මෛත්‍රිගේ UN කතාව “සොරි” වෙයි

  👤  5014 readers have read this article !
2017-10-08

ලෝක ළමා දිනය වෙනුවෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට මෛත්‍රි එක්වූ අතර වැඩසටහන ආරම්භ කොට තිබුණේ කොළඹ ආනන්ද විද්‍යාලයත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයත් එක්වය. එහිදී කතා කළ මෛත්‍රි කීවේ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ව්‍යාපාරවල නායකත්වය ගැනීමට දරුවන් ඉදිරියට ආ යුතු බවය. නිවෙසේ වුවද මත්ද්‍රව්‍ය භාවිත ප්‍රශ්නයක් ඇත්නම් ඒ ගැන ක්‍රියා කරන ලෙස ඔහු පාසල් සිසුන්ගෙන් ඉල්ලීමක් කළේය.

තමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදී දුම්කොළ සමාගමෙන් සිදුවූ හිරිහැර ගැනද මෛත්‍රි කතා කළ අතර මෙරට ඇත්තේ බි්‍රතාන්‍ය - ඇමෙරිකානු දුම්කොළ සමාගමක් වුවත් එය නම්කොට ඇත්තේ ලංකා දුම්කොළ සමාගම ලෙස බවද ඔහු කීය. මේ අතර, මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වී වසර හැත්තෑවක් සැමරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් පසුගිය අඟහරුවාදා පැවැත්විණි. සාර්ක් කලාපයේ රටවල පාර්ලිමේන්තු කතානායකවරු, නියෝජ්‍ය කතානායකවරු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
විධායක ජනාධිපති ක්‍රමය නිසා මෙරට පාර්ලිමේන්තු බලය තරමක් හෑල්ලු වූ බව කී මෛත්‍රි එය වෙනස් කිරීමට දැන් කටයුතු සිදුවී තිබෙන බවද කීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරමින් බලය බෙදන ඒකීය රටක් ගොඩනැඟීම තම අපේක්ෂාව බව කී ඔහු ඒ සඳහා ශක්තිමත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ජනපති මෛත්‍රි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා සහභාගි වී මේ වන විට සති දෙකක් පමණ ගතවී ඇතත් අදාළ සංචාරය අතරතුර සිදුවූ ඇතැම් සිදුවීම් කරළියට පැමිණෙන්නේ දැන් දැන්ය.
මේ අතරින් වඩාත් කතාබහට ලක්වී ඇත්තේ මෛත්‍රි මහා මණ්ඩල සැසිය අමතා කළ කතාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ සිදුවූ නොසලකා හැරිය නොහැකි තරම් වූ අඩුපාඩුකම් පිළිබඳවය.

මෛත්‍රි සිය හරවත් කතාව සිදු කළේ සිංහල භාෂාවෙන් වූ අතර එය එතරම් අරුමයක් නොවූයේ තවත් රාජ්‍ය නායකයන් බොහොමයක් දෙනා සිය කතාවන් සිදුකළේ තම තමන්ගේ මවු භාෂාවෙන් වීම නිසාය.

සිය කතාව තුළින් මෛත්‍රි වැඩි ඉඩක් වෙන් කර තිබුණේ මානව හිමිකම් සුරැකීමට සහ සංහිඳියාව තහවුරු කරනු වස් යහපාලන රජය විසින් පසුගිය වසර දෙක තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහාය.

අනෙකුත් රාජ්‍ය නායකයන් සිය කතාවන් තුළ ගෝලීය ත්‍රස්තවාදය ඇතුළු සියලු කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කළද මෛත්‍රි මේ වසරේ 72 වැනි සමුළුවේ තේමාව වූ "ධරණීය ලොවක් තුළ සෑම මිනිසකුටම සදාචාරසම්පන්න ජීවිතයක්" ළඟා කර ගැනීමට අවශ්‍ය කරුණු බොහෝමයක් ගෙනහැර දැක්වීය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය බොහෝ ලෙස යොමුවී ඇති කාලවකවානුවක් තුළ රටේ නායකයා ලෙස මෛත්‍රි පැහැදිලි කළ බොහෝ කරුණු මෙන්ම ළමා හා කාන්තා හිංසනය පිටුදැක ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම දැක්වූ අදහස්ද
නිසියාකාරව ජාත්‍යන්තර අවධානයට යොමු වූවාද යන්න ගැටලු සහගතය.

අනෙකුත් රාජ්‍ය නායකයන්ගේ අඩු වැදගත්කමකින් යුතු අදහස් දැක්වීමකට පවා අත්පොළසන් දුන් සභාව ජනපති මෛත්‍රි කතාව අවසන් කරන තුරුත් නිහඬව සිටීම ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ඇතැමුන්ට ගැටලුවක් වුවද ඔහු කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය අසා සිටි මාධ්‍යවේදීන් ඇතුළු අන් අයට නම් අරුමයක් වී නැති බව වාර්තා වේ.
ලොව සියලු රාජ්‍යයන් පැරිස් සම්මුතියට එකතු විය යුතු බවට දේශගුණික විපර්යාසයන් පිළිබඳව ලොව ඇති අවධානය සුළු කොට තකන ලෝක බලවතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටි සභාවක ප්‍රකාශ කරන්නට තරම් මෛත්‍රි එඩිතර වුවත් එයද එතරම්ම අවධානයට ලක් නොවීය.
මේ සියල්ල සිදුවූයේ මෛත්‍රීගේ කතාවේ ඉංග්‍රීසියට පරිවර්තනය සිදු කළ භාෂා පරිවර්තිකාව පෙන්නුම් කළ ආධුනික බව නිසා බව නම් කාහටත්
පෙනෙන්නට තිබිණි.

ඉංග්‍රීසි පර්වර්තනය පුරාවම ඇගෙන් වූ වැරදීම් නිවැරැදි කිරීමට යෑමේදී නිතරම "ඇයෑම් සොරි" (ධ්'ථ ඉධපපර) "අයි බෙග් යුවර් පාර්ඩන්" (ධ් ඡඥඨ කධභප ර්ථීචපඤධද) කීම නිසා අනෙකුත් රාජ්‍ය නායකයන් හා රාජ තාන්ත්‍රිකයන් ජනපති මෛත්‍රිට සිය මවු භාෂාව බැරි බවට සිතුවා නම් එයත් පුදුමයක් නොවේය.
සාමාන්‍යයෙන් මෙවන් ඉහළ පෙළේ සමුළු සඳහා භාෂා පරිවර්තන
කටයුතුවලට අනුයුක්ත කරනුයේ පාර්ලිමේන්තු භාෂා පරිවර්තන කාර්යාලයේ ප්‍රධාන භාෂා පරිවර්තක හෝ වෙනත් ජේ‍යෂ්ඨ භාෂා පරිවර්තකයකු බව අප කළ සොයා බැලීමේදී හෙළිවිය.

අදාළ නිලධාරිනිය පාර්ලිමේන්තු භාෂා පරිවර්තක කාර්යාලයට අනුයුක්ත වී වසර හතරක් තරම් කෙටි කාලයක් වන බවද වාර්තා වේ.
ප්‍රධාන පරිවර්තක හැරුණු විට තවත් ජේ‍යෂ්ඨ පරිවර්තකයන් හය දෙනකු සිටියදී භාෂා පරිවර්තක කාර්යාලයේ කනිෂ්ඨ නිලධාරිනියක මෙවන් භාරදූර කටයුත්තකට අනුයුක්ත කළේ මන්දැයි කියා දන්නේ නැත.

කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වුණේ රසවත්වය. ඒ රටේ ආහාර
නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමුකරමින්ය. මෙහිදී වන සතුන්ගෙන් වගා බිම්වලට එල්ලවන තර්ජන පිළිබඳවද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. ඒ අතර "බල්ලන්", "වඳුරන්" ගැනත් සාකච්ඡා විය.

"කෑගල්ලේ විතරක් වඳුරෝ 7000කට වඩා ඉන්න බවට ගණන් බලලා තියෙනවා. මේ සත්තු ප්‍රදේශයේ වගා බිම්වලට මහා විනාශයක් කරනවා" යැයි එම ප්‍රදේශයේ නියෝජිතයන් කිහිප පලක් මෙහිදී සංඛ්‍යාලේඛන පෙන්වා දුන්හ.
"මේ වඳුරු උවදුර මර්දනය කරන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේක අපි හිතනවට වඩා බරපතළ ගැටලුවක්" යැයි මෙහිදී එස්.බී. දිසානායක අමාත්‍යවරයා පැවසීය.
පී. හැරිසන්ට තිබ්බෙත් වඳුරන් ගැන ප්‍රශ්නයක්ය.

"ඔව්, මේ වඳුරෝ මර්දනය කරන්න වෙනවා. නැත්නම් වගාබිම් පාළුවෙලා, ලොකු ආහාර අර්බුද මතුවෙන්න පුළුවන්"
කැබිනට් එක සිනා සාගරයක් කළේ ගාමිණී ජයවික්‍රම පෙරේරාය.
'අපි ඒ සත්තු ගබ්සා කරන වැඩපිළිවෙළක් හදනවා'

ඔහුට කියන්නට වුවමනා වුණේ වන්ධ්‍යකරණය කරන බවය. කියැවුණේ ගබ්සා කරන බවය.
"අපි අයාලේ යන හරක් මර්දනය කරන්න වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ වගේම වඳුරොත් මර්දනය කළා" යැයි කීවේ මහින්ද අමරවීරය.
කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිතව අදහසක් හෝ තීරණයක් නොදුන් ජනාධිපතිවරයා සිනාමුසු මුහුණින් පැවසුවේ, "මෙහෙම ගියොත් ලංකාවේ මිනිසුන්ට වැඩිය සත්තු ඉඳීවිනේ" කියාය.

කැබිනෙට්ටුව සුහද මට්ටමෙන් පටන් ගත්තද හිටිගමන් එය උණුසුම් කළේ ෆයිසර්, රිෂාඩ් සහ හකීම්ය. ජාතික සීමා නිර්ණ කමිටුවේ මුස්ලිම්
නියෝජිතවරයාගේ පත්වීම සම්බන්ධ කරුණකට අදාළව මේ උණුසුම් කතාබහ ඇතිවිය.

"මේ පත්කිරීමට එකඟ වෙන්න බෑ. මනුස්සයා බදියුදීන්ගේ ආධාරකරුවෙක්, එයා එක්ක දේශපාලනය කරන කෙනෙක්" හකීම් මෙහිදී චෝදනා කරන්නට විය.
කෙසේ වෙතත් ෆයිසර් මුස්තාෆා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය. රිෂාඩ් ද වාදයට එක්වෙමින්, හකීම්ට එරෙහිව විවිධ චෝදනා එල්ල කරන්නට විය. දෙදෙනා භාෂා තුනෙන්ම ඇතිපදම් කෑගසා ගනිද්දී තත්ත්වය වඩාත් උග්‍ර විය. එකිනෙකා උස්හ¾ඩින් කරගන්නා චෝදනා කැබිනට් රැස්වීම් ශාලාවේ දෝංකාර දෙන්නට විය.
අවසානයේ ඇමැතිවරුන් තිදෙනා අතර මෙසේ ඇති වූ උණුසුම් විවාදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැදිහත් වී සමථයකට පත්කළහ. එහෙම සමථයකට පත්වූ කැබිනට්ටුව නැවත උණුසුම් වූයේ රාජ්‍ය ආයතනවලට කල්බදු ක්‍රමයට කුලී පදනමට වාහන ලබා ගැනීම ගැන කතාබහක් ඇති වීමක් එක්කය.
'මේකෙන් වෙන්නේ අපරාධයක්'
එහෙම කීවේ එස්. බී. ය
'මේ ආයතන අයිති රවිගේ හිතවතුන්ට. මේක කරලා තියෙන්නේ කිසිම කැබිනට් අනුමැතියක් නැතිව. මේකේ මොකක් හරි ඩීල් එකක් තියෙනවා. දයාසිරි එහෙම කීවේය. "මේක සහමුලින්ම මගඩියක්" එස්. බී. නැවත කීවේය. 'මෙතැන මගඩියක් වෙලා කියා පේනවා. මින් ඉදිරියට මේ ගැන කටයුතු කරන්න කමිටුවක් පත්කරමු' කියා කිවේ ජනාධිපතිවරයාය.

"මේ ගැන රාජිත කැබිනට් ප්‍රවෘත්ති දැනුම් දීමේදී මෙහෙම කීවේය.
"එහෙම දෙයක් සාකච්ඡා කළා. නමුත් ඒ පිළිබඳ තීන්දුවක් ගන්න බෑ. මොකද කැබිනට් පත්‍රිකාවක් තිබුණේ නැහැ. එතුමා ඉදිරිපත් කරලා තිබුණු එක නිසා හුඟක් මුදල් වැය වෙන බව ඇමැතිවරු ප්‍රකාශ කළා. අනෙක අවුරුදු 5කට පස්සේ අපි නැවත ඒ වාහනයට මුදල් ගෙවන්න ඕන. ඉතින් ඒ නිසා පැරැණි ක්‍රමයටම වාහන ගන්න කියලා කිව්වා. ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් තිබුණා. හැමෝම ඒකට එකඟ වුණා."

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තය ගත කළේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලය. සෙනසුරාදා උදේ තලාව සහ සවස කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවලට අගමැතිවරයා එක් විය. කෙසේ වෙතත් පාක්ෂිකයන් වෙතින් ලැබුණේ බලාපොරොත්තු වූ තරමේ යහපත් ප්‍රතිචාරයක් නොවේය.
'ජීවත් වන්නේ හරි අමාරුවෙන්. අවුරුදු 20ක් අපි දහදුක් විඳලා ආණ්ඩුවක් හැදුවේ. අද අපි කබලෙන් ළිපිට වැටිලා'
ක්‍රියාකාරිකයෙක් වේදනාවෙන් කීවේය.
මේ අතර අනුරාධපුර කලාවැව ආසනයේ, පක්ෂ ක්‍රියාකාරී රැස්වීමක් තලාව ප්‍රදේශයේදී පැවැත්වීය. රැස්වීම ආරම්භවීමට පෙර එහි පැමිණ සිටි පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් පක්ෂයේ මහලේකම් කබීර් වෙත තම දුක් ගැනවිලි ඉදිරිපත් කළහ.
"අපිට හිමි දේශපාලන වන්දි ලැබිල නැහැ. දැන් අවුරුද්දකටත් වැඩියි. මේ ඉල්ලීම කරලා. තවම මුකුත් නැහැ" එක පක්ෂ ක්‍රියාකාරිකයෙකු පැවසුවේ තරමක ආවේගශීලී අයුරකින්ය.

"පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ, ඒවා අපි කරනවා" කබීර් බොහොම සන්සුන්ව පිළිතුරු දුන්නේය.
"ඒ වුණාට සර් ඊළඟ ඡන්දෙදි පැරදුණාම කොහොමද වන්දි ගෙවන්නේ? පාක්ෂිකයෝ තවදුරටත් නොසන්සුන් වෙමින් ප්‍රශ්න කළහ. ඒ ප්‍රශ්නයෙන් නම් කබීර් තරමක් කලබලයට පත්විය.

"කොහොමද පරදින්නේ?, අපි ඊළඟ ඡන්දයත් උඩින්ම දිනනවා," කබීර් දැඩි විශ්වාසයකින් පැවැසීය.
"මොන පිස්සුද සර්, පාක්ෂිකයෝ කලකිරිලා. ඡන්දේ දුන්න කෙනෙක් හොයා ගන්න නෑ. පොරොන්දු තාම ඉටුවෙලා නැහැ. හිතේ තියෙන දුකටයි මේ වගේ දේවල් කියන්නේ" අසල සිටි තවත් පක්ෂ ක්‍රියාකාරිකයකු පැහැදිලි කළේය.

"ඔව් සර් අපි නඩු ෆයිල් කරලා, ඒවාට සල්ලි වියදම් වෙලා. තවම වන්දි නැහැ. ලැජ්ජයි සර්" තවත් පාක්ෂිකයකු චෝදනා කළේය.
'හරි අපි ඉක්මනටම විසඳුම් දෙන්නම්' යයි කබීර් පොරොන්දු විය.

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටම දෙදරා යන සිදුවීම් දිනෙන් දින මතුවෙන්නේ එහෙමය.
ඉරිදා පක්ෂ ක්‍රියාකාරි හමුව පැවැතියේ හිඟුරක්ගොඩයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි සිඩ්නි ජයරත්න හමුව අමතමින් පාක්ෂිකයන්ගේ ප්‍රශ්න සියල්ල පක්ෂයේ කර මත පැටවී ඇති බවත් විසඳුමක් නැති බවත් නෝක්කාඩුවක් ඉදිරිපත් කළේය.

මේ අතර ආණ්ඩුව ගේන්න 'හරි' පාරෙන් ආව එක්තරා තරුණ අමාත්‍යවරයෙක් මේ දවස්වල ඉන්නේ කලකිරීමෙන්ය. පක්ෂයේ ලොකු තැන්වලට ඒ බවට ඉඟි කිහිපයක් දුන්නත් ඔහුට ඇත්තේ ජනතාවගෙන් දුර ඇමැති ධූරයක් නායකත්වයේ අවධානයක් යොමුවෙලා නැත.
පරාජය වෙච්ච පක්ෂයේ හිටපු අයත් දැන් ආණ්ඩුවට ඇවිත් බලවත් ඇමැතිකම් අරන් ඉන්න නිසා ඔහු ඉන්නේ කර කියාගන්නට දෙයක් නැතිවය.
'ආණ්ඩුව හැදුවේ අපි, දැන් රජවෙලා ඉන්නේ උන්'

ඇමැතිවරයා හිතවතුන් එක්ක කියන්නේ තව 'ලුණු ඇඹුල්' වචනත් එකතු කරලාය. මේ අතර තමන්ගේ ලේකම්වරයා හරහා වැඩක් කරගන්න ගිය විටද ඔහුට සිදුවුණේ ලේකම්ගේ 'පාට්' බලන්නටය.

'ඔබතුමා කට වචනෙන් දෙන නියෝග ඉෂ්ට කරන්න අමාරුයිනේ. පේනවනේ දෙන්නෙක් හිරේ. ඒ හන්දා සර් මේක මට ලියුමකින් දෙන්න. තරහ වෙන්න එපා සර්... ඔබතුමා ලියුමකින් නියෝගය දුන්නොත් මම අත්පොතේ හැටියට ඒක හරි නම් ටක්ගාල වැඩේ කරලා දෙන්නම්'
ලේකම් කීවේ එහෙමය.

මේ අතර මෛත්‍රි පසුගිය සතියේ ආණ්ඩුවේ සිටින ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් ගාල්ලට කැඳවා තිබිණි. ආණ්ඩුවේ ඉදිරි ගමන්මඟ හා ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන්ට මතුවී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම කැඳවීමේ අරමුණ විය. සෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරයකුම විනාඩි 10 කාලයක් පෞද්ගලිකවම ජනාධිපතිවරයාට කරුණු දැක්වීමට මෙහිදී අවස්ථාව සලසා තිබිණි. මේ සාකච්ඡාවට යෑමට පෙරත් ඉන් පසුවත් හිටපු ජනාධිපති මහින්දගේ දුරකතනයට නිවනක් නොවීය. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු බොහෝ දෙනෙක් මහින්දට කතා කළහ.

'මේ මොන උප්පරවැට්ටි දාලා පක්ෂේ ගොඩගන්න හැදුවත් ඒක කරන්න බෑ'
රැස්වීමට එක්වූ ශ්‍රී ලනිප ප්‍රබලම ඇමැතිවරයෙක් තවත් ඇමැතිවරයෙක්ට කීය.
'මෙයාලා හිතනවා හැමෝම මේ ගිලෙන නැවේම ඉඳගෙන මුහුදට බිලිවෙයි කියලා. එහෙම හිතනවනම් එයාලට වැරදිලා'
අනෙක් ඇමැතිවරයා කීවේය. මේ අතර රැස්වීමේ සිදුවූ සියල්ල අකුරක් නෑර මහින්දට කීවේද ඒ ඇමැතිවරුමය. මහින්ද ඒ සියල්ල අසා සිටියා මිස කිසිවක් කීවේ නැත.

මහින්ද මේ දිනවල සිටින්නේ ජපානයේය. මහින්ද සමඟ ලොහාන් රත්වත්තේ සහ රොෂාන් රණසිංහ යන මන්ත්‍රිවරුද වූහ. ජපානයේ වෙසෙන හිතවතුන්ගේ විශේෂ ආරාධනයකට ජපානයට ගිය මහින්ද පිළිගැනීම සඳහා ටෝකියෝ ගුවන්තොටුපොළට ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද එක්ව සිටියහ. කෙසේ වෙතත් ජපාන - ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නියෝජිතයකු මහින්ද
පිළිගැනීමට ටෝකියෝ ගුවන් තොටුපොළට පැමිණ සිටියේ නැත.

මේ පිළිබඳව මහින්දගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකු බණ්ඩාර ජපාන - ශ්‍රී ලංකා තානාපති ධම්මික ගංගානාත්ට කතා කළේය. ඔහු කීවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මහින්ද පිළිගැනීමට කිසිවකු නොඑවූ බවය.

මෙය දැනගත් මහින්ද කීවේ "ඕවා මේ මෛත්‍රිපාල මහත්තයා දන්නේවත් නැතිව ඇති. මේ ගොල්ලන්ගේ වැඩ වෙන්නැති' කියාය.
කෙසේ වෙතත් උදිත, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට කතා කොට මේ ගැන විමසීය. ඔහු කීවේ මෛත්‍රි එවැනි උපදෙසක් දී නැති බවය.
මහින්ද ජපානයේදී ජයන්ත හෙට්ටිආරච්චි අනුස්මරණ ශූරතා ක්‍රිකට් තරගාවලිය නැරැඹීමටද එක්විය. එය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැතිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජපාන ශාඛාවේ සභාපති බටුවත්ත මහතාද මහින්ද හමුවීම සඳහා ඔහු සිටි හෝටලයට පැමිණියේය.

'සර් අපිට දැන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එපා වෙලා තියෙන්නේ. මෙහෙ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කියන්නේ මෛත්‍රි මහත්තයා පක්ෂ සභාපතිකමේ ඉන්නකන් පක්ෂයට වැඩ කරලා වැඩක් නෑ කියලයි. අපි ඔබතුමාලත් එක්ක වැඩ කරන්න කැමැතියි.' බටුවත්ත කීවේය. ටෝකියෝ නුවර සිටින හිටපු ජනාධිපතිවරයා මුණගැසීමට එරට සිටින ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් පවුල් පිටින් පැමිණීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගිය සති අන්තයේ යාපනයේදී පැවැත්වුණේ හිටපු ඇමැති බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා පසුගිය සිකුරාදා බැසිල් යාපනය බලා ගියේය. තමන් විසින්ම මුල් ගල තැබූ වත්මන් ජනාධිපතිවරයා විවෘත කළ ජෙට්වින් හෝටලයේ රාත්‍රිය ගත කළ බැසිල් පසුදින උදෑසන නල්ලූර් කෝවිල වැඳ පුදා ගත්තේය. අනතුරුව කෝපායි බලා ගිය බැසිල් එහි රැස්වීමකට එක් විය. ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වූහ. අනතුරුව බැසිල් ගියේ යාපනය බිෂොප්වරයා මුණගැසීමටය. බැසිල් දුටු වහාම ජස්ටින් ඤාණප්‍රගාසම් බිෂොප්වරයා ඔහුගෙන් ඇසුවේ උතුරේ මහ ඇමැතිවරයා හෝ ආණ්ඩුකාරවරයා මුණගැසුණේද යන්නයි. ආණ්ඩුකාරවරයා කොළඹ ගොස් ඇති බවත් මහ ඇමැතිවරයා රෝහල් ගත වී ඇති බවත් පැවැසූ බැසිල් බිෂොප්වරයා සමඟ බොහෝ දේ කතා කළේය.
පොහොට්ටුව ජනතාව අතරට ඉතා වේගයෙන් යමින් තිබෙන බව පැවැසූ බැසිල් ඒ සඳහා කරගෙන යන වැඩපිළිවෙළද කීවේය. මෙම සංචාරයේදී බැසිල් හමුවූ සාමිවරයකු කීවේ "මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස 33ක් වෙනවා. උතුරට සිදුවූ යහපතක් නෑ" කියලාය.

උතුරේ මාධ්‍ය සමාජයේදී මාධ්‍ය හමුවකටද බැසිල් සහභාගි විය. හමුදාව අතින් යුද අපරාධ කිසිසේත්ම සිදු නොවූ බවත් යුද අපරාධ සහ අපරාධ දෙකක් බවත් ඔහු කීවේය. එහෙත් ඇතැම් මාධ්‍ය පළ කළේ ඒ අදහස විකෘති කොටය. මහින්ද රාජපක්ෂ සමයේ උතුරේ කිසිම ඉඩමක් රජයට පවරා නොගත් බවත් ඔහුගේ කාලයේදී බොහෝ ඉඩම් නිදහස් කළ බවත් බැසිල් කීවේය. යාපනය විශ්වවිද්‍යාලයේ හමුවකදට බැසිල් මෙහිදී සහභාගි විය.

මේ අතර වෙල්ලනි ප්‍රදේශයේදී බැසිල් හමුවූ කාන්තාවක් කීවේ වෙනම කතාවකි.
"මහින්ද මහත්තයා යූ. එන්. එකට යන කොට මගේ පුතත් ගියා. හැබැයි එයා ලංකාවට ආවම සුදු වෑන් එකකින් උස්සගෙන ගියා. ආණ්ඩුව වෙනුවෙන් කතා කරපු කෙනෙක් එහෙම අතුරුදන් වුණේ කොහාමද? මෙතැන කුමන්ත්‍රණයක් තියෙනවා. ඒත් ඒවා මතුවුණේ නෑ." එම කාන්තාව හඬමින් බැසිල්ට කීවේය.
මෙම රැස්වීම් සියල්ල සංවිධානය කළේ කලක් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රි එස්. අමරසිංහය.

මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ උත්සවයක් හා රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මේ සඳහා රජයේ මැති ඇමැතිවරුන්ට මෙන්ම විපක්ෂයේ නියෝජිතවරුන්ට හා

දේශපාලකයන්ටද ආරාධනා කර තිබිණ. යා දෙත නොරත රත කියන්නාක් මෙන් භෝජන සංග්‍රහයේදී විපක්ෂ නායක ආර්. සම්පන්දන්, දිනේෂ් ගුණවර්ධන අසුන්ගෙන සිටියේ එක ළඟය. ටිකකින් එතැනට මහාචාර්ය ජී.එල්. පීරිස්ද පැමිණියේය.
"දකුණේ ජනතාවට නව ව්‍යවස්ථාව ගැන බොරු කියලා බය කරන්න එපා. අලුත් ව්‍යවස්ථාව ගොඩනඟන්න ලැබිලා තියෙන අවස්ථාව නැති කරන්න එපා"
සිනාමුසු මුහුණින් දිනේෂ් දෙස බැලූ සම්පන්දන් පැවැසීය. ඒ එක්කම හෙතෙම ජී.එල්. පීරිස් මහතා වෙතද හැරී ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාව ගෙන එන්නට සහාය දෙන ලෙසය.

"දකුණේ දේශපාලකයන් මේ ව්‍යවස්ථාව ගැන බොරු කියලා ජනතාව රවටනවා. මේකෙන් රට බෙදනවා කියනවා. නමුත් එහෙම රට බෙදීමක් මේකෙන් වෙන්නේ නැහැනේ. මේ වෙලාවේ මේක ගෙන එන්න උදවු කරන්න" යැයිද සම්පන්දන් පැවැසීය. මෙහිදී දිනේෂ් මෙන්ම ජී.එල්. පීරිස්ද සුහද මට්ටමින්ම විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

"මේ යෝජනා වී ඇති ව්‍යවස්ථාව තුළ අපට එකඟ විය නොහැකි කරුණු රාශියක් තියෙනවා. ඒ නිසයි අපි මේකට විරුද්ධ" ජී.එල්. පීරිස් පැහැදිලි කළේය.
කෙසේ වෙතත් විපක්ෂ නායක සම්පන්දන් මේ දිනවල සිටින්නේ නව ව්‍යවස්ථාව ගොඩනැඟීම පිළිබඳ දැඩි උනන්දුවකිනි. හමුවන බොහෝ දෙනකු සමඟ කතා කරන්නේද ඒ ගැනමය. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති සාක් කලාපීය කතානායකවරුන්ගේ සමුළුවේ සමාරම්භයටද සම්පන්දන් එක්විය. එම උත්සවයෙන් පසුව පැවැති භෝජන සංග්‍රහයේදී තමාට හමුවූ රජයේ දේශපාලනඥයන් කිහිපදෙනකු සමඟද සම්පන්දන් නව ව්‍යවස්ථාව ගැන කතා කළේය.

"මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕනේ. නැත්තම් අපරාධයක්" සම්පන්දන් මහතා නිමල් සිරිපාල ද සිල්වාට ළංවී පැවැසීය. සිරිපාල මහතාද පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී පැලඳි බොරු කොණ්ඩය රහිතවම මෙම උත්සවයට එක්ව සිටි අතර, නිමල්, සම්පන්දන් සමඟ එක්ව ආහාර අනුභව කරන අතරතුර ව්‍යවස්ථාව ගැනද බර සාකච්ඡාවක නිරත විය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පසුගිය අඟහරුවාදා සවස කිරුළපන පිහිටි මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවෙසට රැස්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වීම සඳහාය. මේ රැස්වීමට පසුගියදා මෛත්‍රි ජනාධිපතිවරයා හමුවී
මහියංගණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරය භාරගත් තේනුක විදානගමගේ මන්ත්‍රිවරයාද සහභාගි වී සිටීම විශේෂත්වයකි.
තේනුක මේ වැඩමුළුවට ආවේ මාධ්‍යවේදී චතුර අල්විස්ගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගිය ශෙහාන්, මහින්දානන්ද, ජානක වක්කුඹුර හා කනක හේරත් සමඟ එකම වාහනයක වීම විශේෂත්වයකි. ජී.එල්.ගේ නිවෙසේදී වාහනෙන් බසින විට මහින්දානන්ද
තේනුකගේ පිටට තට්ටුවක් දමමින් "වෙල්කම් බැක්" කීවේය.
"මම කොහෙවත් ගියේ නැහැ. මම හිටියේ මෙතැනමයි" තේනුක උත්තර දුන්නේ සිනාසෙමිනි.
ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා, දයාන් ජයතිලක, මහාචාර්ය ජී.එල්. පීරිස් මෙහිදී මන්ත්‍රිවරුන් දැනුවත් කළහ.
"ආණ්ඩුව අපේ විරෝධය තඹේකට මායිම් කළේ නැහැ" දිනේෂ් කීවේය.
"මේ ගැන පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කළා වගේ රටේ ජනතාව දැනුවත් කරන්න පුළුල් වැඩපිළිවෙළක් ඕන. ආණ්ඩුව හදන්නේ කොළේ වහලා ගහන්න" ඩලස් කීවේය.
"මේක තනිකරම වචන හරඹයක්. ජනතාව නොමඟ යැවීමක්" මහාචාර්ය ජී.එල්. කීවේය. අවසානයේදී තීරණය කෙරුණේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු කිරීමටය.

සාකච්ඡාවෙන් පසු මන්ත්‍රිවරුන් සියලුදෙනාම වාගේ මාධ්‍යවේදී චතුර අල්විස්ගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය. මළගෙදර යෑමට පවිත්‍රා, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා ගොඩවූයේ එක් වාහනයකටය. ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ ඇතුළු තරුණ මන්ත්‍රිවරුන් එක් වාහනයකට ගොඩ විය.
"මල්ලිලා පාර දන්නේ නැහැ නේද අපේ පස්සෙන් එන්න" පවිත්‍රා එහෙම කියා වාහනය ඉස්සර කළාය.

කෙසේ වෙතත් ඉදිරියෙන් ගිය පවිත්‍රලාට පාර වැරදුණි. තරුණ මන්ත්‍රිවරු පවිත්‍රලාට කලින් මළ ගෙදර ගියහ.
"මැඩම් අපිට පාර පෙන්නන්නම් කියලා ඔයාලා පාර වරද්දගත්තා නේදැයි" රණවීර බොහෝ වෙලාවකට පසු මළගෙදරට පැමිණි පවිත්‍රාගෙන් ඇසුවේය.
"මල්ලී රටටම පාර වැරදුණු එකේ මොනවා කරන්නද..?" පවිත්‍රා කීවාය.

ලෝක ජනාවාස දිනය යෙදී තිබුණේ ඔක්තෝබර් 02 වැනි සඳුදාටය. ඒ වෙනුවෙන් මාතර පැවැත්වෙන ජනාවාස දින උත්සවයට ඒමට මඳක් ප්‍රමාද විය හැකි බව මංගල සමරවීර ඇමැතිවරයාට දුරකතනයෙන් දැනුම් දුන් සජිත් බෙලිඅත්ත මෝදරවාන පවුල් 480කට පානීය ජලය සැපයීම සඳහා රුපියල් ලක්ෂ 32ක වියදමින් තැනෙන ඒකාබද්ධ ජල ව්‍යාපෘතියේ වැඩ ඇරැඹීම සඳහා ගියේය. උත්සවය පැවැත්වෙන ස්ථානයේ සවිකර තිබූ තමන්ගේ සහ අගමැතිවරයාගේ රූපවල හිස් කොටස් කිසියම් පිරිසක් කඩා දමා අති බව සජිත් දුටුවේය.

ඒ උත්සවය අතරේ සජිත් මංගලට ඇමැතුමක් දී ඇසුවේ 'අපි කොහෙදිද හමුවන්නේ' කියාය. 'අපේ ගෙදරට එන්න' 'මංගල කියද්දී සජිත් කීවේ' මාත් එක්ක බුද්ධිකත් ඉන්නවා' කියාය. එවර මංගල කීවේ. 'අපේ ගෙදර බුද්ධික ඕනෑ තරම් ඇවිත් තියෙනවා එයත් එක්කම එන්න කියාය. ඒ අනුව සජිත් බුද්ධිකද සමඟ මංගලගේ නිවෙසට ගියේය. නිවෙසේ තිබූ මංගලගේ පියා වන මහානාම සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ ඡායාරූප පෙන්වමින් මංගල ඒවා ගැන විස්තර කළේය. උත්සවයට සජිත්, මංගල සහ බුද්ධික ගියේ එකම ජීප් රථයේය. උත්සව භූමියට ඒ වන විටත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයාද පැමිණ සිටියේය. උත්සවයේදී පවුල් 1,500කට රුපියල් ලක්ෂ 1,605ක ප්‍රතිලාභ හිමිකර දෙද්දී මංගල කීවේ 'මේ වගේ සහන තොගයක් මාතරට ලැබුණමයි' කියාය. සජිත් සිය කතාවේදී කීවේ 'ඔබතුමා අය - වැය කතාව කරගෙන යනකොට නිවාස අමාත්‍යාංශයට ලොකුම හැන්දෙන් බෙදන්න ඕනෑ' කියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්