කෝ සතුරෝ !

  👤  4623 readers have read this article !
2017-09-28

බොරුවක් සියවරක් ප්‍රචාරය කළ විට එය ඇත්තක් බව ජාත්‍යන්තර ප්‍රජාව සිතයි. එහෙත් ඒ බොරුව රැවටීමක් බව හෙළි වන විට සිදුවී ඇති හානිය අති විශාලය. මෙහෙම කියන්නේ රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින්ය. එය සිතේ තබාගෙන ඉදිරියට යමු.

'අපිට දැන් සතුරෝ නෑ. හැමෝම අපි එක්ක මිතුරුයි'
යූ එන් ගිය මෛත්‍රි එහෙම කීවේය.

'අපි රට පාවා දෙන්නේ නෑ. රණවිරුවන් යුද අධිකරණයට ගෙනියන්න ඉඩ තියන්නේ නෑ.' කියාත් මෛත්‍රි නිතර නිතර කියන්නේය.
මෛත්‍රි කියන විදිහට දැන් ලෝකෙම හරි යාළුය. ඒක එහෙම නම් ඉතා හොඳය. මේ ආණ්ඩුව කියන විදිහට දැන් ජිනීවා මර උගුලෙන් ගැලවිලාය. මානව හිමිකම් ප්‍රශ්නවලින් නිදහස්ය. හැමෝම දැන් දෝත දිගු කරගෙන එන්නේ රටට උදවු කරන්නටය.

හැබැයි එහෙම එන අය තිගැස්සෙන්නේ මෙහේ ඉන්න සමහරු කියන කතා හින්දාය. පුදුමය වෙන්නේ ඒ අය විපක්ෂයේ අය නොවේය. ඉන්නේ ආණ්ඩුවේමය. ආණ්ඩුවේම ඉඳන් ආණ්ඩුව වනසන සතුරන් ගැන මෛත්‍රි දන්නවාද දන්නේ නැත.
කල්පනාවෙන් සොයා බැලුවොත් එහෙම සතුරන් දෙන්නෙක් හොයා ගැනීම අපහසු නැත.
මේ දිනවල ජිනීවාවල ඩයස්පෝරාව ඔළුව උස්සලාය. ජනපති එක්ක යූ එන් යන්න බලාගෙන හිටිය සරත් ෆොන්සේකාට අන්තිමට යන්න වුණේ නැත. හැබැයි, නොගියා කියා වෙන්න ඕන දේ දැන් වෙමින් තිබෙන්නේය. ෆොන්සේකාගේ ප්‍රකාශයක් පාදක කරගෙන ඔහුව සාක්ෂිකරුවෙක් හැටියට නම්කොට යෝජනාවක් ගෙන එන්නේ ද්‍රවිඩ සන්ධානයය.
ෆොන්සේකා කට වරද්දාගත්තේ පළමු වතාවට නොවේ. සුදු කොඩි කතාවක් නිසා ඔහු මුල්වරට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඒ කතාව ජාත්‍යන්තරය දක්වා ගියේය.

'යුද්දෙ මෙහෙයවපු හමුදාපති කියන කතා' ලෝකෙම අතුරුපසක් විදිහට ගත්තේය.
'යටත් වීමට පැමිණෙන අයට වෙඩි තබන ලෙසට ගෝඨා නියම කළා' යැයි 2009 වසරේ දෙසැම්බර් 8 වැනි දින කොළඹ රාජකීය මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමා සමඟ පැවැසූ බව, "සන්ඩේ ලීඩර්" පුවත් පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය එවක කියා සිටියාය. පළමු ආන්දෝලනාත්මක සිදුවීම වූයේ එහෙමය. ඒ ප්‍රකාශය අල්ලාගත් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව කුරුසියේ තබා ඇණ ගසන්නට කටයුතු කළේය. හැබැයි 'සුදුකොඩි කතාව' ප්‍රබන්ධයක් බව ඔප්පු කරන්න රටක් හැටියට අප්‍රමාණ වෙහෙසෙන්නට සිදුවිය.

