ජේ.ආර්.ගේ මුනුපුරා පොහොට්ටුවට මාරුවෙයි

  👤  5272 readers have read this article !
2017-10-01

දිවංගත අග්‍රමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතාගේ 58 වැනි ගුණ සමරුව හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලදී පසුගිය 26දා පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක හා මෛත්‍රි බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වූහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේත් අනුර බණ්ඩාරනායක මහතාගේත් ගුණ සැමරීමද ඒ සමඟම සිදු කෙරිණි.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ඇතුළු මැති ඇමැති පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක් විය.
මේ අතර ජනාධිපතිවරයා බස්නාහිර පළාත් කෘෂිකර්ම හා සත්ත්ව පාලන ප්‍රදර්ශනයේ ප්‍රථම දිනයේ ආරම්භක උත්සවයට කළුතර බෝඹුවලදී එක් විය. බස්නහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය, පළාත් කෘෂිකර්ම ඇමැති ගාමිණී තිලකසිරි ඒ අවස්ථාවට එක්ව සිටියහ.

උත්සවය අමතමින් ජනාධිපතිවරයා කීවේ විදේශයෙන් ගෙන්වල ලද ලොකු ලූනු සඳහා සියයට සියයක බද්දක් පැනවීමට තමා නියෝග කළ බවය. එමෙන්ම අත්‍යවශ්‍ය නොවන හා සෞඛ්‍යයට අහිතකර ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නැවැත්වීම සඳහා නීති පැනවීමට ජාතික ආර්ථික සභාව මඟින් තමා කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය. තමා කෘෂිකර්ම ඇමැතිව සිටියදී "අපි වවමු රට නඟමු" වැඩසටහන හඳුන්වා දෙමින් කෘෂිකර්මය නඟාසිටුවීමට කටයුතු කළ ආකාරයද ජනාධිපතිවරයා මතක් කළේය.

ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ගැන කළ පර්යේෂණ ග්‍රන්ථයක් එළිදැක්වීමේ උළෙල පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිවරයා කීවේ අපේ රටේ පුරාවිද්‍යාවත් දැන් පුරාවිද්‍යාවට ගොස් ඇති බවය. එහි ඉහළ තනතුරුවලට පත්කිරීම ගැන නිලධාරීන් වසර දහයක් තිස්සේ නඩු කියාගන්නා බවත්, තනතුරුවලට සුදුස්සන් නැති බව දෙපාර්තමේන්තුව ඇතුළේම අය කියන නමුත් පිටින් කිසිවකු පත් කරන්නට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී හෙළිදරව් කළේය. මේ රටේ ආරක්ෂා කළ යුතු පුරාවිද්‍යා ස්ථාන ගැන ලැයිස්තුවක් දෙන්නැයි තමා පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් ඉල්ලා වසරක් ගියත් තවමත් එය ලැබී නැති බවද ජනාධිපතිවරයා කීවේය.

මේ අතර ජනාධිපතිවරයා බදාදා දිනයේ බදුල්ලේ නිල වැඩසටහන් ගණනාවකට සහභාගි විණි. ඇල්ල _ හාලිඇළ ප්‍රදේශවල එක් ලක්ෂ දසදහසක ජනයාට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියත්, බදුල්ලේ මෝටර් රථ අංගණයත් විවෘත කරන ලද්දේ ජනාධිපතිවරයාගේ අතිනි. අලුතෙන් පත්වීම් ලැබූ රජයේ නිලධාරීන් පිරිසකට පත්වීම් ලිපි බෙදාදීම මෙහිදී සිදුවිණි. පළාත් සභා මැතිවරණ පනතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගෙන සම්මත කර ගැනීම ගැනත් ජනාධිපතිවරයා මෙහිදී කතා කළේය. පසුගිය සතියේ ලබාගත් තුනෙන් දෙකක ඡන්දය මඟින් ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර රටට ඔප්පු කළ බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර දේශපාලන ක්ෂේත්‍රයේ 'අලුත් කතාවකට' තටු ලැබෙමින් තිබේ. ඒ "පුටුව" ලකුණ නැවත කරළියට එන කතාවය. එක්සත් ජාතික පක්ෂයේ 17 අවුරුදු පාලනය පෙරළා දමන ගමන පටන්ගත් පොදුජන එක්සත් පෙරමුණේ ලකුණ 'පුටුවය.' පුටුව ලකුණින් ඉදිරිපත්ව හැම මැතිවරණයක්ම
ජයග්‍රාහීව නිමා කරන්න පොදුජන එක්සත් පෙරමුණට හැකිවිය.

