අධිනීතිඥ ලූෂන් ජී. වීරමන්ත්‍රි අධිකරණය හමුවේ පවත්වන ලද දේශනය. පොලිසිය සෝමාරාම හිමිට අබිං දී චපල අදහස් ඉටුකර ගත්තා

  👤  1831 readers have read this article !
2017-10-08

උදේනි සමන් කුමාර

අගමැතිට වෙඩි තබන දිනය සැප්තැම්බර් 25 වැනිදා හැටියට නියම කරගෙන තිබුණු බව සෝමාරාම සිය පාපෝච්චාරණයෙන් කියයි. එසේ නම් සැප්තැම්බර් 24 වැනිදාත් ඊට කලින් දෙවතාවකුත් අගමැති නිවෙසට ඔහු ගියේ මන්ද? එක වෙඩිල්ලක් ඉස්තෝප්පුවේදී තැබූ බවත් අනෙක් වෙඩි තුන නිවෙස තුළදී තැබූ බවත් පාපෝච්චාරණයේ සඳහන් කර ඇත. එහෙත් සාක්ෂිවලින් කියැවුණේ වෙඩි හතරම ඉස්තෝප්පුවේදී තැබූ බවය.

අබිංවලට පුරුදුවී සිටි සෝමාරාමට පොලිස් නිලධාරීන් විසින් අබිං දෙන ලදී. දුම් නොබොන රාජසූරිය මහතා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීහු සෝමාරාමට සිගරැට් දුන්හ.

මෙසේ කළේ ඔවුන්ගේ සිතේ තිබුණු පහත් චපල අදහස් ඉටුකර ගැනීම ස¼දහාය. පොලිස් නිලධාරීන් රිමාන්ඩ් සිරගෙදර හැසිරී ඇත්තේ හරියට ඔවුන්ගේ නිවෙස්වල හැසිරෙන හැටියටය. පොලිස් නිලධාරීන්ට රිමාන්ඩ් සිරගෙදර ඕනෑම දෙයක් කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා ඉඩදී ඇත. රිමාන්ඩ් සිරකරුවන් බැලීමට අවසර ලබාගෙන ඇත්තේ ටෙලිෆෝනයෙනි. අවසර ඉල්ලන්නටත් පෙර ලැබී ඇති බව පෙනේ.

සැප්තැම්බර් 25 වැනිදාට කලින් සෝමාරාම කිහිප වරක්ම අගමැති පස්සේ ගිය බව පැමිණිල්ල කීය. ඔහු අගමැතිගේ කාර්යාලයට දෙවරක්ද අගමැති නිවෙසට දෙවරක්ද ගියේ ආයුර්වේද රෝහල සම්බන්ධයෙන් කරුණු කීමටය. සැප්තැම්බර් 25 වැනිදා අගමැතිට වෙඩි තබන දිනය වශයෙන් තෝරා ගත්තේ නම් ඊට කලින් ඔහු අගමැති පස්සේ ගියේ ඇයි?
අගමැතිට වෙඩි තබා මැරීමේ අදහස සෝමාරාම තුළ තිබුණා නම් ඔහු හැකි පමණ අනුන්ගෙන් අෑත්වී සිටිනවා ඇත. එහෙත් සෝමාරාම අමර විහාරයේ හැසිරී ඇත්තේ සාමාන්‍ය විදියටය. ඔහු සිටි කාමරයේ රෝගියකුද නවත්වා ගෙන සිටියේය. සෝමාරාමගේ කාමරයේ නැවතී සිටි සෝමරත්න නමැති ළමයා දුන් සාක්ෂිය පිළිගැනීමට බැරිය. සෝමරත්න සිය කැමැත්තෙන් පොලිසියට ප්‍රකාශයක් කර නැත. පොලිසිය ඔහු සොයාගෙන ගොස් ප්‍රකාශයක් ලියා ගත්තේය. පොලිස් නිලධාරීන් ඔහුට මුදල් දුන් බව සොමරත්න පිළිගත්තේය. සෝමරත්නගේ පමණක් නොව අමර විහාරයේ කිසිම සාක්ෂිකරුවකුගේ සාක්ෂි ගැන කිසිම විශ්වාසයක් තැබිය නොහැකිය. බුද්ධරක්ඛිත හිමි සහ ජයවර්ධන හඳුනා ගැනීමට, අමර විහාරයේ සාක්ෂිකරුවන් සඳහා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් නොපැවැත්වූයේ ඇයි? බුද්ධරක්ඛිත හිමි සහ ජයවර්ධන අමර විහාරයේදී දුටු බව ඒ සාක්ෂිකරුවන් කී නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් ඒ දෙදෙනා එහිදී දැක නැත.

මේ අවස්ථාවේදී විනිශ්චයකාරතුමා වීරමන්ත්‍රි මහතාගේ කතාවට හරස් කපමින් මෙසේ කීය.

වීරමන්ත්‍රි මහතාණනි, විත්තිකරුවන්ගේ ඡායාරූප පුවත්පත්වල පළ වුණා. එම නිසා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකින් කිසි වැඩක් වෙන්නේ නැහැ. ලංකාවේ පත්‍රවල පමණක් නොව ලන්ඩනයේ පුවත්පත්වලත් ඔවුන්ගේ ඡායාරූප පළ වුණා.

"තමන් ළඟ රිවෝල්වරයක් සඟවා ගෙන මිනී මැරුමකට ගියා නම් තමා ගමන් කළ ටැක්සියේ වෙනත් අය එක්කර ගෙන යනවාද? අගමැති මැරීමට යන මිනිහෙක් හැසිරෙන්නේ ඒ අන්දමට නොවේ. ගුවන් විදුලි කාර්යාලය ළඟ සිට රොස්මිඩ් පෙදෙසට සෝමාරාම ගෙන ගියැයි කියනු ලබන ටැක්සියේ රියැදුරු වන පිලෙක් සිංඤෝට සෝමාරාම හඳුනා ගැනීමට බැරි විය. ඒ රථයේ ගමන් කරද්දී සෝමාරාම අගමැති ගැන සඳහන් කරමින් 'අගමැති රට විනාශ කරනවා'යි කී බව පිලෙක් සිංඤෝ කීය. අගමැති රට විනාශ කරන බව ඒ කාලයේ නොයෙක් දෙනා කීය. මේ කතාව සෝමාරාමට විරුද්ධව යෙදිය නොහැකිය. අගමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් ආපසු පැමිණීමේ කතාවක් ද සෝමාරාම කියා ඇත. එදා සෝමාරාම අගමැතිට වෙඩි තබන අදහසින් ගියා නම් අගමැති ආපසු එන කතා කියන්නේ නැත.

හවුල්කාරයකු වන අමරසිංහගේ සාක්කිය ගැන ජූරිය ක්‍රියා කළ යුත්තේ ඉතා පරිස්සමිනි. නිව්ටන් පෙරේරාගේ සාක්කිය සැබෑ නම් ඔහුද හවුල් කාරයෙකි. එහෙත් ඔහුගේ සාක්කිය අමූලික බොරු බව මම කියමි. එක් හවුල්කාරයකුගේ සාක්කිය තවත් හවුල්කාරයකුගේ සාක්කියක් ඔප්පු කිරීම සඳහා යෙදිය නොහැක.

නිව්ටන් පෙරේරා මුල සිටම සාක්කි දීමට සැරසුණේය. ඔහු සාක්කි කූඩුවට ගොඩවී දක්‍ෂ ලෙස පැමිණිල්ලේ අඩුපාඩු පිරවීය. පැමිණිල්ලට ඕනෑ කළ අන්දමට ඔහු සාක්කි දුන්නේය. ඔහුට සමාව දෙන බවට බලවතුන් පොරොන්දුවක් දුන් බව පැහැදිලිය. ඔහු සාක්කි දුන්නේ පැමිණිල්ලේ සාක්කිකරුවකු හැටියටය. පැමිණිල්ල ඔහුට සැලකුවේද මේ අන්දමටය.
"මේ නඩු විභාගයේදී මතු වූ සැක ගැන සලකා බැලීමේදී සෝමාරාම නිවැරදිකරු වෙයි. සෝමාරාමට විරුද්ධව ඇති චෝදනා දෙක සම්බන්ධයෙන් දිය හැකි එකම තීන්දුව ඔහු නිවැරදිකරු යනුයි."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්