ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 70 වැනි සංවත්සරය

  👤  3397 readers have read this article !
2017-10-04

විධායක ජනාධිපති ක්‍රමයෙන්
පාර්ලිමේන්තුව
හෑල්ලු වුණා

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කළ, ශක්තිමත් කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70ක් සම්පූර්ණ වන අවස්ථාවක මේ ගරු සභාව ඇමැතීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ඒ වාගේම මෙම අවස්ථාව නිමිති කරගෙන පවත්වනු ලබන පුළුල් ජාතික වැඩසටහනේදී අපේ ආරාධනය පරිදි දකුණු ආසියානු සංවිධානයේ, සාර්ක් සංගමයේ රටවල කතානායකවරුන්ගේ පැමිණීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ඒ වාගේම සාර්ක් මිත්‍ර රටවල සහයෝගීතාව ශක්තිමත් කරමින් මේ අවස්ථාවට පැමිණි සියලුම කතානායකවරුන් මම මගේ ආදරණීය ජනතාව සහ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා වාගේම, ඒ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තූතිය පිරිනමනු ලබනවා.

එහෙත් දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පාර්ලිමේන්තුව ඉතාමත් දුර්වල තත්ත්වයකට පත් කරනු ලැබුවා. නමුත් වර්තමාන රජය විදියට අපි ඉතාමත්ම සතුටු වෙනවා, 2015 ජනවාරි මාසයේ 08 වැනිදා පැවැති මැතිවරණයෙන් මේ රටේ ජනතාව වෙනස් කළ නව පරිවර්තනීය යුගයක ප්‍රතිඵලයක් වශයෙන් අප විසින් සම්මත කරනු ලැබූ දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වීම වගේම මේ ගෞරවනීය උත්තරීතර පාර්ලිමේන්තුව ශක්තිමත් වීම පිළිබඳව. මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා. එම නිසා අපට අපේ පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයි අපි දකින්නේ. ගරු කතානායකතුමනි, ඉතා පැහැදිලි ලෙසම රට නොබෙදන, ඒකීය රාජ්‍යයක, සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැඟෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මේ උත්තරීතර පාර්ලිමේන්තුව තවතවත් ශක්තිමත් කිරීමයි රජයක් විදියට අපි බලාපොරොත්තු වන්නේ කියන එක විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්න ඕනෑ. එම නිසා මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට මේ ගරු සභාව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම සෑම මන්ත්‍රිවරයකුගේම සහයෝගය ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා.

ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන ක්ෂේත්‍ර තුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති වුණා. සෑම විටම ගැටුම් සහගත නොවන ආකාරයට ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් වූ උත්තරීතර ආයතනය විදියට පාර්ලිමේන්තුවට ජනතාව විසින් දී ඇති ව්‍යවස්ථාපිත බලය පිළිබඳව කිසි විටෙකත්, කිසිදු කෙනකුට අභියෝගයක් නොවන විදියට මේ උත්තරීතර සභාවේ පැවැත්මේ අවශ්‍යතාව අපි දැඩි ලෙස අවධාරණය කරනවා.

ඒ වගේම රටක් වශයෙන් කටයුතු කිරීමේදී, විධායකයේ තිබෙන්නා වූ ක්‍රමිකභාවයත්, විධිමත්භාවයත් තුළින් රට තුළ හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් ශක්තිමත් කළ යුතු වෙනවා. ඒ වගේම, ආර්ථික සමෘද්ධිය ඇති කිරීම මෙන්ම මේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුද වෙනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේදී විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට ඉතාමත්ම ස්වාධීනව, අපක්ෂපාතීව කටයුතු කිරීමේ අයිතිය අප විසින් හැමවිටම තහවුරු කළ යුතු වෙනවා.

සමෘද්ධිය සෞභාග්‍යය
ළඟා කර ගැනීමට අපට බැරි වුණා

අප අද සමරන්නෙ මේ සභාවේ හැත්තෑ වන සංවත්සරය පමණක් නොවේ. අවුරුදු හැත්තෑවක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදයේ වාර්තාවක් ඇති කරපු අවස්ථාවක් හැටියටයි.

මේ අවුරුදු හැත්තෑව තුළ මේ සභාව සිදුකළ කාර්යභාරය නිසා, ආණ්ඩු පාර්ශ්වය වෙන්න පුළුවන්, විරුද්ධ පාර්ශ්වය වෙන්න පුළුවන් ඒ මත මහජනතාවට ප්‍රකාශ කර ඒ මත සීමා කළ අවස්ථාවේ ඊට විරුද්ධව ජනහඬ නඟා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අපි ආරක්ෂා කර තිබෙනවා. ඒ සඳහා මේ ගරු සභාවට ඊට පෙර පළපුරුද්දක් ලැබුණා.
අද මම මේ සභාවට ඉදිරිපත් කළ යෝජනාවෙන් බලාපොරොත්තු වෙන්නේ සමෘද්ධිය, සෞභාග්‍ය උදාවෙයි කියලායි. මේ අවුරුදු 70 තුළම අපි තවමත් එය ලබා ගැනීමට අසමත් වෙලා තිබෙනවා. ඒකයි අපිට තිබෙන කනගාටුව. ආඩම්බර වන අවස්ථාවේදී අපට ඒ කනගාටුවත් තිබෙනවා. 1947දී අපි මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පටන් ගත්තේ එක්සත් ජනතාවක් හැටියට. සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් කියන සියලු දෙනාම ලාංකීයන් කියන හැඟීමෙන්. නමුත් අවුරුදු 30ක් තුළම මේ රටේ ජනවාර්ගික ප්‍රශ්න තිබුණා. ඒ වගේම අවි ගත්ත ප්‍රචණ්ඩත්වයක් තිබුණා. බෙදුම්වාදයක් තිබුණා. සමහර ඒවා යුද මට්ටමට පැමිණියා. අපි මේ සෑම අවස්ථාවේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. ඒ ත්‍රස්තවාදය උත්සාහ කළේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නටයි. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. නමුත් අපට තවමත් ඒ දේශපාලන විසඳුම, එක්සත් බව අපි බලාපොරොත්තු වන මට්ටමින් ලබා ගන්නට නොහැකි වෙලා තිබෙනවා. 1947 මේ සභාව රැස් වුණු
පළමුවෙනි අවස්ථාවේදී ජපානය මෙන්ම ආසියාවේ දියුණුම රට ලංකාව. දැන් අවුරුදු 70ක් ගිහින්. ඒ අවුරුදු 70 තුළ අපි දියුණු රටක් වෙන්නට, දියුණු ආර්ථිකයක් ඇති කර ගන්නට අපොහොසත් වෙලා තිබෙනවා. 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කළත් ඒ
තුළින් අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලැබුණේ නැත්තේ යුද්ධය නිසායි. එම නිසා අනෙකුත් රටවල් අපිව පහු කරගෙන ගියා. එම අසහනය නිසා මේ රටේ දකුණේත් කැරලි සහ භීෂණය ඇති වුණා.

ඒ වාගේම මේ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්නට ඕනෙ. අපේ ග්‍රාමීය ආර්ථිකය කඩා වැටිලා තිබෙනවා. ඒ වාගේම අපේ ගම්වල රැකියා නැති තරුණයින් ඉන්නවා. තවමත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ශීඝ්‍ර සංවර්ධනයකට යනවා නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ 80 වැනි සංවත්සරයට පෙර මේ රටේ ඉතා දියුණු ආර්ථිකයක් ඇති කරන්නට පුළුවන්. මේ සියල්ලම අපි ජනතාව සඳහා කළ යුතු වැඩසටහන්. ඒක අපේ යුතුකමක්. ඒවා ඉෂ්ට කිරීමටයි අපි කැප වෙලා

තිබෙන්නේ.
අවසාන වශයෙන් මම සඳහන් කරන්නේ මේ සභාවේ විටින් විට දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය වෙලා තිබෙනවා. නමුත් 1947 පාර්ලිමේන්තුවේ සිට අද වෙනකම්, මේ වසර 70 තුළ මේ සභාවේ නියෝජනය හැම වෙලාවේම තිබුණේ එක පක්ෂයකට විතරයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 8ට බැස්සත්, 140 වුණත් ගරු කතානායකතුමාත්, මමත් සාමාජිකත්වය දරන
පක්ෂය තමයි මේ අවුරුදු 70ම අඛණ්ඩව මේ සභාවේ ඉඳලා තිබෙන්නේ. එම නිසා අපිත් යම් කිසි වැඩ කොටසක් ඒ වෙනුවෙන් කරලා තිබෙනවා. අනෙක් පක්ෂත් කරලා තිබෙනවා. අපි 70 වෙනි සංවත්සරය සමරන ගමන් 80 වැනි සංවත්සරයට යන්නේ කොහොමද කියලා බලමු. 80 වැනි සංවත්සරය වන විට අපි මේ රට දියුණු කරන්නේ කොහොමද? මේ පාර්ලිමේන්තුව ඒ ප්‍රශ්න විසඳගෙන සාර්ථක වුණොත් ඒ සමෘද්ධිය සහ සෞභාග්‍ය අපේ රටට ලබා දෙන්නට පුළුවන්. මේ අවස්ථාවේදී අපේ සාමාජික මන්ත්‍රිවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපේ රටට ශීඝ්‍ර සංවර්ධනය සහ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් ලබා දෙන්නට එකතු වෙමු.

මැතිවරණවලින්
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න
බැහැ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම නිල රැස්වීම 1947 ඔක්තෝබර් 17දා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුණා. එදා ලංකාව විදේශ පාලනය යටතේ වසර 400කට වැඩි කාලයක් ගත කළා.
නිදහස් චතුරශ්‍රයේදී නිදහස සමරන අවස්ථාවට එදා තරුණයෙක් වශයෙන් මා සහභාගි වුණා. ඩී. එස්. සේනානායක මැතිතුමා නිදහස ප්‍රකාශ කරන විට මහත් ආඩම්බරයකින් මා එය දැකගත්තා. එක්සත් ජනතාවක් වශයෙන් අපි සිටියා.

ඩොමීනියන් නිදහසක් නොව පූර්ණ දේශපාලන නිදහසක් අප අපේක්ෂා කළා. මැතිවරණවලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නොහැකියි. පිළිගැනීම, බහු විවිධත්වයට ගරු කිරීම එකිනෙකා අතර එකඟත්වය අත්‍යවශ්‍යයි. එහෙත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.
දෙමළ ජනතාව දිගු කාලයක් පුරා සිය අනන්‍යතාව හා ගෞරවය ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක යෙදුණා. සන්නද්ධ අරගල පැවැතුණා. දේශප්‍රේමීත්වය තුළ හානිදායක තත්ත්වයකට මුහුණ දෙනවා නම් ඒ ගැන කල්පනා කළ යුතුයි. අතීතයේ සිදුවූ කරුණු ගැන දැන් ජනතාව දන්නවා.
සාකච්ඡා මඟින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග සඳහා යොමු විය යුතුයි. නොබෙදුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ජාතියේ කොටසක් වශයෙන් ජීවත් වීමේ අවස්ථාව හිමිවිය යුතුයි.

එක්සත් ජනතාවක් වශයෙන් නොබෙදුණු රටක් ලෙස ක්‍රියා කිරීමටයි උත්සාහ කරන්නේ. අපගේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අප එක්සත්ව ක්‍රියා
කරනවා.

පාර්ලිමේන්තුවට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිඳ දැමූ
කිලිටි ඉතිහාසයක්

වසර හැත්තෑවක පාර්ලිමේන්තු ඉතිහාසය ගැන කතා කරන මේ අවස්ථාවේ සිදුවූ හොඳ දේවල්වලට වඩා කතා කිරීමට සිදුවී තිබෙන්නේ නරක දේවල් ගැනයි.
අපේ රට දීර්ඝ ඉතිහාසයක්, රාජාණ්ඩු ක්‍රමයක් පැවැති රටක්. එවැනි දීර්ඝ ඉතිහාසයක් පසු කරලා තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන අද අප කතා කරන්නේ.
මේ ස්ථානය ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය බවට හැඳින්වුවත් මේ ස්ථානය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිඳ දැමූ ස්ථානයක් වුණා.
ජනතාව විසින් තමන්ට ලබා දුන් කාලය වසර හයක් දීර්ඝ කර ගැනීම සඳහා හතරවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ සභාව තුළ සම්මත කළා.
මේ සභාව තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී අණපනත් රාශියක් සම්මත කරගෙන තිබෙනවා.

මේ පාර්ලිමේන්තුවට තමන්ට අවශ්‍ය තමන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීමට නීති සම්මත කරගත් කිලිටි ඉතිහාසයක් තිබෙන ආයතනයක් ලෙස ඉතිහාස ගත වී තිබෙනවා.

මේ පාර්ලිමේන්තුව තුළ මොනතරම් සුරංගනා වැකි ප්‍රකාශ වුණාද කියලා මේ බිත්තිවලට කතා කරන්න පුළුවන් වුණා නම් කියාවි.
1947න් පසු ගනු ලැබූ තීන්දු තීරණ බොහෝමයක් ජාතික සමඟිය ආරක්‍ෂා කිරීමට නොව සිංහල දෙමළ ජනතාව අතර ජාතික සමඟිය නැති කෙරෙන අන්දමටයි කටයුතු සිදු වුණේ. ඒ නිසා තමයි යුද්ධයක් ඇතිවන තත්ත්වයට පත්වුණේ.

අවුරුදු හැත්තෑවක ඉතිහාසයේ ශේෂ පත්‍රය දෙස බැලීමේදී ඒ සිදුවීම් තරාදියක දමා කිරා බැලීමේදී අපට තේරුම්ගත හැකිවේවි සිදුවී ඇති වැරදි මොනවාද කියලා. ඒ නිසා වසර හැත්තෑවක ඉතිහාසයක් ගැන කතා කරන මේ අවස්ථාවේ අප විමසා බැලිය යුතු බොහෝ කරුණු තිබෙනවා.

වෛරය අතහැර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු

1947 පාර්ලිමේන්තුවේ සිටි පියවරුන්ගේ පුතුන් හැටියට මේ පාර්ලිමේන්තුව තුළ අද සිටින්නේ මමත්, චමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුත් පමණයි. එය සියුම් සතුටක්.

1931 ප්‍රථම වතාවට සර්වජන ඡන්දබලය තෝරාගෙන ඡන්දය පවත්වා ඊට පසුව ඊළඟ ඡන්දය පැවැත්වෙන අවස්ථාව තෙක් ඡන්ද පවත්වා ගැනීමට කොයිතරම් සටනක් කර ඇත්ද යන්න මේ අවස්ථාවේ සිහිපත් කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ වසර 70කට පසු මන්ත්‍රිවරු 54 දෙදෙනකු සිටින ඒකාබද්ධ විපක්‍ෂයට ලැබිය යුතු නිසි තැන නොලැබුණු බව මේ අවස්ථාවේ මා සඳහන් කරනවා.

ඡන්දයක් පැවැතුණොත් තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ඡන්දයක් නැතිනම් පාර්ලිමේන්තුව නැහැ. අද පළාත් සභා තුනක් විසිරී තිබෙනවා. එම පළාත් සභා සඳහාත් පළාත් පාලන ආයතන සඳහාත් ඡන්ද පැවැත්වෙන්නේ නැහැ. මේ ගැන මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන.
අපි වෛරය අත හැරල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු.

ජනාධිපති සිය බලතල
පාර්ලිමේන්තුවට පැවැරීම
ඓතිහාසික සිද්ධියක්

ජනතාව විසින් පත් කළ ජනාධිපතිවරයා ලෝකයේ ප්‍රථමවරට තමාට උරුම වූ සුවිශේෂී බලතල පාර්ලිමේන්තුවට පැවැරීම අපට දක්නට ලැබුණු ඓතිහාසික සිද්ධියක්.
පාර්ලිමේන්තුව බලවත් වීම පසුගිය අවධියේ දී අප දුටු විශේෂ ලක්‍ෂණයක්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමාට උරුම වූ බලතල තවදුරටත් පාර්ලිමේන්තුවට පැවැරීමට කැමැත්ත පළ කිරීම සුවිශේෂී සිද්ධියක්.
තොරතුරු දැන ගැනීමේ පනත වත්මන් රජය විසින් සම්මත කරගනු ලැබුවා. ඔබතුමා විපක්‍ෂයේ මන්ත්‍රිවරයෙකු වශයෙන් තොරතුරු දැන ගැනීමේ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේදී එවක රජය එය ඉවතලනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අප සිටියදී පරිපාලනයට සහභාගි වීමේ කිසිම බලයක් අපට තිබුණේ නැත. නමුත් අද එම තත්ත්වය වෙනස්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ පාර්ලිමේන්තුවේ
විපක්‍ෂයටද පාලනයට සම්බන්ධ වීමේ බලය ලැබී තිබෙනවා. පාර්ලිමේන්තුවේ තිබෙන කමිටු 17න් 9ක සභාපතිවරුන් ලෙස අද කටයුතු කරන්නේ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්. පාර්ලිමේන්තුවේ එදිනෙදා කටයුතුවලදී විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් සභාපතිත්වය දරන එම කමිටු ක්‍රියාකාරීව සහභාගි වනවා.

අපගේ අරමුණ විය යුත්තේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි. අපි සියලුම මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වීමට අවකාශ සැලසිය යුතුයි.
අපි අවුරුදු දෙකක් දැනට බලයේ සිටියෙමු. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වේ. මෙවර විශේෂ සිදුවීම වන්නේ පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ එම කමිටුවට සහභාගි වීමයි. බණ්ඩාරනායක මැතිනිය සහ ජේ.ආර්.ජයවර්ධන අවධියේදී ව්‍යවස්ථාදායක කමිටුවලට ද්‍රවිඩ පක්‍ෂ සහභාගි වූයේ නැත. මෙවර සියලුම පක්‍ෂ සහභාගි වීම
සුවිශේෂී සිද්ධියක්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්