‘මං හිතාගෙන ඉන්නෙ ඔයාලව කළු කොටි කණ්ඩායමට ඇතුළත් කරන්ඩ කොටි තරුණියකගේ පාපෝච්චාරණය අංක 27

  👤  3019 readers have read this article !
2017-10-08

මෙතෙක් කතාව

නිරෝමි යාපනේ ප්‍රභූ පවුලක දැරියකි. ඇය උසස් පෙළ ඉගෙනුම ලබද්දී ජනදිවිය බිඳ වැටේ. දෙමළ තරුණයෝ අවි අතට ගනිති. කොටි සංවිධානය තම බලය තහවුරු කරගැනීම උදෙසා සටන් වදී. යාපනයේ යුද ගැටුම් උග්‍ර වේ. කොටි කාන්තා සෙබළියන් ද බඳවා ගනී. නිරෝමි සහ ඇගේ යෙහෙළියෝද කාන්තා සෙබළියන් ලෙස සංවිධානයට එක්වෙති. ඔවුහු කොටි නායක ප්‍රභාකරන් හමු වී පුහුණු කඳවුරකට යති .

හොඳම වෙඩික්කාරියන්ට ලබාදෙන ඒම්-ර්ඉ අලුත්ම රයිෆලයක් ලබා ගැනීමටද මම සමත් වීමි.

ප්‍රභාකරන් අපට දීර්ඝ දේශනා පැවැත්වූ අවස්ථා තිබිණි. තමාට මුහුණ දෙන්නට සිදුවූ දුක් ගැහැට, පුහුණුව සහ දෙමළ ඊළම පිළිබඳව ඔහු අපට විස්තර කළේය. අපි ඔහුගේ ආත්ම කථනයන්ට විශ්මිතව සවන් දී සිටියෙමු. ඉවසීම හා මානසික ශක්තිය ප්‍රගුණ කළ යුතු යැයි ඔහු අපට පහදා දුන්නේය. ස්වයං පුහුණුව තුළින් එම ගුණාංග පුරුදු පුහුණු කළ ආකාරය ද ඔහු විස්තර කළේය. තරුණවියේදී ඔහු දිවා කාලය පුරා යාපනයේ කර්කශ උණුසුම නොතකා තෙමේ ම ගෝනියක් තුළ සිරගතව ගතකොට ඇත.

තමා විසින්ම නියපොතුවලට යටින් ඉඳිකටු ගසා සිදුරු කොට ගෙන හිංසනය ද පුරුදු පුහුණු වී ඇත. කිසියම් දිනෙක සිංහල හමුදාව සමඟ සටන් කරන්නට සිදුවන බව ඔහු දැන සිටියා වැන්න. ඔහු හැදී වැඩුණේ සිංහල මිනිසුන් විසින් දමිළයන් දෙවැනි කොට සැලකූ යුගයකදීය. ඔහු පැවසූ පරිදි එම අවතක්සේරුව ආරම්භ වී ඇත්තේ 1954 වසරේ සිදුවූ ඔහුගේ උපතටත් වසර අටකට පෙරාතුවය.

ඉවසීම, හිංසනය වැනි ගුණාංගයන් පුරුදු පුහුණු වන්නට තමා කළ ස්වයං පුහුණු ක්‍රියාකාරකම් අනුගමනය කළ යුතු බව ඔහු අපට නොකීවේ වාසනාවකටය.

ප්‍රභාකරන් විදෙස්ගත වන දෙමළ ජාතිකයන් නිර්දය ලෙස විවේචනයට ලක් කළේය. ඔවුන් දේශද්‍රෝහීන් ලෙස හැඳින්වූයේය.

'අපි දුක්විඳලා අපේ දෙමළ මාතෘ භූමිය ලබාගත්තාම ඒ අය ආපහු ඒවි. එතකොට මං එයාලව මායිම් ගම්මානවල පදිංචි කරවනවා. සිංහල අයගෙන් පීඩා විඳින්නත් එක්ක.'

ඔහු ඔවුන් පිළිබඳව පැවසුවේ එවැන්නකි.

'ඒක තමයි සටන අත්හැරලා ගියාට එයාලට දෙන දඬුවම'

ඒ මොහොතේ අප එක්ව සිනාසුණේ මේ විදෙස්ගත ජාතිද්‍රෝහීන් අපේ සටනට එහි සිට උරදෙන බව නොදැනය. අපගේ නිල ඇඳුම්, අවි ආයුධ යනාදිය සඳහා ආධාර ලැබුණේ ඔවුන් වෙතිනි.

ඔහු නිතර, හින්දු ආගම, කුලය, අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂභාවය යනාදිය පිළිබඳව කතා කළේ බලවත් හැඟීමෙනි. පිරිසුදු දෙමළ භාෂාව කතා කරන ජාතියක් පිළිබඳව ඔහුගේ සිහින ගොනුවී තිබිණි. අනෙක්වා කෙසේ වෙතත් හින්දු ආගම කෙරෙහි ඔහු දක්වන සුවිශේෂීතාව මට රිස්සුම් දුන්නේ නැත. ඔහු අපගේ ක්‍රිස්තියානි ආගම වෙනස් කරන්නට උත්සාහ නොගනු ඇතැයි මම සිතුවෙමි. කන්‍යා සොයුරියන් අපට පවා තිබුණේ වෙනත් ආගමකට හැරීම සියලු පව් අතුරින් ප්‍රබලතම පාපය බවය.

දිනක් අපි අනූ හයදෙනා අඹ ගස යට කූඩාරමෙහි ප්‍රභාකරන් ඉදිරියෙහි වාඩිවී සිටියෙමු.

'මං හිතාගෙන ඉන්නෙ ඔයාලව කළු කොටි කණ්ඩායමට ඇතුළත් කරන්ඩ'

ඔහු පැවැසීය. කකුලක් අහිමිව සිටි යාපනයේ අණ දෙන නිලධාරි කිට්ටු ඔහු අසලින් වාඩිවී සිටියේය. ඔහුගේ පා ආධාරකය අඹ ගසෙහි කඳට හේත්තු කොට තිබිණි. ගේ‍රනේඩ් බෝම්බයකට හසුව කිට්ටුගේ පාදය අහිමි වූයේ මීට, මාස දහඅටකට පෙරාතුවය.

සතියකට කලින්, එනම් ජූලි පස්වැනි දින අපගේ සහෝදරයකු වූ මිලර් මිය ගියේ ප්‍රථම මිනිස් බෝම්බය බවට පත්වෙමිනි. ඔහු නෙල්ලියාඩි හමුදා බැරැක්කය තුළට කඩා වැදුණේ පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් පදවාගෙනය.

ප්‍රභාකරන් ඔහුට ගෞරව දැක්වූයේ මරණයෙන් මතු 'කැප්ටන්' පදවිය පිරිනැමීමෙනි. මිලර් යනු ප්‍රථම කළු කොටි සාමාජිකයාය. කෙසේ වෙතත් එකී සංකල්පය අපට අලුත් යමක් විය.

අපේ පුහුණු කඳවුර පිහිටා තිබුණේ යාපනයට කිලෝමීටර් විස්සක් පමණ දුරින් වූ දෙන්මරාච්චි ප්‍රදේශයෙහිය. මරාගෙන මැරෙන කොටි ප්‍රහාරය එල්ල වූ නෙල්ලියාඩි පිහිටියේ යාපනයට උතුරින් වූ වඩමාරච්චි ප්‍රදේශයේය.

'සංවිධානයට අවංකවම හිතවත් කියලා ඔප්පු කරන්නට වීරයන්ගේත් වීරයෙක් වෙන්ඩ කවුද මෙතන ඉන්න අයගෙන් කැමති?'

ප්‍රභාකරන් ඒ ප්‍රශ්නය අසා නිම කරන්නටත් පෙර මා වටා සිටි බොහෝ අය ඊට කැමැත්ත පළ කළහ.

'මම...'

'මට පුළුවන්....'

'මටත් පුළුවන්ද?'

අත් එසවූ අයගේ ප්‍රභාවත් මුහුණු දකිනු රිසියෙන් මම වටපිට දෑස යැව්වෙමි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රභාකරන් නැඟී ආ වඩමාරච්චි ගම් ප්‍රදේශයෙහි අය වූහ. මම පිළිවෙළින් අජන්ති, අකිලා හා කාංචනා දෙස බැලුවෙමි. මගේ සිතට දැනුණේ සහනයකි. මන්ද ඔවුන් තිදෙනාගේම දෑත් තිබුණේ එකිනෙකාගේ උකුලෙහි වූ රයිෆල් බඳ මත වූ බැවිනි.
මම මිලර් සම්බන්ධ සිද්ධිය සිතින් මවාගන්නට උත්සාහ ගතිමි. බොත්තමකට අත තැබීමෙන් අනතුරුව බොහෝ ජීවිත විනාශ කරමින් ඔහුගේ නව යෞවන සිරුර කුඩා කැබලිවලට කැඩී විසිරී යන්නට ඇත. මගේ කොඳු ඇට පෙළ වෙවුලා ගියේය. එක මිනිස් බෝම්බයකින් විශාල හමුදා භටයන් සංඛ්‍යාවක් විනාශ කළ හැකිවීම. කුඩා වැය කිරීමකින් විශාල ප්‍රතිඵලයක් අත්කර ගැනීමක් වැන්න. එයින් සාමාන්‍ය ජනතාව විනාශ වන්නටද ඉඩක් නැත. මිලර් සිදුකොට ඇත්තේ මහත් නිර්භීත ක්‍රියාවකි. කෙසේ වෙතත් මා තුළ කළු කොටි සාමාජිකාවක් ජීවත් නොවන බව මම තේරුම් ගතිමි. මම එපමණකටම නිර්භීත තැනැත්තියක් නොවීමි.

ප්‍රභාකරන් හඬ නඟා සිනාසුණේය.

'ඔය අයගේ උනන්දුව ගැන සතුටුයි. ඒත් හැම කෙනෙකුටම කළු කොටියෙක් වෙන්ඩ බෑ. ලොකු වැඩක් කරන්ඩ කැප්ටන් මිලර්ට වගේ අභ්‍යන්තර ශක්තියක්, කැපවීමක් තියෙන අය මම හොයාගන්නම්කෝ. මිලර් දැන් 'මහාවීරන්' කෙනෙක්.'

මාහට ප්‍රභාකරන්ගේ දැඩි අවධානයට පාත්‍ර විය හැකි ඔහුගේ විශිෂ්ටතම කණ්ඩායම් සාමාජිකාවක් විය නොහැකි විය.

පරිවර්තනය සුනිලා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්