2009 මැයි 10 සිට මැයි 19දා කාලය තුළ ඇමෙරිකානු හමුදා චන්ද්‍රිකාවක් වෙල්ලමුල්ලිවයික්කාල් සහ වට්ටුමාල් පාලම හරහා පැමිණි පිරිස විමර්ශනය කර ඇත. එහෙත් එම හමුදා චන්ද්‍රිකාවේ සුදු කොඩි ඔසවාගෙන පැමිණෙන කොටින්ගේ දර්ශන තිබුණේ නැත. සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානී පුලිතේවන් කැනඩාවේ සිටින තම සොහොයුරාගේ බිරිය වෙත චන්ද්‍රිකා පණිවුඩයක්දී තිබ්බේ, 2009 මැයි 17 දා පැය 06.09 ටය. එහිද එහෙම 'සුදුකොඩි කතාවක්' තිබ්බේ නැත. සියල්ලටම වඩා යුද්ධයේ අතිශය තීරණාත්මක මොහොතක එල්.ටී.ටී.ඊ.යේ විශ්වාසවන්තම සෙබළිය වූ තමලිනී ලියූ කෘතියේද සඳහන් වෙන්නේ, ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති සුදු කොඩි චෝදනාව මුළුමනින්ම සාවද්‍ය එකක් බව කියාය. සිය ග්‍රන්ථයේ දක්වා ඇත්තේ වන්නි මෙහෙයුමේ අවසාන සටනේ යුද්ධය මෙහෙයවීම ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනී සිදුකළ බව කියන අෑ සුදු කොඩි ඔසවා යටත් වන ලෙස ප්‍රභාකරන් කිසිවිටෙක නියෝග කළ බව සඳහන් කර නැත. ජාත්‍යන්තරය තමලිනීට එරෙහි වන්නේ එතැන් සිටය. කෝපයට පත්ව ඇති ඊළාම් ඩයස්පෝරාව එම ග්‍රන්ථයේ පිටපත් විනාශ කළ අතර යුරෝපයේ කිසි දෙමළ පොත් සාප්පුවක අලෙවි කිරීමද ඊළාම් ඩයස්පෝරාව තහනම් කරනු ලැබීය.

හැබැයි හමුදාපතිවරයාගේ ආන්දෝලනාත්මක කතාව ලෝකයම 'සැකයේ ඇස්' ශ්‍රී ලංකාව වෙත යොමු කරන්නට හේතු විය.
ඔහු දෙවැනි බෝම්බය පත්තු කළේ ජගත් ජයසූරියට එරෙහිවය.
ඊට පස්සේ ඔහු 'ඇල්ලේ ගුණවංශ' හිමිට චෝදනා කළේ 'චීවරධාරියෙක්' කියලාය.
තීරණාත්මක වෙලාවේ හමුදාව වෙනුවෙන් විශාල ආධාර පිරිනමමින් සමාජ සත්කාර සිදු කළ ගුණවංශ හිමිට ෆොන්සේකා එල්ල කළ විවේචනය සමාජය පිළිකුලට ලක් කළ එකක් විය.

ඔය අතරේ පිඬු සිඟා වඩිමින් සිටි සඟරුවනට කැලණිය ආසනයේ කිරිබත්ගොඩදී මාළු පාන්, සොසේජස් බනිස් වැනි දෑ පිරිනමමින් කළ 'අශිෂ්ට' වැඩේට නම අෑඳී තිබෙන්නේ ඒ ආසනයේ සංවිධායකවරයාටය. කැලණියේ සිටි මර්වින් සිල්වා කැලණියේ ඉඳගෙන කළ කී දෑ අදත් හිරිකිත ය. දැන් වෙන සමහර දේවල්ද ඊට කිට්ටුය. එකල ආණ්ඩුව ගෙදර යවන වැඩේට මර්වින් ලොකු හයියක් දුන්නේය. මේ ආණ්ඩුව ගෙදර යවන්නත් ඒ වගේ මර්වින්ලා අඩු නැතිව ඉන්නවා වගේය.
අන්තිමට කට හින්දා ෆොන්සේකාට යූ එන් යන්න බැරි විය.

"සමහර විටෙක මිනිස්සු වැරදියට තේරුම් ගන්නවා මම කියන දේවල් - ඒවා මම හිතන දේවල්ය කියලා. මම කිසිම දවසක ඉගෙන ගෙන නැහැ. පෙර පාසල් අධ්‍යාපන සහතිකයක්වත් මට නැහැ. ඒ වුණාට, සමහර වෙලාවට මම දන්නවා පී. එච්. ඩී. කාරයන්ටත් වැඩිය. මොකද මම මිලිටෙරිකාරයෙක්. මං දන්නව වැඩ කරන විදිහ. මම වැඩ - කාරයෙක්"

එහෙම කීවේ ඒකාධිපති ඉඩි අමීන්ය. හමුදාකාරයෙක් දක්ෂ සෙබළෙක් වන්නට පුළුවන. විශිෂ්ට දේශපාලකයෙක් වෙන එක ඔහුට පහසු නැත.
වගකීම යනු මොනතරම් 'බර' දෙයක්දැයි කියා හිතෙන්නේ නව හමුදාපති කළ ප්‍රකාශයකිනි.
'පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා. ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක් ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ මං දන්නා තරමට. ඔය කාගෙ කාගෙත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගනන් එපා' යනුවෙනි.

'යුද අපරාධ පිළිබඳ බරපතළ චෝදනා එල්ල වුණු පොල්පොට්, සුන් යත් සෙන්, සදාම් හුසේන් වැනි අයටත් ඇමෙරිකාව වීසා ලබා දීලා තිබෙනවා. උග්‍ර ඇමෙරිකානු විරෝධීන් වන මුවම්මර් ගඩාෆි සහ පිදෙල් කැස්තේ‍රා්ටත් වීසා දීලා තිබෙනවා. එහෙම නම් ෆොන්සේකා ඇමැතිවරයාට විතරක් වීසා නොලැබුණේ ඇයි. ෆොන්සේකා ඇමැතිවරයාට වීසා ප්‍රතික්ෂේප කිරීම ඇත්තටම සිදුවෙලා නෑ. ඇත්තටම වුණේ ජනාධිපතිතුමා එතුමාව දාලා ගිය එකයි. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න තමයි වීසා ලැබුණේ නෑ කියලා රටට බොරු කිව්වේ' යැයි කීවේ ගම්මන්පිලය.

එහෙම හරි මෛත්‍රිට ඒ ඇත්ත තේරෙනවා නම් හොඳය. හැබැයි, ෆොන්සේකා නොගියට ඊට කිට්ටු රන්ජන් එහේ ගියේය. අධිකරණය සේම මහ සඟරුවන එක්කත් 'වැට නැති කටෙන්' රණ්ඩු වෙච්ච රන්ජන් උජාරුවෙන් යූ එන් ගියේය.
ජාත්‍යන්තර වැඩවලට නොගැළපෙන චරිත ගෙන යනවා කියා එකල ජවිපෙ මහින්දව ප ඇරියේය. දැන් වෙන දේවල් ඔවුන්ට පේන්නේ නැත.
කට හින්දා වැඩ වරද්දා ගත් දේශපාලකයෝ බොහෝය. ලංකාවේ නම් සුලබය.

'හඳෙන් හරි හාල් දෙනවා' කීව සිරිමාවෝට වැරැදුණේත් ඒ වචන ටිකමය. ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදනවා කියා පැමිණි ජේ. ආර්. නොකළේම ඒකය. 'අලිමංකඩ වෙනුවට හමුදාව යන්නේ පාමංකඩ' කියා කීවේ රවි කරුණානායකය. ප්‍රතිඵලය වුණේ එජාපය අවුරුදු ගාණක් 'සෝදාපාළුවී' තිබීමය.
වැට නැති කටවල් අපේ රටේ දේශපාලකයන්ට උපතින් ලැබී තිබෙන ඒවාය. ඉතින්, ඒවාට බේ්‍රක් නැත. හැබැයි ඒකෙන් විනාශ වෙන්නේ රටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon