවට ඔබතුමාලගේ නායකයා
සම්බන්ධ කිරීම ගැන" රාධා ක්‍රිෂ්ණන් ඇමැතිවරයා විජිත හේරත්ට කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon