ඉන්දියාවේදී උපන් පිලිප්ගේ පුතා ඉන්දික මාස තුනේදී අත්අඩංගුවට

  👤  1552 readers have read this article !
2017-10-08

ශි්‍රයානි අජන්තා විතාන

දෙවැනි ලෝක මහා යුද්ධය අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයක් බව ලංකා සම සමාජ පක්ෂය තීරණය කළේය. ජනතාව යුද්ධයට විරුද්ධව පෙළගස්වන්නට උත්සාහ කිරීම නිසා එවකට මෙරට පැවැති බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුව සමසමාජ නායකයන් සිරභාරයට ගත්තේය. ආණ්ඩුකාර කැල්ඩිකෝට් විසින් 1940 ජුනි 18 දින සිරභාරයට ගැනීමට නියමිත අයගේ ලැයිස්තුව කල් ඇතිව රාජ්‍ය මන්ත්‍රණ සභාවට දන්වා තිබිණි. 1942 අප්‍රේල් 5 වැනිදා ජපන්නු කොළඹට බෝම්බ දැමූහ. ඒ වන විටත් ඇන්. ඇම්., පිලිප් හා එඩ්මන් සමරක්කොඩි සිටියේ සිර ගෙදරය.

පැසිස්ට් කඳවුරේ ජපන්නු ලංකාවට බෝම්බ හෙළීම මුවාවෙන් සිර ගෙයි සිටි දේශපාලන නායකයන් මරා දමන්නට සූදානමක් ඇති බවට තොරතුරු ලැබීම නිසා සම සමාජ නායකයන් සිරෙන් පැන ගියේය. ආචාර්ය විශ්වනාත් යන නමින් ඇන්. ඇම්. පෙරේරා ඉන්දියාවේ බැංකුවක ලේකම් තනතුරක් ලබා ගත්තේය. පිලිප් ගුණවර්ධන සහ ඔහුගේ බිරිය කුසුමා ගුණවර්ධනත්, රොබට් ගුණවර්ධන, හෙක්ටර් අභයවර්ධන යන සම සමාජ නායකයනුත් ඉන්දියාවට ගොස් මෙම පිරිසට එක්ව සිටියහ. ඔවුන්ට ඉන්දියානු විප්ලවවාදී කණ්ඩායම්වල සහායද තිබිණි.

බොම්බාය නගරයේ මහල් නිවෙසක් කුලියට ගෙන මෙම ආගන්තුක පිරිස නවාතැන් ගත්තෝය. රගවන් කොඩියල් නම් ඉන්දීය ජාතිකයෙක්ද ඔවුන් සමඟ විසීය. ඔහු හඳුන්වන ලද්දේ ප්‍රකට ඉන්දියානු කවියකු වූ කබීර් නමිනි. මෙහිදී එක් සුවිශේෂී දෙයක් සිදුවිය. ඒ පිලිප්ගේ බිරිය කුසුමාට සිය කුලුඳුල් දරුවා ලැබීමය. ඉන්දියාවේ උපන් පුතුට 'ඉන්දික' යන නම තැබීම දෙන්නා දෙමහල්ලන්ගේ අභිමතය පරිදි සිදුවිය.

රහස් විප්ලවකාරීන් පිරිසක් බොම්බායේ නිවෙසක සැඟව සිටින බව ඉන්දීය පොලිසියට තොරතුරු ලැබෙන විට ඉන්දිකගේ වයස මාස දෙක තුනකි. ඉන්දීය බුද්ධි අංශ තමන් ලුහුබඳින බව දැනගත් පිරිස තැන් මාරු කරන්නට තීරණය කළෝය. එහෙත් ඒ වන විටත් ඔවුන් ප්‍රමාද වී තිබිණි.

එය 1943 වසරේ තීරණාත්මක දිනයකි. ඇන්. ඇම්. පෙරේරා අලහබාද් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තනතුරකට ඉල්ලුම් කර තිබිණි. ඒ සඳහා එදින සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ බැවින් ඇන්. ඇම්. උදෑසනම නිවෙසින් පිටව ගියේය.
පිලිප්, කුසුමා, කුඩා ඉන්දික සහ හෙක්ටර් නිවෙසේ සිටියෝය. කිසිවකු ‍ෙදාරට තට්ටු කරන හඬ ඇසුණේ උදේ 7.00ට පමණය. ඒ කිරිකාරයා වියයුතු යැයි සිතූ කබීර් තමා කෑම පිළියෙල කරමින් සිටි ඉරියව්වෙන්ම ගොස් ආලින්දයේ ‍ෙදාර ඇරියේය. කබීර් විමතියට පත් කරමින් ඔහු දෙසට රිවෝල්වරයක් එල්ල කරගත් පොලිස් භටයකු ‍ෙදාර අසල සිටියේය. සන්නද්ධ භට පිරිසක් නිවෙස වටලා සිටියෝය. නිවෙස දැඩි සෝදිසියකට ලක් කළ නමුත් ඔවුන් අපේක්ෂා කළ පරිදි ආයුධ කිසිවක් හමු නොවීය. ඇත්ත වශයෙන්ම ඔවුන් සතුව ආයුධ තිබුණේද නැත.

පොලිස් කණ්ඩායමේ නායකයා "නුඹේ නම කුමක්දැය" කබීර්ගෙන් ප්‍රශ්න කළේය.

'කබීර්' යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.
"ෂ-- හො½ද කවියෙකුත් ඉන්නවා" යැයි පොලිස් නිලධාරියා සමච්චල් හිනාවක් දැම්මේය.

පිලිප්, කුසුමා සහ හෙක්ටර්ද මාස කිහිපයක් වයසැති ළදරු ඉන්දිකද අත්අඩංගුවට ගන්නා ලදී. එදිනම ඔවුන් ඔහු වැඩ කළ බැංකුව මාර්ගයෙන් ඇන්. ඇම්. වද අත්අඩංගුවට ගත්තේය. ඉන්දියාවේදී ප්‍රශ්න කොට සියලු තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු ශ්‍රී ලාංකේය විප්ලවකාරීන් ලංකාවේ යටත් විජිත ආණ්ඩුවට භාර දෙන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්