ආත්මයක් කියලා දෙයක් තියෙනවද?

  👤  4242 readers have read this article !
2017-10-15

එදා නවීන විද්‍යාඥයන් තවදුරටත් නෙබෙදිය හැකි කුඩාම අංශුව ලෙස හඳුනාගෙන සිටි ඇටම් හෙවත් පරමාණුව ඊළඟ පරපුරේ විද්‍යාඥයන් විසින් එය තනි ඒකකයක් නොව ඉලෙක්ට්‍රෝන - ප්‍රෝටෝන - නියුට්‍රෝන යන පදාර්ථ සංග්‍රහ වී හට ගත් එකක් බව අනාවරණය කරන්නට යෙදුණි. ඊටත් සියවස් විසි පහකටත් පෙර පහළ වූ බුදුරජාණන් වහන්සේ ඕනෑම කුඩා සෛලයක් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා යන ක්ෂුද්‍රාෂ්ටකයන්ගෙන් සංග්‍රහ වී ඇති බව භෞතික උපකරණ භාවිත නොකොට දියුණු කළ නුවණින්ම දැක ලෝකයාට අනාවරණය කොට තිබිණි.

මේ ආත්මය නමින් හඳුන්වන ඒකකය තනි පදාර්ථයක් නොව රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහ එකට මිශ්‍ර වී සංග්‍රහ වී උපන් දෙයක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ශක්ති පහක සංයුතියක්. මේ ආත්මය නමින් හඳුන්වන පුද්ගල අනන්‍යතාව හේතු ප්‍රත්‍යයන් නිසා ඉපිද හේතු ප්‍රත්‍ය සිඳී යෑම නිසා නතර වන බවද පැහැදිලි කළා.

මේ ශරීරය දරන්නාගේ දෙඇස් හොඳින් පෙනුණත් පිටතින් යම්කිසි රූපයක් දෑසට ගෝචර නොවී නම් ඉලක්ක නොවී නම් ඔහුගේ සිතට යොමු වීමකුත් නොවී නම් එයින් ඇති විය හැකිව තිබූ චක්ඛු විඤ්ඤාණය ඇති නොවෙයි. දෙඇස් හොඳට පෙනීමත්, රූපයක් ඒ ඇසට යොමුවීමත් යන කාරණා දෙකම සම්පූර්ණ වුවත් සිත ඊට යොමු නූණොත් ඒ සිතේ විඤ්ඤාණය හට නොගනී. දෙඇස් හොඳට පෙනේ නම්, ඊට රූපයක් හමු වී නම්, සිතෙහි යොමුවීමත් සිදුවී නම් එයින් ඉපදිය හැකි විඤ්ඤාණය හෙවත් චක්ඛු විඤ්ඤාණය උපදී. එසේම කන හොඳට ඇසේ නම් නාසය නිෂ්ක්‍රිය නොවී නම් දිවට රස දැනේ නම් මේ ඉන්ද්‍රිය තුනට ශබ්දයක්, ගන්ධයක්, රසයක් යොමු වුවහොත් ඊට සිතද යොමු වුණොත් ඉන් සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ උපදිත්.

ශරීරය පුරා පවතින, මොළයට පණිවුඩ ගෙන යන ස්නායු ක්‍රියාත්මකව තිබේ නම් ඒවාට යමක් ස්පර්ශ වී නම් සිතද ඊට යොමු වී නම් එයින් ඉපදිය හැකි කාය විඤ්ඤාණය උපදී. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රිය පහ හෝ ඒවායෙන් මනසට පිවිසුණා වූ හා එයින් සිතේ ඇඳී ඇත්තා වූ සූක්ෂ්ම රූප හෝ සිතේ කලින් පහළ වූ සිතුවිල්ලක් හෝ භාවනාවෙන් උපදවා ගත් විමුක්තිය හෝ ලොව පුරා පැතිර පවතින විවිධ සම්මතයන් හෝ යන මේවායින් එකක් සිතට යොමුවීමෙන් මනෝ විඤ්ඤාණය උපදී. චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය හා මනෝ විඤ්ඤාණය උපදින හැටි දැන් පැහැදිලියි. මේ ඉන්ද්‍රිය සයෙන්ම ලැබුණු අරමුණු 'රූප' වශයෙන් සලකන බව මතක තබා ගන්න ඕනෑ.

විඤ්ඤාණය යනු මානසික ශක්ති විශේෂයක්. මේ කවර ඉන්ද්‍රියකට හෝ අරමුණු ගැටීම, ස්පර්ශ වීම නිසා උපදින විඤ්ඤාණය නමැති ශක්ති විශේෂයට තණ්හාව මිශ්‍ර වූ විට එය සිතින් තදින් අල්ලා ගැනීමක් සිදු වෙනවා. එවිට එය රූප උපාදානස්කන්ධයක් බවට පත්වෙනවා. ඒවාගේම එසේ සිතට අරමුණ වූ රූපයට සිත සතුටු කරවන සුඛ වේදනාවක් හෝ සිත රිදවන දුක්ඛ වේදනාවක් හෝ වේදනාමය ශක්ති විශේෂයක් තණ්හාව සමඟ මිශ්‍ර වූ විට වේදනා උපාදානස්කන්ධය උපදිනවා. සිතේ ඒ වේදනාව (විඳීම) තදින් ඇඳීමයි ඉන් සිදුවන්නේ. ඊළඟට ඒ අරමුණු වූ රූපයන් නිසා උපදින සඤ්ඤා (දැනීම්, හඳුනා ගැනීම්) ශක්ති විශේෂය තණ්හාව සමඟ මිශ්‍ර වීමෙන් සඤ්ඤා උපාදානස්කන්ධය උපදිනවා. අරමුණු වූ රූපයන් නිසා හට ගන්නා චෛතසිකයන්ගේ සාරය (බාර ගැනීම) තණ්හාව සමඟ මිශ්‍ර වී සංඛාර උපාදානස්කන්ධය ඇති වෙනවා. මේ අරමුණු දැනීම, විඳීම, දැනුම හා සාරය එකතුවීම නිසා සිතේ උපදින ශක්ති විශේෂය තණ්හාව සමඟ මිශ්‍ර වීමෙන් විඤ්ඤාණ උපාදානස්කන්ධය ඇති වෙනවා.

ඇසට රූපයත්, කනට ශබ්දයත්, නාසයට ගඳ සුවඳත්, දිවට රසයත්, ශරීරයට ස්පර්ශයත්, මනසට සිතුවිලිත් ස්පර්ශ වූ විට, ගැටුණු විට, අරමුණු වූ විට තණ්හාව සමඟ මිශ්‍ර වීම නිසා එය සිතට අල්ලා ගැනීම හේතුකොට ගෙන මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහ උපදිනවා.
මේ උපාදාස්කන්ධ පස ශක්ති විශේෂ බැවින්, ද්‍රව්‍ය නොවන බැවින් අපේ ඉන්ද්‍රියයනට හසු වන්නේ නැහැ. එවැනි ශක්ති විශේෂ බොහෝ ඇති වන බව නවීන විද්‍යාවෙනුත් පිළිගෙන තිබෙනවා. අපේ ශරීර, ගස්, ගල්, බිත්ති විනිවිද පසාරු කරගෙන යන ශක්ති තියෙනවා. රූපයක් විද්‍යුත් චුම්බක තරංග බවට හරවා නැවත එය රූපයක් බවට පත්කොට ඒ ඒ නියමිත වර්ණ සහිතවම නැවත ප්‍රදර්ශනය කළ හැකි උපකරණ අද නිපදවා තියෙනවා. රූපවාහිනි මඟින් සිදු කරන්නේත් එයමයි.

සම්මුති වශයෙන් 'ආත්මය' නමින් බොහෝ දෙනා ව්‍යවහාර කරන අපගේ පෞද්ගලික අනන්‍යතාව ලෙස හඳුන්වා දෙන උපාදාන ස්කන්ධ සංයුතියද අපිට නොපෙනෙන ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ක්ෂණයක් නිසා බිඳෙමින් නැවත හැදෙමින් ගමන් කරනවා. පුද්ගලයාගේ සංසාර ගමන කියන්නෙත් එයටයි. අභිඥා බලයෙන් පවා මුලක් දකින්නට බැරි 'මම'ය, 'තමාය' කියා සලකන්නේ මේ ශක්ති විශේෂයෙන් හටගත් රූපයයි.

මිනිසකු දැඩි සේ උපාදාන කොට ගත් දෙයක් මරණ මංචකයේදී චුති සිතට පහළ වුවහොත් එය ඊළඟ ප්‍රතිපත්තියට බලපායි. ඒ උපාදානයේ ඇති සියුම් හා බලවත්කම යැයිද මහා නාහිමියෝ පවසති. ඊට අදාළ අපේ ගවේෂණවලට ලක් වූ සාධක කිහිපයකි මේ.

එක්තරා නගරයක ඉතා දුර්වල, රෝගී, වයස්ගත හිඟන්නකු මහ පාරේ වැටී සිටියදී පොලිසිය විසින් රෝහලට ගෙනවිත් භාර දෙන්නට යෙදිණි. මෙවැනි අපිරිසුදු රෝගීන් පිරිසුදු කොට ප්‍රතිකාර ලබාදීමේ කටයුතු ආධුනික හෙදියන්ට පැවැරේ. ගම්බදින් පැමිණ සිටි ආධුනික හෙදියක් මේ මහලු රෝගියා පිළිබඳ අනුකම්පා කොට කරුණාවෙන් සාත්තු සප්පායම් කළාය. උණු වතුරින් නහවා පිරිසුදු කොට අලුත් ඇඳුමක් අන්දවා තුවාල සෝදා බෙහෙත් දමා කවා පොවා සාත්තු කළාය. මහ මඟ අවු වැසි පීඩා විඳිමින් සිටි හිඟන්නාට මෙය විශාල සැපතක් විය. කෙසේ නමුත් ඔහු දින දෙකකට පසු මරණයට පත් විය.

සති දෙකක් පමණ ගත වනවිට ආධුනික හෙදිය රෝගී වූවාය. සිහිනෙන් බය වෙන්නට වූවාය. අවසිහියෙන් කටයුතු කළාය. නේවාසිකාගාරයට වී ප්‍රතිකාර ගත් ඇය දිනක් අවසිහියෙන්ම බෙහෙත් පෙති විශාල ප්‍රමාණයක් ගිල දැම්මාය. වෛද්‍යවරු වහා ක්‍රියාත්මක වී ඇගේ ජීවිතය බේරා ගත්තේ අනූ නවයෙනි. ඇගේ නිවෙසට දන්වා වැඩිහිටියන් ගෙන්වා ඇය භාරදෙන්නට යෙදිණි. නිවෙසට ගියද ඇය දිනෙන් දිනම ඔත්පළ වූවාය. පසුව ඇයට ශාන්ති කර්මයක් කරන අවස්ථාවේ ඇය ආවිෂ්ටව අනාවරණය කළේ අර මහලු හිඟන්නා අමනුෂ්‍යයකු වී ඇගේ සිරුරට ඇතුළු වී ඇගේ රුධිරය උරා බොන බවය. ඒ අමනුෂ්‍යයා ඇය කරා පැමිණියේ අෑ කෙරෙහි බැඳුණු ආශාවකිනි. ඔහුගේ පැවැත්ම සඳහා රුධිරය උරා බීම සිදුවිය.

එක්තරා ප්‍රදේශයක ගැමියකුට පුතාගේ විවාහ මංගල්‍ය සඳහා මුදලක් අවශ්‍ය විය. ඔහුට අයිති රබර් ඉඩම ඒ ඉඩමට යාබද පදිංචි ඔහුගේ හිතවත් ගුරුවරයකුට උකස් තබා මුදල් ලබා ගත්තේය. උකසට ඔප්පු ලියන්නට කතා කළවිට ගුරුවරයා කීවේ 'ඕකට ඔප්පු ලියන්න අවශ්‍ය නෑ. මම මුදල දෙන්නම්. ඔබේ වුවමනාව ඉෂ්ට කොට ගෙන මගේ මුදල් ටික ආපහු දෙන්න. හැබැයි මොන හේතුවක් නිසාවත් ඉඩම පිට විකුණන්න එපා. එහෙම වුණොත් අපිට දෙන්න.' කියාය. මේ ඉඩම ගැමියාගේ එකම ආදායම් මාර්ගය වූයෙන් විකුණන අදහසක් නැති බවත්, කෙසේ නමුත් විකුණනවා නම් ගුරුවරයාටම දෙන බවත් ගැමියා කීවේය.
මංගල්‍යයෙන් පසු පුතාට මුදල් ලැබුණු අවස්ථාවක ගුරුවරයාගෙන් ලබා ගත් මුදල ආපසු ගෙවා නිදහස් විය. පසුව පුතාගේ හිතවතකුට මේ ඉඩම පුතාගේ බල කිරීම නිසා විකුණන්ට සිදුවිය. අකැමැත්තෙන් නමුත් ඔප්පුවට අස්සන් කරන්නට ගැමියාට සිදු විය. ගැමියා නිතර මේ ගැන කනස්සල්ලෙන් පසු විය. මාස කිහිපයකින් ගැමියා රෝගාතුරව මිය ගියේය. ඔහු ඒ නිවෙසේම බැල්ලකගේ කුසෙහි පිළිසිඳ උපන්නේය. මේ බලු පැටවා ඒ නිවෙසේම වැඩුණි. එහෙත් සෑම දිනකම රාත්‍රි 6ට පමණ ගුරුවරයාගේ නිවෙසට ගොස් මුර කළේය. කිසිවකුට ඒ නිවෙසට එන්නට නොදී ආරක්ෂා කළේය. පසුදා පහන් වූ විට තම නිවෙසට ගොස් සවසට ආපසු පැමිණ ගුරුවරයාගේ නිවෙස ආරක්ෂා කළේය. ඒ ගුරුවරයාගේ නිවෙසෙන් ආහාරයට ගත්තේද නැත. උෟ නියම ණයක් ගෙවන්නා සේ ඒ නිවෙස ආරක්ෂා කළේය.

මෙහිදී සැලකිය යුතු කරුණු කිහිපයක් වෙයි. ගුරුවරයාගෙන් ගත් මුදල නොඅඩුව ආපසු දුන්නේය. ඔහුට පාඩුවක් කළේද නැත. කෙසේ නමුත් යුතුකම ඉටු නොවූයේ පුතාගේ බලපෑම නිසාය. යුතුකම ඉටු කළ යුතුය. එසේ නොකිරීම තමන් අතින් සිදුවූ වරදකැයි ගැමියා සිතා සිටියේය. ඒ දැඩි සිතුවිල්ල ඔහුට උපාදාන වූයේය.
එක්තරා සුවිසල් මැඳුරක රූබර තරුණ කාන්තාවක් වූවාය. යන්න තැනක් නැති නෑදෑයෙක් නැති අසරණ දුප්පත් සේවකයෙක්ද මේ මන්දිරයේ බැල මෙහෙ කරමින් සිටියේය. ඔහු අර තරුණ කාන්තාවගේ පිරිපුන් අඟ පසඟ සහිත සිරුර දෙස ඇයට හොරෙන් ආශාවෙන් බලා සිටීම සිරිතකි. එසේම ඒ පවුලේ අනිකුත් අයට වඩා ඇය පවරන වැඩ ඉතා හොඳින් ඉක්මනින් ඉටුකරදීම ඔහුගේ සිරිත විය. ඔහුගේ කාර්යශූර බව නිසා ඇයද ඔහුට කරුණාවෙන් සැලකුවාය. මේ සේවකයා සෑම විටම ඇගේ සිරුර ආශාවෙන් බැලීය. මෙනෙහි කළේය. මහ මඟ යනවිටද සිහිපත් කළේය. දිනක් ඔහු කඩයකට යමින් සිටියදී වාහනයක හැපී මළේය.

අවුරුදු ගණනාවක් ගෙවී ගියේය. තරුණ කාන්තාව මහලු වූවාය. රෝගාතුර වුවාය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුවාය. ඇගේ දරුවෝ ඇයට බෞද්ධ පිළිවෙත් කළහ. දිනක් බෝධි පූජාවක් තබද්දී ඇය ප්‍රලය වූවාය. අමනුස්සයෙක් ආවිෂ්ටව කතා කරන්නට පටන් ගත්තාය.

"මම පීටර්. මම මේ නෝනාගේ ශරීරයට ආසා කළා. මැරිලා අවුරුදු ගණනාවක් මෙයාගෙ බඩේ පණුවෙක් වෙලා උපන්නා. බඩවැල්වල උපන්නා. දවසක් දෙකක් ඉන්න කොට ඇගේ අසූචි සමඟ වැසිකිළියට වැටුණා. නැවත නැවතත් උපන්නා. දහස් ගණන් වාරයක් උපන්නා. අන්තිමේ ප්‍රේතයෙක් වෙලා උපන්නා. දැනුත් මෙයාගෙ ශරීරයේ කැත කුණු තමයි ආහාරයට ගන්නේ. දැන් මෙයා නාකියි. දැන් නම් ආසාවක් නෑ. ඒත් මේ ප්‍රේතාත්මයෙන් මිදෙන්න බැරුව ඉන්නවා." යි කීවේය. උපාදානයේ බරපතළකම.
එබැවින් මේ අදහස් එකහෙළා බැහැර කළ නොහැකිය. සිතන්නට මනස දියුණු කරගන්නට ඉඩක් විවෘත කරවයි.

(බෙල්ලන ඥාණවිමල නාහිමියන්ගේ
දෙසුමක් ඇසුරිනි)
සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon