පාඨකයා නිර්මාණයක් වැලඳගන්නවා බලන් ඉන්න එක සතුටක්- සජිත් රෝහිත ලියනගේ

  👤  1296 readers have read this article !
2017-10-08

පුවත්පත් කලාවේදියකු, චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු හා වේදිකා නාට්‍ය නිෂ්පාදන අධ්‍යක්ෂවරයකු ද වන ඉරිදා මව්බිම ප්‍රධාන උප කර්තෘ සජිත් රෝහිත ලියනගේ ලියූ "සිහින පටුන" නවකතාව පසුගියදා සාහිත්‍ය මාසය වෙනුවෙන් එළිදැක්විණි. මේ ඒ නිමිත්තෙන් ඔහු හා කෙරෙන සංලාපයකි.

"සිහින පටුන" නවකතාව වෙනස් ආරක නවකතාවක් බව කියැවෙනවා. මේ වෙනස කොයි වගේද ඔබ දකින්නෙ?

සාම්ප්‍රදායික නවකතා ශෛලිය තුළ නිර්මාණය වන නවකතා බොහොමයක් තෝරාගත් එක් කාල වකවානුවක් තුළ මැවෙනවා. ඒවායේ ජීවත්වෙන චරිත එම වකවානු නියෝජනය කළ හැකි ලෙස හැඩගස්වනවා. නමුත් මම "සිහින පටුන" තුළ කාල වකවානු දෙකක් එකිනෙකට සම්බන්ධ කරනවා. එය කියවන පාඨකයන්ට වඩාත් හෘදයාංගම විදියට දිගහරිනවා. අතීත සිදුවීමක් හෝ දෙකක් ඉතා සියුම් විදියට, කුතුහලය වඩ වඩාත් දැඩි කරවන විදියට අමුණනවා. කතාව ගොඩනඟන්නේ පාඨකයාට හිතා ගන්නවත් බැරි විදියටයි. ඔහු අතරමං නොකර කුතුහලයත් සමඟ තැනින් තැන රැගෙන ගිහින් විවිධ සිදුවීම් මවා සොඳුරු රසයක් ගෙන එන්නට උත්සාහ කරනවා. කතාව අවසානයේ හිතන්නට යමක් ඉතිරි කර පාඨකයාට සැනසීමක් ළඟා කරනවා.

මේ වෙනස්කම් තුළත් බටහිර නවකතා තුළ තියෙන කුතුහලය මවන උපාය උපක්‍රම තියෙනවා නේද?

කුතුහලය නැති නවකතා නිර්මාණය කිරීම නිෂ්ඵල වැඩක්. පාඨකයන්ගේ සිත රිදවන දෙයක්. කතාවේ හරය, සිදුවීම් පෙළගැස්වීමේ රසයෙන් පූර්ණ නොවේ නම් එවැනි නවකතා හදවත් තුළ රැඳෙන්නෙ නෑ. මතකයට එන්නෙ නෑ. රූපය ආත්ම කොටගත් කතා ශෛලීන් විවිධයි. ඒ විවිධත්වය නිර්මාණශීලීව වෙනස් කරන්න ඕනෑ. එහි නව මං සොයන්න ඕනෑ. එහෙම කළාම තමයි නවකතා කලාවේ නව මං නිමැවෙන්නෙ. පාඨකයා එකම විදියේ පල් හෑලි කියවල හෙම්බත් වෙනවා නම්, දෙබස් ගොන්නක් පෙළ ගස්වලා නාටකීය ලක්ෂණ තුළ අසාධාරණ විදියට අතරමං කරනවා නම් ඒක අපරාධයක් වගේ දෙයක්. බටහිර නවකතා ආරේ, සරල, ගැඹුරක් නැති නවකතාවලින් පෙරාගත් හිටිවන කවි කියනවා වගේ ක්ෂණිකව මැවෙන නවකතා තරගය තුළම තියෙන්නේ එවන් බොල් හරසුන් නවකතාව තමයි. මම එවන් අනන්තයන්ට නොගොසින් ලියන්න බොහෝ ප්‍රවේසම් වෙනවා. ඒ ගැන දැනුවත්ව ඉන්නවා.

මෙහිත් ඔබ පුනරුත්පත්ති සංකල්පය ඇතුළත් කරනවා. මෙය යථාර්ථවාදී නවකතාවකට හානියක් ගෙන එන්නක් නොවෙයිද?

පුනරුත්පත්තිය මහා බොරුවක් කියලා කියපු යුගයක් තිබුණා.

ඒ බටහිර විද්වතුන් අතරෙයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා. පුනරුත්පත්තිය විද්‍යාත්මකව ඇත්තය කියලා පර්යේෂණය කරන, එහි ප්‍රතිඵල ඔප්පු කෙරෙන, තැනට ලෝකය ඇවිත්. බෞද්ධ දර්ශනය තුළත් පුනරුත්පත්තිය විවාදාත්මකයි. නමුත් නිර්මාණකරණයේදී නවකතාවට හෝ වේවා සිනමාවට හෝ වේවා සංකල්පයක් වශයෙන් යමක් භාවිත කිරීම වරදක් නොවෙයි. ඒ නිසා පුනරුත්පත්තිය සංකල්පය මෙවලමක් විදියට නිර්මාණකරණයට පාදක කරගත්තාට වරදක් නෑ කියලයි මම හිතන්නෙ.

විශාල උත්සව තියලා ජනප්‍රිය කරවන නවකතා වැහි වැහැලා. මේ උත්සව සංස්කෘතිය නිර්මාණකරණයට පිටිවහලක් වෙනවද?

නිහඬව තමන්ගේ කාර්ය කරලා පාඨකයාට හිතන්න ඉඩදීම තමයි නිවැරැදි. ඒත් තරගකාරී ආර්ථක්‍රමයක වාණිජවාදී ලකුණු නැත්තෙ නෑනේ. එහෙම කරන්න පුළුවන් අය මානසිකව තෘප්තිමත් වෙනවා වෙන්න පුළුවන්. ඒත් පාඨකයා අතරට නිර්මාණය යවලා පැත්තකින් ඉඳගෙන බලා ඉන්න එක, පෞද්ගලිකව විවේචන, විචාර දරාගැනීම සුන්දරයි.පාඨක සහෘදයන්ගේ අවශ්‍යතා සිතුම් පැතුම් තරම් වටිනා දෙයක් තවත් කොයින්ද?
සංලාපය - රජිත ජාගොඩ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්