රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ප්‍රැන්සිස් මොලමුරේ සිරගෙට යැවූ අනාචාර චෝදනාව

  👤  1776 readers have read this article !
2017-10-08

උතුරු ඉන්දියාවේ ගයා නුවර උපන් ලීලාවති මියුරියල් සුරූපී යුවතියක වූවාය. ඇය විවාහ වූයේ ‍ෙදාස්තර සී. වී. අසරප්පා තරුණයා සමඟ 1919දීය.

ඉන් ටික කලකට පසු මේ යුවළ ලංකාවට විත් කොළඹ පදිංචි වී විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වූහ. 1931දී පමණ ‍ෙදාස්තර අසරප්පා කොළඹ නගර සභාවේ වෛද්‍ය නිලධාරි තනතුරට පත් විය.

එය සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගන්නා මැතිවරණය පැවැත්වෙන සමය විය. ඊට නාම යෝජනා භාර ගැනීමේදී දැදිගම ආසනයට ඉදිරිපත් වූයේ නීතිඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු විවාහ වී සිටියේ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි මහත්මිය සමඟය.

1931 මැතිවරණයෙන් පසු රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ජය ගෙන මෙරට ව්‍යවස්ථාදායකයට පත්වූ ප්‍රථම කාන්තාව වූයේ ඇයයි.
මැතිවරණයෙන් පසු ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා ලෙස තෝරා ගන්නා ලද්දේ නීතිඥ මොලමුරේ මහතාය. එකල මෙම තනතුර පුවත්පත් හඳුන්වා තිබුණේ "කථිෂ්වර" නමිනි.

මොලමුරේ මහතාද එකල රූපයෙන් ප්‍රභාවත් පුද්ගලයකුව සිටියේය. සමාජ සේවා කටයුතුවලදී හමුවූ ‍ෙදාස්තර අසරප්පාත් ඔහුගේ සුරූපී බිරිය මියුරියල් අතරත් දැඩි හිතවත්කමක් ගොඩනැඟුණේ නිරායාසයෙනි.

ඉන් මාස දෙක තුනකට පසු රාජගිරියේ වික්ටෝරියා විකලාංග නිවාසයේදී වරක් මොලමුරේ මහතාට මියුරියල් මහත්මිය හමුවූයේ ඔවුන් අතර වූ දැඩි හිතවත්කම අනියම් ප්‍රේමයකට හරවාලමිනි. ඉන් පසුව රොස්මිඩ් පෙදෙසේ ගුලිස්ථාන් නිවෙසේදීත් හමුවූ ඔවුන්ගේ ප්‍රේමය ‍ෙදාස්තර අසරප්පාටද දැන ගන්නට ලැබිණි.

මොලමුරේ - මියුරියල් ප්‍රේමය ඔවුනට වැඩි කලක් ලොවට රහසේ කරගෙන යෑමට හැකි වූයේ නැත. ‍ෙදාස්තර අසරප්පා මුලින්ම තම බිරියට අවවාද කළේය. ඉන් නොනැවතුණු ඔහු හිතවත් මොලමුරේට ඒ බව ලිපියකින් දැන්වූයේ මේ සබඳතාව නවත්වා දමන ලෙසයි. එහෙත් මොලමුරේ මහතාගෙන් ඊට එකඟත්වයක් පළ වූයේ නැත.

දිගින් දිගටම අසරප්පා මහතා කළ ඉල්ලීම්වල අවසානය වූයේ මොලමුරේ සහ අසරප්පා අතර දැඩි විරසකයක් නිර්මාණය වීමයි. මොලමුරේ හා මියුරියල් අතර ප්‍රේමය ඒ කිසිවකින් වෙනස් කළ නොහැකි විය. එහි අවසානය වූයේ ‍ෙදාස්තර අසරප්පා ඇගෙන් දික්කසාද වීමට තීරණය කිරීමයි.

ඔහු ඒ සඳහා කොළඹ දිස්ත්‍රික් උසාවියේ තම බිරියටත් මොලමුරේ මහතාටත් එරෙහිව නඩු පැවැරුවේය. එම පැමිණිල්ලෙන් ඔහු ඉල්ලා සිටියේ සිය බිරිය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා සමඟ අනාචාරයේ හැසිරීම නිසා ඇගෙන් දික්කසාද වීමටය. තමාට වූ අලාභය වශයෙන් රුපියල් 25,000ක් මොලමුරේ මහතාගෙන් වන්දි අය කර ගැනීම අනෙක් ඉල්ලීම විය.
අනෙක දරුවන්ගේ අයිතිය අසරප්පා මහතාට ලබා ගැනීමය. නඩුව විභාග වූයේ දිස්ත්‍රික් විනිශ්චයකාර ඩබ්ලිව්. එස්. ද සේරම් මහතා හමුවේය.
එදා දේශපාලන ලෝකයේ මහත් ආන්දෝලනයක් හටගත් මෙම නඩුව පිළිබඳව ජනතාවත් රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයෝත් බලා සිටියේ දැඩි විමසිල්ලකිනි.
නඩුව විභාග කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් විනිසුරු සේරම් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේ 1934 මාර්තු 23දාය.
මොලමුරේ මහතාත් මියුරියල් මහත්මියත් අතර අනාචාරයේ හැසිරීම පැමිණිලිකාර පාර්ශ්වය විසින් සැකයකින් තොරව ඔප්පු කර ඇති නිසා ලීලාවතී මියුරියල් මහත්මියගෙන් දික්කසාද වීමට ‍ෙදාස්තර සී. වී. අසරප්පා මහතාට අවසර දෙමින් පැමිණිලිකරු ඉල්ලා සිටි රුපියල් 25,000ක වන්දිය නඩුවේ දෙවැනි වගඋත්තරකරුවූ ඒ. ඇෆ්. මොලමුරේ මහතාගෙන් අය කර ගැනීමටත් පළමු විත්තිකාර ලීලාවතී මියුරියල්ට කිසිදු වන්දියක් නොගෙවීමටත් දරුවන් පැමිණිලිකරු භාරයේ තබා ගැනීමටත් විනිසුරුවරයා සිය තීන්දුව දුන්නේය.

එම තීන්දුව දීමට පෙරත් මොලමුරේ මහතාට උසාවියට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වීමට නියමිතව සිටියේය. ඒ දිසා අධිකරණයේ අවසරයක් නොමැතිව මඩුවන්වල බූදලයෙන් රුපියල් 52,000ක් ලබා ගැනීමේ සිද්ධියක් හේතුවෙනි.

මෙම දික්කසාද නඩුවට ඔහුට මුහුණ දීමට සිදුවූයේ ඒ අතරවාරයේය. මොලමුරේ මහතා එම නඩු තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලද අධිකරණය මඟින් නිෂ්ප්‍රභ කෙරිණි.
උසාවියට අපහාස කිරීම හේතුවෙන් ඊට වරදකරු වීමත් කාන්තාවක සමඟ අනාචාරයේ හැසිරීමත් සම්බන්ධව නඩු තීන්දුවෙන් පරාජය වීමත් නිසා මෙම සිද්ධීන් එදා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. එකල තිබූ පුවත්පත් පවා මෙම සිද්ධියට ලබා දුන්නේ ප්‍රමුඛස්ථානයකි.

කෙසේ වුවද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රිවරුන්ගෙන්ද ඔහුට එරෙහිව විවිධ අවලාද නැඟෙන්නට විය. මන්ත්‍රිවරුන් වැඩි පිරිසක් මොලමුරේ මහතා යළි සභාපති පුටුවේ වාඩි වුවහොත් සභා ගැබෙන් ඉවත්ව යෑමටද තීරණයක් ගෙන තිබිණි.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මැති සබයේ නැඟී සිටිමින්, මහජන නියෝජිතයන්ගේ යුතුකම වන්නේ මහජන කටයුතුවලදීත් දේශපාලන කටයුතුවලදීත් අවංකවත් පිරිසිදුවත් කටයුතු කිරීමයි යනුවෙන් පවසා මොලමුරේ සභාපතිවරයාට වැටුප් ගෙවීම නතර කළ යුතු යැයි යෝජනා කළේය.

අනුරාධපුර මන්ත්‍රි එච්. ආර්. ප්‍රීමන් මහතා පැවැසුවේ මන්ත්‍රණ සභාවේ ගෞරවය විකුණාගෙන කනවාට වඩා එය විසුරුවා හැරීම හොඳ බවයි. එම ප්‍රකාශයත් සමඟම මූලාසනයේ සිටි උප සභාපතිවරයා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තැයි කළ නියෝගය මන්ත්‍රිවරයා ප්‍රතික්ෂේප කළේය. ඒ හේතුවෙන් ප්‍රීමන් මහතාට සතියක් මැති සබය තහනම් විය.
මොලමුරේ මහතා 1935 ජූලි 10දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකාරි සී. වී. ගුණරත්න මහතා සමඟ වැලිකඩ බන්ධනාගාරයට ගොස් භාර විය. ඒ නිසා මොලමුරේ මහතාට නිසි ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් නිවාඩු ලබා ගැනීමට නොහැකි විය. ඒ නිසා 1935 සැප්තැම්බර් 4දා සිට ඔහු නියෝජනය කළ දැදිගම ආසනය හිස් විය.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්