ඒ අනුව, නැවත එම පක්ෂය හා පුටුව ලකුණ ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව දැනගන්නට තිබේ.
දි.මු. ජයරත්න දැනට එහි මහලේකම් වන අතර, මහින්ද රාජපක්ෂ සභාපතිය. අලුතින් නිලධාරී මණ්ඩයලක් පත් කොටගෙන පුටුව පෙරට ගෙන ඒමේ කතාබහ දැන් දුරදිග ගොස් තිබේ. මහින්ද පාර්ශ්වයත්, මෛත්‍රි පාර්ශ්වයත් එක් කොට ඊළඟ මැතිවරණයට එන්නට පිඹුරුපත් සකසන මේ පිරිස විශ්වාස කරන්නේ පොදු පෙරමුණ ගොඩනැඟීම තුළින් අලුත් ගමනක් යා හැකි බවටය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනියගේ එකඟාවක් තාමත් මීට නැති බව පැවැසේ. එහෙත් මෛත්‍රිගෙන් සුබවාදී ප්‍රතිචාරයක් තිබෙන බවද වාර්තා වෙයි.
මෛත්‍රිගේ නිල කාලය 2019 - 20 අතර කාලයේදී හමාර වීමට නියමිතය. විටෙක ඔහු නැවත ජනාධිපතිවරණයකට නොඑන බව කියවෙයි. තවත් විටෙක ඔහු නැවත ඉදිරිපත් කරන්නට පක්ෂය සූදානම් බව කියවෙයි.

මේ සියල්ල අතරේ අලුත්ම ප්‍රවෘත්තිය 'ආන්දෝලනාත්මක' එකකි. එයින් කියවෙන්නේ 2025 දක්වා මෛත්‍රි ජනාධිපති ලෙස තබා ගැනීමට යම් යම් දේශපාලන පක්ෂ කිහිපයක අවධානය යොමු වී ඇති බවය. 2019 නව ව්‍යවස්ථාව සම්මතකොට එතුළින් එක්වරම විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර ඒ වෙනුවට පියවර කිහිපයකින් එය කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව වාර්තා වෙයි. ඒ අනුව නව ක්‍රමයෙන් ජනාධිපතිවරණයක් වෙනුවට පාර්ලිමේන්තුවේ ඡන්දයකින් ජනාධිපතිගේ
නව ධුර කාලය ආරම්භ කරනු ඇති බව කියැවේ.
එහිදී මෛත්‍රි නැවත පත්කොට ගන්නට අපේක්ෂා කරන බවත් ඉන් අනතුරුව 2025න් පසු සියලු බලතල පාර්ලිමේන්තුවට පවරන්නට අපේක්ෂිත බවත් වාර්තා වෙයි.

පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී උණුසුම් වාද විවාද මතු වූ කරුණු කිහිපයක් සිදු විය. මුලින්ම උණුසුම් කතාබහ මතුවුණේ රිෂාඩ් බදියුදීන් සහ සරත් අමුණුගම අතරය.
සුළං විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධව රජය ගෙන ඇති තීරණයක් සම්බන්ධව මන්නාරම් ප්‍රදේශයේ මෙම සුළං විදුලි බලාගාර පිහිටුවීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් විය. එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දැඩිව ඊට විරෝධය පළ කළේය.
"මන්නාරම ප්‍රදේශයේ ආගමික නායකයන් පවා මේ ව්‍යාපෘතියට විරුද්ධයි. මට ඒ නිසා ඒකට එකඟ වෙන්න බැහැ" යැයි බදියුදීන් ප්‍රකාශ කළේය.
රිෂාඩ් බදියුදීන්ගේ මෙම විරෝධය සම්බන්ධව අමාත්‍ය සරත් අමුණුගම තරමක් කෝපයට පත් වූ බවක් පෙනෙන්නට විය.
"ජාතික අවශ්‍යතාවන් අනුව ක්‍රියාත්මක වන ව්‍යපෘති වළක්වන්න ඒවාට බාධා කරන්න ආගමික නායකයන් මැදිහත් නොවිය යුතුයි" යැයි මෙහිදී අමුණුගම දැඩි ස්ථාවරයකින් පැවැසීය.
මෙහිදී රිෂාඩ් නැවත වරක් ප්‍රකාශ කර සිටියේ මන්නාරම ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ සහයෝගය මෙම ව්‍යාපෘතියට නොලැබෙන බවකි.
මෙහිදී යළිත් තම හඬ අවදි කළ අමුණුගම මෙසේ පැවැසීය.
"මේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට ඒ ආගමික නායකයන් විරුද්ධ නම් රටේ බලශක්ති අවශ්‍යතාවට විකල්ප විසඳුමක් දෙන්න ඒ අය සූදානම්ද?"
"මේකට විරුද්ධ නම් විකල්පයක් යෝජනා කිරීම වැදගත්" යැයිද අමුණුගම මෙහිදී සඳහන් කළේය.
රාජිත සේනාරත්නද මෙම විවාදයට එක්විය.
"මේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට ගැළපෙනම ප්‍රදේශය මන්නාරම බව විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. මේ ව්‍යාපෘතිය රටට අවශ්‍ය ව්‍යාපෘතියක්" යැයි රාජිත සේනාරත්නද සඳහන් කළේය.

පසුගිය 26 දින දහවල් 1.44ට පමණ පාර්ලිමේන්තු සභා ගැබෙහි විදුලිය විසන්ධි වූයේ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන ආඥා පනත ඉදිරිපත් කරමින් සිටින විටය.

"කළුවරේ.... කළුවරේ මුකුත් පේන්නේ නැහැ. ඇමැතිතුමාව පේන්නෙත් නැහැ කාටවත්ම. ඇමැතිතුමා මොනවා ඉදිරිපත් කරනවද දන්නේ නැහැ" යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කෑගසන්නට වීම නිසා මැතිසබය උණුසුම්කාරී විය.
එම කෑකෝ ගැසීම් ගනනකට නොගත් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා දිගින් දිගටම තම අදහස් දැක්වීම ඉදිරියට ගෙන ගියේය.
"කළුවරේ මේවා කරන්න බැහැ" යැයි විමල් වීරවංශ මෙහිදී කියූ විට සභාවේ සැමට සිනා පහළ විය.
"කළුවරේ අපි කළුවරේ" යැයි රංජිත් සොයිසා දිගින් දිගටම කෑගසන්නට විය. විනාඩි දෙකකට ආසන්න කාලයක් මෙසේ සභා ගැබේ විදුලිය විසන්ධිව තිබූ අතර විදුලිය යළි පැමිණීමත් සමඟ සභාවේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවිය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට පැමිණ රාජකාරි ඇරැඹීමට පෙර පැමිණි සිටි මැති ඇමැතිවරු හා රාජ්‍ය නිලධාරීන් හමුවිය.
"නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව හොඳ බව බොහෝ දෙනකුගේ අදහසයි. මම මහ නාහිමිවරුන්ටත් පිටපත් දීලා කරුණු පැහැදිලි කළා." සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

'ශ්‍රී ලනිපයත් බලය බෙදීමට එකඟයි. බුදු දහමට තිබෙන ප්‍රමුඛත්වය
තියාගෙන අනෙක් ආගම්වලටත් මදිපුංචිකමක් නොකරන පදනම කවුරුත් අගය කරනවා.' දයා ගමගේ කීය.
'විධායක ජනපතිකම අහෝසි කරන්නත් ශ්‍රී ලනිපය විරුද්ධයිලු. ජනාධිපතිවරයා ආවේ එය ආහෝසි කරන්නයි. ඒත් පළාත් සභාවලට අදාළ විධායක බලතල ජනාධිපතිවරයා ළඟ තිබීම ගැටලුවක් නොවන බව කාගේත් අදහස' ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ ශ්‍රී ලනිප පැත්තට ටොක්කක් අනිමින් වාගේය.
'මේ ගැන ජවිපෙ ස්ථාවරය අහන්න ඕනෑ. ඔවුන්ට දැන් ඇත්ත තේරෙනවා වගේ.' නවීන් දිසානායක කීවේය.
මේ අතර පසුගියදා රනිල් ගාල්ලට පැමිණියේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් වැකුණුගොඩ රජයේ නිවාස සංකීර්ණයේ නිල නිවාස 100ක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමේ අපේක්ෂාවෙන්ය.

රජයේ නිලධාරීන්ට ලබාදීම සඳහා වැකුණුගොඩ හා හබරාදුව නිවාස සංකීර්ණ දෙක ඉදිකරන ලද්දදේ 2001-2004 එක්සත් ජාතික පක්ෂ රජය පැවැති කාලයේ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා වූ වජිර අබේවර්ධනගේ මූලිකත්වයෙන්ය. අවුරුදු 13කට පසු එම නිවාස සංකීර්ණ විවෘත කරන ලද්දේ ඔහු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස යළි පත්වීමෙන් අනතුරුවය. එදිනම සවස ගාල්ල - ගිංතොට ඉදි වූ නව තරුපහේ හෝටලයක් වූ අමාරි හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ එක් වූ අතර අගමැතිවරයා එතැනට ඒමට පෙර ආරක්ෂක අංශයෙන් මාධ්‍යවේදීන්ට පණිවුඩයක් ලැබිණි.

'අගමැතිවරයා කාර් එකෙන් බහිනවා ෆොටෝ ගන්න එපා. උඩ කාමරයකට ගිහින් ඇඳුම් මාරුකරගෙන එන්නේ' ඉන් කියැවිණි.
අගමැතිවරයා රැගත් කාරය හෝටලය ඉදිරිපිට නතරවිණි. කිසිවකු ඡායාරූප ගත්තේ නැත. සුදු පැහැති කමිසයකින් සැරැසී සිටි අගමැතිවරයා එතැන සිටි වජිර
අබේවර්ධන ඇමැතිවරයාටත්, මනුෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයාටත් යමක් කියා හෝටලය ඇතුළට ගියේය. මඳ වේලාවකින් වෙනත් ඇඳුමකින් සැරසුණු අගමැතිවරයා රැගත් නැටුම් කණ්ඩායම යළි හෝටලය විවෘත වන ස්ථානයට පැමිණෙන අයුරු දක්නට ලැබිණි. අගමැතිවරයා තනියම පැමිණියද ඊට පිටුපසින් මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහද හෙමින් හෙමින් පැමිණියේ උත්සවය මෙහෙයවන අයට නොදැනෙන ලෙසින්ය.

හිටපු ජනපති දිවංගත ජේ.ආර්. ජයවර්ධනගේ මුනුපුරා ප්‍රදීප් ජයවර්ධනය. ඔහුව මීට ටික කලකට පෙර වත්මන් ජනපතිවරයා විසින් ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කර තිබිණි.
ප්‍රදීප් පසුගිය දිනෙක උදෑසන නෙලුම් මාවතේ පිහිටි කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ හමුවිය.
"එන්න එන්න ප්‍රදීප් ඔයාව හමුවුණු එක සතුටක්" යැයි බැසිල් රාජපක්ෂ ඉතා උණුසුම්ව ප්‍රදීප් ජයවර්ධන පිළිගත්තේය.
"කොහොමද තොරතුරු" බැසිල් ප්‍රශ්න කළේය.

"මෙන්න මේකයි ඇත්තම තත්ත්වේ. මම පසුගිය කාලයේ ගම්පහ ගමක් ගමක් ගාණේ ඇවිද්ද? යන හැම තැනකදීම හැම මිනිහෙක්ම කිව්වේ
ශ්‍රී ලංකාකාරයන්ගේ ඡන්ද ඕන නම් මහින්ද මහත්තයාගේ පැත්තෙන් එන්න කියලයි" ප්‍රදීප් ජයවර්ධන පැවැසීය.
'මමත් කැමැතියි ඔබතුමන්ලා එක්ක එකතුවෙලා වැඩ කරන්න' යැයිද ජයවර්ධන වැඩිදුරටත් මෙහිදී පැවැසීය.

"බොහොම හොඳයි අපි ඔක්කොම එකතුවෙලා
ඉක්මනටම මේ ආණ්ඩුව පෙරළන්න ඕන. නැතිනම් රට ලොකු අවුලක පැටලෙනවා" යැයි බැසිල් පැවැසුවේය.
එසේ කියමින් බැසිල් රාජපක්ෂ ජයවර්ධනට සමුදුන්නේ ළඟදීම දවසක යළි මුණගැසීමේ පොරොන්දුවෙනි.

පසුගිය සෙනසුරාදා මහින්ද වැල්ලවාය බලා ගොස් හඳපානාගල පුරාණ රජමහ විහාරස්ථානයේ පැවැති උත්සවයකට සහභාගිවී පෙරළා එනවිට ඉන්ධන පිරවුම් හලක් අසල නතර කෙරුණේ ඉන්ධන ලබාගැනීමටය.

ඒ වන විට තරමක් රෑ බෝවී තිබුණද රථයේ සිටින මහින්ද හඳුනාගත් ජනතාව රථය වටකරගෙන මහින්ද සමඟ කතාබහ කරන්නට වූහ. ඔවුන් මහින්දට කීවේ දැන් නම් සර් රටම ඉවරයි කියාය. ඒ අතර යාල වනෝද්‍යානයේ සිදුකෙරෙන අනවසර ජාවාරම් සම්බන්ධයෙන්ද ඔවුහු මහින්ද දැනුවත් කළහ.
"අපිට සර් දැන් පොළොවට උදැල්ලක් ගහන්න බෑ පොලිසියෙන් කුදළගෙන යනවා. හැබැයි ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ ආශීර්වාදය ඇතිව යාල කැලේ වැලි ජාවාරමයි කැලෑ විනාශ කිරිල්ලයි ජයටම කෙරෙනවා. පොලිසියට ඒවා පෙන්නේ නැහැ" ජනතාව මහින්දට කීහ.
පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්නට මහින්ද එවලේම දුරකතන ඇමතුමක් ගත්තේ මේ ගැන කියන්නටය. එහෙත් අනුරාධ දුරකතනයට පිළිතුරු නොදුන් බැවින් "මං අනුරාධට කියලා මේ ගැන හොයලා බලවන්නම්" කියා මහින්ද පිටත්ව ආවේය. මහින්දගේ ඇමතුමට අනුරාධගෙන් පිළිතුරු ලැබුණේ සඳුදාය.
"ඇයි සර් කෝල් කළේ?" අනුරාධ ඇසුවේය.

"නෑ අනුරාධ මට තිස්සමහාරාමෙදි මිනිස්සු යාල කැලේ ගැන පැමිණිල්ලක් කළා. මං ඔයාට කතා කළේ ඒ ගැන හොයලා බලන්න කියලයි" කී මහින්ද අනුරාධට සිදුවීම විස්තර කළේය. "මේක හරිම අපරාධයක්. අනුරාධ මේ ගැන හොයලා බලන්න" මහින්ද අනුරාධට කීවේය.
"හොඳයි සර් මං මේ ගැන ඩිරෙක්ටර් ජනරාල්ගෙනුත් අහලා බලන්නම්" අනුරාධ පැවැසීය.
"හොරාගෙ අම්මගෙන් පේන අහලා වැඩක් නැහැ. ඔයාට ඕනේ නම් ගමේ මිනිසුන්ගෙන් මේ ගැන අහලා විස්තර දැනගන්න" මහින්ද පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම පසුගිය අඟහරුවාදා සවස මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාම පෙදෙසේ නිල නිවෙසේදීය. එහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ අලුත් ව්‍යවස්ථාව, පළාත් සභා මැතිවරණ කල් දැමීම යන කරුණු සම්බන්ධයෙනි.
"ආණ්ඩුව කොහොම හරි කොළේ වහලා පළාත් සභා ඡන්දය කල් දැම්මා" කෙහෙළිය පැවැසීය.
"මෙයාලා කොහොමත් ඡන්ද කල් දාන්න දක්ෂයිනේ. වෙන මොනවත් නෙවෙයි මේ අය ඡන්දවලට බයයි" මහින්ද කීවේය.
"ආණ්ඩුව උත්සාහ කළේ පළාත් සභා කල් දැම්මත් ආණ්ඩුකාරයාට බලය නොදී මහ ඇමැති සහ ඇමැතිවරුන්ට බලය දීලා තියාගන්නයි. එහෙම පනතක් පාර්ලිමේන්තුවට ගේන්න ආණ්ඩුව සූදානම් වුණත් ඊට ඉස්සර සිසිර ජයකොඩි මන්ත්‍රිතුමා ලවා අපි නඩුවක් පවරලා නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිබුණ නිසා ඒක කරගන්න බැරි වුණා." දිනේෂ් පෙන්වා දුන්නේය.

"මේ ආණ්ඩුවේ තියෙන්නෙම නංගි පෙන්නලා අක්කා දෙන වැඩ. පළාත් සභා මැතිවරණය කල්දාගත්තෙත් එහෙමනේ" මහින්දානන්ද පැවැසීය.
"ඒක නම් ඇත්ත තමයි. ජනාධිපතිවරණයේදී වුණෙත් සිරිසේන මහත්තයාව පෙන්නලා රනිල්ට බලය අරගත්ත එකනේ" කෙහෙළිය කී කතාවට කවුරුත් සිනාසුණහ.
"අන්තිමට අක්කලා නංගිලා සේරම එකතු වෙලා රට විනාශ කරන එකනේ කරන්නේ" මහින්දානන්ද පැවැසීය.

ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට සමගාමීව පැවැත්වෙන මානව හිමිකම් සංවිධානවල සාකච්ඡාවකදී අදහස් දැක්වීම සඳහා පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් සහ තමිල්නාඩු
දේශපාලනඥයකු වන වයිකෝද එක්ව සිටියහ.

එහිදී වරක් වයිකෝ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ බරපතළ වශයෙන් මානව හිමිකම් කඩවන බවය. එම නිසා උතුරු කොරියාවේ මෙන් අන්තර්ජාතික විමර්ශන කමිටුවක් ශ්‍රී ලංකාවටද පත් කළ යුතු බවත් ඒ ගැන තීන්දුවක් ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවට ආ යුතු බවත් වයිකෝ යෝජනා කළේය.
කතාව අවසන් වූ වහාම එතැනට ගිය ආචාර්ය නාලක ගොඩහේවා සහ අනුරාධා යහම්පත් වයිකෝට විරෝධය පළ කළේය.
"ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද? අනුරාධා ඇසුවාය.
"නෑ මම තමිල්නාඩුවෙන්" වයිකෝ කීවේය.

"එහෙනම් ඔයා කොහොමද මහ ලේකම්වරයාට ලංකාවට ආරාධනා කළේ? ලංකාව කියන්නේ ඔයාගේ රටක් නෙමෙයි" අනුරාධා පෙන්වා දුන්නාය.
"ඔයා ලංකාවෙද? වයිකෝ පෙරළා ඇසුවේය.
"ඔව්. මම ශ්‍රී ලාංකිකයෙක්. මට මගේ රට වෙනුවෙන් පෙනී ඉන්න අයිතිය තියෙනවා" අනුරාධා පිළිතුරු දුන්නේය.
"ඔයාලගෙ රටේදි අපේ මිනිස්සු මැරුවා. අපේ මවුවරුන් දූෂණය කළා" වයිකෝ කීවේය.

"ඔයා කවුද එහෙම කියන්න? ඔයාට අමතක වෙලාද ත්‍රස්තවාදීන් අවුරුදු තිහක් තිස්සේ මගේ ජනතාවට කරපු අපරාධ? බෝම්බ පුපුරවමින් අහිංසක මිනිස්සු මරපු ත්‍රස්තවාදීන් තමයි අපරාධ කළේ" වහා මැදිහත් වූ නාලක ගොඩහේවා පැවසූ අතර වයිකෝ වහා එතැනින් පිටත්ව ගියේය.

සූරියවැව ජාතික පාසලට වසර 50ක් පිරීම නිමිත්තෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රුපියල් ලක්ෂ 71ක් වටිනා ආසන 42කින් සමන්විත වායු සමනය කළ අලුත්ම කහපාට බස් රථයක් පිරිනැමීය. දෙබරවැව ජාතික පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරු, සිසුන්, ආදි සිසුන් පිරිසක් ඔවුන්ගේ බස් රථයෙන් මේ උත්සවයට නෑගම් ඒමද විශේෂ සිද්ධියක් විය.

මීට පෙර දෙබරවැව ජාතික පාසලේ 80 වැනි සංවත්සරයටද සජිත් මෙවැනිම කහපාට බස් රථයක් තෑගි දී තිබිණි.
කහකුරුල්ලන් දෙදෙනා දුර තියා දුටු දරු-දැරියෝ හා මවු පියෝ විදුහලේ කොඩි වනමින් ප්‍රීති ඝෝෂා පළ කළහ. බස් රථය මිලදී ගැනීමට මුදල් ලබාදී තිබුණේ සජිත්ගේ ඉල්ලීම පරිදි පරිත්‍යාගශීලී දානපතියන් පිරිසක් විසිනි. සංකේතයක් ලෙස නිර්මාණය කළ යතුරක් සජිත් පාසලේ සිසුවියක හා සිසුවකු වෙත භාර දුන්නේය.
'අපේ දුප්පත් දරුවො වෙනුවෙන් මෙතුවක් කාලෙකට කවුරුවත් මෙහෙව් සැලකිල්ලක් කරල නෑ සර්' සජිත් වටකර ගත් මවුපියන් කියද්දී සජිත් කීවේ 'සල්ලි තිබුණු, බලය තිබුණු කාලේ මොනවත්ම සිද්ධ වෙලා නෑ තමයි. මම මේ ළමයින්ට ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයකුත් හදල දෙනවා. මේ දේවල් කරන්න මට අතිගරු ජනාධිපතිවරයාගෙන්, ගරු අගමැතිවරයාගෙන් ආශීර්වාදය, දිරිගැන්වීම නොඅඩුව ලැබෙනවා' කියාය.

ජපන් ජාතික සුරූපී තරුණියකගෙන් තරුණ කැබිනට් අමාත්‍යවරයකුට පාර්ලිමේන්තුවේදී විශේෂ තිළිණයක් හිමිවිය.
පාර්ලිමේන්තුවට පැමිණි ජපන් ජාතිකයන් පිරිසක් අතර සිටි මෙම තරුණිය මෙම තිළිණය ලබාදුන්නේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරටය. තිළිණය වූයේ කුඩා පිළිරුවකි. මෙම ජපන් පිරිස ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උත්සවයට සම්බන්ධ නිලධාරීහු පිරිසක්ය.
"ජපානයේ ඔලිම්පික්වලට ආවම ලංකා නියෝජිත පිරිස ඉතාමත් ගෞරවයෙන් පිළිගන්වා කියලා මේ පිළිරුව දෙන ගමන් ඒ තරුණිය කිව්වා" යැයි අමාත්‍ය ජයසේකර තම අවට සිටි හිතවතුන්ට පැවැසීය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවූ වාමාංශික දේශපාලනඥයෙක් ඉදිරියේදී ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇල්ලේ හිමිගේ සහයෝගය ලබා ගැනීම සම්බන්ධව කතා කළ බව පසුගිය සතියේ මාධ්‍යවල වාර්තා විණි. කෙසේ වෙතත් ඇල්ලේ ගුණවංශ හිමි මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ අදාළ දේශපාලනඥයා කිසි ලෙසකින් එවැනි ඉල්ලීමක් නොකළ බවය.

අදාළ හමුවීම සිදුවූයේ හුදෙක් හිතමිත්‍රකමට විනා එය විශේෂ සිදුවීමක් නොවන බවද උන්වහන්සේ නිවේදනය කර සිටී. එලෙස හමුවූ විට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කිසිදු යෝජනාවක් සිදු නොකළ බවද අසත්‍ය තොරතුරු මත පදනම්ව අදාළ වාර්තාව සටහන් වී ඇති බවද උන්වහන්සේ පවසති.

පසුගිය අඟහරුවාදා ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැස්විණි. එහිදී විශේෂයෙන් අවධානයට ගැනුණේ, පළාත් සභා පනත සංශෝධනය කිරීම පිළිබඳ මතුවී ඇති තත්ත්වය සහ විගණන පනත පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳවය.
'පළාත් සභා ඡන්ද විමසීම් පනත
පාර්ලිමේන්තුවේ සංශෝධනය වීම ගැන කරුණු හරිහැටි ජනතාව අතරට ගියේ නැහැ. සමහරු තවමත් හිතාගෙන ඉන්නේ 20 සංශෝධනය අධිකරණ තීන්දුවට පිටුපාලා 2/3න් සම්මත කර ගත්තා කියලා. ඒ වගේම තමන්ගේ දේශපාලන සිහිනය බිඳ වැටුණු ඒකාබද්ධ විපක්ෂය අපේ පක්ෂයට මඩ ගහනවා. මේ කරුණු නිසා පනත ගැන නිවැරැදි දේශපාලන සංවාදයක් ජනතාව අතරට ගියේ නෑ' ටිල්වින් සිල්වා කීය.

'පළාත් සභා පනතට සංශෝධන ගෙනාපු විදියේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුවට කිසිම සැලසුමක් නැහැ කියන එකට තවත් හොඳම උදාහරණයක් තමයි මේක. නමුත් මේ පනතෙන් පළාත් සභා මැතිවරණයටත් මනාප නැති ඡන්ද ක්‍රමයක් ගෙනාපු එක රටටත් ජනතාවටත් වැදගත්. කවුරු මොනවා කිව්වත් ඒ වගේ දෙයකට ඡන්දය දෙන එක අපේ වගකීමක්. මහින්ද රාජපක්ෂ ආවෙත් නැහැ. තමන්ගේ මන්ත්‍රිවරු ටිකවත් එක තීරණයක තියාගන්න බැරි බංකොළොත් කණ්ඩායමක් තමයි අපිට චෝදනා කරන්නේ' අනුර දිසානායක කීය.

'ඔව්, රාජපක්ෂ කණ්ඩායම කියන තරම් මේ පනත මාරාන්තික නම් පනතට ඡන්දෙ දීලා තමන්ගේ විරෝධය පළ කරන්න ඕනෑ. අපි වැඩ කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. රනිල්වත් මහින්දවත් සතුටු කරන්න නෙවෙයි කියලා අපි රටට පැහැදිලි කළ යුතුයි.'ටිල්වින් සිල්වා කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon